නිරූපණ ක්ෂේත්‍රයෙන් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු දිනෙත් මේ වෙද්දී සිනමා නළුවෙක්. ළඟදීම දන්නා කියන චරිතයකින් ඔබ අතරට එන්නට සූදානම් වන දිනෙත් එක්ක අපි පොඩ්ඩක් කතා කලා.
මම රඟපෑ “හිතුමතේ ” චිත්‍රපටය ලඟදීම තිරගත වීමට නියමිතයි.බොහෝ විට තව සති කිහිපයකින් ඒක තිරගත වේවි.ඒ නිසා චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වගේම ඒ සම්බන්ධයෙන් මේ දවස්‌වල සාකච්ඡා කරනවා. ඒ නිසා වැඩිපුරම කාලයක් යොදවන්නේ ඒ වෙනුවෙනුයි. “හිතුමතේ ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ ක්‍රිශාන්ත මනම්පේරි මහතායි.
ඇත්තටම ඒක අභියෝගයක් වුණා. ඒ පුද්ගලයා ඇතුළු බොහෝ තොරතුරු අපි චිත්‍රපටය රූගත කරලා අවසාන් වුණාට පසුවයි අපිට ලැබුණේ. අපි චිත්‍රපටය කලේ උදේනි සමරසිංහ මහතාගේ “හිතුමතේ ” නම් නවකතාව ඇසුරෙන්. එවැනි පුද්ගලයෙක් ඉඳලා තියෙනවා කිව්වට ඒ චරිතය මට කරන්න තිබුණේ ඒ නවකතාව ඇසුරෙන් ලියවුණු පිටපතට අනුවයි. ඒක විශාල අභියෝගයක් වුණා.අධ්‍යක්ෂකතුමා ඇතුළු අනෙකුත් නලු නිලියන් එක්ක කතාබහ කරලා, මහන්සියෙන් හා කැපවීමක් කරලා තමයි මේ චරිතය ගොඩ නැඟුවේ.
සුමතිපාල තමයි මගේ චරිතයේ නම වෙන්නෙ. සුමති කියන්නේ බොහොම ආදරණීය විදිහට ගමක ජීවත් වුණු, ආදරණීය අයියා කෙනෙක්.අම්මා, තාත්තා, නංගී එක්ක ජීවත් වුණු සුමතිගේ නංගීට වුණු සමාජ අසාධාරණයක් වෙනුවෙන් සුමති බොහෝ දෙනෙක්ගෙන් පලි ගන්නවා.තම නංගීව ඝාතනය වීමත් සමඟ සුමතිගේ මුලු පවුලම කඩා වැටුණා. අම්මගේ මරණයත්, තාත්තා රෝගියෙක් බවට පත්වීමත් එක්ක තම පවුලට සමාජයෙන් වුණු අසාධාරණය වෙනුවෙන් සුමති නැඟී සිටිනවා. ඒක අභියෝගයක් වුණා.
මම පුංචි කාලේ ඉදන්ම කලාවට බොහෝම ආදරය කරපු, ගරු කරපු කෙනෙක්. මට කලා ලෝකය පිළිබඳව ආදරයක් ඇති වුණේ මගේ තාත්තා හරහායි. තාත්තා මේ ස්වභාව දහමට කලාවට ලැදි කෙනෙක්. ඔහු බොහෝ පොත් පත් කියවනවා. තාත්තා සේවය කලේ පොලිසියේ. නළුවෙක්, රංඟන ශිල්පියෙක් වෙන හීනය මට තිබුණේ නැහැ. පාසැල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපන වෙනුවෙන් මම විදෙස් ගත වුණා. කාලයකට පස්සේ ලංකාවට ඇවිත් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ හරහා මට නළුවෙක් වෙන්න අවස්ථාව ලැබුණා. එංගලන්තයේ ඉදන් ලංකාවට එනතුරු නළුවෙක් වෙන හීනය මට තිබුණේ නැහැ.
එංගලන්තයට යන්න කලින්ම නිරූපණ ක්ෂේත්‍රයට මගේ පොඩි නැඹුරුවක් තිබුණා. මම ඉගෙන ගත්තේ කොළඹ තර්ස්ටන් විදුහලෙයි. පාසැලේදී මම රගර් ක්‍රීඩා කලා. ඒ වගේම ඒ කාලේදී මම පාසැලේ ජනප්‍රිය චරිතයක්. මගේ පෙණුම නිසාම “ඔයා මොඩ්ලින් කලා නම් වඩා හොඳයි “කියලා සමහරු කිව්වා. ඒ හරහා මට නිරූපණ ක්ෂේත්‍රයටත් ආසාවක් ඇති වුණා . පසුකාලීනව ලංකාවට පැමිණීමත් එක්ක, ක්ෂේත්‍රයේ හිටපු අය දකිද්දී, මට කරපු ආරාධනාත් එක්ක මාවත් එතනට තල්ලු වුණා.
ඔව්. මම එහේදී රැකියාවල් කීපයක්ම කලා. මම ඉගෙන ගන්නා ගමන් වෙළඳ සැල් කීපයකම වැඩ කලා. වෙළඳසැල් කළමණාකරු විදිහටත් වැඩ කලා. එංගලන්තය වගේ හොඳ රටකටත් ගිහින් මම දුක් වින්දා. ශිෂ්‍යයෙක් විදිහට ඒ රටට යද්දී අපේ නෑදෑයෙක්, ලඟම හිතවතෙක්, හරිහමන් යාලුවෙක් ඒ රටේ හිටියේ නැහැ. නොදන්නා රටක, නොදන්නා දේශගුණයක ජීවත් වීමම හරිම අමාරුයි. එංගලන්තයේ මම අවුරුදු දහයක් විතර කාලයක් හිටියා. මුල් කාලයේදී ඒ දේවල් ගොඩ නගා ගන්න ගොඩක් මහන්සි වීම් කරන්න මට සිදු වුණා. ඒ වගේ රටක තනියම ඔලුව ඉස්සීම හරි අමාරුයි. අගහිඟකම් තිබුණා. නිදිවරපු කාලය, බඩගින්නේ හිටපු කාලය හරිම වැඩියි. ඒ තුලින් මිනිසුන් හඳුනාගෙන පසුකාලීනව යම්තාක් දුරකට ස්ථාවරයකට ආවේ.
කාලයක් තිස්සේ මම එංගලන්තයේ හොඳ රස්සාවක් කලා. නමුත් ලංකාවට නිවාඩුවට ඇවිත් ආයේ යන්න ඉදිද්දී කලා කටයුතු වලට නියැලුණාට පස්සේ ඒ අදහස වෙනස් වුණා. නමුත් ආයෙත් පොඩි කාලයකට හෝ ගිහින් එන්න ඕනේ කියන අදහසක් දැන් හිතේ තියෙනවා.
පසුගිය කාලයේදී “සංසාරාරණය අසබඩ ” ටෙලි නාට්‍යයට දායක වුණා. මම ටිකක් තෝරා බේරාගෙන වැඩ කරන කෙනෙක්. ටෙලි නාට්‍ය කීපයකට ආරාධනා ලැබුණා. ඒ අතරින් හොඳ නිර්මාණ කීපයකටම දායක වෙන්න සූදානමිනුයි හිටියේ. පසුගිය කාලයේ සිදුවුණු සිදුවීම් නිසා ඒක පොඩ්ඩක් කල් ගියා. නමුත් ඉදිරියේදී හොඳ ටෙලි නිර්මාණ කීපයකටම දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
මට එක මල්ලී කෙනෙක් ඉන්නවා. එයා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තේ. පුංචි කාලේ කොහොමටත් අපි දෙන්නා තාත්තාගේ ඒ පරිසරයත් එක්ක හැඳුණු දෙන්නෙක්.කලාවත් එක්ක අපි අනුගත වුණා. ඇතැම් දරුවන් වගේ දඩබ්බර, නපුරු, ලමයි දෙන්නෙක් විදිහට අපි හැදුණේ නැහැ. තාත්තා අපිට පොත් පත් කියවන්න ඉගැන්වුවා. ඒක අපේ විනෝදාංශය වුණා. තාත්තගේ උපදෙස් හා අපි හැදුණු පරිසරයත් එක්ක අපේ ලමා කාලය බොහෝම සුන්දර වුණා. ඒක අතරේ “අරක කරන්න එපා. මේක කරන්න එපා “කියලා තාත්තා තරවටු කරන්නවත් අපි දෙන්නා ඒ දේවල් කරපු දෙන්නෙක් නෙමෙයි. පාසලේදීත්, සමාජයේදීවත්, අපි දඩබ්බර ලමයින් වුණේ නැහැ. ඒ නිසා අපිට තාත්තාගේ නීති රීති පද්ධතියක් තිබුණේ නැහැ.
නැහැ. අපි ක්‍රීඩාවට පුදුම විදිහට ආදරය කලා. මම රගර් ක්‍රීඩකයෙක්. පන්තියේ ඉගෙන ගන්නවාට අමතරව වැඩි කාලයක් පාසැල් ක්‍රීඩාංගණයේ හිටියා. ක්‍රීඩා සහ පාසලේ නම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කලා. රගර් ක්‍රීඩාව ඇතුළු අනෙක් ක්‍රීඩාත් එක්ක පාසලට ජයග්‍රහණයන් ගෙනෙනවා හැර පාසැල් කාලයේදී වෙන හීන තිබුණේ නැහැ. ඒ නිසා පාසල් කාලයේදී මගේ ප්‍රේම සම්බන්ධතා තිබුණේ නැහැ. පාසලෙන් අයින් වුණාට පස්සේ රැකියාව කරන අතරතුරේදී තමයි මගේ ප්‍රථම ප්‍රේමය පටන් ගත්තේ.
මම රඟපෑ චිත්‍රපට පහක් තිරගත වීමට නියමිතයි. අලුත් නිර්මාණ කීපයකටම ආරාධනා ලැබුණා. මේ කාලයේදී රටේ තියෙන අර්බුදකාරී තත්ත්වය නිසා ඒ හැමදේම නතර වෙලයි තියෙන්නේ.
Saru FM Media