ආසියා ක්‍රිකට් වසන්තය ඇරඹෙයි

0
15

වර්ෂ 1975 ජූනි 07 වැනිදා ශ්‍රී ලංකාව ප්‍රථම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය බටහිර ඉන්දීය කොදෙව්වන් සමග එංගලන්තයේ මැන්චෙස්ටර්හි පිහිටා ඇති ට්‍රැෆෝඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

වර්ෂ 1982 පෙබරවාරි 17 සිට 21 දක්වා එංගලන්තය සමග ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ටෙස්ට් තරගය කොළඹ පී. සරවනමුත්තු
ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මේ ආරම්භය තුළින් ශ්‍රී ලංකාව කොතරම් වේගයෙන් හිරු නොබසින අධිරාජ්‍යයේ ආධිපත්‍යය හිමිකරගෙන සිටි ක්‍රිකට් ක්‍රීඩා කරන තවත් බොහෝ රටවල් සමග උරෙනුර ගැටී, අංක 01 ට ඔසවා තබන්නට වැඩි කාලයක් ගත කළේ නැත.

ලෝකයේ සියලුම අතිදක්ෂ ක්‍රිකට් කණ්ඩායම් දණගස්වමින් වර්ෂ 1996 මාර්තු 17 වැනිදා එක්දින ලෝක ක්‍රිකට් කුසලානය ගෙන ඒමට තරම් ශ්‍රී ලංකාවේ සිංහ පුතුන්ගේ දක්ෂතා ඒක රේඛීය වුණි. එයින්ද නොනැවතුණු සිංහ පුතුන් 2007 වසරේදී සහ 2011 වසරේදී එක්දින ලෝක කුසලාන අනුශූරයන් බවට පත්වීමත්, එමෙන්ම 2014 වසරේදී 20 විස්ස ලෝක කුසලාන ශූරයන් වීමද, 2022 වසරේදී 20 විස්ස ආසියානු කුසලාන ශූරයන් වීමද, අනභිබවනීය ලෙස ලෝක ක්‍රිකට් ඉතිහාස වාර්තා පොත් අතරට එකතු විය.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉතා ජවසම්පන්න බව උක්ත කාරණා විසින් මොනවට පැහැදිලි වේ. වික්ටර් රත්නායක මහතාගේ ගීතයක කියවෙන රණ්ඩු වෙවී…. යාළු වෙවී…. දුව පැන වතු මිදුලේ…. මෙන් අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝද, දිනමින්, පරදිමින් අඛණ්ඩව ඉදිරියට ආවෝ වෙති. තරගයක් පැරදුණු විට, බැණ වැදීම්, අගෞරව කිරීම්, ස්ථාන අහිමි වීම්, යම් යම් අවස්ථාවල අපේ රටේද, නොතිබුණා නොවේ.

නමුත් අප අමතක නොකළ යුතු කාරණා ඇත. අපගේ අසල්වාසී රාජ්‍යයේ සිනමා ලෝලීන්, සිනමා රංගධරයන් වෙනුවෙන් දිවි පූජා කළ අවස්ථා තිබුණු අතර, ක්‍රිකට් ක්‍රීඩාවට ද එය ආරෝපණය වෙමින්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දිවි පූජා කළ ක්‍රිකට් ලෝලීන්ද බිහි වූ බව අප දන්නා කරුණකි. එයට ද, අමතරව තරගයක් පැරදුණු විට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාස පොඩි පට්ටම් කර දැමූ අවස්ථා ද තිබුණි.

ඒ තරමට ක්‍රීඩා ලෝලීත්වය තුළ අධ්‍යාත්මිකව අන්තගාමී වූ පිරිස් සිටියහ. නමුත් වාසනාවට මෙන් වෙනත් රටවල එසේ නොවුණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මිනිස් රැල්ලක් එක් වූ විට එවැනි අමනෝඥ තීරණ ගන්නට තරම්, බුද්ධියෙන් ප්‍රහීන වූ අය නොසිටියහ. තරගයක් හෝ තරගාවලියක් පරදින විට, අපි අනාගතය පිළිබඳව සුබ සිහින දකින්නන් වශයෙන් යටි සිතින් හෝ මෙසේ සිතිය යුතුය.

ඉන්දියාව වැනි රටක් ගත් කළ ශ්‍රී ලංකාව මෙන් 60 ගුණයකටත් අධික විශාලත්වයකින් යුත් රටකි. තරගකරුවන් 11 දෙනකු එවැනි රටකින් තෝරා ගැනීමේ සම්භාවිතාව කොතරම් ඉහළ අගයක පවතීද, තවත් බොහෝ රටවල ද, එසේමය. තවද, ඔස්ට්‍රේලියාව වැනි රටක් ගත් කළ ඉහත කී පරිදි ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිවීමේ සම්භාවිතාව ජනගහනයට සාපේක්ෂව ඉහළ අගයක පැවතීම නිසා අති දක්ෂයන් බිහිවීම සිදුවන අතර, ක්‍රිකට් තාක්ෂණය අතින් ඉතා ඉහළ මට්ටමක සිටී. කොටින්ම වෙනත් කිසිදු රැකියාවකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තම කාලය කැප කිරීමට (Full Time) තරගකරුවන්ට අවස්ථා සැලසුනේ දැනට බොහෝ කලකට පෙරය.

තවද, ඔස්ට්‍රේලියාව වැනි රටවල ක්‍රිකට් පිළිබඳව උපාධියක් දක්වා යෑමට පවා හැකි බව අප දන්නා කරුණකි. එවැනි ධනවත් රටවල තාක්ෂණික හැකියාව ක්‍රිකට් වෙනුවෙන් උපරිමයෙන් භාවිතා කරයි. කොටින්ම ක්‍රීඩකයාගේ ක්‍රීඩා හැකියාවන් පවා ඔහුට දැනුම ලබාදෙමින්, ඔහුගේ පුහුණුකරුවන් ඇතුළු බලධාරීන් තාක්ෂණය අනුව ප්‍රතිවාදීන්ගේ සියලුම අඩුපාඩු හා ඔහු ක්‍රීඩා කළ යුතු පිළිවෙළ පිළිබඳ තරගයේ සෑම ඉදිරි තත්පරයක් පිළිබඳවම ඔහුව පුහුණු කරයි. ඒ අනුව ක්‍රීඩකයාගේ දක්ෂතාවයද, අභිභවා තාක්ෂණය ඉහළට පැමිණ ඇත.

අප වැනි තුන්වන ලෝකයේ මෙන්ම දියුණු වෙමින් පවත්නා රටකට එම පිරිස සමග තරග කිරීම කොතරම් අපහසුද? නමුත් අප රටේ ක්‍රිකට් ආයතනය, ක්‍රිකට් ක්‍රීඩා සමාජ, අනුග්‍රාහකභවතුන්, මුද්‍රිත, ශ්‍රව්‍ය, දෘෂ්‍ය සියලුම මාධ්‍ය ආයතන වගකීම කරට ගනිමින් ගලිවරයන්ට එළව එළවා පහරදීම සඳහා ලිලිපුට්ටන් යෝධයන් කරවයි.

ක්‍රිකට් වසන්තය යළිත් ඇරඹී ඇති බව තවත් අපට පසක් වන්නේ, පසුගිය කාලවල බොහෝ කම්කටොලු මැදින් පැමිණ මෙම ජයග්‍රහණ ලබමින්, මල් පාවඩ මතින් ගමන් ගන්නා ගමන් මාර්ගය දෙස බැලීමෙනි.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවති එක්දින තරගාවලිය 2-0 වන විශිෂ්ට ආකාරයේ ජයග්‍රහණයක් ලබමින් ශ්‍රී ලංකාව අණසක පතුරවමින් තම ගමනට තියුණු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. 20 විස්ස තරගාවලියද, මේ වන විට සක්‍රීයව පවතින අතර, එහි ප්‍රථම ජයග්‍රහණය ලබමින් එම තරගාවලියේද ජයග්‍රහණය ලබන බවට පෙරනිමිති පහළකොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත්ව ඇති මේ මොහොතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සැප්තැම්බර් 09 වන අඟහරුවාදා සිට සැප්තැම්බර් 28 වන ඉරිදා දක්වා ලෝකය පුරාම කතාබහට ලක්වන තවත් අති විශිෂ්ට තරගාවලියක් වන ආසියානු කුසලාන තරගාවලිය ඩුබායි හා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය මෙවර කණ්ඩායම් 08 ක් එක්ව වර්ණවත් කිරීමට නියමිතය. එනම්, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, හොංකොං ආදී රටවල් ය.

මෙම ආසියානු කුසලාන තරගාවලිය ඇරඹී ඇත්තේද, 1984 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාර්ජා හිදීය. එහිදී, අවසන් තරගය ඉන්දියාව හා ශ්‍රී ලංකාව ක්‍රීඩා කර ඇති අතර එයින් ඉන්දියාව ජයග්‍රහණය කර ඇත. මේ වන විට 20 විස්ස ආකෘතියක් යටතේ ක්‍රීඩා කරනු ලබන මෙම ආසියානු කුසලාන තරගාවලිය ඇරඹී ඇත්තේ එක්දින ආකෘතියක් යටතේ වීම විශේෂත්වයකි. ඉන් පසුව එය විකාශය වූයේ සහ අවසන් තරගය ජයග්‍රහණය ලැබුවේ මෙලෙසින්ය,

1986 – ශ්‍රී ලංකාව හා පකිස්ථානය (ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.)

1988 – ඉන්දියාව හා ශ්‍රී ලංකාව (ඉන්දියාව ජයග්‍රහණය කර ඇත.)

1990 – ඉන්දියාව හා ශ්‍රී ලංකාව (ඉන්දියාව ජයග්‍රහණය කර ඇත.)

1995 – ඉන්දියාව හා ශ්‍රී ලංකාව (ඉන්දියාව ජයග්‍රහණය කර ඇත.)

1997 – ශ්‍රී ලංකාව හා ඉන්දියාව (ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.)

2000 – පකිස්ථානය හා ශ්‍රී ලංකාව (පකිස්ථානය ජයග්‍රහණය කර ඇත.)

2004 – ශ්‍රී ලංකාව හා ඉන්දියාව (ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.)

2008 – ශ්‍රී ලංකාව හා ඉන්දියාව (ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.)

2010 – ඉන්දියාව හා ශ්‍රී ලංකාව (ඉන්දියාව ජයග්‍රහණය කර ඇත.)

2012 – පකිස්ථානය හා බංගලාදේශය (පකිස්ථානය ජයග්‍රහණය කර ඇත.)

2014 – ශ්‍රී ලංකාව හා පකිස්ථානය (ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.)

2016 – ඉන්දියාව හා බංගලාදේශය (ඉන්දියාව ජයග්‍රහණය කර ඇත.)

2018 – ඉන්දියාව හා බංගලාදේශය (ඉන්දියාව ජයග්‍රහණය කර ඇත.)

2022 – ශ්‍රී ලංකාව හා පකිස්ථානය (ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.)

2023 – ඉන්දියාව හා ශ්‍රී ලංකාව (ඉන්දියාව ජයග්‍රහණය කර ඇත.)

ඉහත දැක්වූ අයුරින්, ශ්‍රී ලංකාව ජයග්‍රහණ 6 ක් සඳහාද, ඉන්දියාව ජයග්‍රහණ 8 ක් සඳහා ද, පකිස්ථානය ජයග්‍රහණ 2 ක් සඳහා ද, හිමිකම් ලබා ඇත.

තවද 2025 ආසියානු කුසලාන තරගාවලිය දෙස සැමගේ ඇස් යොමුවන්නට හා මේ පිළිබඳව කථා බහක යෙදෙන්නට තවත් ප්‍රභල කාරණාවක් ඇත. එනම්, ශූරතාවය සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක (USD 300,000) මුදල් ත්‍යාගයක් මෙන්ම (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 9 කට අධික මුදලක්), අනුශූරතාවය සඳහා ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් (USD 150,000) මුදලක් ද, අවසන් මහා තරගයේ වීරයා සඳහා ඇමෙරිකානු ඩොලර් පන්දහසක් (USD 5000) ආදී වශයෙන් විශාල මුදල් ත්‍යාග ලබාදීමට, සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබීමයි.

මේ දිනවල ලබන්නා වූ ජයග්‍රහණ සමගින් ශ්‍රී ලංකාව මෙම තරගාවලියද, ජයග්‍රහණය කරනු ඇතැයි සුවහසක් ශ්‍රී ලාංකීය ජනතාවගේ ඒකායන අභිප්‍රායයි. එම බලාපොරොත්තු මල්පල ගැන්වෙන දිනය වැඩි ඈතක නොවේ, සැප්තැම්බර් 28 ඉරිදායි. එතෙක් අද සිටම සියලුම තරග සමගින් අපි ඒකාත්මික වෙමු.

සටහන :- චමෝද් හංසන සෙනෙවිරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here