අරගලය ගැන එදා කථානායකගෙන් ඓතිහාසික හෙළිදරව්වක්

0
2

මෙරට සිදු වූ දැවැන්තම ජනතා නැගිටීමක් ලෙස අරගලය හැඳින්විය හැකිය. රටක් අරාජිකවෙද්දී, පාලකයන් පලායද්දී තනතුරක් දැරූ එකම පුද්ගලයා වූයේ කථානායකවරයායි. ඔහුගේ අතට බලය යායුතු යැයි බොහෝ දෙනා යෝජනා කළේය. එහෙත් ඒ වෙනුවට ඔහු ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහ මහතා වෙත බලය පැවරුවේය. පසුගිය බ්‍රහස්පතින්දා කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති සහ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා විසින් රචිත “අරගලයේ බලය – ගෝඨාභය නෙරපීමේ සිට රනිල් සිරගත කිරීම දක්වා” නමින් කෘතියක් එළි දැක්වූයේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඊට සහභාගිවීමට නියමිත වුවද ගෝඨාභය එහි ආවේ නැත. එම උත්සවයේදී අරගල සමයේ තමා මුහුණ දුන්, මෙතෙක් හෙළි නොකළ කතාවක් හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදු කළේය. මේ ඔහුගේ හඬයි…

“මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ මේ අරගලයේ බලය කියන පොත එළිදැක්වීමට සහභාගී වෙන්න ලැබීම සතුටක්, මම දන්නේ නෑ ඇත්තටම මේ අරගලය බලයක්ද කියලා. මම කතා කරන්න අකැමැතිම මාතෘකාවක් තමයි අරගලය. ඒ තරම්ම අමිහිරි අත්දැකීම් රාශියක් මේ තුළ ගැබ්ව තිබුණා. අරගලය පටන් ගත්තේ කොහෙන්ද? අවසානය එය යන්න ගියේ කොහේටද? මේ ගැන අපි හරියට කල්පනා කරලා බැලුවෙත් අරගලයේ බලයක් තිබෙනවාද කියලා හිතෙනවා. අරගලයක් තිබුණා. එය සාධාරණයි. රටේ ඒ වෙලාවේ තිබුණු බරපතල ප්‍රශ්නයක් මත ජන කොටසක් ඊට විරුද්ධව නැගී සිටියා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. එය අප අගය කරනවා. ගෝඨාභය රාජපක්ෂ එදා හිටපු ජනාධිපතිවරයාත් මේක සාධාරණ අරගලයක් කියලා පිළිගත්තා. පිළිගෙන අරගලය කරන්න පරණ පාර්ලිමේන්තුව ඉදිරිපිටම තැනකුත් හදලා දුන්නා මට මතකයි. ඒ අරගලය අන්තිමට නැවතුනේ එතුමාගේ කාර්යාලය අස්සටම ගිහිල්ලයි. ඒත් එතුමා ප්‍රජාතන්ත්‍රවාදය අගය කළා. අපි ඒ වාගේ ප්‍රජාතන්ත්‍රවාදයක් නම් කලින් අත්දැක තිබුණේ නෑ. නියපිටින් පාරක් ගැහුවේ නෑ. අවසානයේදී ඔහු අපි කාටවත් කියන්නේ නැතුව ගියා. මම දැනගත්තෙත් පැය 12කට පස්සේ. එතෙක් රටේ ජනාධිපති කෙනෙක්, අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නෑ. නිලයක් දරන කිසිකෙනෙක් හිටියේ නෑ. ජනාධිපති හිටපු තැනක් දන්නෙත් නෑ. දුරකථනයෙන්වත් කතා කරන්න විදිහක් නෑ. මොකවත් ආරංචියක් නෑ. දුරකථනයට සම්බන්ධ වෙන්නෙත් නෑ. මට ඒ වෙලාවේ දුරකථනයෙන් කතා කළේ රනිල් වික්‍රමසිංහ විතරයි. හිටපු ඇමැතිවරුන් සියලුම දෙනා දුරකථනයටවත් ආවේ නෑ. ආ… ජී.එල්. පීරිස් මහත්තයා කතා කළා.

ඒ වෙලාවේ මට ලොකූ බලපෑමක් ආවා පාර්ලිමේන්තුව කතා කරන්න කියලා. මමත් හිතුවා ඒක හොඳයි කියලා. මම මන්ත්‍රීවරු දෙන්නෙක් තුන් දෙනෙක්ව බොහොම අමාරුවෙන් හොයාගෙන කතා කළා. ඒ අය ඇහුවේ අපි කොහොමද එන්නේ, අපිට ආරක්ෂාවක් තියෙනවාද? පාරේ ආරක්ෂාව දෙනවාද කියලා ඒ අය මගෙන් ඇහුවා. අපේ ජීවිත රැකලා දෙනවාද කියලා මන්ත්‍රීවරයෙක් ඇහුවා. පාර්ලිමේන්තුව රැස්වෙලා ආපසු අපිට ගෙදර යන්න දෙනවාද? අපි ඉන්න තැනකට ගෙනත් දානවාද කියලා ඇහුවා. අනේ ඒ අහපු එකකටවත් මට උත්තර දෙන්න බැරිවුණා. ඒ නිසා මට පාර්ලිමේන්තුව රැස් කරගන්න බැරිවුණා. ඒ වෙලාවේ ආණ්ඩුවක් නෑ, ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලයක්වත් හිටියේ නෑ. එකම නිලයක් දරන මිනිහෙක්ට මම විතරයි හිටියේ. ඒ අතරේ පුවත්පත් කලාවේදීන්, වෙනත් උනන්දුවක් දක්වපු අය මට කතා කරලා ඇහුවා ජනාධිපති කෝ කියලා, ඒකට උත්තරයක් දෙන්නත් මම දන්නේ නෑ. මම දන්නේ නෑ කියපුවහම සමහරු මට තිත්ත කතාවෙන් බැන්නා.

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නිවස ගිනි තියන විට ත්‍රිවිධ හමුදාපතිවරු තුන් හතර දෙනාම හිටියේ මා එක්ක. මම එන්න කිව්වේ නැතත් ඒ අය ඇවිත් මගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා. මට නියෝගයක් දෙන්න බලයක් නෑ, ඕගොල්ලෝ සුදුසු පියවරක් ගන්න කියලා මම කිව්වා. මම කිව්වා දැන් මෙතන කතා කර කර ඉන්නේ නැතුව ඔබතුමාලා එතෙනට යන්න. ගිහිල්ලා මොනවා හරි කරන්න කියලා. එතුමන්ලා බොහොම මන්දගාමීව ගියා. මම ඒකත් කියන්න ඕනා. පසුව රනිල් වික්‍රමසිංහ මහතා කතා කරලා මට බැන්නා. හොඳටෝම තරහ ගිහින් මට බැන්නත් මට කරන්න දෙයක් තිබුණෙත් නෑ. මම දැනගත්තා මට මෙහෙම කතා කරලා නෑ කවදාවත් දැන්නම් වැඩේ භයානකයි කියලා.

අරගලය පටන් අරගෙන කිව්වේ ගෝඨා ගෝ හෝම් කියලා. එහෙම කිව්වහම ගෝඨා ගෙදරට වෙලා හිටියා. ඊට පස්සේ කිව්වා සිංහල-බෞද්ධ බලවේගය ඉවරයි කියලා. මට ඒක ඇහුවම උඩ-යට නැතිවුණා. දෙයියනේ මේ සිංහල – බෞද්ධ බලවේගය එතනට ගාවා ගත්තේ ඇයි කියලා මට හිතුනා. ඒක බලවේගයක් ලෙස මේ රටේ තිබුණාද නැත්නම් ඒ බලවේගය මේ රටේ ගෑස්, විදුලිය, තෙල් නැතිවුණු එකට වගකියන්න ඕනාද? මේ වගේ විවිධ බලපෑම් තිබුණා.

රටේ නායකත්වය භාරගන්න කියලා ගෝඨාභය මහත්තයා රටේ සියලුම නායකයන්ට කිව්වා. හිටපු නායකයෝ සියලු දෙනාටම එන්න කියලා දැන් භාරගන්න කිව්වා. මටත් කතා කළා. කවුරුවත් භාරගත්තේ නෑ. මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිව්වා මේක භාරගන්න කියලා. එතුමා කැමති වුණේ නෑ. ඔබ මේක ගත්තේ නැතිවුණොත් අපි දෙගොල්ලන්ටම අපේ රට නැතිවෙනවා කියලා කිව්වා. ඊට පහුවදා එදා මට හරියටම මතකයි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමාගේ මංගල්‍යය දවසේ, ෂැංග්‍රිලා හෝටලයේ තිබුණේ. ඒකටත් අපි ගියේ කැලෑ පාරවල්වලින්. එදා මට එතුමා පිටට තට්ටු කරලා මට කිව්වා ඔයා කියපු දේ අද මම කරනවා කියලා. මම කිව්වා සර්, වෙන කරන්න දෙයක් නෑ. ඔය වැඩේ කළේ නැත්නම් අපේ රටත් ඉවරයි කියලා. ඒ ගමන තමයි එතුමා ගිහින් භාර ගත්තේ. ඒත් එතුමාට වැඩ කරන්න කැබිනට් මණ්ඩලයක් තිබුණේ නෑ.

එතනදී ඉතා අමිහිරි සිදුවීමක් වුණා. අපේ රටට ගෑස් නැවක් ඇවිත් තිබුණා. වරායෙන් පිට නවත්තලායි තිබුණේ. ඩොලර් මිලියන 20ක් ගෙවන්න තිබුණා. මේ මුදල් හොයාගෙන තිබුණත් ගෙවන්න විදිහක් නෑ. මට කිව්වා මේකට අවසර අරන් දෙන්න කියලා. එහෙම කරන්න මම කොහොමද පාර්ලිමේන්තුව රැස් කරන්නේ. එදා හවස තිබුණා පක්ෂ නායක රැස්වීමක්. ඒකට හරි දාලා මේක අනුමත කරපු කියලා කිව්වා. ගෑස් නැතුව මිනිස්සු මරා ගන්නවා. ඒත් මේ ගෑස් නැව බාගන්නත් විදිහක් නෑ. මුදල් ගෙවන්නත් විදිහක් නෑ. මටත් අත්සන් කරන්න විදිහක් නෑ. එහෙම කළා නම් මට අද එන්න වෙන්නේ නෑ. හිරේ තමයි මම. එදා මම පක්ෂ නායක රැස්වීමට මේ යෝජනාව දැම්මා. ඒකට පක්ෂ නායකයෝ කිසි කෙනෙක් විරුද්ධ වුණේ නෑ. ඒත් සුළු ජාතික පක්ෂ නායකයෝ දෙන්නෙක් තුන් දෙනෙක් විරුද්ධ වුණා. විරුද්ධ වුණා විතරක් නොවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කතා කරපු කැත විදිහ මට තවමත් මතකයි. එහෙම කතා කරනවාද රටේ අගමැතිවරයාට. එතුමා කිව්වා අපි මේක කොහොම හරි ගමු. පස්සේ වෙලාවක ඇද ඇරගමු කියලා. එහෙම කිව්වහම ඉතාම නොසරුප් භාෂාවෙන් තමයි කතාකළේ. මට ඒ ගැන තවමත් කනගාටුයි. ඒ සියලු දෙනාම සුළු ජාතිකයෝ ඒකත් කියන්න ඕනා. ඒ අයට මේ ප්‍රශ්නය විසඳන්න ඕනෑකමක් තිබුණේ නෑ. තව ටිකක් කුණු කරන්නයි ඕනෑවුණේ. තව ටිකක් ගිහින් ඒ අය කිව්වා බලන්න අද කොළඹ තත්ත්වය. මිනිස්සුන්ට පාරේ යන්නත් නෑ. හමුදාව යොදවලා මේක පාලනය කරවන්න. ඔහෙලාට හමුදාව නැත්නම් උතුරු නැගෙනහිර පළාත්වල හමුදාව ඉන්නවා. ඒ ඔක්කෝම ටික ගේන්න කිව්වා. උතුරේ හමුදා කඳවුරු ගලවන්න කියලා ඒ අය අවුරුදු 30ක් තිස්සේ කිව්වා. බොරදියේ මාළු බාගන්න මෙන්න අවස්ථාව ආවා. හමුදාව අපට ඕනේ නෑ. අපේ ආරක්ෂාව අපට බලාගන්න පුළුවන් කිව්වා. ඒ වැඩේ අපට කරන්න කොහෙත්ම පුළුවන්කමක් තිබ්බේ නෑ. එහෙමයි අපේ නායකයෝ කටයුතු කළේ.

මට බලපෑම් කළා අරගලයට සම්බන්ධ අයත් එක්ක ආණ්ඩුවක් කරන්න කියලා. මම ඇහුවා අනේ ඒක කරන්නේ කොහොමද කියලා. ව්‍යවස්ථාවෙන් පිට මට නම් අකුරක්වත් යන්න බෑ කියලා කිව්වා. ඒ වෙනකොට කථානායක නිල නිවසත් ලක්ෂයක් විතර වට කරගෙන හිටියේ. මාව මරනවා කිව්වා. මම කිව්වේ මාව මැරුවත් නීතියෙන් පිට යන්න බෑ කියලා. මම මරණෙට සූදානම් වෙලා හිටියේ. ඒ අය ගේට්ටුව ළඟ හිටියේ. මම වැඩ කරන අයටත් කිව්වේ දොරවල් ටික ඇරලා දැලා ඔය අය යන්න කියලා. මටත් යන්න අහල පහල මගේ නංගිලා මල්ලිලා හිටියා. එහෙට ගියා නම් ඒ ගෙවලුත් ගිනි තියයි. පස්සේ මම එපෑ ඒ ගෙවලුත් හදන්න. ඒ නිසා මම ගියේ නෑ. පස්සේ කණ්ඩායමක් ඇවිත් කිව්වා පාර්ලිමේන්තුවට යන්න කියලා. මම ගියා එතනදී වේත්‍රධාරී හිටියා. මම කිව්වා ඔහේට දැන් මෙතන විශේෂ රාජකාරියක් තිබෙනවා, තව මොහොතකින් පාර්ලිමේන්තුව ගිනි තියන්න එයි. ඒ නිසා කොයි ක්‍රමයකින් හරි සෙංකෝලය හංගන්න කියලා. ඒක තමයි පාර්ලිමේන්තු බලය. සෙංකෝලයත් මේ අය ඇවිත් විනාශ කළොත් මොකක්ද තියන්නේ අලවංගුවක් තියන්නද? එතකොට කිව්වා ඒක එයා කරලා තියෙන්නේ ගිනි තිව්වත් අහුවෙන්නේ නෑ කිව්වා.

පස්සේ අපි හමුදා මූලස්ථානයට ගියා. යනකොට රනිල් වික්‍රමසිංහත් එතන. එතන සිට කොළඹම වෙන දේවල් බලනවා ස්ක්‍රීන් එකකින්. එතනදි වුණු දෙයක් තිබුණා මම ඒක කියන්නේ නෑ. එතනිනුත් අපි ආවා. රනිල් වික්‍රමසිංහ මගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා මම කිව්වා පහට රැස්වීමක් තියෙනවා ඒකට යනවා. ඔබතුමත් එනවාද කියලා ඇහුවහම නෑ මට වෙන වැඩක් තියෙනවා කියලා එතුමා ගියා. හවස පක්ෂ නායක රැස්වීමක් තිබුණා. එතනට හමුදාපතිවරු, පොලිස්පති ආවා. ඔන්න ආරංචිය ආවා පාර්ලිමේන්තුවේ පළමු බැරියර් එක කැඩුවා කියලා. හමුදාපතිවරු කිව්වේ ඒ අයට නියෝග දෙන්න කවුරුවක් නෑ තියලා. මම කිව්වා නියෝග දෙන්න දැන් කවුරුවත් නෑ. ඔය අය නිල ඇඳුම අඳිනකොට රට බේරගන්නවා කියලා පොරොන්දුවක් දුන්නානේ. රටේ දේපළ ආරක්ෂාව තහවුරු කරනවා කියලානේ. එහෙනම් දැන් ඕකට නියෝග දෙන්නත් ඕනාද කියලා. අන්න එතනදී ටිකක් වයින් වෙලා ඇවිත් ඒ අය එතනින් ගියා යන්න. ගිහින් මොනව කළාද කියලා දන්නේ නම් නෑ.

අපිට පුළුවන් වුණා අන්න ඒ විදිහට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. මට කිව්වා සමහරු ඔබතුමා බලය අතට ගන්න, ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. ඒත් මම කල්පනා කළේ රටට මේ මොකක්ද වෙන්නේ කියලා. ගෝඨාභය ගියාට අපි යන්නේ කොහෙද? ඒත් එතුමාටත් කටුනායකින් යන්න දුන්නේ නෑ. එක වෘත්තීය සමිතියක්. පස්සෙ මම ඒ අයගේ පක්ෂ නායකයාට කතා කරලා කිව්වා. මේක පටන් ගත්තේ එතුමාව යවන්නනේ. එහෙනම් යන්න දෙන්න කියලා පස්සේ කිව්වා දැන් හරි කියලා. අරගලය කියන්නේ අපේ රටට වුණු දැවැන්ත නිගාවක්. මේ සියල්ල මැද්දේ මම දන්න තරමින් පාන්දර හයාමාරට හතට කන්තෝරුවට ඇවිත් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන් දන්න ලෝක නායකයන්ට කතා කරලා ගෑස්, තෙල් ගෙන්නගෙන මේ ප්‍රශ්නය විසඳගත්තා. එතුමාට ඒ ගෞරවය දෙන්න ඕනා. බයට කවුරුවත් ඉදිරිපත් නොවී හිටියා. ඒත් රනිල් ඒක භාරගත්තා. අපිට ඒ දෙයට දායක වෙන්න ලැබුණා. ඒ ගැන සතුටුයි. අපේ රට සියලු දෙනාටම නැතිවෙන්න ගියා. ඒක වළක්වාගන්න පුළුවන් වුණා. නැත්නම් අර මන්ත්‍රීතුමා වගේ අපට මැරෙන්න වෙනවා. මම එතුමාට කිව්වා යන්න එපා කියලා. ඒත් මළ ගෙදරක යන්න ඕනා කියලා ගියා. මළ ගෙදර එහෙම්ම එයා නැවතුනා ඒකයි සිද්ධවුණේ.

සැකසුම
අකිත පෙරේරා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here