වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට GMOA සැරසෙයි

0
2

සිය ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් ලබා නොදෙන්නේ නම් සිය සංගමය විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරනුයේ පසුගිය සඳුදා (17) දිනයේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී සිය සංගමයේ යෝජනා සමග ජනාධිපතිවරයා එකඟ වූ බවත් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කාල රාමුවක් සහිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීම සිය සංගමයේ ඉල්ලීම වූ බවත්ය.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා සමගද සාකච්ඡාවක් පැවැත්වූ නමුත් මේ වන තෙක් මෙරට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශ්වාස කළ හැකි විසඳුම් මාලාවක් හෝ වැඩසටහනක් ප්‍රකාශයට පත් වී නොමැති බවත් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය සිය චෝදනා කර තිබේ.

ඒ අනුව හෙට දිනයේදී අයවැය තුන්වෙනි වර කියවීමේ සෞඛ්‍ය අමාත්‍යාංශ කාරක සභා විවාදය පැවැත්වෙන බැවින් මෙම ගැටලු විසඳීම සම්බන්ධයෙන් පැහැදිලි විසඳුම් මාලාවක් කාල රාමුවක්ද සහිතව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද එම සංගමය සඳහන් කර ඇත.

එමෙන්ම මේ වන විට පවතින ප්‍රවණතාවයන් විධායක සභාව විසින් සමීපව නිරීක්ෂණය කරමින් පවතින බවත් ඉදිරි ප්‍රවණතාවයන් විශ්ලේෂණය කරමින් සහ තත්ත්වය සමාලෝචනය කරමින් සිය සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීම සම්බන්ධයෙන් එළැඹෙන 26 වැනිදා පැවැත්වීමට නියමිත සිය සංගමයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනු ඇති බවත් එම සංගමය සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට වෛද්‍යවරුන්ට සහ නිදහස් සෞඛ්‍ය සේවාවට සාධාරණය ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් ඉදිරියේදී වඩා තීව්‍ර සහ දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදුවනු ඇති බවත් එම සංගමය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here