දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම මේ වන විටත් රැස්කර ගැනීමට සමත්ව ඇත. ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පසුගිය නොවැම්බර් 18 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම මේ වසර (2025) වෙනුවෙන් 2025.11.17 දින වන විට රැස්කර ඇති බවයි. එය රුපියල් මිලියන 2002241ක් (එනම් රුපියල් බිලියන 2,002.241ක්) පමණ අතිවිශාල බදු ආදායමකි. මෙය 2024 වර්ෂයේ සමස්ත ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60079 ක වැඩිවීමක් බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පවසා ඇත. 2024 සමස්ත වර්ෂය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද මුළු බදු ආදායම රුපියල් මිලියන 1942162 කි. මේ බදු ආදායම සමග සැසඳීමේ දී මේ වසරේ 2025.11.17 දින වන විට එම දෙපාර්තමේන්තුව රැස් කළ බදු ආදායම රුපියල් මිලියන 2002241 ක් දක්වා වර්ධනය කර ගැනීම මගින් රාජ්‍ය මූල්‍ය තත්ත්වය ශක්තිමත්ව පවත්වා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රශංසනීය දායකත්වයක් සපයා ඇති බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සිය නිවේදනයේ සඳහන් කර ඇත. පවත්නා බදු නීතියට අනුගත වෙමින් රට වෙනුවෙන් හා රටේ පොදු මහජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් බදු ගෙවන ලද ගෞරවනීය බදු ගෙවන්නන්ටත් ඒ සඳහා විවිධාකාරයෙන් සහයෝගය ලබා දුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන්ටත් කෘතඥතාව පළ කරන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඇය සඳහන් කර තිබේ.
රටේ ජනතාව බොහෝ අමාරුවෙන් ජීවත් වුවත්, එසේම රටේ මුළු ජනයාගෙන් සියයට 25 ක පමණ පිරිසක් දුප්පත්කමට ඇද වැටී සිටියත් (තවත් සියයට 10 ක ජන පිරිසක් දුප්පත්කමේ මුව විට සිටියත්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක සපුරා ගැනීම අතින් ඉහළම ප්‍රගතියක් පෙන්වා ඇත. එසේම රජය කියන්නේ අලුත් බදු කිසිවක් ලබන වසර (2026) සඳහා පනවා නැති බවයි. එසේම අයවැය ලේඛනයේ රජයේ මුළු බදු ආදායම ගැන දක්වා ඇති කරුණ ද මේ සමගම සඳහන් කළ හැකිය. එනම් 2026 අයවැය ලේඛනයේ සඳහන් වන පරිදි ගිය වසරේ (2024) රජයේ මුළු බදු ආදායම රු. බිලියන 3705කි. එම මුළු බදු ආදායම මේ වසරේ (2025) දී රු. බිලියන 4725 ක් දක්වා වර්ධනය වනු ඇතැයි ද රජය විසින් සංශෝධිත ඇස්තමේන්තු අනුව ප්‍රකාශ කර ඇත. එසේම ලබන වසරේ (2026) දී රජයේ මුළු බදු ආදායම රු. බිලියන 4910 ක් දක්වා තවත් වර්ධනය කර ගැනීමට ද රජය සැලසුම් කර තිබේ.
2025 වසරේ දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් දක්වා ඉහළ නැංවීම සහ මධ්‍යකාලීනව එහි වර්ධනයක් පවත්වාගෙන යාම රාජ්‍ය ආදායම සඳහා වන ඉලක්කය වේ. 2025 වසර සඳහා සංශෝධිත ආදායම් ඇස්තමේන්තුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.9 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය මූලික අයවැය ඉලක්කය ඉක්මවා ගොස් ඇත. ඵලදායී ආදායම් පියවරයන් සහ අනුකූලතාවය වැඩිදියුණුවීම පිළිබිඹු කරමින් විශේෂයෙන් භාණ්ඩ හා සේවා සහ මෝටර් රථ ආනයනයන්ගෙන් අපේක්ෂිත ප්‍රමාණයට වඩා බදු ආදායම් ඉහළයාම මෙම ධනාත්මක වෙනසට හේතු වී ඇත.
බදු අනුපාත ඉහළ නැංවීම, බදු පදනම පුළුල් කිරීම සහ ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා දරන ප්‍රයත්නයන් සමඟ මේ බදු ආදායම් වර්ධනය සමපාත වේ. රජයේ ප්‍රාග්ධන වියදම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමත් ඊට සමගාමීව ඉහළ ආදායම් එක් රැස් කිරීමත් මෙම ධනාත්මක වෙනස සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. එහෙත් එය ආර්ථික වර්ධන ක්‍රියාකාරිත්වයට අහිතකර බව ද අප අමතක නොකළ යුතු වේ.
මේ රාජ්‍ය බදු ආදායම් වර්ධනය කර ගන්නා අතරම වඩාත් වැදගත් වන්නේ වැඩි පිරිසකගෙන් (එනම් බදු පදනම පුළුල් කර ගනිමින්) බදු අය කර ගැනීම හරහා තනි තනි පුද්ගලයින් මත පැටවෙන බදු බර අවම කිරීමට පියවර ගැනීමයි. සාමාන්‍ය මහජනයා තම භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හරහා රජයට (වක්‍ර) බදු ගෙවයි. එය පැහැර හැරිය නොහැකිය. එහෙත් ඇතැම් (ආදායම් බදු) බදු ගෙවිය යුතු ධනවත් සහ බලවත් අය (ඇතැම් වෘත්තිකයින් පවා) රජයට ගෙවිය යුතු නිසි බද්ද නොගෙවන බව රහසක් නොවේ. ඒ නිසා එම පිරිස ද බදු දැලට හසුකරගෙන බදු පදනම පුළුල් කර ගැනීමෙන් රජයේ ආදායම් බදු ආදායම් තවත් වර්ධනය කරගත හැකිවේ. ඒ හරහා දැනට තිබෙන වක්‍ර බදු හා සෘජු බදු අතර පරතරය ද අවම කරගත හැකිවේ. දැනට තිබෙන වක්‍ර බදු හා සෘජු බදු අතර අනුපාතය ඇත්තේ 75:25 මට්ටමේ වන අතර මෙම අනුපාතය 60:40 දක්වා අඩු කර ගැනීම රජයේ ඉලක්කය වී ඇත. මෙසේ බදු ව්‍යුහය තුළ වක්‍ර බදු ප්‍රමාණයේ සාපේක්ෂ දායකත්වය අඩු කර ගනිමින් සහ සෘජු බදු ප්‍රමාණයේ සාපේක්ෂ දායකත්වය වැඩි කර ගැනීමෙන් සාමාන්‍ය ජනයාගේ බදු බර අවම කරගත හැකිවේ. එම වෙනස කිරීමට රජය ඉලක්ක කර තිබුණත් දැනට කිව යුත්තේ රජයේ බදු ආදායම් ඉලක්ක ඉක්මවා යාමෙන් සිදුව ඇත්තේ සාමාන්‍ය ජනයා මත වැඩි බදු බරක් පැටවීම බවයි. ඒ නිසා වක්‍ර බදු හා සෘජු බදු අතර පරතරය ක්‍රමයෙන් අවම කරගනිමින් මේ දිශාවට ගමන් කළ යුතුවේ. එසේම රජය මහජනයාගෙන් අය කර ගන්නා බදු මුදල් කිසිවෙකුටත් හොරා කන්නට ඉඩ නොදී නිසි ලෙස කළමනාකරණය කරන බවට මහජනයාට සහතිකයක් ඇත්නම් මහජනයාගේ බදු අනුකුලතාව (බදු ගෙවීමට ඉදිරිපත් වීම) ද ඉහළ යනු ඇත. එම සහතිකය අයවැය කතාවෙන් ජනාධිපතිවරයා මෙසේ පවසමින් ලබා දී ඇත. එනම් සෑම පුරවැසියෙකුටම ඔවුන්ගේ බදු විනයානුකූලව, විනිවිදභාවයකින් සහ වගවීමෙන් කළමනාකරණය කරන බවයි.
පොදුවේ බදු ආදායම ගැන අප මෙසේ කතා කළත් මේ එකතු කරන බදු ආදායමේ වැඩි බරක් දරන්නේ කවුද ? එසේ වැඩි බදු බරක් දරන්නේ රටේ කවර ආර්ථික තත්ත්වයක් පවතින තත්ත්වයක් තුළ ද යන්න අප සැලකිය යුතුව ඇති කරුණකි. එක් එක් බදු වර්ග අනුව පනවන බදු අනුපාත සහ බදු ප්‍රතිපත්ති තීරණය කරන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නොව රජය විසිනි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කරන්නේ පවත්නා බදු නීතියට අනුගත වෙමින් අදාළ බදු ආදායම රජය වෙනුවෙන් එක් රැස් කර දීමට කටයුතු කිරීමයි. ඒ අතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තම වගකීම් ඉටු කිරීමට පියවර ගෙන තිබේ. එය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය රටටම පවසා තිබේ. අයවැයේ අන්තර්ගත ප්‍රධාන සංරචකයක් වන්නේ මේ කියන අනාගත මුදල් වර්ෂය සඳහා වන ඇස්තමේන්තුගත බදු ආදායමයි. මේ ආදායම් එකතු කිරීමේ වගකීම ප්‍රධාන වශයෙන් පැවරී ඇත්තේ දේශීය ආදායම්, රේගු සහ සුරාබදු යන රටේ ප්‍රධාන ආදායම් දෙපාර්තමේන්තුවලටය. මෙහිදී වැඩිම රාජ්‍ය ආදායමක් උපයාදෙන ප්‍රධානතම දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි.
රට තවමත් තිබෙන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ ගමන් මාර්ගයක බව ද රහසක් නොවේ. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක හා කොන්දේසි සපුරමින් ආර්ථික ඉදිරි ගමන තවත් යම් කාලයක් යාමට ද සිදුව තිබේ. එහෙත් බදු ආදායම ඉලක්ක අභිබවා යමින් තිබෙන තත්ත්වය හමුවේ රජයට මෙවර අයවැයෙන් පොදු ජනයාගේ ජීවන බර සැහැල්ලු කිරීමට යම් සහනයක් දීමට තිබුණු බවට ද ඇතැම් අය මත පළ කර ඇත. අමාරුවෙන් ජීවත් වෙමින් සිටින සාමාන්‍ය ජනයාට ද මේ අදහසම ඇතිව තිබෙනවා විය හැකිය. ඒ නිසා අපත් සිතන්නේ රජය විසින් අලුත් බදු පැනවීමක් නව අයවැයෙන් නොකළත් දැඩි ආර්ථික පීඩනයෙන් සිටින අතිමහත් බහුතර ජනයාගේ ජීවන බර සැහැල්ලු කිරීමට යම් පියවරක් ගත්තා නම් හොඳ බවයි. ඒ ගැන ආණ්ඩුව විසින් හෙට දවසේ හෝ අවධානය යොමු කර පියවර ගන්නේ නම් මැනවි.
අප කොතෙකුත් මෙරට සිදුව ඇති වංචා හා දූෂණ ගැන කතා කර ඇත. එම දූෂිතයින්ට සහ වංචනිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ (එනම් හොරු ඇල්ලීමේ) අවශ්‍යතාව ගැන අවධාරණය කර ඇත. මේ ආණ්ඩුව බලයට පත් වීමේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ හොරු අල්ලන බවයි. මුලින්ම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙනෙන බව ද වත්මන් ජනාධිපතිවරයා පසුගිය මැතිවරණ වේදිකාවේ දී කීවේය. රට පැන සිටින අර්ජුන මහේන්ද්‍රන් මෙරටට තවමත් ගෙන්වාගත නොහැකිව තිබුණත්, මේ ආණ්ඩුව විසින් හොරු ඇල්ලීමේ මෙහෙයුමක් දියත් කර ඇත. ඊට අදාළ යම් යම් නීතිමය වෙනස්කම් ද සිදු කරමින් තිබේ. ඒ සඳහා වන නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. හොරු ඇල්ලුවාට වහාම ආර්ථිකයට මුදල් ලැබෙන්නේ නැත. මේ කියන දූෂණය ගැන ජනාධිපතිවරයා 2026 අයවැය කතාවේ දී මෙසේ සඳහන් කර ඇත.

“දූෂණය කියන්නේ දුප්පතුන් මත පටවන ලද බද්දක්, ඒ වගේම එය අපගේ සංවර්ධනය වෙළා ගත් විලංගුවක්”. අපගේ ප්‍රතිසංස්කරණ හුදෙක් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පමණක්ම නොවේ; ඒවා සමාජ යුක්තිය ඉටුකිරීම සඳහා ද වැදගත් මෙවලම් වෙනවා. විවිධ අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබෙන කරුණු අනුව, දූෂණය අවම කිරීම මඟින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකියි. එම නිසා වත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය වැඩිදියුණු කර තිබෙනවා. තවද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අයවැය සහ කාර්ය මණ්ඩල ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙනවා.”
මෙය බොරුවක් නොවේ. වංචාවට දූෂණයට ලක්ව ඇත්තේ මහජන ධනයයි. එසේ නැත්නම් මහජන බදු මුදල්ය. මේ නිසා මේ රටේ ජනතාවට හානියක් සිදුව ඇත. එම මුදල් වංචාවට හෝ දූෂණයට ලක් වූයේ නැත්නම් ඒවා රජයට මහජනයා වෙනුවෙන් වියදම් කළ හැකිව තිබිණි. මේ නිසා එසේ හොරා කා ඇති ධනය ඔවුන් එසේ නොකළා නම් වෙනත් රාජ්‍ය වියදමක් වෙනුවෙන් වියදම් කළ හැකිව තිබුණු බව ද අප අමතක නොකළ යුතුවේ. එහෙත් එසේ හොරා කා ඇති ධනය ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් පමණින් වහාම නැවත රජයට හෝ රටේ ආර්ථිකයට නොලැබෙන බව ඇත්තකි. ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන යම් අධිකරණ තීන්දු තීරණ ලැබීමට කාලයක් ගත වේ. එසේ වුවත් ජනාධිපතිවරයා පවසන පරිදි දූෂණය යනු දුප්පතුන් මත පටවන ලද බද්දක් පමණක් නොව අප සිතන්නේ සියලු ජනතාව මත පටවන බරක් බවයි. ‘ඒ වගේම එය අපගේ සංවර්ධනය වෙළා ගත් විලංගුවක්’ බව ද ඔහු සඳහන් කර ඇත. ආණ්ඩුව උපයන බදු ආදායම් යොදවන්නේ රටේ සංවර්ධනය වෙනුවෙනි. මහජන සුබසෙත වෙනුවෙනි. ඒ නිසා මහජන මුදල්, මහජන ධනය නිදහසේ කාබාසිනියා කළ හැකි (අවභාවිතා කළ හැකි) සහ හොරා කා හැකි පරිසරයක් තිබෙන්නේ නම් එසේම ඒ හොරු ආණ්ඩුව විසින්ම රකින්නේ නම් අප සිතන්නේ එය ජනතාවට කරන සතුරු කමක් බවයි. පසුගිය කාලයේ එවැනි දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී පැවති බව ද රහසක් නොවේ. තට්ටු මාරු ක්‍රමයට බලයට පත්වෙමින් හැම විටම ආණ්ඩුව විසින් කලින් ආණ්ඩුවේ හොරු රකින පිළිවෙතක් අනුගමනය කරමින් සිටි බව ද එම ආණ්ඩුවලට එල්ල වූ චෝදනාවකි. ‘හොරු නම් අල්ලන්නේ නෑ මල්ලි, මුන් ඔක්කොම යාළුවෝ මල්ලි’ කියා වරක් රංජන් රාමනායක මන්ත්‍රීවරයා කියා සිටියේ ද මේ ඇත්තය. අද සිදුවෙමින් තිබෙන ඇතැම් නීතිමය ක්‍රියාමාර්ග, එම සිද්ධිවලට කෙතරම් නඩු නිමිත්තක් තිබුණත්, මේ මොහොතේ වෙනත් ආණ්ඩුවක් බලයේ සිටියා නම් සිදු නොවනු ඇති බවට ද අපට විශ්වාසයක් තිබේ. එලෙස වංචනිකයින්ට, හොරුන්ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් ඔවුන් තව තවත් එවැනි මහජන ධනය සොරා කෑමට බිය නොවනු ඇත.
එහෙත් අප සිතන්නේ කිසිම ආණ්ඩුවක් විසින් තමන් බලයට පත් කළ ජනයාට එරෙහි සතුරුකම් කරන හොරු රැකිය යුතු නොවන බවයි. ඒ නිසා මහජන ධනය සොරකම් කිරීම සහ ඒවා අවභාවිතා කිරීම මහජනයාට එරෙහිව කරන සතුරු කමක් ලෙස සලකමින් සහ ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇත. වත්මන් ආණ්ඩුවේ යම් යම් අඩුපාඩු අකාර්යක්ෂමතා ඇතත්, නීතිය ක්‍රියාත්මක වීම පැත්තෙන්, මහජනයාට යම් විශ්වාසයක් ඇතිව තිබීම හොඳ දෙයකි. එය කලින් ආණ්ඩු බලයේ සිටි විරුද්ධ දේශපාලන කණ්ඩායම්වලට එරෙහිව පමණක් නොව තම ආණ්ඩුවේම සිටින අය වැරදි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද නීතිය එකලෙසම ක්‍රියාත්මක වන්නේ නම් අවශ්‍ය වන්නේ එයයි. ජනාධිපතිවරයා කියන පරිදිම එය, සමාජ යුක්තිය ඉටුකිරීම සඳහා ද වැදගත් වේ. එසේම ජනාධිපතිවරයා කියා ඇත්තේ විවිධ අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබෙන කරුණු අනුව, දූෂණය අවම කිරීම මඟින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකි බවයි. එසේම අප සිතන්නේ දේශපාලඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ද තම ධනය උපයාගත් ආකාරය ඔප්පු කිරීමට හැකි විය යුතු බවයි. එම නිසා වත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය වැඩිදියුණු කිරීමට ද ආණ්ඩුව පියවර ගෙන ඇත. මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය වර්ධනය වී ඇති බවක් පෙනේ. එසේම එම කොමිෂන් සභාවේ ඇතැම් ක්‍රියාකාරිත්වයන්ට එරෙහිව ද මාධ්‍ය හරහා චෝදනා එල්ල වනු අපට දැකගත හැකිවී ඇත. අයවැයේ වචන අනුව බොහෝ හොඳ දේ දැකිය හැකි වුවත්, අයවැයේ අන්තර්ගතයෙන්ම පමණක් අයවැයක හොඳ නරක විමසිය නොහැකිය. ඒවා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය ද අපට විමසා බැලීමට සිදුවන බව ද අවසන් වශයෙන් සටහන් කළ හැකිය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]
Saru FM Media









