දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ අඩුපීඩන කලාපයක්

0
2

දිවයින ආශ්‍රිත පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට (25) දිනයේදී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.

උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, උතුරු – මැද, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

එමෙන්ම බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා ද සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවත් එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුලදී දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව සඳහන් වේ.

 ඉන්පසු එළඹෙන පැය 48 තුලදී එම පද්ධතිය දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී තවදුරටත් සුළි කුනාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.

පහත සිතියමේ ” Advisory” කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

පහත සිතියමේ “Warning” කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශ වල, ඉදිරි දිනවලදී ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබේ.

මේ වන විට එම ප්‍රදේශයේ ධිවර කටයුතු වල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙස දැනුම් දෙයි.

දිවයින වටා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතු වල යෙදෙන ප්‍රජාව සඳහා අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

ඒ අනුව, හෙට (25) වන විට ශ්‍රී ලංකාවට යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

දිවයින වටා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතු වල යෙදෙන ප්‍රජාව, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here