නීතියටත් කපුටො කොටයි

0
8

සමාජ දේශපාලන ක්ෂේත්‍ර උණුසුම් කළ සුවිශේෂ පුවත් ලෙස හැඳින්විය හැකි කිසිවක් නොමැතිවම මේ සතිය ගෙවී ගියේය. ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සැඟවී සිටිමින් මෙරටේ භීෂණය දූෂණය වැපිරූ කුප්‍රකට පාතාල කල්ලියක් ඉතා සූක්ෂම මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොලිසිය ගැන ප්‍රශංසාත්මක වාර්තා ලියැවෙද්දී පොලිසියේ 159 වන ජාතික සැමරුම් දිනය ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සතියේ ජනාධිපතිවරයා සහභාගි වූ ප්‍රමුඛ උත්සව දෙක වසයෙන් සැලකිය හැක්කේ ද මේ ජාතික පොලිස් සැමරුම හා ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරයට නිමිති වූ සිදුවීම් කීපයකි. උතුරු නැඟෙනහිර ජනතාවට ආමන්ත්‍රණය කිරීමට රාජ්‍ය නායකයකු ඒ ප්‍රදේශවල සංචාරය කිරීම මොන අතින් බැලුවත් අතිශය වැදගත් සිදුවීමකි. උතුරේ බොහෝ දේශපාලනඥයන්ට නම් දකුණේ සිට උතුරට යන රාජ්‍ය නායකයකු පිළිබඳව වුවත් ප්‍රසන්න හැඟීම් ඇති නොවන බවද අපි දනිමු. ජනාධිපති අනුර සාමාන්‍ය දෙමළ ජනයා ආමන්ත්‍රණය කිරීම ඒ පටු අරමුණු සහිත දේශපාලන ව්‍යාපෘතිවල ගමනට හරස් වන්නකි.

අප මෙයට පෙර ද විවිධ අවස්ථාවලදී සඳහන් කළ ආකාරයටම මේ ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව තරම් පීඩනයට හිංසාවට ලක්වූ කොටසක් මෙරටේ නැති තරම්ය. යුද්ධය අවසන් වී කොපමණ කාලයක්ද? තවමත් ඒ ජනතාවගේ ඉඩම්, ගෙවල් දොරවල් ආදිය පවා ඔවුන්ට හිමි වී නැත. ජනාධිපතිවරයා පැවසූ පරිදිම උතුරේ ඉඩම් ආපසු ඒවායේ හිමිකරුවන්ට ලබා නොදුන්නේ යුද බියක් නිසාය. යළිත් යුද්ධයක් ආවොත් යන සැකය නිසාය. එහෙත් ජනාධිපතිවරයා සහතික කර පැවසුවේ යළි උතුරට යුද්ධයක් නොඑන බවය. යුද්ධය නිසා අතුරුදන් වූ තම පවුලේ සාමාජිකයාට යුක්තිය සාධාරණය ඉටු කරගැනීමට එන අම්මලාගේ, නෑයන්ගේ මුහුණු රූපවාහිනියෙන් දකින අපට නම් සිතෙන්නේ අපේ පාලකයන් තම වගකීම් ඉටු නොකළ පිරිසක් ලෙසය. ජාත්‍යන්තරයේ සිට එන බොහෝ අය මානවහිමිකම්, නීතියේ සමානත්වය වැනි දේවල් අලෙවි කරන ‘සේල්ස් රෙප්ලා’ හෙවත් ඒජන්තයන් පමණි. මේ අම්මලාගේ අතට දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් ලියූ පාඨයක් ඇතුළත් පෝස්ටරයක් දී ගතමනාව බේරාගන්නා අය උතුරේ මෙන්ම දකුණේ ද සිටිති. එහෙත් ප්‍රශ්නය විසඳී නැත. උතුරේ ආරක්ෂක හමුදා අවශ්‍ය ප්‍රමාණය රැඳවිය යුතු බවට විවාදයක් නැත. එය සුමන්තිරන්ලා කියන ආකාරයේ ‘අපේ ජනතාව’ බිය වද්දන දෙයක් වියයුතු නැත. මා කල්පනා කරන්නේ දකුණේ දේශපාලන ප්‍රභූතන්ත්‍රය පරාජයට පත් කළ පසුබැස්වූ ආකාරයටම උතුරේ ප්‍රභූතන්ත්‍ර දේශපාලනය අවසන් වී නැති බවය.

අද වසර හැත්තෑවක් ඉක්ම වූ දකුණේ පැරණිම පක්ෂ දෙකක් වන ශ්‍රීලනිපයට හා එජාපයට අත් වී තිබෙන ඛේදවාචකයත් රටම දනී. ඒ එකම පක්ෂයක හෝ නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ වුවද නැත. ශ්‍රීලනිපයේ 74 වන සංවත්සරය නීති විරෝධී යැයි ඒ පක්ෂයේ දොර වැසී තිබෙන දයාසිරි ජයසේකර කියයි. මොනවා වුවත් දයාසිරි සජබයේ හෝ එල්ලී මන්ත්‍රීවරයකු වී සිටියි. එහෙත් ශ්‍රීලනිපයේ ඩාර්ලි පාරේ මූලස්ථානයේ පිනුම් ගසන නිමල් සිරිපාලලා කල්ලියම දේශපාලන අනාථයෝ වී නොසිටිත්ද?

එජාපයේ 76 වන සංවත්සරය රනිල්ගේ අසනීප තත්ත්වය නිසා කල්ගිය බව වාර්තා විය. ඔහුගේ පක්ෂය තිබෙන්නේත් සිරිකොත කාර්යාලයේය. අලියා ලකුණ ද අත ලකුණ ද අද දේශපාලනයේ නැත. රනිල් වෙනුවෙන් ගෑස් සිලින්ඩරයෙන් පත්ව සිටින්නේ එජාපයේ අනුමැතිය නැති අයෙකැයි ද කියති. ඒ රණ්ඩුවලින් අපට වැඩක් නැත. රටට ද වැඩක් නැත. ජනතාවට එපා වූ පක්ෂවල දේශපාලනය තීන්දු කරන ඡන්ද ක්‍රමය නොවන්නට මේ බොහෝදෙනකුගේ මැත දෙඩවීම් ද අවසන් වනු ඇත. එහෙත් ඕනෑම වේලාවක රනිල්ට පාර්ලිමේන්තුවට ඒමට ඒ ක්‍රමය තුළ ඉඩකඩ තිබේ. එබඳු හා හූවක් ද ඇසෙයි. එහෙත් එය මේ පරාජිත දේශපාලනයටත් නටබුන් වී යමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයටත් අර්ථවත් බලපෑමක් සිදුකරන බවක් කිව හැකිද?

කුමක් වුවත් මේ ආණ්ඩුව දෙස අප බලා සිටින ප්‍රධාන කරුණ නම් ඒ දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී බංකොලොත් බවින් රට මුදා ගැනීමය. ඒ සඳහා අනිවාර්ය දේශපාලන ප්‍රතිසංස්කරණය කල් නොයවා ඉදිරිපත් කිරීමට අපි යෝජනා කරන්නෙමු. ඒ දේශපාලන පුනරුදය උතුරට ද ලබාදිය යුත්තකි. සිය උතුරේ සංචාරයේදී ජනාධිපති අනුර එයට අදාළ දේශපාලනික ඇඟවීම් කීපයක්ම කර තිබුණි. මෙහිදී කිසිසේත්ම නොතකා හැරිය නොහැකි සිදුවීම වන්නේ ජනාධිපතිවරයාගේ කච්චතිව් සංචාරයයි. කච්චතිව් යනු එදා සිරිමා බණ්ඩාරනායක පාලන සමයක දී ශ්‍රී ලංකාව විසින් තහවුරු කරගන්නා ලද හිමිකමකි. සිරිමා හා ඉන්දිරා යන දෙරටේම අගමැතිධුර හෙබ වූ දෙදෙනකුගේ බුද්ධිමය හා හෘදයංගම බැඳීම් නිසාම කච්චතිව් ඔප්පුව අපට ලබාගත හැකි විය. එහෙත් තමිල්ණාඩු ඡන්ද පෙට්ටිය සඳහා අදටත් මෙම කච්චතිව් දූපත ගැන සංවාද මතුවෙයි. කච්චතිව්වලට දැන් ඇස ගසාගෙන සිටින්නේ තලපති විජෙයි නැමැත්තෙකි. හේ නළුවෙකි. එහෙත් ඒ නළුකම ඉන්දියාවේ සිනමා සංස්කෘතියේ පාපිස්සකටවත් උචිත දැයි අපට නම් ප්‍රශ්නයකි. කච්චතිව් නම ඇසෙනවිටත් තමිල්ණාඩුවේ මෝඩයෝ ගෙවල් ඇතුළේම කාවඩි නටන තත්ත්වයකට පත්වෙති. එහෙත් ඒ සියල්ල ඡන්ද සටන්වලින් පසු නිහඬවන්නකි.

ජනාධිපති අනුරගේ මිත්‍රයකු බවට පත්ව සිටින ඉන්දීය අගමැති මෝදිටත් අලුත් ප්‍රශ්නයක් හදා දීමට තලපති සැරසෙන්නේද? ඒවා තලපතිට ගැළපෙන දේශපාලන විගඩමකි. මෝදි වර්ගයේ ප්‍රබුද්ධ නායකයකුට එබඳු දේවල් අදාළ වන්නේම නැත. කුමක් වුවත් ජනාධිපති අනුර එහිදී දැඩිව අවධාරණය කළේ කච්චතිව් අපගේ උරුමයක් බවය. ඒ අයිතිය සුරකින බවද ඔහු පැවසීය. උතුරේ ජනතාවගේ ධීවර ප්‍රශ්නය හා ඉඩම් අයිතිය ගැන ද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය යුදමය වසයෙන් පරාජය කර 16 වසරක් ගතවී තිබේ. එහෙත් තවමත් මෙරටේ දේශපාලනය වෙනුවෙන් දකුණේ දී රණවිරුවන් අලෙවි කිරීමත් උතුරේ දී අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රදර්ශනයත් හැර වෙනත් යමක් සිදුවී තිබේ ද? මව්බිමේ නිදහස රැකදුන් රණවිරුවන් ඇගැයුම දේශපාලනය ඉක්මවූ ජාතික වගකීමකි. උතුරේ යුද්ධයෙහි ආදීනව වසයෙන් ජීවිත අපේක්ෂා විනාශ වූ අයට අවම වසයෙන් අලුත් ජීවිත බලාපොරොත්තුවක්වත් ලබාදිය යුතු නොවේ ද?

උතුරු – නැඟෙනහිර ජනතාවගේ දරුවන්ට තවමත් නිසි අධ්‍යාපනයක් ලැබී ඇතැයි සිතිය නොහැක. උතුරේ තරුණයන්ට ද අලුත් ජීවිතයක එළිය වැටී ඇතැයි සිතිය නොහැක. එහෙත් උතුරේ දේශපාලන ප්‍රභූතන්ත්‍රයේ කිසිවකුට මේ ගැටලු තිබේද? ඔවුන්ගේ දරුවෝ විදේශවල උගනිති. දේශපාලනය සඳහා උතුරේ නිජබිම ගැන කතා කරන සමහරු කොළඹ ජීවත්වන්නෝය. උතුරේ ඇතැම් දේශපාලනඥයන්ගේ දරුවෝ ඒ රටවල දේශපාලනයේ ද නිරතව සිටිති. සමහරු ඒ අතරේ ලංකාවට අංචි ඇදීමට ද දත කති. එහෙත් උතුරේ පොදු ජනතාව සමස්තයක් ලෙස තවමත් අඳුරේ ජීවත් වන්නෝය.

ජනාධිපති අනුර උතුරු පොල් ත්‍රිකෝණ ව්‍යාපෘතිය අරඹමින් ප්‍රකාශ කළේ ද ඒ ජනතාවගේ ඉඩම් අයිතිය, භාෂාමය හා සංස්කෘතිමය අයිතිය ඇතුළු සියලු හිමිකම් ලබාදෙන බවය. නව ආර්ථික සැලසුම් උතුරේ අරඹන බවය. පොල් වගා ව්‍යාපෘතිය එහි එක් පියවරක් බවද ජනාධිපතිවරයා පවසා තිබුණි. ජනාධිපතිවරයා හමුවූ ඒ ජනතාව ජීවත්වන පුදුකුඩුඉරිප්පු යනු එදා කොටින්ගේ ප්‍රබල භූමිභායකි. පුදුකුඩිඉරිප්පු යනු දෙමළ බසින් අලුත් නගරය යන අරුත දෙන්නක් බවද මම අසා ඇත්තෙමි. 1983 කළු ජූලියේ දී පීඩාවට පත් දෙමළ ජනතාව පදිංචි කර මේ නගරය ගොඩනැඟූ බවද කියති. ප්‍රභාකරන්, පොට්ටු අම්මාන්, සුසෙයි වැනි කොටි නායකයන්ගේ පදිංචි නිවාස පවා මෙහි තිබී ඇත. කොටින් සමග ගැටුණු යුද හමුදාව මේ නගරයට ඇතුළු වූයේ 2009 ජනවාරිවල බවද පැවසේ. (මෙයට වසර හතරකට පමණ පෙර මෙම ලියුම්කරු ද මේ ප්‍රදේශයේ ජනතාව හමුවී ඇත. ඔවුහු ඉතා දුක්බර ජීවිත ගෙවූහ.)

ඇත්ත වසයෙන්ම යාපනය ඇතුළු උතුරේ ගම්බිම්වලට අපේ නායකයෝ යායුතු වෙති. දෙමළ බස අපට නුහුරු වුවද ඒ මුහුණු ඒ හැඟීම් අපට කියවාගත හැකිය. එනිසා ජනාධිපතිවරයාගේ ඒ සංචාරය අගය කළ යුත්තකි.

ගොවිතැන හා ධීවර රැකියාව කළ ප්‍රදේශවල ජනතාව අදත් අඳුරේම ජීවත් වන්නෝය. ජනාධිපතිවරයා පැවසූ ආකාරයටත් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි වුවහොත් ඔවුහු මේ ආණ්ඩුව සමග ද බැඳෙති. එසේ නොවුවත් උතුරේ ජීවත් වන්නේ ද අපේම ජනකොටසක් බව රටේ නායකයෝ තේරුම්ගත යුතු නොවෙත්ද? ජනාධිපතිවරයා අවධාරණය කළ පරිදිම යළිත් ජාතිවාදී දේශපාලනයකට ඉඩක් නොලැබෙනු ඇත. සිංහල – දෙමළ සමගිය සියවස් විස්සක් වැනි දිගු ඉතිහාසය පිළිබඳ කතාවකි. නුවර යුගයේ අවසන් රජවරු ද නායක්කර් වංශයට අයත් වූවෝය. එහෙත් 19 වන සියවසින් පසු සිදුවූ ක්‍රියාකාරකම් සිංහල – දෙමළ
ගැටුම්වලට ද හේතු විය. වරක් වින්සන්ට් චර්චිල් පැවසූ පරිදිම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මූලිකම විවාදය වන්නේ සාමාන්‍ය ජනතාව සමග මොහොතක් හෝ කතාබහක නිරත වීමය.

159 වැනි පොලිස් දින සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා දැක්වූ අදහස් පොලිසියේ මෙන්ම රටේ ද අවධානයට යොමුවිය යුතුය. පොලිස් සේවයේ විශිෂ්ටත්වය විනාශ කළ දේශපාලනය ගැන ද ඔහු සිහිපත් කළේය. පොලිසියේ ස්වල්ප දෙනෙක් මේ වනවිට ද විවිධ දූෂණ, වංචනික ක්‍රියාවලට චෝදනා ලැබ සිටිති. කෝටි 21/2ක අල්ලස් චෝදනාවක් පොලිසියේ උසස් නිලධාරියකුට එල්ල වෙද්දී තවත් වාර්තාවක සඳහන් වූයේ පොලිස් ලොක්කෙකුගේ බිරිඳක් නිධන් මංකොල්ලයකට අනුබල දුන් පුවතකි. මැති ඇමැති නිල පාවිච්චි කරන භාර්යාවන් මෙන්ම පොලිස් බලය භාවිත කරන පොලිස් හාමිනේලා ද මේ අධම දේශපාලන සංස්කෘතික පිළිල බව අපට පැහැදිලිය. පොලිසිය ගෞරවනීය සේවාවක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ජනාධිපති අනුරගේ කතාවේ හරය විය. පාතාලය, කුඩු ජාවාරම් ඇතුළු බොහෝ අපරාධ පොලිසියට හා බන්ධනාගාරයට සම්බන්ධ වී තිබුණු බව රහසක් නොවේ.

පසුගිය දිනවල බාලවයස්කාර දරුවකුට තිරිසන් වධ හිංසා කළ පොලිස් ලොක්කෙක් ගැන මාධ්‍යවල පළවිය. ඔහුට අධිකරණයෙන් නියම කළ වන්දියක් ද ගෙවීමට සිදුව තිබේ. එහෙත් ප්‍රශ්නය එය නොවේ. මේ පොලිස් අමනයා ඒ දරුවාට එබඳු හිංසාවක් කිරීමේ මානසිකත්වයයි. සතර අපායෙන් එකක පව්කාරයන් කටු ඉඹුලකට නංවන බවත් ලෝදිය පානය කරවන බවත් බණ පොත්වල ලියා තිබේ. මේ පොලිස් වසලයා දී තිබෙන්නේ ද ඒ ආකාරයේ වධයකි. ධර්මචක්‍ර වධය නමින් දරුණුම පොලිස් වධයක් ගැන ද අප අසා ඇත. එහෙත් හතරලියැද්දේ වධකයා මිනිස්කම තබා කිසිදු හැදුනුකමක් නැති ප්‍රචණ්ඩයකු බව නොපෙනේද? එහෙව් පොලිසියක් සුදු කිරීම අඟුරු සුදු කිරීමට නොදෙවෙනිය. එහෙත් මේ පොලිස්පතිතුමා ඒ අභියෝගයට උර දී සිටියි. ඒ සඳහා සාක්ෂි ද තිබේ. පොලිසියේ කීර්ති නාමය උදෙසා කැපවී සිටින පොලිස්පතිතුමනි, ඔබගේ පොලිසියේම ගෞරවය අනුභවකරන මේ වර්ගයේ වසලයන් ජනතාවගෙන් ඈත් කර තබන ලෙස යෝජනාවක් කළ හැකිය. පුහුදුන් මිනිසුන් වන අප තුළ ද කෝපය ඉතා ස්වාභාවික දෙයකි. එහෙත් විනය, සංවරය පුහුණු කරන පොලිසිය අපට වඩා ඉවසීමෙන් යුතුව ක්‍රියා කළ යුතු ආයතනයකි. හොරකම් කළ එකාගේ අත කැපීම හෝ බොරු කී එකාගේ දිව කැපීම රජ කාලයේ වධ ලැයිස්තුවට තිබුණි. මේ නූතන සමාජ වටිනාකම් මත ඉදිරියට යන ලොවකි.

මේ අතර ආණ්ඩුවට බරපතළ අධිචෝදනා පත්‍රයක් ද ඉදිරිපත්ව තිබෙන යක්කල ප්‍රදේශයේ පිහිටි පක්ෂ කාර්යාලයක් පිළිබඳ උද්ගත වූ ගැටුම ද නොතකා හැරිය නොහැකි පුවතකි. පෙරටුගාමි සමාජවාදී පක්ෂය මේ සම්බන්ධයෙන් නම් ගම් ද සහිතව මාධ්‍යවලට කළ විස්තරය අපටත් ඇසීමටත් දැකීමටත් හැකි විය. රූපවාහිනි නාළිකා ඔස්සේ සජීවී ලෙස දුටු ඒ සිදුවීම් මාලාව කසිකබල් දෙමළ චිත්‍රපටයක සංස්කරණය නොකළ ජවනිකා පෙළක් සේ අපට නම් හැඟුණි. පෙරටුගාමීන්ට අනුව ආණ්ඩුවේ පිරිසක් පිස්කල් වැඩේ පවරාගෙන මේ භූමිය අත්පත් කරගැනීමට මැර බලය යොදාගෙන ඇත. කඩු පොලු රැගත් මැරයන් තම පාක්ෂිකයන්ට පහර දී එම කාර්යාලය බලයෙන් අත්කර ගත් බව පෙරටුගාමියෙක් වූ පුබුදු ජයගොඩගේ චෝදනාවය. ජාජබයේ මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ පවසා ඇත්තේ අධීකරණ තීන්දුවකින් කාර්යාලය තම පක්ෂයට පවරන ලද්දක් බවය. තීන්දුවක් දීමට අපට නොහැකි වුවද මෙය මීට වඩා සීලාචාර ආකාරයකට සිදුවිය යුතුව තිබුණු බව නම් කිව යුතුය.

අධිකරණයෙන් දුන් නීතිමය හිමිකමක් යනු අධිකරණයකින්ම විනා ඉන් මෙපිට කිසිවකුට වළක්වා ලිය නොහැකි දෙයකි. එහෙත් මෙතැනදී අප දුටුවේ කැලෑ නීතිය අතට ගත් මුග්ධ හැසිරීමකි. වසර ගණනක් අනීතික ලෙස ඒ කාර්යාලය යොදාගත් අය නීතියට ගරු කර එයින් යායුතු බවට තර්කයක් අවශ්‍ය නැත. එහෙත් අධිකරණ තීන්දුවේ නැති චණ්ඩි පාට් එකක් දැමීමට පිරිසක් ක්‍රියා කළේ කුමක් නිසා ද යන ප්‍රශ්නය අපට ද තිබේ. මෙය වඩාත් බරපතළ වන්නේ බලයේ සිටින ආණ්ඩුයක් එයට මැදිහත් වීම නිසාය. මෙය දුටු සාමාන්‍ය ජනතාව පවසන්නේ මෙහෙම ගියොත් ‘නීතියටත් කපුටො කොටයි’ යනුවෙනි. ‘කැලෑ නීතිය ආයෙත් එන පාටයි’ යනුවෙන් ද තවත් අය කීහ.

මහ පාර දෙපස අනීතික ලෙස ඉදිකර තිබෙන වෙළෙඳ සැලක් හෝ නිවසක් ඉවත් කිරීමට එන නිලධාරීන් සමග ඒවායේ හිමිකරුවන් ගැටෙන අවස්ථා අප අනන්තවත් දැක තිබේ. එහෙත් මේ එබඳු දෙයක් නොවේ. නීතිය, යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ආදී බැරෑරුම් මාතෘකා පිළිබඳ වාද විවාද කරන දේශපාලන ව්‍යාපාර දෙකක මහත්වරුන්ගේ හැසිරීමයි. නැතහොත් දේශපාලන සීමා මායිම් ඉක්මවූ “අඩෝ කවුද ඩෝ?” යන ආකාරයේ මැර බලය මුදා හැරීමකි. එහිදී වැඩිම හානිය ඇත්තේ ආණ්ඩුවටය. විශේෂයෙන් බලය තිබෙන ආණ්ඩුවල මේ වර්ගයේ දේශපාලන චණ්ඩි අප අනන්තවත් දැක තිබේ. එසේම මේවා ඇතැම්විට ආණ්ඩුවේ අනුදැනීමකින් තොරව කෙරෙන මැදිහත්වීම් ද යන්නත් දන්නේ ඒ අයම පමණි.

මෙරටේ දේශපාලන ඉතිහාසය තුළ ආණ්ඩුවල මැති ඇමැතිවරුන් පමණක් නොව, අනුගාමිකයන් ද නීතිය අතට ගත් අවස්ථාවලදී වුවත් ඒවා හෙළා දැකීමක් සිදුවූයේ ද නැත. එය මෙරටේ සිරිතක් බවට පත් කරගත් දුසිරිතකි. අද ඉදිරිපත්වන බොහෝ දූෂණ, වංචා, නීති විරෝධී මෙහෙයුම් දෙස බලනවිට පෙනී යන්නේ නීතියට තබා සදාචාර ධර්මය හෝ ගරු නොකළ මුග්ධ හැසිරීම්ය. සියලු සාරධර්ම, මානුෂීය සබඳතාවන් ස්වාර්ථය සඳහා අමතක කළ දේශපාලන වශයෙන් පිරිහී ගිය රටක ස්වභාවයයි. එබඳු නොපනත් පනත් කළ දුසිරිත් සිරිත් කළ දේශපාලනඥයන් බහුතරයක්ම ගෙදර යැවූ ජනතාවට යළිත් එබඳු දේවල් විඳ ගන්නට සිදුවේ නම් එයද අපට අනුමත කළ නොහැකිය. කුණු කන්දකට කුණු එකතු වුවත් එහි අමුත්තක් නොපෙනේ. එහෙත් පිවිතුරු සුදු වතකට කුණු බින්ඳුවක් වැටුණත් එය මහා කන්දක් සේ පෙනෙනු ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here