බලශක්ති ඇමතිට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්

0
17

නොරච්චෝලේ බලාගාරයට ගල්අඟුරු සැපයීමේදී සිදුව ඇතැයි කියන ටෙන්ඩර් වංචාවේ වගකීම භාරගෙන බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂයෙන් ප්‍රබල බලපෑමක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

තවද මෙම වංචාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.

ගල් අඟුරු ටෙන්ඩරයේ සිදුව ඇති දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවෙන් ලිඛිතව ඉල්ලා ඇත.

ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තවේ සිකුරාදා (20) පැවැති කල් තැබීමේ විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රිවරු ආණ්ඩුවට කියා සිටියේ බලශක්ති ඇමැතිවරයා ඉවත් කළ යුතු බවයි. 

තවද මෙම විවාද යෝජනාව ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා කියා සිටියේ බලාගාරයට ගෙනා ගල් අඟුරු ප්‍රමිතියෙන් බාල බව රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.

‘‘ටෙන්ඩරයේ කොමිස් මුදල් හෝමාගම රාජ්‍ය බැංකුවක ඇති වයිෆ්ගේ අම්මාගේ ගිණුමකට බැර වූ බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

ඊට අදාළ බැංකු ගිණුම් අංක සභාවට ඉදිරිපත් කරන ලෙස ඇමැති නලින්ද ජයතිස්ස ඉල්ලා සිටියත් මන්ත්‍රිවරයා කියා සිටියේ මීළඟ සභාවාරයට එම තොරතුරු ඉදිරිපත් කරන බවයි. 

තවද පාර්ලිමේන්තු විවාදයේදී ඩී.වී. චානක, අජිත් පී පෙරේරා යන මන්ත්‍රීවරු ද අවධාරණය කර සිටියේ ඇමැතිවරයා ධූරයෙන් අස්විය යුතු බවයි. 

මෙම ගල්‍ අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් කෝටි එකසිය විස්සක පමණ පාඩුවක් සිදුව ඇති බව විපක්ෂය පෙන්වා දෙති. 

එම පාඩුව පියවා ගැනීම සඳහා ටෙන්ඩරය ලබාදුන් සමාගමෙන් අලාභය අයකර ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්ගේ සභාපතිත්වයෙන් යුත් යටිතල පහසුකම් හා උපායි මාර්ගික සංවර්ධනය පිළිබඳ වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලක්විජය බලාගාරයේ නිලධාරීන් ඉදිරිපත් කළ තාක්ෂණික දත්තයන්හි පරස්පරතා හෙළිදරව්වීම සම්බන්ධයෙන් ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ද අවධානය යොමු කර ඇත.

මෙම ගල් අඟුරු ටෙන්ඩරය හේතු කරගෙන සිදුවන අලාභය පියවා ගැනීම සඳහා අප්‍රේල් මාසයේ සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවීමෙන් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් පත්වන අපහසුතාවය මගහරවා ගැනීමට නම් ගත යුතු හොඳම පියවර වන්නේ ඇමැතිවරයා ඉල්ලා අස්වීම හෝ ජනාධිපතිවරයා විසින් කඩිනමින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම බව විපක්ෂයේ මතය වී තිබේ.

‘‘ගල් අඟුරු ටෙන්ඩරයේ කිසිම වංචාවක් වෙලා නෑ. බොරුවක් තමයි සමාජ ගත කරන්නේ. විගණකාධිපති වාර්තා අනුව මේක ලිහිල් කරලා තියෙන්නේ. 2023 වසරේදීයි. සේරම සුදුසුකම් බලලා තමයි ලියාපදිංචි කරන්නේ. නිකං පාරේ යන කට්ටිය දාලා, ඔය කලින් අවුරුදුවල වගේ අපි ඥාතීන්ගේ, ආණ්ඩුවේ කට්ටිය දාලා කැබිනට් අනුමැතිය දීපු එකක් නෙවෙයි. මේක ඔන් ලයින් ක්‍රමය යටතේ අයදුම්පත් කැඳවලා ඔක්කොම සුදුසුකම් පරීක්ෂා කර බලලා තමයි සැපයුම්කරුවන් ලියාපදංචි කළේය. එහි සැපයුම්කරුවන් 26 ක් සිටියා ටෙන්ඩරය කැඳවන අවස්ථාව වන විට. මේ සඳහා වලංගු ලන්සු 10 ක් ලැබුණා. මේක තමයි ඉතිහාසයේ ලන්සු වැඩිම ප්‍රමාණයක් ලැබුණේ ගල් අඟුරු ටෙන්ඩරයකට. මේක කාටවත් විශේෂිත කරලා කරපු එකක් නෙවෙයි.’’ බලශක්ති ඇමැති කුමාර ජයකොඩි විවාදයට එක් වෙමින් කීවේය.

මූලාශ්‍රය –  අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here