ක්‍රිකට් ක්‍රීඩක චාමිකට එරෙහි ගුවන් සේවිකාව පැවරූ නඩුව දෙසැ. 08 දාට කල්යයි

0
1

එක්කො විවාහ වෙන්න – නැත්නම් නඩත්තු ගෙවන්න

තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා ගුවන් සේවිකාවක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව පවරා ඇති නඩුව දෙසැම්බර් මස 08 දා කැඳවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසරත්න මහතා ඊයේ (21 දා) නියම කළේය.

ගුවන් සේවිකාව ගොනුකර තිබෙන පැමිණිල්ලට අදාළ නඩුව ඊයේ (21 දා) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ එසේ නියම කළේය.

විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සමඟ සබඳතාවක් පවත්වාගෙන ගිය බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙක් සිටින බවද ඇය සිය පැමිණිල්ල මඟින් අධිකරණයට දැනුම් දී තිබුණි.

විවාහ වෙන බවට ඔහු තමන්ට පොරොන්දුව ලබා දුන් නමුත් ඔහු තමන් හා විවාහ ගිවිස නොගත් බවත් පසුව ඔහු තමාව හා දරුවාව අතහැර වෙන්ව සිටින බවද පවසන ඇය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ව විවාහ කර නොගන්නේ නම් දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙසට ඔහුට නියෝගයක් ලබාදෙන ලෙසයි.

සිද්ධියේ සැකකරුවකු වන චාමික කරුණාරත්න ඊයේ (21 දා) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ ඔහු අසනීප තත්ත්වයෙන් පෙළෙන බැවින් නඩුව සඳහා සහභාගී නොවූ අතර ඉදිරි නඩු වාරයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

පැමිණිළිකාර ගුවන් සේවිකාව හා සැකකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැක්වූ කරුණු සලකා බලමින් මහෙස්ත්‍රාත්වරයා එම නඩුව දෙසැම්බර් මස 08 වන දින නැවත කැඳවීමට දින නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here