සියල්ලෝම වැළලෙන්න ගියේ තත්ත්පර කිහිපයයි

0
1

අපේ ජීවිතය බේරුණේ කොහොමද කියා අපිවත් දන්නේ නෑ
පැය 4 ක් සුන්බුන් යට සිටියා පිටතින් කතා කරන හඬවල් පවා ඇසුණා
දිවි බේරාගත් හෝටල් සේවිකාව කියයි
අනේ… මගේ තාත්තත් බිරිඳත් සහෝදර සේවකයකුත් මියගියා
හෝටලයේ හිමිකරු
රටම හැඬවූ පහළ කඩුගන්නාවේ ඛේදවාචකය

‘ධනුෂ්’ හෝටලයේ කට්ටිය ගොඩක් සිටි නිසා මම තේ එකක් බොන්න වෙනත් හෝටලයකට ගියා. ඒ ගිහින් ඉද්දි ජර බර ගාලා ගස් පෙරළගෙන ලොකු ගලක් පෙරළෙනවා මගේ ඇස් දෙකටම දැක්කා. අර මං තේ එකක් බොන්න ගිය හෝටලය තත්පර ගාණකින් පස් සමග යට වුණා. මම ඒ හෝටලයට තේ එකක් බොන්න ගිය වෙලාවේ මිනිස්සු අටක් නවයක් විතර සිටියා යැයි සිද්ධිය සියැසින් දුටු අයකු මාධ්‍ය හමුවේ පෙරේදා (22දා) පැවසීය.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ හිඟුල ගනේතැන්න ප්‍රදේශයේ හෝටලයක් මතට ගල් පර්වතයක කොටසක් සමග පස් කන්දක් කඩා වැටී පුද්ගලයන් 6 දෙනකුගේ දිවි අහිමිවීම පිළිබඳ රටම හැඬවූ ඛේදවාචකය ගැන අදහස් දක්වමින් ඔහු එසේ කීය.

ගල පෙරළුණේ පහළ කඩුගන්නාව හා මාවනැල්ල අතර පිහිටා තිබෙන ‘ධනුෂ්’ නමැති හෝටලයක් මතටය. එම හෝටලය කෙටි ආහාර හා තේ පානය සඳහා බොහෝ පිරිසක් පැමිණෙන ස්ථානයකි. ඒ අනුව 22 වැනිදා උදෑසන මේ අවාසනාවන්ත අනතුර සිදුවන අවස්ථාවේත් උදෑසන ආහාරය හා තේ පානය සඳහා බොහෝ පිරිසක් හෝටලයට පැමිණ තිබිණි.

මෙහිදී තවදුරටත් කතා කළ සිද්ධියෙන් බේරුණු හා සිද්ධිය ඇසින් දුටු පුද්ගලයා මෙසේ ද කීය.

කඩේ හය හතක් හිටපු නිසා අල්ලපු කඩේට ගියේ නැත්නම්
මගේ ජීවිතයත් නැති වෙනවා දිවි බේරාගත් අයෙක් කියයි

රඹුක්කන ගිහිල්ලා එනගමන් මම මේ හෝටලයෙන් තේ එකක් බොන්න ගියා. එවලේ හෝටලයේ හුඟක් අය හිටියා. ඒ හෝටලයේ මම තේ බොන්න හදලා ආයෙ ඉඩ නැති නිසා වෙනත් හෝටලයකට ගියා. මම ඒ හෝටලයේ තේ එකක් බිබී ඉන්නකොට ඩෝං ගාලා සද්දයක් ආවා. තත්පර ගාණට හෝටලය ගස්, ගල්වලට පස් සමග යට වුණා. ජරබර ගාලා ඒක කඩාවැටුණෙ. මේ සිද්ධිය මගේ ඇස් දෙකටම දැක්කා.

මෙහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් මෙසේ කීහ.

“අපේ සර් කෙනෙක් නැති වෙලා තියෙනවා. සර් එනකොට මේ හෝටලයෙන් තමයි තේ බීලා එන්නෙ. හරිම හොඳ සර් කෙනෙක්. සර්ට මේ වෙච්ච දේ හිතාගන්නවත් බැහැ. මේක හීනයක් වගේ. ඒ වගේම සර් ඉන්ජිනේරුවරයෙක්.

ධනුෂ් හෝටලයේ හිමිකරු මෙසේ මාධ්‍ය හමුවේ කියාසිටියේය.

මේ අවාසනාවන්ත සිද්ධියෙන් මගේ තාත්තත්, බිරිඳත් මියගියා. හිතාගන්නවත් බැහැ මේ සිද්ධිය. අපි බොහොම හොඳින් හැමෝමත් එක්ක වැඩ කටයුතු කරනවා. මගේ සහෝදර සේවකයකුත් මියගියා. මේ සිද්ධිය වෙන වෙලාවේ මම පිටතට ගිහින් හිටියේ.

ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් හෝටලයේ සේවිකාවක මෙසේ කීය.

දෙයියෝ බේරුවා වගේ මාව බේරුණේ. මාව බේරාගන්නකොට 22 වැනිදා දහවල් 1.30ට විතර ඇති. පැය 3ක් 4ක් විතර මම ඇතුළෙ හිරවෙලා සිටියා. මට හුස්ම ගන්න එහෙම පුළුවන්. ඇතුළෙන් මඩ වගේ වතුර පාරක් ආවා. ඊට පස්සෙ අයින් කරලා තිබුණු ටයිල් කෑලි කැඩිලා තිබුණා. ඒවා එක අතකින් හේත්තු කර කර තිබ්බා. එළියේ කට්ටිය කතා කරනවා මට ඇහුණා. මං කෑගහලා කිව්වා මල්ලි මං ඇතුළෙ හිරවෙලා ඉන්නෙ මගෙ මල්ලි කියලා. මට මෙහෙම බයක් තිබුණා. කට්ටිය කියනවා ඇහුණා බැකෝ එකක් දාලා කඩමු කියලා. එතකොට කඩද්දි මං හිතුවා මගේ ඇඟට කඩා වැටෙයි කියලා. එතකොට මං බයට නිදිය ගත්තා. එවලේ මගේ දෙවියන්ටයි මහත්තටයි, මගේ දරුවන්ටයි කිව්වා පෙර වාසනාවක් තියෙනවා නම් මං බේරෙයි කියලා. මෙහෙම එකක් තේරුණා. මං එද්දි උඩින් දැක්කා ගහක් කඩන් වැටෙනවා. මං ඊට පස්සෙ අංකල්ට කිව්වා අංකල් ගහක් එනවා අපි දුවමු කියලා කිව්වා. එච්චරයි මට කියන්න පුළුවන් වුණේ. මං වැටුණු තාලෙවත් දන්නෙ නැහැ. හිරවුණු තාලෙවත් දන්නෙ නැහැ. මගේ ෆෝන් එක මං චාර්ජ් වෙන්න ගහලා තිබුණේ. මගේ ගම නිට්ටඹුවේ. මං බැඳලා ඉන්නෙ කඩුගන්නාවේ. කඩුගන්නාව හේනාවේ. කඩේ අපි හතර දෙනෙක් සේවකයෝ හිටියා. ඊට පස්සේ තව ඇඹිලිපිටියෙන් කට්ටියක් ඇවිත් තේ බිබී හිටියා. ත්‍රීවීල් එකක වැඩ කරන රෝසා කියන මල්ලි කෙනෙක් ආවා. එයාව මම දන්නවා.

මාවනැල්ල, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ දී පෙරේදා (22 දා) උදෑසන නිවසක් හා ආපන ශාලාවක් මතට පස් කන්දක් හා විශාල ගලක් පෙරළී ඊට යටවීමෙන් පුද්ගලයන් 6 දෙනකු මියගොස් තවත් 5 දෙනකු තුවාල ලබා ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

අනතුරින් මෙසේ මියගොස් ඇත්තේ මාවනැල්ල පදිංචිව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඉංජිනේරු ළහිරු මධුසංක සමරකෝන් (අවුරුදු 31), වැලිගල්ල, මාවනැල්ල, රාසලිංගම් කරුණාකරන් (වෙළෙඳසැල් හිමිකරුගේ පියා – වයස අවුරුදු 76), පහළ කඩුගන්නාව හිඟුල, කිසාලිංගම් නිශාන්තනී කරුණාරකරන් (වෙළෙඳසැල් හිමිකරුගේ බිරිඳ – අවුරුදු 39), පහළ කඩුගන්නාව, හිඟුල තොටිලිගොඩ ජයසිංහගේ ලින්ටන් ජානක කුමාර ජයසිංහ (අවුරුදු 60), කිරිබෝලවත්ත, කඩුගන්නාව රුවන් කුමාර අබේසිරි සමරනායක (අවුරුදු 43 – නව නගරය ඇඹිලිපිටිය), ගම්පොළ හීන්නාරන්දෙණිය පදිංචි ගුණරත්න මුදියන්සේලාගේ පුලස්ති බණ්ඩාර (අවුරුදු 33) යන අයයි.

තුවාල ලබා ඇති අය මීගහගෙදර සම්පත් බණ්ඩාර ජයරත්න (අවුරුදු 44), දෙල්ගහ ඇළ වට්ටප්පල ආපන ශාලාවේ සේවකයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට යවා ඇත. මේ වනවිට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අය වන්නේ ලහිරු රුමේෂ් රත්නායක (අවුරුදු 33) ඇඹිල්මීගම, පිළිමතලාව, රුචිර තිලාන් මුණසිංහ (අවුරුදු 31) සඳුන් උයන, පිළිමතලාව, පළවෙනි ආරච්චිලාගේ චන්ද්‍රිකා වසන්ති (අවුරුදු 59) හාලියද්ද, දන්තුරේ සහ පුලන්දවේල් රාමයියා රගුනාදන් සසිදරන් (අවුරුදු 40) පහළ කඩුගන්නාව, හිඟුල ප්‍රදේශයේ නායගිය ස්ථානයේ දසුන් කිහිපයක් ‘දිවයින’ කැමරා කාචයට හසුවූයේ මෙලෙසිනි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සමන්තී වීරසේකර, වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය සහ ජයන්ත සේනානායක – මාවනැල්ල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here