ප්‍රතිපත්ති උඩුයටිකුරු කළ ඉන්දියානු ඇමෙරිකානු උපාය මාර්ගික ගිවිසුම්!

0
2

ප්‍රවේශ සහ හරස් සේවා ගිවිසුමේ (2007) සිට රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන (2025) දක්වා

මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ අනුර කුමාර දිසානායක ඇමෙරිකානු ආරක්ෂක ගිවිසුම් අත්සන් කළා

රනිල් වික්‍රමසිංහ – එක්සත් ජනපදය සමග ආරම්භ කළ වැඩපිළිවෙළ තීරණාත්මක තලයකට

එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට පැමිණි හමුදා කණ්ඩායමක් දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකළේය. එම ඉල්ලීම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස 2002 කළ අතර යුද-ගුවන්-නාවික හමුදා ශක්තිමත් කිරීමට අවශ්‍ය උපදෙස් සහ අවි පද්ධති පිළිබඳව එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට යෝජනා කළේය. ඒ කළ යෝජනා අතර ගුවන් හමුදාවට අයත් ජෙට් මගින් පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය. වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම කිරීමට වසර කීපයකට පෙර එක්සත් ජනපදය ශ්‍රී ලංකාව තමන්ගේ හමුදා වැඩසටහන්වලට ඇතුළත් කර ගෙන තිබිණි. අතීතය අමතක කර වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග සාකච්ඡා කළ නොහැක. එක්සත් ජනපදයේ මැදිහත්වීම තුළ ඊශ්‍රායලය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට අවි ආයුධ සැපයීම, පුහුණුවීම්, එක්සත් ජනපදය වේග ප්‍රහාරක යාත්‍රා සහ ඈත දියඹේ මෙහෙයුම් කළ හැකි විශාල නාවික යාත්‍රා ලබා දීම සහ විශේෂයෙන් හතරවන ඊළාම් යුද්ධයේදී ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවි ගබඩා හතරක් විනාශ කිරීමට අවශ්‍ය තොරතුරු ලබා දීම ද අමතක කළ නොහැක. යුද්ධයේ අතිශය තීරණාත්මක මොහොතක (2006-2009) වේග ප්‍රහාරක යාත්‍රාවල වෙඩි බලය වැඩි කිරීමට බුෂ් මාස්ටර් වර්ගයේ අවි ලබා දීම සම්බන්ධයෙන් අප එක්සත් ජනපදයට ස්තුතිවන්ත විය යුතුය.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගිතාව වඩාත් විධිමත් කිරීම සඳහා පසුගියදා ගිවිසුම්ගත විය. මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ එක්සත් ජනපද වෙරළාරක්ෂක දිස්ත්‍රික්කය 13 සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර නොවැම්බර් 14 වන දින කොළඹදී අත්සන් කරන ලද එම අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන හිටපු ප්‍රධාන පක්ෂ සහ දේශපලන සන්ධානයන් විරෝධය පල කළේ නැත.

ඊට විරෝධය පලකර විශේෂ ප්‍රකාශ නිකුත් කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂය පමණය.

එක්සත් ජනපද තානාපතිවරිය වන ජූලි චන්ග්, මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ සහකාර ජෙනරාල් බි්‍රගේඩියර් ජෙනරාල් ට්‍රනේටන් ගිබ්සන් සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අත්සන් කරන ලද එම අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් වත්මන් මැතිසබයේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයද (සජබ) නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඒ ආරක්ෂක අමත්‍ය ධුරයද දරන ජනාධිපති අනුර කුමාර දිසානායක නායකත්වය දෙන ජාතික ජනබලවේගයේ (ජාජබ) ක්‍රියාත්මක කර ඇති විදේශ ප්‍රතිපත්තිය සමග තමන්ටද එකඟ විය හැකි බව නිසා විය යුතුය.

එක්සත් ජනපද යුද දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන යටතේ ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු/විධිමත් කිරීම ඉලක්ක කළ මෙම ආන්දෝලනාත්මක අවබෝධතා ගිවිසුම ජාජබ 2024 නොවැම්බර් 21 වන දින පැවැත්වූ මහ මැතිවරණය ජයග්‍රහණය කළ පසුව අත්සන් කරන ලද තුන්වන ආරක්ෂාව සම්බන්ධ ගිවිසුමයි. එයින් පළමුවන ගිවිසුම ඉන්දියාව සමග කොළඹදී අත්සන් කිරීම සිදුවිය. ඒ 2005 අප්‍රේල් මාසයේදීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉදිරිපිටය. දෙවන ගිවිසුම ජපානය සමග ටෝකියෝ නුවරදී පසුගිය සැප්තැම්බර් මාසයේදී ක්‍රියාත්මක කරන ලදී. එම අවස්ථාවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහභාගිවිය. එම ගිවිසුම යටතේ ජපානය විසින් නාවික හමුදාවට ආවේක්ෂණ කටයුතු සඳහා ඩ්‍රෝන යානා ලබා දීමට නියමිතය. ඉන්දියාව සහ ජපානය සමග ඇතිකර ගනු ලැබූ එකඟතාවයන් සමග නවතම ඇමෙරිකානු ගිවිසුම විමසා බැලිය යුතුය.

ඇමෙරිකාව, ජපානය සහ ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවට අවේක්ෂණ කටයුතු සඳහා නවීකරණය කරන ලද ගුවන් යානයක් නොමිලේ ලබා දුන් ඔස්ට්‍රේලියාවද චීනයට එරෙහිව ගොඩනඟා ඇති සන්ධානයේ සාමාජික රටවල්ය. මෙම රටවල් සහ චීනය අතර සම්බන්ධතා ව්‍යාකූලය.

ගැටුම්කාරී තත්ත්වයන් හදිසියේ ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි.

යුද තත්ත්වයකදී තායිවානය වෙනුවෙන් හමුදාමය මැදිහත්වීමක් සිදු කරන බවට ජපානය මෑතකදී කළ ප්‍රකාශයට එරෙහිව චීනය ජපානයට ඍජු තර්ජනයක් කළේය. වර්ධනය වෙමින් පවතින ව්‍යාකූල තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාව අතිශය තීරණාත්මක පියවරක් ගෙන ඇත.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ගිවිසුමට එළැඹීම බත්තරමුල්ලේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය. එහිදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ චන්ග් තානාපතිවරිය දෙරට අතර උපාය මාර්ගික ආරක්ෂක සහයෝගිතාවයේ වටිනාකම, අවශ්‍යතාවය සහ වැදගත්කම අවධාරණය කළේය. විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා ආරක්ෂක අමාත්‍ය ධුරය දරන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාව නියෝජනය කිරීමේ වැදගත්කම නැතහොත් සුවිශේෂී තත්ත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර තවදුරටත් වර්ධනය වෙමින් පවතින සම්බන්ධතා හදිසියේ ඇති වූ දෙයක් නොවේ.

මෑතකදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට විරෝධය පලකර විශේෂ ප්‍රකාශ නිකුත් කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂය එක්සත් ජනපද ව්‍යාපෘතියේ ආරම්භය පිළිබඳවත් නිසි අවධානය යොමුකර නැත.

එක්සත් ජනපද ඒකාබද්ධ යුද යාන්ත්‍රණයේ ‘ප්‍රවේශ සහ හරස් සේවා ගිවිසුමට’ (Access and Cross-Servicing Agreement/ACSA) ශ්‍රී ලංකාව ඇතුළු වූයේ 2007 මාර්තු මාසයේදීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එම ගිවිසුමට ඇතුළුවීමට පෙර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂවලින් කිසිදු විමසීමක් කළේ නැත. හවුල්කාර පක්ෂ අතර ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂය විය.

පිටු අටකින් සමන්විත වූ එම ගිවිසුමට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් අත්සන් කරන තුරු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට එය රහසක් විය. එවකට කැබිනට් අමාත්‍යවරුන් වූ ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර එම ගිවිසුමට එරෙහිව කළ ප්‍රකාශය ශ්‍රීලනිප නායකත්වය නොසලකා හැරියේය.

ජනතා විමුක්ති පෙරමුණ ද (ජවිපෙ) ඊට දැඩි ලෙස විරුද්ධ විය. ඒ ආකාරයේ ගිවිසුමක් රටේ ආරක්ෂාවට දැඩි අනතුරුදායක තත්ත්වයක් ඇතිකරන බවට මැතිසබය තුළ සහ එයින් පිටත දිගින් දිගටම ජවිපෙ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව එම ගිවිසුමට ඇතුළුවන මොහොතේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි ඒකාබද්ධ මෙහෙයුම තීරණාත්මක අවස්ථාවක තිබූ අතර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව නිශ්චිත තොරතුරු සැපයීම එම ගිවිසුමට අදාළ නොවූවත් එක්සත් ජනපදය ඊළමට එරෙහි යුද්ධය උඩු යටිකුරු කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ශ්‍රී ලංකාවට ලබා දුන් බව ගෞරවයෙන් මතක් කළ යුතුය. එවකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ රොබට් බ්ලේක් තානාපතිවරයාගෙන් කළ නිශ්චිත ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවි ගබඩා හතරක් යාත්‍රා කරන ප්‍රදේශ නිශ්චිතව ලබා දීම සිදු කළේය. අවි ආයුද පුරවා තිබූ එම යාත්‍රා හතර ශ්‍රී ලංකා නාවික හමුදාව විනාශ කිරීම ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමයේ හැරවුම් ලක්ෂ්‍යයක් බව අවධාරණය කළ යුතුය.

වසර 10 කට අත්සන් කරන ලද එම ගිවිසුම 2017 දී (2007-2017) එජාපය නායකත්වය දුන් යහපාලන රජය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාව නිසියාකාරව දැනුවත් නොකර දීර්ඝ කළේය. මුල් ගිවිසුමේ තිබූ පිටු 8 පිටු 83 වී තිබිණි. ජනාධිපතිවරයා නොසලකා හරිමින් එජාපය ඇමෙරිකානු කඳවුරට ඍජුව එකතු වී තිබිණි. එක්සත් ජනපදය සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රවේශ සහ හරස් සේවා ගිවිසුමෙන් සෑහීමකට පත්වූයේ නැත.

‘හමුදා තත්ත්වය පිළිබඳ ගිවිසුම’ (Status of Forces Agreement/SOFA ) සහ සහශ්‍ර අභියෝගතා සමායතන ව්‍යාපෘති ගිවිසුම (Millennium Challenge Corporation /MCC) පිළිබඳව ද දෙරට සාකච්ඡා කළේය. ‘හමුදා තත්ත්වය පිළිබඳ ගිවිසුම’ අත්සත් කිරීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වැළක්වීය. නමුත් 2019 පැවැත්වූ ජනාධිපතිවරණය එජාප නායක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළා නම් එම ගිවිසුම් දෙක ද ක්‍රියාත්මක වන බවට සැකයක් නැත. එම ජනාධිපතිවරණයට පෙර වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී පැවැත්වූ අවසන් මාධ්‍ය හමුවේදී මෙම ලියුම්කරු ඒ අවස්ථාවේදී රට රත්කර තිබූ MCC ගිවිසුම පිළිබඳව නැඟූ ප්‍රශ්නයට අග්‍රාමාත්‍යවරයා ඍජුව තමන් අත්සන් කරන බව පැවසීය.

ජවිපෙ එක්සත් ජනපදය සමග ඇතිකර ගෙන තිබූ ACSA ගිවිසුමට සහ සුපිරි බලවතාට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ SOFA සහ MCC ගිවිසුම් දෙකට දැඩි ලෙස එරෙහි විය. SOFA අත්සන් කර නොතිබුනත්, ජවිපෙ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක 2020 ජනවාරි 9 වන දින ACSA සහ SOFA යන ගිවිසුම් දෙකම අහෝසි කිරීමට තම පක්ෂයේ සහයෝගය පළකරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැන්වීය. එම ලිපිය අදටත් ජවිපෙ වෙබ් අඩවියේ ඇත ((https($$www’jvps rilanka’com$english$jvp-requests-president-to-abolish-acsasofa-in-consequence-of-threat-of-war-in-middle-east/).

බිමල් රත්නායක අද මැතිසබයේ සභා නයකය. එදා හය දෙනකුගෙන් සමන්විත වූ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක අද ජනාධිපතිය. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහු 2026 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය වන නොවැ. 18 විවාදයට ගැණුනු ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ එක කරුණක් සඳහන් කිරීම කාලෝචිතය.

ආරක්ෂක හමුදාවලට අවශ්‍ය ජීප් රථ 70 ක් සහ ඊට අදාළ තාක්ෂණික උපකරණ ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බව ජනාධිපතිවරයා හෙළිදරව් කළේය. ඊට අමතරව TH 57 වර්ගයේ හෙලිකොප්ටර් 10 එක්සත් ජනපදයෙන් 2026 වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා C 130 විශාල ප්‍රවාහන යානා දෙකක් ද 2026 සහ 2027, පිළිවෙළින් එක්සත් ජනපදයෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ලැබීමට නියමිත බවද පැවසීය. සජබ ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව පුදුම විය යුතු නැත. සජිත් ප්‍රේමදාස එජාපයෙන් වඩා ලොකු කොටස සමග 2020 මුලදී ඉවත් විය. එම කණ්ඩායම එජාපයේ සිටින කාලයේ 2002-2003 කාලයේදී ACSA ගිවිසුම අත්සන් කිරීමට දැඩි වෙහෙසක් දැරීය. අප දන්නා තරමින් අද සජබ නියෝජනය කරන එදා එජාප සාමාජිකත්වය දැරු හිටපු සහ දැනටත් ඉන්නා මහජන නියෝජිතයන් කිසිදු අවස්ථාවක ACSA ගිවිසුමට එරෙහි වූයේ නැත. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නායකත්වය දැරූ පොදුජන පෙරමුණ ඊට එරෙහි වූයේද නැත. එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ ඊට ඉන්දියාව දැඩි ලෙස විරුද්ධ වීම නිසාය. එක්සත් ජනපදයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නව දිල්ලිය සැකයෙන් පසුවිය. එක්සත් ජනපදයේ ඍජු මැදිහත්වීමෙන් ඊශ්‍රායලය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට අවි ආයුද සහ යුද උපකරණ සැපයීම ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවිය. ඒ ඉන්දියාව එදා දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පෝෂණය කළ නිසාය.

මාතලේ දිස්ත්‍රික්කයට අදාළ අයවැය යෝජනා සම්බන්ධයෙන් එම ප්‍රදේශය නියෝජනය කරන රෝහිනී කවිරත්න නොවැ. 11 දින කළ කෙටි ප්‍රකාශයේ MCC ගිවිසුම පිළිබඳව ඉදිරිපත් කළ අදහස එදා පමණක් නොව අදටත් එජාපයේ ස්ථාවරයයි. ඒ පිළිබඳව සජබේ ස්ථාවරයේද වෙනස් වීමට හේතුවක් නැත. එදා MCC ව්‍යාපෘතියට එජාපය දුන් වටිනාකම මන්ත්‍රීවරිය අවධාරණය කළේ මෙලෙසය: “එම්.සී.සී. ව්‍යාපෘතිය යටතේ මාතලේ මාර්ග ප්‍රශ්න විසඳීම සඳහා වැඩිම අරමුදල් වෙන් කර ගැනීමට මා විසින් යෝජනා රැසක් ඉදිරිපත් කරනු ලැබීය. නමුත් එම ව්‍යාපෘතිය රට බෙදන ඇමෙරිකන් කුමන්ත්‍රණයක් ලෙස සලකා එයට එදා රට තුළ දැවැන්ත විරෝධයක් ගොඩනඟනු ලැබීය. එම්.සී.සී. ගිවිසුම අතහැර දැමීම, මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයට තිබූ අවස්ථාව අහිමි කිරීමක් විය.”

මෙවර අය-වැය මගින් මාතලේ දිස්ත්‍රික්කයට සෘජුව අදාළ වන යෝජනා සියල්ලම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යහපාලන රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘති මිස, නව යෝජනා නොවන බවට මන්ත්‍රීවරිය අවධාරණය කලාය. ACSA, SOFA ආරක්ෂක ගිවිසුම්වලට මෙන්ම MCC ගිවිසුමටද එදා ජවිපෙ විරුද්ධ විය. ඒ එම ගිවිසුම් සියල්ල එක්සත් ජනපද උපාය මාර්ගික වැඩපිළිවල ක්‍රියාත්මක කිරීමේ උපාංග ලෙස අවධාරණය කරමිනි.

ඇමෙරිකානු වැඩපිළිවෙළ සමග සමස්තයක් ලෙස සියලුම ප්‍රධාන පක්ෂ අනුගතවී හමාරය. පසුගියදා නව දිල්ලියේ දින තුනක සංචාරයක යෙදුන සජබ සහ විපක්ෂ නායක තවමත් ආන්දෝලනාත්මක ඉන්දීය – ශ්‍රී ලංකා ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් කතා කළ බවට වාර්තා වී නැත.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර විශේෂයෙන්ම ආරක්ෂා කටයුතු පිළිබඳව ගිවිසුම්/ අවබෝධතා ගිවිසුම් සහ ඉන්දියාව සමග පසුගිය අප්‍රේල් මාසයේ අත්සන කරන ලද ආරක්ෂාව ඇතුළු විෂයන් හතක් සම්බන්ධයෙන් ගිවිසුම්ගත වීම සමස්ත ඇමෙරිකානු-ඉන්දීය උපාය මාර්ගික සැලසුම් තුළය. දෙරට අතර ආරක්ෂාව සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව අප රටේ ජනතාව දැනුවත් වූයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2024 දෙසැම්බර් මාසයේ නව දිල්ලියේ කළ තෙදින සංචාරයේදී මෝදි අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයෙනි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ ඉංග්‍රීසි පරිවර්තනයක් කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිකුත් නොකරන්නට යෝජිත ආරක්ෂක අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ අපට දැනගැනීමට ලැබෙන්නේ නැත. ඒ පිළිබඳව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් නොවීය. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සහ ඒකාබද්ධ ප්‍රකාශයේ ඇති පරස්පරතාවය පිළිබඳව මෙම ලියුම්කරු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසූ අවස්ථාවේදී නිලධාරිනියක අවධාරණය කළේ ඒකාබද්ධ ප්‍රකාශය අනුව කටයුතු කරන බවයි. ඊට මාස හතරක් යෑමට පෙර එම ගිවිසුම් හත අත්සන් කරන ලද අතර මාස දෙකක් තුළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ මසැගොන් ආයතනය (Mazagon Dock Shipbuilders) විසින් Colombo Dorkyard Limited හි 51% කොටස් ඇමෙරිකානු ඩොලර් මිලියන 52 කට මිලදී ගනු ලැබීය.

ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් නව ගිවිසුමකට ඇතුළු වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ‘අරගලය’ පුපුරා යෑමට මාස තුනකට පෙර එම ගිවිසුම්ගත වීම සිදුවිය. එවකට බලශක්ති අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් 2022 ජනවාරි මුල අත්සන් කළ ගිවිසුම 2003 මත ගොඩනඟා තිබිණි. දෙරට අතර පළමු වරට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ලිඛිත ගිවිසුමක් ඇතිවූයේ 1987 දීය. ඒ 1987 ජුලි 29 අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමට සමාන්තරවය.

එක්සත් ජනපදය සහ ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය තුළ අප රට නැවත වෙනස් නොවන මාර්ගයකට ඇතුල් වී ඇත. එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 වසරේ දී එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ බලපෑම මත චීනය ඉලක්ක කර ප්‍රකාශයට පත් කළ විදේශ පර්යේෂණ යාත්‍රා රටට පැමිණීම තහනම් කිරීම සම්බන්ධයෙන් ජාජබ ආණ්ඩුව තවමත් නිහඬය. අවම වශයෙන් 2025 ජනවාරි පළමු වැනි දිනට පෙර ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ යුතුව තිබිණි. මෙම වසර අවසන්වීමට ඇත්තේ තව සති පහකි. බලවතුන්ගේ ගැටුම තුළ ශ්‍රී ලංකාව අසරණවී ඇත. එය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් නොවේ. කුඩා ආර්ථිකයක් ඇති බංකොළොත් රටකට නිසි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඇති දැඩි අපහසුතාවය අමුතුවෙන් කිවයුතු නැත. ඉන්දියාවත් එක්සත් ජනපදය ඉදිරියේ ඇඹරෙන තත්ත්වයක් තුළ එම බලවතුන් දෙදෙනා ශ්‍රී ලංකාවට කරන බලපෑම තේරුම් ගැනීම කිසිසේත් අපහසු නැත.

අවසාන වශයෙන් අවධාරණය කිරීමට ඇත්තේ ඉන්දියානු-ඇමෙරිකානු උපායමාර්ගික ගිවිසුම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 කට ගසා ඇති ශ්‍රී ලංකාව නිශ්චිත ගමන් මාර්ගයකට බවයි. එලෙසම ඒ මාර්ගයේ ගමන් කිරීමට දැනට මැතිසබය නියෝජනය කරන සියලුම පක්ෂ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ‘ආර්ථික පරිවර්තන පනත’ හරහා ගැළවිය නොහැකි ලෙසට ගැටගැසී ඇති බවයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here