රට ගිනිතියන හනුමන්තලා සහ දේශපාලන පිංගුත්තරලා!

0
2

මේ සතියේ අයවැය කාරක සභා අවස්ථා විවාදය බෙහෙවින් උණුසුම් කළ සිදුවීම වූයේ ත්‍රිකුණාමලයෙහි විහාරස්ථානයකට අයත් භූමිභාගයක තැන්පත් කරන ලද බුදුපිළිමයක් පොලිසිය විසින් බලහත්කාරයෙන් මෙන් රැගෙන යෑමේ පුවතකි. ඒ සිදුවීමට අදාළ රූප රාමු රූපවාහිනී නාලිකා ඔස්සේ ජනතාවට ද දැකගත හැකිවිය. බැලූ බැල්මට පොලිසියේ බලහත්කාරකමක් ලෙස පෙනී ගිය ඒ සිදුවීම විග්‍රහ කළ බොහෝ දෙනෙක් තුළ වූයේ ද කෝපයක් හෝ අප්‍රසාදයකි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් මෙන්ම ඔහුගේ ප්‍රහාරාත්මක සගයන්ගේ උණුසුම් ප්‍රතිචාර ද රටම නැතත් මාධ්‍ය සමග සබඳතා ඇත්තෝ බලා සිටියහ.

බුදු සසුන බේරා ගනීව්, යන සටන් පාඨය සිරුරේ කොටා නොතිබුණත් හදවතේ රැව් දෙන කණ්ඩායම්වලට මෙය ඉවසා දරාගත නොහැකි සිදුවීමක් වීමද ඉතා ස්වාභාවිකය. සිංහල බෞද්ධ අභිමානය හැර වෙනත් කිසිවක් අනුමත නොකරන අය මෙන්ම භික්ෂුන් වහන්සේලා හා දේශපාලන චරිත ද මෙබඳු සිදුවීමකදී ක්‍රියාත්මක වන ආකාරය මෙන්ම එහිදී දැක්විය හැකි ප්‍රතිචාර ද බොහෝ විට සංහිඳියාව හෝ මානව සබඳතාවන්හි අගය ද නොතකා හරිනසුලුවේ.

දේශපාලන වශයෙන් පසුබැස සිටින හෝ පීඩාවට පත්ව සිටින ජාතිවාදී චරිතවලට මෙය යළිත් එල්ලී සිටීමට හොඳ පිදුරු ගහක් ද වනු ඇත. විපක්ෂ නායක සජිත් මෙන්ම ඒ සිදුවීම වැරදි කොනකින් අල්ලා ගත් කාගෙනුත් පළ වූයේ රණකාමී විලාසයකි. ආණ්ඩුවේ දේශපාලන පසමිතුරන්ට ද මෙය උත්තේජනයක් ලබාදුන් සිදුවීමක් බව පෙනුණි. ඇත්තටම පාර්ලිමේන්තුවේදී එයට ලැබුණු ප්‍රතිචාර හා මාධ්‍යවල සඳහන් වූ තොරතුරුවල සත්‍යයට වඩා අතිශයෝක්තියක් තිබුණු බව පසුව පැහැදිලි විය. එහෙත් සත්‍යය පාවහන් පලඳිනවිට අසත්‍ය රට වටේම ගොස් ආපසුත් පැමිණෙනු ඇතැයි කියති. ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී හෙළි කරන තෙක්ම එම සිද්ධියෙහි සත්‍ය කථාව බොහෝ දෙනෙක් නොදැන සිටියහ. එසේම දැන දැනත් එය විකෘති කරන අය ද වූහ. ඒ ඉකුත් 18 වැනිදාය.

ත්‍රිකුණාමලයේ සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් කොටසක ඉදිකර තිබුණු ආපනශාලාවක් ඉවත් කිරීමට නිකුත් කළ නියෝගයක් මුල්කර ගනිමින් මේ අර්බුදය මතු වී ඇත. මේ ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කළ පැහැදිලි කිරීමය.

“කිසිදු සාධනීය සටන් පාඨයක් මේ පරාජිත දේශපාලන බලවේගවලට ඉතිරිවී නැහැ. ඒ නිසා පරාජිත බලවේගවල අරමුණ බවට පත්ව තිබෙන්නේ ජාතිවාදී අවස්ථා නිර්මාණය කරගැනීමයි. ඒ නිසා පොලිසිය, නීතිය වගේම ඒ නීතිය ඉටු කිරීම හරහා ඇතිවිය හැකි සමාජ කැළඹීම් පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඇතැම් ක්‍ෂේත්‍රවලදී ඒ හා බැඳුණු දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිල්ලට භාජනය කළ යුතුයි. ත්‍රිකුණාමලයෙහි බුදු පිළිමයට අදාළ ප්‍රශ්නය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා. ඒ වගේම මේ බුදුපිළිමය අදාළ පොලිස් ස්ථානයට වැඩම කරවීම පිළිබඳව තබා තිබෙන සටහනේ ඉතා පැහැදිලිව තිබෙනවා, මේ බුදුපිළිමය මෙම ස්ථානයට වැඩම කළේ ආරක්ෂාව සඳහා කියලා. හැබැයි ඊළඟට තිබෙන්නේ මොකක්ද? මෙම බුදුපිළිම වහන්සේ පොලිස් ස්ථානයේ වැඩම කර තිබෙනවා නම් ඊළඟට මෙම ගැටුම එන්නේ පොලිසිය හා ඒ ජාතිවාදී කණ්ඩායම් අතර. ඒ නිසා නැවත එම ස්ථානයට බුදුපිළිමය වැඩම කරවා ඒ සඳහා අවශ්‍ය වන ආරක්ෂාව ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ එම අනාවරණය නිවැරදිය. පොලිසිය අවස්ථාවෝචිතව කටයුතු කළ බව එයින් පැහැදිලිය. එහෙත් පොලිසිය හා භික්ෂුන් වහන්සේලා අතර සිදුවූ පොරබැඳීම් හා කතාබහ ද සමාජ හා වෙනත් මාධ්‍යවල ද වාර්තා කර තිබුණි. ජනාධිපතිවරයා ඊළඟට ඒ පිළිබඳ මෙසේ තවත් විස්තරයක් ද කළේය.

“දැන් ප්‍රශ්නය තිබෙන්නේ අධිකරණයේ. ඊට පෙර ඊයේ දිසාපති කාර්යාලයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේ සඳහා 2014 වසරේ ලබාදී තිබූ බලපත්‍රයක් තිබෙනවා. එහෙත් දැන් මෙය විහාරස්ථානයක් ලෙස හැඳින්වූවාට විහාරස්ථානයක් ලෙස මෙය මෑත කාලයේදී භාවිත වී නැහැ. ආපනශාලාවක් ලෙසයි භාවිත වී තිබෙන්නේ. එම ආපනශාලාවේ නීති විරෝධී ඉදිකිරීම් තිබෙනවා කියලා, එම නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබඳ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝගයක් ලබාදී තිබෙනවා. එම නියෝගයට විරුද්ධව පරිසර අමාත්‍යාංශයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා. පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙය ඉවත් කළ යුතුයි කියන ස්ථාවරය සඳහන් කර තිබුණා. ඊට පසුව පොලිසිය නාගරික සංවර්ධන අධිකාරිය සමග පැවැත්වූ සාකච්ඡාවකදී හාමුදුරුවන් වහන්සේලා ප්‍රකාශ කළා තව සතියක කාලයක් ලබාදෙන්න.”

ජනාධිපතිවරයාගේ මේ පැහැදිලි කිරීම් අනුව මෙම සිදුවීම් මාලාව කිසිදු බාහිර මැදිහත්වීමකින් තොරව සිදුවූ බවද පෙනේ. ඒ අනුව ඒ අදාළ භූමිය ආපනශාලාවක් ලෙස යොදාගත් බවද තහවුරු වේ. පන්සලකට අයත් වුවද එය අධිකරණ ක්‍රියාවලියක් මගින් නිරවුල් කර ගතයුතු ප්‍රශ්නයක් ලෙස අපට හඳුනාගත හැකිය. ඒ සත්‍යය යටපත් කරමින් එයින් මේ ආණ්ඩුවට එරෙහි චෝදනා පත්‍රයක් නැඟීමටත් ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමටත් මේ සිද්ධිය යොදාගත් බවද පෙනී යයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අමතරව මේ සිද්ධිය සම්බන්ධ තවත් විස්තර ද මාධ්‍යවලින් දක්වා තිබේ. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතක උද්ධෘතයන් ද දැක්විණි. එයින් පැහැදිලි වූයේ එ.ජා.ප.යෙන් පත්වූ (ඇය ලබා ගත්තේ ඡන්ද 12ක් බවද දැක්විණි) නාගරික මන්ත්‍රීවරියකගේ අනුග්‍රහයෙන් මෙම නීති විරෝධී අවන්හල ඉදිවූ බවකි. ඒ සටහන ලියූ අය මේ හිටපු නාගරික මන්ත්‍රීවරියට හා ඇගේ සැමියාට ද බරපතළ චෝදනා ගොන්නක් ද නඟා තිබුණි. ඇය අවධාරණය කර තිබුණේ චීවරයත්, ආගමත් මෙසේ ගර්හිත අයුරින් යොදාගෙන මේ අවුල් ජාලයට රුකුල් දුන් බවය.

උතුරු මැද සිංහල සංවිධානයක් පවසන්නේ ද කොළඹ සිට පැමිණි ඒ ප්‍රදේශයට සබඳතාවක් නොමැති අය මේ විෂබීජය පැතිර වූ කතාවකි. එසේම යළි පිටස්තරයන්ට මෙබඳු දේවල් සඳහා ඉඩක් නොතබන බවද එහිදී කියැවුණි. ත්‍රිකුණාමලයේ මෙසේ බොදු ජනතාව කුපිත කරවිය හැකි සිදුවීමක් කරළියට ගෙන එද්දී කොළඹ දේශපාලනයේ සමහරු එයට වුවමනා අනුපාන ද අටුවාටීකා ද එක් කළහ. බැලූ බැල්මට “සැබෑයැයි හිතෙන, ඒක නේන්නම් යැයි මුවඟට එන ඒ සියලු ප්‍රකාශ මේ අර්බුදයේ ඵල නෙළා ගැනීමට කරන ලද බව ද නිසැකය.

කොළඹ විපක්ෂ වේදිකාවේදී කියැවුණේ බුදු පිළිම වන්දනාව ගෝත්‍රික වැඩක් ලෙස මේ ආණ්ඩුවේ ප්‍රධානියකු කියූ බවය. බෝගස වැඩක් නැති ගසකැයි තව අයෙක් කියූ බවය. එපමණක් නොව, අජාසත් රජු එදා දෙව්දත් සමග එක්ව බුදුන් වහන්සේට කෙබඳු සතුරුකම් කළත් කිසිවිටෙක බුදුන් වහන්සේ අත්අඩංගුවට නොගත් නමුත් මේ ආණ්ඩුවේ නායකයා බුදුපිළිමයක් අත්අඩංගුවට ගත් ප්‍රථමයා ලෙස ඉතිහාසගත වන බවක්ද ඒ වේදිකාවේදී අලංකාර උපමා රූපක සමග කියනු ජනතාව ද බලා සිටින්නට ඇත.

මේ එකම ක්‍රියාවක්වත් අපට ද අනුමත කළ නොහැක. පිළිම වන්දනාව බෝ ගස්වලට පිදීම යනු පොදුජන සංස්කෘතියට අයත් පසුව බුදුදහමට ද එක්වූ දේවල්ය. ජනප්‍රිය බුද්ධාගම ලෙස ඇතැම් විද්වත්හු මේවා හැඳින්වූහ. කුමක් වුවත් සංස්කෘතික ක්‍රියාකාරකම් හා ඇදහිලි විශ්වාස පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචන නොකළ යුතුය. එහි අදහස හොරෙන් කළ යුතු බවද නොවේ. ඒවා සමාජයක මුල් බැසගත් දේවල්ය. බුදුදහම තර්කානුකූලව වටහා ගතයුතු විශිෂ්ට දාර්ශනික පදනමක් සහිත ආගමකි.

බුදු සිරිත මෙන්ම ඒ සමග බැඳුණු ඇතැම් සංස්කෘතික චර්යා මූලික බුදුදහම සමග ගැටෙන බව අපගේ ද අදහසය. මාර්ටින් වික්‍රමසිංහයන්ට ද බුදුසිරිත යථාර්ථවාදී නවකථාවක් ලෙස නිර්මාණය කිරීම නිසා දහසක් ගැටලු මතු විය. පසුව ඔහු ඒ මතභේදාත්මක කොටස් සිය කෘතියෙන් (බවතරණය) ඉවත් කළේය. මල් පූජා කිරීම ද සමහරු නිසරු ක්‍රියාවකැයි පැවැසූහ.

ගෝනි ගණන් මල් – අල්ලස් කෙරුවත් බුදුන් නෙවෙයි ඇහැ ඇරල බලන්නේ” යැයි ලියූ කවියකුට ද මිසදිටුවෙකැයි සමාජය දොස් නැඟීය.

මේ කරුණු කීපය සඳහන් කළේ ආගම, සම්බන්ධයෙන් සමාජය තුළ තිබෙන භක්තිය, ගෞරවය ඉතා සංවේදී කරුණක් බව පෙන්වා දීමටය. මෙසේ බලද්දී ආගම්වාදය ඇවිළීම සඳහා ඒවා වැරදි ලෙස සමාජගත කිරීම ඉතා පහසු බව පෙනේ. පන්සල් ගිනි තැබීම් බුදු පිළිම කඩා දැමීම්, බුදුසසුන විවේචනය කිරීම් ආදිය මෙරටේ දේශපාලන බලය සඳහා යොදාගත් නරකම ඉතිහාසයක් අපට තිබේ. “බුදුසසුන බේරා ගනිව්” යැයි අනගාරික ධර්මපාලතුමා එදා පැවැසුවේ විදේශීය ආක්‍රමණ සිදුවූ පරිසරයකය. එහෙත් අද එබඳු සටන්පාඨ කිසිවෙක් අතට නොගනිති. මානව ශිෂ්ටාචාරයේ ඈත ඉතිහාසය විසින් උගන්වන ලද පාඩම් බොහෝය.

දැනට තිබෙන කරුණු අනුව අපට පෙනෙන එකම දෙයක් ඇත. එනම් මේ භූමිය ත්‍රිකුණාමලය විහාරයට පසුකාලීනව රජයෙන් ලැබුණු ප්‍රදානයක් බවත් එහි වූයේ ආපනශාලාවක් බවත්ය. ආපනශාලාව ඉවත් කිරීමට ලැබුණු නියෝගය තිබියදීම කිසියම් පිරිසක් කොළඹ සිට පැමිණ එම පරිශ්‍රයෙහි බුදුපිළිමයක් තැබූ බවද පෙනේ. බුදු පිළිමය පොලිසිය භාරයට පත්වීම හා පසුව යළි එම ස්ථානයේ තැන්පත් කිරීම ආණ්ඩුවේ ක්‍රියාවකි. එය මේ අර්බුදය ඔඩුදිවීම වළක්වාලීමට ගත් පියවරක් විය හැකිය. කුමක් වුවත් මේ වනවිට ප්‍රශ්නය නිරාකරණය වියහැක්කේ අධිකරණ තීන්දුවෙන් බවද පෙනේ. විනිසුරුවරුන් විසින් පවසා ඇත්තේ ද දෙපාර්ශ්වය ගැටලුවලට නොගොස් සාමකාමීව ප්‍රශ්නය විසඳා ගන්නා ලෙසය. එතෙක් ප්‍රශ්නකාරී භූමිය තුළ ඉදිකිරීම් හෝ ඉවත් කිරීම් සිදු කළ නොහැකිය.

මෙහිදී පොලිසියේ ප්‍රතිචාර ප්‍රශ්නකාරී වුවද මේ සඳහා ක්‍රියාත්මක වූ තව පිරිසක් සිටින බවද පැහැදිලිවේ. නීතිය ක්‍රියාත්මක වීම එහි පිටුපස එයට උද්යෝගයක් දක්වන පිරිස් සිටීම නිසා මේ අවුල ඇතිවූ බව කල්පනා කළ හැකිය. කුමක් වුවත් මෙය සිංහල බෞද්ධයන් කුපිත කරවන අන්තවාදයක් වෙත රැගෙන යෑම මුග්ධ ක්‍රියාවකි. පටු දේශපාලනය සඳහා මැදිහත්වන හාමුදුරුවරු ද සිටිති. උන්වහන්සේලා සසුනට වඩා පක්ෂවලට ලැදිවීම හා ගැතිවීම ආගමික සහජීවනයට ද විශාල බාධාවකි. පසුගිය දිනක කටින් කට කනින් කනට ගිය පුවතකින් කියැවුණේ හාමුදුරුවරුන් කීපනමක් රාජපක්ෂ නිකායට අයිතිවන බවක්ලු. එහි ඇත්ත නැත්ත අපි නොදනිමු. එහෙත් එබඳු දේශපාලන ගැතිකම්වල අඩුවක් නැති බව නම් කිව යුතුය.

ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන් උද්වේගයෙන් කතා කළ විපක්ෂ නායක සජිත් පසුව කළ ප්‍රකාශ ද මාධ්‍යවල පළවිය. ඔහු ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවන ලෙස කළ ප්‍රකාශය යහපත් එකකි. එහෙත් ඔහුත් ඔහුගේ සගයනුත් ඉවක් බවක් නැතිව එයට මුලින් දැක්වූ ප්‍රතිවාදී නොමේරූ මුග්ධ දේශපාලන හැසිරීමකි. පසුව විපක්ෂ නායකවරයා සංහිඳියාව ගැන කතා කළේය. මෙය අප තේරුම් ගතයුත්තේ කෙසේද? අවස්ථාවාදීව කපටි ලෙස පීල්ල මාරු කිරීමට දේශපාලනඥයන් සමත් බවද?

කෙසේ හෝ මේ වර්ගයේ ජාතිවාදී ගැටුම් අපට ඉතිහාසයේ දීත් හමුවෙයි. කුප්‍රකට අසූවේ (80) කළු ජූලිය එදා ජයවර්ධන පාලනයේ මිලේච්ඡත්වය පිළිබඳ හැසිරීමක් වුවද එයින් සිංහල බෞද්ධ ප්‍රතිරූපය විනාශ වී ගියේය. බුදුන් වදාළ සූත්‍ර අතට ගත් ඇතැම් බටහිර වෘකයෝ අපට බණ දෙසන්ට ද වූහ. මේ ඉන්දියාවේ අගමැතිවරයකුව සිටි ජවහර්ලාල් නේරුගේ ප්‍රකාශයකි.

“ජනවර්ගවාදී ස්වරූපය ගත් ආගම සහ දේශපාලනය එක්වීම අති භයානක සන්ධානයකි. එම එක්වීමෙන් බිහි වන්නේ අතිශයින්ම විකෘති වූ අවජාත පිරිසකි.”

මේ වර්ගවාදය, ආගම්වාදය, පිළිබඳ අමිහිරි මතක භාරතයට මෙන්ම ශ්‍රී ලංකාවට ද පොදු වූවකි. ඒ බොහෝ තැන්වල ජාතිවාදී ගිනි අවුළුවන ලද්දේ දේශපාලනඥයන් විසිනි.

බලලෝභය යනු එහි ඉලක්කය කරා යෑම සඳහා සියල්ල භාවිත කිරීමේ නරකම මානසිකත්වයකි. එහිදී වඩාත් ඵලදායක තුරුම්පුව වන්නේ ජාතියටත් වඩා ආගම වියහැකිය. ආගම් නියෝජනය කරන භික්ෂුන් වහන්සේගේ ආමන්ත්‍රණයත් උන්වහන්සේගේ ගාම්භීරත්වය පිළිබඳ සංකේතය බඳු චීවරයත් ඉතා ප්‍රබලය.

ත්‍රිකුණාමල සිද්ධියේදීත් ‘සිවුරට අත තිබ්බොත් බලාගෙනයි’ යන තර්ජනාත්මක පාඨය ද ඇසුණි. සීනිවලට කුහුඹුවන් ඇදෙන්නාක් මෙන් මෙහිදීත් ඉදිරිපත් වූ ඇතැම් හාමුදුරුවරුන් සම්බන්ධයෙන් ද විවිධ අදහස් ජනතාව තුළ ද ඇත. මේ ඇතැම් හාමුදුරුවරුන් ඍජුවම දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වී සිටින අය වෙති. මේ වනවිට ඇතැම් නායක හිමිවරු ද මේ ආණ්ඩුව බුදුදහම විනාශ කරන බවට චෝදනා නඟති. කලකට පෙර දේශපාලන ප්‍රචාරය සඳහා දැක්වූ චෝදනා පත්‍ර නැවත අත්වලට ගෙන සිටිති. ජාජබය බුදුදහමට විරුද්ධ නිරාගමික පිරිසකගේ ව්‍යාපාරයක් ලෙස ඇතැම් උගතුන්ගෙන් ද පැවසුණි. අනේ අපට දාන වේලත් ඉවර යැයි ඇතැම් නායක හිමිවරු ද කීහ. එහෙත් ජනහද පැතුම වූයේ මේ ආණ්ඩුව බව ඡන්ද ප්‍රතිඵල අනුව පැහැදිලිය. ඇත්ත වසයෙන්ම බෞද්ධ විරෝධී, එසේත් නැත්නම් නිරාගමික ආණ්ඩුව යනුවෙන් නැඟුණු විවේචන බහුතර ජනතාව නොතකා හැරියේ ද කිසියම් දේශපාලන විඥානයකින් බවද අප තේරුම් ගතයුතුය.

විපක්ෂ නායක සජිත් මුල්වටයේ දැක්වූ අදහස් මෙන්ම පොහොට්ටුවේ නාමල් දැක්වූයේ ද ආණ්ඩුවේ අනුබලය මත පොලිසිය මෙහෙයවා මේ අර්බුදය ඇති කළ බවය. තමිල් අරසු කච්චි මන්ත්‍රී රාසමානික්කම් පැවසුවේ නීති්‍යානුකූලව ගොඩනඟන පන්සලකට රාත්‍රියේ බුදු පිළිමයක් තැන්පත් කිරීම ප්‍රශ්නයක් බවය. ඔහු විපක්ෂ නායක සජිත්ට, දයාසිරිට මෙන්ම නාමල්ට හා දිලිත්ට ද පැවසුවේ ජාතිවාදය නොඅවුස්සන ලෙසය. එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සජිත්ට චෝදනා කර ඔහු සමාව ගත යුතු බවද කියා තිබුණි. මේ මන්ත්‍රීවරයා පැවසූ තොරතුරු පොලිස් ඇමැතිවරයා මුලින් දැන නොසිටි බවද පෙනුණි. ඇත්තටම දේශපාලනය යනු බොහොම ප්‍රවේශමින් නොපැකිලව සත්‍යය හා යථාර්ථය මත පදනම්ව සිදුවිය යුත්තකි. එහෙත් එහිදී ජනතාව ආමන්ත්‍රණය කළ යුත්තේ හදවතටය.

අප යෝජනා කරන්නේ බුද්ධියට ඇමැතීම වරදක් බව නොවේ. එහෙත් මේ දේශපාලනය මුළුල්ලේම දසක ගණනක් මෙරටේ සිදුවූයේ හදවතට අමතා ජනතා ඇසට වැලි ගැසීමය. සිංහල බෞද්ධයා බේරා ගැනීම සිංහල බෞද්ධ නායකයකු ජාතියට සිටීම ඒ ජනවිඥානය තුළ ද විය. ජාජබය ඒ ජනමතය වෙනස් කිරීමට සමත් විය. වැඩවසම් ප්‍රභූ දේශපාලනයෙන් විදෙමුද? නැත්නම් ඒ චෞරයන්ට රට යළිත් භාර කරන්නේද? යන ප්‍රශ්නය ජාජබය නැඟීය. ජනතාව ඔවුන් විශ්වාස කර දේශපාලන ප්‍රභූවරුන් නන්නත්තාර කළ අයුරු කවුරුත් දනිති. එහෙත් මේ ආණ්ඩුවේ ඇතැම් සමාජ වෙනස්කම් හා මැති ඇමැතිවරුන්ගේ ඇතැම් අදහස් සම්බන්ධයෙන් ද ජනතාව තුළ චකිතයක් ද ඇති විය. දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම, සමලිංගිකයන් ප්‍රවර්ධනය, බුද්ධාගමට අඩු සැලකිලි වැනි චෝදනා සමාජය තුළ හෙමින් හෙමින් තැන්පත් විය.

මෙබඳු අන්තවාදී හෝ සත්‍යය නොවන තේමා පාඨ ජාතිවාදීන්ගේ දේශපාලන ගබඩා තුළ ගොනු විය. ආණ්ඩුවේ පසමිතුරෝ ද ඒවා විචිත්‍ර අලංකාර ලෙස ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කළහ. වෙනකක් තබා විපක්ෂවල මහා ජන හඬ ලෙස හැඳින්වූ 21 නුගේගොඩ රැළියට ආණ්ඩුව බිය වී සිටින්නේය යන අදහසක් ද පැතිර තිබුණි. මහින්ද රාජපක්ෂ මේ පන්සලට කළ පරිත්‍යාගය පවා මේ ආණ්ඩුවේ සමහරු නොඉවසතියි හාමුදුරුවන්ගෙන්ම ප්‍රකාශ වෙනවිට ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද?

ජනාධිපති අනුර ඉතා පැහැදිලිව පැවසූ පරිදිම මේ ස්ථානය විහාරයක් නොව ආපනශාලාවකි. පන්සලේම හාමුදුරු නමක් පැවසුවේ ද එය පන්සලේ නඩත්තුව සඳහා ගෙනගිය සුබ සාධන ආයතනයකි. මෙතැන තිබෙන්නේ ‘ජූස් බාර්’ එකකැයි පැවසූ තරුණයකුට දොස් ඇසීමට ද සිදුව ඇතැයි කෙනෙක් අප සමග ද කීවේය. ප්‍රකට පූජා භූමියක නායක හිමිනමක් උද්වේගයෙන් පැවසුවේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දී තිබෙන තැන නැති කිරීමට මේ ආණ්ඩුවට ඉඩ නොදෙන බවය. ජනාධිපති අනුර කුමාර කියන්නේ ජාතිවාදයට ඉඩ නොදෙන බවය.

ජනාධිපති අනුර කුමාර පැවසූ පරිදිම දැන් මේ සිද්ධිය අල්ලාගෙන නැටිය යුතු නැත. රට ගිනි තැබීමට සැරසෙන දේශපාලන හනුමන්තලාට ද ඉඩ දියයුතු නැත. විහාරස්ථානයට ලබාදුන් ඉඩමක් වුවද එහි තිබී ඇත්තේ අවන්හලකි. එය හැඳින්වූයේ ‘ෘඹඔක්‍්‍ය ඊ්ශ ඣත්‍ත්‍ෂ්’ නමින්ය. ඒ නම වුවද ව්‍යාපාරික නමකි. මේ ව්‍යාපාරය පන්සලට සම්බන්ධ භූමියක පවත්වාගෙන ගොස් ඇත්තේ ද අනීතික ලෙසය. කුමක් වුවත් මේ ප්‍රශ්නයේ මුලට ඇත්තේ ද දූෂිත දේශපාලනයකි. සියල්ල ගිනි ගනිද්දීත් ඒ දේශපාලන සෙවණැලි සක්‍රිය වී තිබෙන බවද පෙනී යයි.

ජනාධිපති අනුර යළි තංගල්ලේ රටම එකට හමුවේදීත් අවධාරණය කළේ කුමන හේතුවක් නිසාවත් ඒ ජාතිවාදී විනාශකාරි දේශපාලනයට යළි හිස එසවීමට නොදෙන බවය. පළාත් සභා ඡන්දය කඩිනම් කරගැනීමට අවශ්‍ය සියලු සහාය දෙන බව සජබය පාර්ලිමේන්තුවේදීත් කියා සිටියේය. එසේම මේ ජාතිවාදි දේශපාලන අනතුර අවසන් කිරීමට ද විපක්ෂය කොන්දේසි විරහිතව සහාය දෙන්නේ නම් කොපමණ අගේද? ජනාධිපතිවරයා තංගල්ලේ දී පැවසූ පරිදිම පරණ දේවල් හා පරණ ලිපිගොනු වුවමනා නැත. අලුත් ගමක්, අලුත් රටක් හැදීම හැම දේශපාලන ව්‍යාපාරයකම අපේක්ෂාව වියයුතුය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here