ගණේමුල්ල සංජීව ඝාතනයට අනුබල දුන් 25 සහ 35 සැකකරුවන්ගෙන් ප්‍රකාශ ගන්න නියෝග

0
1

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල ලබා දුන් බව කියන විසිපස්වන සහ තිස්පස්වන සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (21) අධිකරණයට දැන්වීය.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධියට අදාළව වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළ එම සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ විමර්ශන කටයුතුවලට අවශ්‍ය බව පවසා සිටි අවස්ථාවේදී එලෙස නියෝග කෙරිණි.

නඩුව කැඳ වූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෝ 5 දෙනෙක් බූස්ස බන්ධනාගාරය මගින් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

පහළොස්වන සැකකාර ඉෂාරා සෙව්වන්දිට පලා යෑමට ආධාර අනුබල දීම මත රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවෝ 3දෙනෙක් සහ සැකකාරියෝ දෙදෙනෙක් බන්ධනාගාර නිලධාරින් විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

සිද්ධියට අදාළව එම ප්‍රධානපෙළේ සැකකරුවන් 9 දෙනා සිද්ධියට අදාළව 28 වන සැකකරු සිට 36 සැකකරු දක්වා නම් කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

එම නම් කරන ලද සංවිධානාත්මක සැකකරුවන් 9 දෙනා අතරින් සිව්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.

අනෙක් නම් කරන ලද සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

සිද්ධියට අදාළව නම් කරන ලද 35 වැනි සැකකරු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන ලද වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

එම සැකකරු මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා එහිදී දැන්වීය.

දැනට සිද්ධියට අදාළ 18 වැනි සහ 21 වැනි සැකකරු පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත සිටින බවට වාර්තාවක් ද විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (21 දා) අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙම සිද්ධියට අදාළව අනෙක් සැකකරුවන් පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට සහ අලුත්කඩේ අංක 8 අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා සම්බන්ධයෙන් වෙන් වෙන්ව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් කරන ලද නියෝගයට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය එම වාර්තා ඉදිරිපත් කළේය.

සිද්ධියට අදාළව සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ, ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන පිරිසට ඇප ලබාදෙන ලෙසයි. එම සැකකරුවන් ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවකට අයත් නොවන බව නීතිඥවරු සඳහන් කර සිටියහ. කොළඹ අපරාධ කොට්ඨාසය 190 වගන්තිය යනුවෙන් අලුත් නීති සාදා මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන බව නීතිඥවරු සඳහන් කළහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඇප ලබාදීම සම්බන්ධයෙන් සාක්ෂි සම්පීඩන වාර්තා සලකා බලා මීළඟ නඩු දිනයේදී ඇප ලබාදීමේ ඉල්ලීම පිළිබඳ සලකා බලන බව අධිකරණයට දන්වා සිටියේය. සිද්ධියට අදාළව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය නොවැම්බර් 5 කැඳවන ලෙස නියෝග කරමින් සැකකරුවන් එදින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here