මිනිත්තු කිහිපයයි ඔක්කොම ඉවරයි – ජීවිත 6ක් බිලිගත් පහළ කඩුගන්නාවේ ඛේදවාචකය

0
1

තුවාලකරුවෝ 4 ක්: එක් අයකුට බරපතළයි
පෙරේදා උදේ 8.45ට
මියගිය අය අතර පේරාදෙණියේ සරසවි ඇදුරකුත්ය
නායගිය ස්ථානය අවදානම් බවට කලින් දැනුවත් කර තිබුණා
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නිවසක් සහ ආපනශාලාවක් මතට විශාල ගලක් සහ පස් කන්දක් කඩාවැටීමෙන් පෙරේදා (22දා) සිදුවූ අනතුරෙන් කථිකාචාර්යවරයකු ඇතුළු හය දෙනකු (06) මියගොස් තවත් සිව්දෙනකු (04) තුවාල ලබා රෝහල්ගත කර ඇත. මාවනැල්ල රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහු කෑගල්ල රෝහලට මාරු කර යවා ඇත.

මියගිය අය අතර ආපනශාලාවේ සේවය කළ තිදෙනෙක් සහ ආපනශාලාවෙන් ආහාර ලබාගැනීම සඳහා පැමිණි තිදෙනෙක් වෙති. ආපනශාලාවේ හිමිකරුගේ බිරිඳ, බිරිඳගේ පියා සහ ආහාර පිසින්නා, ආහාර ලබාගැනීමට වෑන් රථයකින් පැමිණ සිටි දෙදෙනකු සහ මෝටර් රථයක පැමිණි අයකු මියගිය අය අතර සිටින බව මාවනැල්ල පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ දනුෂ් හෝටලයේ පදිංචිව සිටි හිමිකරුගේ මාමණ්ඩිය වූ රාසලිංගම් කරුණාකරන් (76), හිමිකරුගේ බිරිඳ වූ රාසලිංගම් නිශාන්තනී කරුණාකරන් (39), ආපනශාලාවේ සේවකයකු වූ මාවනැල්ල කොටලිගොඩ ජයසිංහලාගේ ලින්ටන් ජානක කුමාර (60), ගම්පොළ ඉන්නාරන්දෙනිය පදිංචිව සිටි ගුණරත්න මුදියන්සේලාගේ පුලතිසි බණ්ඩාර (33), ඇඹිලිපිටිය නවනගරයේ පදිංචිව සිටි රුවන් කුමාර අබේසිරි සමරනායක (43), මාවනැල්ල පදිංචිව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වූ ඉංජිනේරු ලහිරු සමරකෝන් (31) නමැති අය වෙති. තුවාල ලබා ඇත්තේ 31, 33, 40 සහ 59 යන වයස්වල පසුවන පිළිමතලාව, කඩුගන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම අනතුර පෙරේදා (22 දා) පෙරවරු 9.00 ට පමණ සිදුව තිබූ අතර යුද හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් එක්ව වර්ෂාව මධ්‍යයේ දැඩි පරිශ්‍රමයක් දරා රාත්‍රි 7.30 පමණ තෙක් පැය 10ක පමණ මෙහෙයුමක් සිදුකර මියගිය පුද්ගලයන්ගේ සිරුරු සහ සුන්බුන් අතර සිරවී සිටි තුවාලකරුවන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි.

අනතුරත් සමග මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් වසා දමා එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රථවාහන රියැදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම් දී තිබුණි. කෙසේ වෙතත් මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතනවල නිලධාරීන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ‘දිවයින’ කළ විමසීමකදී ඊයේ (23 දා) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා පැවසීය. උසස් පෙළ විභාගයට සහභාගි වන සිසුන් සඳහා මාර්ගයේ එක් මංතීරුවක් හෝ විවෘත කර ගමන් පහසුකම් සැලසීමට මාවනැල්ල හා කඩුගන්නාව ලංගම බස් රථ යෙදවීමට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

මියගිය අයකු වෙනුවෙන් ලක්ෂ 10 ක් ගෙවීමට කටයුතු කරන බවද අවමංගල්‍ය කටයුතු සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඉතිරි මුදල පසුව ලබාදෙන බවද දිසාපතිවරයා කීය.

තුවාලකරුවන් වෙනුවෙන් ද රජය යම් වැඩපිළිවෙළක් සකස් කරන බවත් දැනට මෙම සිද්ධිය වූ ස්ථානයේ පවුල් දෙකක් ඉවත් කර තිබෙන බවත් හෙතෙම පැවසීය. ගොඩනැඟිල්ලේ ඉදිකිරීම්වල නීත්‍යනුකූල භාවය පිළිබඳව සොයා බලන බවත් එම ප්‍රදේශය අවට තවත් අවදානම් ගල් කිහිපයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කරන බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

අනතුරත් සමග කොන්ක්‍රීට් තට්ටුවට යටවී සිටි පිරිස බේරාගැනීමට ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ කාර්යමණ්ඩලය නව තාක්ෂණය භාවිතා කරමින් යටවී සිටි අයගේ හෘද ක්‍රියාකාරිත්වයත් ඔවුන් සිටින ස්ථානයත් විමර්ශනය කරමින් ඔවුන් බේරාගැනීමට විශාල පරිශ්‍රමයක නිරත වූහ.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිත් නිශාන්ත මහතා කියා සිටියේ නායගිය මෙම ස්ථානය සහ අවට ප්‍රදේශය අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල පිරිස් දැනුවත් කර තිබූ බවයි.

මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එම්. පී. ඩී. හේරත් මහතාගේ උපදෙස් මත අධිකරණ කටයුතු භාර උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. කේ. ඒ. බී. කුරුවිට මහතා වැඩිදුර විමර්ශන සිදුකරයි.
චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සමන්ති වීරසේකර, වසන්ත සමයවර්ධන – බුලත්කොහුපිටිය, ජයන්ත සේනානායක – මාවනැල්ල, එම්. බී. පහලවත්ත – කෑගල්ල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here