අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි එකොළොස් දහස සම්බන්ධයෙන් විමර්ශන වසර දෙකක් තුළ අවසන් කරනවා – අධිකරණ ඇමති – Saru News | සිංහල

0
9

අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි එකොළොස් දහස සම්බන්ධයෙන් විමර්ශන වසර දෙකක් තුළ අවසන් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.

ඔහු මේ බව පැවසූවේ, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මුලික විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල පළමු කණ්ඩායම් සාමාජිකයින් දැනුවත් කිරීමේ ප්‍රථම පුහුණු වැඩසටහන සහ ඔවුන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡාවකට සහභාගී වෙමිණි.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ( 22) අද පැවැත් එම පුහුණු වැඩමුළුවේදී අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ රාමුව තුළ විමර්ශනවල අරමුණු අවබෝධ කර ගැනීම, විමර්ශන මණ්ඩලවල කාර්යභාරය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආයතනික සහාය, විමර්ශන ක්‍රියාවලියෙහි පියවර, විමර්ශන කටයුතු සහ මුලික විමර්ශන ප්‍රශ්නාවලිය ආදී කරුණු පිළිබඳව විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල සාමාජිකයින් දැනුවත් කිරීම සිදු විය.

පුහුණු වැඩසටහනින් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සහ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදුන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, නීතිඥ, හර්ෂණ නානායක්කාර,

“ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන නිසි පරිදි සිදු නොකරන බවට අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයට චෝදනා එල්ලවී  තිබෙනවා. එම චෝදනාවලට ප්‍රධාන හේතුව වන්නේ එවකට පැවති දේශපාලන තත්වය මිස මේ කාර්යාලයේ ප්‍රශ්නයක් නොවෙයි. අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයට කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොමැති නිසා නිලධාරීන් 65 දෙනෙකු බදවා ගැනීමට කටයුතු කළා. මෙම කාර්යාලයේ විමර්ශන මණ්ඩල සාමාජිකයින් පුහුණු කිරීමට රුපියල් මිලියන 375ක මුදලක් වෙන් කර තිබෙනවා. අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් පැමිණිලි එකොළොස් දහසක් මේ වනවිට මෙම කාර්යාලයට ලැබී තිබෙනවා. එම පැමිණිලි පන් දහසක විමර්ශන මේ වසර තුළ අවසන් කිරීමටත් පැමිණිලි සියල්ල සම්බන්ධයෙන් විමර්ශන ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීමටත් අපේක්ෂා කරනවා.

පැමිණිලි විභාග කිරීමේ මුලික අරමුණ වන්නේ අතුරුදහන් වු පුද්ගලයින්ට වන්දියක් ලබාදීම පමණක්ම නොවෙයි. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් යම් යුක්තියක් අවශ්‍යයි. යුද්ධය අවසන්ව වසර ගණනාවක් ගෙවී ගියත් අතුරුදහන් වු අයගේ ප්‍රශ්න විසදී නැහැ.

ඔවුන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලින් පසුව අවශ්‍ය නම් වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු කරනවා. අතීතයේ සිදු වු වේදනාවන් මඟහැර මේ ජනතාවට විශ්වාසය ගොඩනැගීම රජයේ අරමුණයි.”

ප්‍රශ්නය – සමුහ මිනී වළවල්වල කැණිම් කටයුතු සම්බන්ධයෙන් මේවනවිට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් මොනවාද. කැනීම් හා සම්බන්ධව ඩී.එන්.ඒ. පරීක්ෂණ පිළිබදවත් සාකච්ඡා වෙනවා මේ පිළිබදව අදහස මොකක්ද?

පිළිතුර – අපි මේ සමුහ මිනී වළවල්වල කැණිම් කටයුතු සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලබාදීමටත් එම කැනීම් විනිදවිදව සිදු කිරීමටත්  කටයුතු කර තිබෙනවා. විද්‍යාත්මකව විදේශිය රටවල සහායත් ලබා ගනිමින් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නවා. ඒ අයටත් තමන්ගේ ආදරණියන්ට සිදුවු දේ පිළිබදව දැන ගැනීම අවශ්‍යයි. විමර්ශනවලදී වැරදි සිදු කර ඇති පුද්ගලයින් හෙලි වුවහොත් ඔවුන්ට දඩුවම් ලබාදීමට පියවර ගන්නවා. ඩී.එන්.ඒ. ඇතුළු තාක්ෂණික පරියේෂණාගාර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහායෙන් ලබා ගැනීමටත් කටයුතු කරනවා.

ප්‍රශ්නය – අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයට ලැබෙව පැමිණිලි සම්බන්ධයෙන් දත්ත පද්ධතියක් ගැන මේ පුහුණු වැඩමුළුවේදී සාකච්ඡා වුණා. අතුරුදහන් වු එකම පුද්ගලයා සම්බන්ධයෙන් පැමිණිල දෙක තුන ලැබී තිබෙන බවට සදහන් වෙනවා.

පිළිතුර – මෙම කාර්යාලයට දත්ත පද්ධතියක් අත්‍යවශ්‍යයි. 2018 වසරේ තමයි මේ කාර්යාලය ස්ථාපිත කර තිබෙන්නේ. අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් කොමිසම් සභා කිහිපයක් ක්‍රියාත්මකවී තිබෙනවා. ඒ නිසා දත්ත පද්දතියක් අවශ්‍යයි.

ප්‍රශ්නය – මේ විමර්ශන සිදු කරන්නේ උතුරු නැගෙනහිර අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් පමණක්ද දකුණේ අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් විමර්ශනත් සිදු කරනවාද.

පිළිතුර – උතුරු නැගෙනහිර අතුරුදහන් වු අය ගැන පමණක් නොවෙයි. දකුණේත් අතුරුදහන් වු අය ගැන විමර්ශනය සිදු කරනවා. මේ පුහුණු කිරීම් සමග දකුණේත් විමර්ශන කමිටු ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. 1988 – 89 සිදු වු අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරනවා. මෙහිදී උතුර දකුණ කියා බෙදිය යුතු නැහැ. විමර්ශන කළ යුතුයි. විමර්ශන සිදු කරනවා.

ප්‍රශ්නය – වත්මන් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ කථා පැතිරෙනවා. අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද.

පිළිතුර – වත්මන් නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කරනවා යන්න පිළිබදව අද දිනයේත් මාධ්‍ය කිහිපයක් මගෙන් විමසීම් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය තුළ කුමන ආකාරයේ වාර්තා පළ වුවත් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ. නීතිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට සමාජ මාධ්‍ය අදහස් පළ වෙනවා. ඔහු ඉවත් කළ යුතු බවට සමාජ මාධ්‍ය වාර්තා පළ කරනවා. නීතිපතිවරයා පමණක් නොවෙයි අධිකරණ අමාත්‍යවරයාත් ගෙදර යවන්න කියලා සමහර සමාජ මාධ්‍ය වාර්තා පළ කර තිබුණා.

මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අධිකරණ ඇමති ගැන හෝ කවුරු හරි ගැන පැමිණිලි තිබෙනවා නම් මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. පැමිණිලි කරන්න පුළුවන්. සමාජ මාධ්‍යවල පළ කරන දේවල්වලට ආණ්ඩුවේ සම්බන්ධයක් නැහැ. නීතිපතිවරයා ඉවත් කිරීම ගැන හෝ දෝෂාභියෝගයක් පිළිබදව කැබ්නට් මණ්ඩලය තුළ සාකච්ඡා වී නැහැ.

අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ උසස් නිලධාරීන්, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මුලික විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here