● මහවැලි අධිකාරිය
● චිත්‍රපට සංස්ථාව
● පොලිස් අභ්‍යාස ආයතනය
● ධීවර වරාය නීතිගත සංස්ථාව
● මිහින් ලංකා
තවත් බොහෝ රාජ්‍ය ආයතන ලැයිස්තුවේ
දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02 ක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවකට අනුව එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ මේ අක්‍රිය මට්ටමේ පවතින රාජ්‍ය ව්‍යවසායයන් 33 ක් වසා දැමීමට නියමිතය. මේ ආයතන අතර පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක් වූ මිහින් ලංකා ගුවන් සමාගම ද තිබේ. මේ ආයතන වසා දැමීම ගැන විවිධ අය විවිධ කතා කියනු අපට ඇසේ. “මේ ආණ්ඩුවේ අය විපක්ෂයේ සිටියදී කීවේ මොනවාද? දැන් මේ අයම රජයේ ආයතන වහන්න යනවා. එදා කියපු දේවල් නෙවෙයි දැන් කරන්නේ” වැනි අදහස් ද මේ සමගම අසන්නට ලැබේ. මේ ගැන පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේ දී ද කතාබහට ලක් වූ අතර මේ ගැන කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේ මේවා අක්‍රිය තත්ත්වයට පත්ව ඇති ආයතන බවත් මේවායේ දැන් තිබෙන්නේ නේම් බෝඩ් (නාම පුවරු) පමණක් බවත්ය. මෙවැනි අක්‍රිය රාජ්‍ය ආයතන වසා දැමීමක් ගැන පසුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලයේ දී ද අපට අසන්න ලැබුණි. ඒ නිසා මෙය මේ ආණ්ඩුව කරන්න යන අලුත්ම දෙයක් නොවන බවද කිව යුතුය.
මේ වසන්නට යන රාජ්‍ය ව්‍යවසායයන් මොනවාද යන්න පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමට ලක් වූ අතර එයට පිළිතුරු ලෙස ආයතන කිහිපයක නම් ඇමැති නලින්ද ජයතිස්ස විසින් හෙළි කළේය. ඒ අනුව වසා දැමීමට නියමිත ආයතන අතර ඒෂියන් ගේම්ස් පුද්ගලික සමාගම, තුරුසවිය අරමුදල, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, ලංකා ලොජිස්ටික්ස් සමාගම, කොමන්වෙල්ත් ගේම්ස් හම්බන්තොට පුද්ගලික සමාගම, මාගම්පුර පෝර්ට්ස් මැනේජ්මන්ට් කම්පැනි පුද්ගලික සමාගම, මිහින් ලංකා පුද්ගලික සමාගම, ටෙක්නො පාර්ක් ඩිවලොප්මන්ට් කම්පැනි පුද්ගලික සමාගම, මාධ්‍ය පුහුණු ආයතනය, ලංකා සිමෙන්ති සමාගම සහ එක්ස්ප්‍රස් වේ ට්‍රාන්ස්පෝට් පුද්ගලික සමාගම යන ආයතන පවතින බවද මේ ආයතනවල සම්පූර්ණ ලැයිස්තුව අදාළ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ඇති බවද ඇමැති නලින්ද ජයතිස්ස කීවේය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගැන අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇමැති නලින්ද ජයතිස්ස කීවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවතින තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා රජය සැලකිය යුතු මැදිහත් වීමක් කරන බවයි. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රාජ්‍ය අයිතිය යටතේම තබාගෙන දියුණු කිරීම රජයේ සැලසුම වී තිබේ. සංචාරක කර්මාන්තය ගැන මේ රජය ද විශාල බලාපොරොත්තුවක් තබාගෙන සිටින බව පෙනේ. එසේ නම් ඒ සඳහා ජාතික ගුවන් සේවයක් තිබීම ඉතා වැදගත්වනු ඇත. එහෙත් එය සාමාන්‍ය ජනයාට බරක් නොවන පරිදි දියුණු කර අඩු තරමේ පාඩුවක් නොවන ලෙස හෝ පවත්වාගෙන යෑම අවශ්‍ය වේ.
වසා දැමීමට තීරණය කර ඇති ආයතන එසේ වසා දමන්නේ ඇයි? මේ සඳහා හේතුව ලෙස රජය කියා ඇත්තේ මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමග නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමග
නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යෑම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත්ව තිබීම එයට හේතුව බවයි. මේ නිසා ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායයන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යෑම වෙනුවට, එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
මේ කියන පරිදි අපත් සිතන්නේ මේ ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට ඵලදායි දායකත්වයක් ලබා නොදෙන්නේ නම් සහ එසේම ඒවා පවත්වාගෙන යෑම රජයට (එනම් මහජනතාවට) බරක් වන්නේ නම් ඒවා වසා දැමීමට පියවර ගැනීම වඩා සුදුසු බවයි. ඇමැති නලින්ද ජයතිස්ස කියන පරිදි මේවා නාම පුවරු ලෙස පමණක් පවතින ඒවා නම් එම නාම පුවරුවට හෝ සීමා වූ ආයතන ලෙස හෝ ඒවා පවත්වා ගෙන යෑමෙන් රජයට කිසියම් වැය බරක් (වියදමක්) දැරීමට සිදු වන්නේ නම් ඒ බර පැටවෙන්නේ බදු ගෙවන මහජනයා මතය. ඒ නිසා එවැනි ආයතන තවදුරටත් පවත්වා ගෙන යෑමේ තේරුමක් නැති නිසා ඒවා වසා දැමීමේ වරදක් ඇත. මේ ආයතන 33 එවැනි ආයතන සමූහයක් බවට රජය තීරණය කරන ලද්දේ ඒ ගැන විධිමත් සොයා බැලීමකින් පසුව යැයි අපි සිතමු. පාඩු ලැබුවත් ඇතැම් රාජ්‍ය ව්‍යවසාය ආයතන පවත්වාගෙන යෑම වැදගත් යැයි රජය අදහස් කරන්නේ නම් ඒවා කාර්යක්ෂම සහ පාඩු නොලබන තත්ත්වයට පත් කිරීම සඳහා සැලසුම් හා උපායමාර්ග දියත් කරමින් ඒවා පවත්වාගෙන යෑමේ වරදක් නැත. මෙරට සංචාරක කර්මාන්තයට ලබාගත හැකිව තිබෙන දායකත්වය සලකා ශ්‍රී ලංකන් ගුවන් සමාගම තවදුරටත් රජය යටතේ තබා ගැනීමට රජය තීරණය කර ඇත. මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔහුගේ බිරිඳගේ සොහොයුරකු වන නිශාන්ත වික්‍රමසිංහ නමැත්තා එහි සභාපති කිරීමෙන් එම සමාගමට සිදු වූ විනාශය ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ ද අනාවරණය විය. එසේම මහින්ද රාජපක්ෂ රජය සමයේ බජට් ගුවන් සේවයක් යයි කියමින් පටන්ගත් මිහින් ලංකා ගුවන් සේවයේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා ගැන ද එම කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය විය. ඒ දිනවල එම කොමිසමේ සාක්ෂි විභාගයන් දිනපතාම පාහේ මාධ්‍ය මගින් වාර්තා කළ බව ද අපට මතකය.
මහජන මුදල් වැය කරමින් පැවැත් වූ එම ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාවට සිදු වූයේ කුමක් දැයි අප දන්නේ නැත. අප සිතන්නේ එම වාර්තා හමස් පෙට්ටියට නොයවා ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ යුතු බවයි. මේ රජය යටතේ එම ආයතන සම්බන්ධයෙන් අලුත් පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ නම් ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ කරුණු ගැන ද සොයාබැලීම ද ඉතා වැදගත් වනු ඇත. මේ අතීත අත්දැකීම් අනුව අපට කීමට සිදු වන්නේ, රජය යටතේ ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් තවදුරටත් තබා ගන්නවා නම්, අනාගත රජයක් යටතේ හෝ ඒවාට දේශපාලන බලපෑම් එල්ල කිරීමට නොහැකි නව කළමනාකරණ රාමුවක් ඇති කළ හැකි නම් එය ඉතා වැදගත් බවයි. මේ පසුබිම තුළ රාජ්‍ය ව්‍යවසායන් ගැන පොදුවේ වැදගත් කරුණු කිහිපයක් අපි සාකච්ඡා කරමු. ඒ අනුව 2021 වසරේ මහ බැංකු වාර්තාවේ මෙසේ සඳහන් වේ.
“රාජ්‍ය ව්‍යවසායයන් දීර්ඝ කාලයක් පුරාවට රටවල්වල සමාජ ආර්ථික සංවර්ධනයට අදාළව ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇත. සිංගප්පූරුව, ජපානය, චීනය සහ කොරියාව වැනි ආසියානු කලාපයේ අනෙකුත් රටවල් කිහිපයක දක්නට ලැබෙන පරිදි, කාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායයන් මගින් රැකියා උත්පාදනය, දරිද්‍රතාවය තුරන් කිරීම, රාජ්‍ය මූල්‍ය ස්ථායීතාව, ක්ෂේත්‍රයක හෝ භූගෝලීය ප්‍රදේශයක සංවර්ධනය, පාරිසරික ආරක්ෂාව මෙන්ම ක්ෂේත්‍ර නියාමනය සඳහා ද සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.
මෑත දශක කිහිපය තුළ රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලීකරණය කිරීම සහ ඒවායේ නියාමනයන් ඉවත් කිරීමට අදාළව එකඟතාවයෙහි වැඩි නැඹුරුවක් පැවතිය ද, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය ව්‍යවසායයන්හි කාර්යභාරය අවප්‍රමාණය වී නොමැත. මේ සඳහා මූලික වශයෙන් හේතු වී ඇත්තේ ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ සමස්තයක් ලෙස ජනගහනයේ යහපැවැත්ම කෙරෙහි ඉහළම බලපෑමක් ඇති කෙරෙන අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ පොදු සේවා සපයන්නන් ලෙස රාජ්‍ය ව්‍යවසායයන් පුළුල් දායකත්වයක් දැක්වීමයි. කෙසේ වෙතත්, සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය ව්‍යවසායයන් අඩු ඵලදායීතාවක් පෙන්නුම් කිරීමේ ප්‍රවණතාවක් පවතින අතර, දූෂණ අක්‍රමිකතා පැවතීම හේතුවෙන් එම ව්‍යවසායයන්වල තරගකාරිත්වයට බාධා එල්ල වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, රාජ්‍ය ව්‍යවසායයන්, රාජ්‍ය අයවැය සහ රජය වෙත සැලකිය යුතු පීඩනයක් ඇති කිරීමට හේතු වී ඇති අතර, ඇතැම් අවස්ථාවලදී එය රාජ්‍ය මූල්‍ය හා ආර්ථික අර්බුදවලට මඟ පාදා ඇත. මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාව සිය රාජ්‍ය ව්‍යවසායයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වේ.”
මේ කියන පරිදිම අපේ රාජ්‍ය ව්‍යවසායයන් අඩු ඵලදායීතාවක් පෙන්නුම් කර ඇති අතරම වංචා, දූෂණ සහ අක්‍රමිකතා පැවතීම ගැන පසුගිය කාලයේ බොහෝ අනාවරණයන් ද සිදුව ඇත. මේ හේතුවෙන් එම ව්‍යවසායන්වල තරගකාරීත්වයට බාධා එල්ල වීමෙන් ඒවා රාජ්‍ය අයවැය මත සැලකිය යුතු පීඩනයක් ඇති කිරීමට හේතු වූ බව ද රහසක් නොවේ. පාඩු ලබන ආයතන දිගින් දිගටම රජය විසින් නඩත්තු කිරීමෙන් වන්නේ මහජනයා පිට ඒ බරත් පැටවීම නිසා ඔවුන් තවත් පීඩාවට පත් වීමයි. එසේම එම ආයතනවල සිදුවෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා නිසා සිදු වන්නේ ද මහජනයා මත බර පැටවීමයි. පසුගිය ආණ්ඩු මගින් බොහෝ විට එම හොරු, දූෂිතයන් රකින පිළිවෙතක් අනුගමනය කරන අයුරු ද පෙනිණි. මේ නිසා වත්මන් රජය විසින් තරාතිරම නොබලා සැමට එක ලෙස නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන පරිසරයක් නිර්මාණය කරන්නේ නම් එය සැබැවින්ම අගය කළ දෙයකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවා මේ ආණ්ඩුව යටතේ අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත විය. ඒ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවකටය. ඔහු වරදකරු ද නැද්ද යන්න අධිකරණය විසින් අනාගතයේ දී තීරණය කරනු ඇත. එය වෙනම කතාවකි. එහෙත් මෙතෙක් කලක් ඉතිහාසයේ කිසිම විටෙක හිටපු ජනාධිපතිවරයකු අත්අඩංගුවට පත්ව නැත. එසේම රක්ෂිත බන්ධනාගාරගත වී ද නැත. සාමාන්‍ය පුරවැසියාට හා බලවත් අයට නීතිය සමාන ලෙස ක්‍රියාත්මක නොවන බවට වන මහජන ආකල්පයක් තිබේ. ඒ නිසා මේ සිදුවීම නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් ඉතා හොඳ පූර්වාදර්ශයක් සපයා ඇත. අනාගතයේ සාමාන්‍ය මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් පමණක් නොව රටේ රාජ්‍ය නායකයා පවා මහජන මුදල් අවභාවිතා කිරීමට බිය වනු ඇත. හිටපු ජනාධිපතිවරයාට පවා මෙසේ නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වන නිසා, එය බදු ගෙවන අතිමහත් බහුතර පාරිභෝගික ජනයා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමක් ද වනු ඇත.

මේ අනුවම අක්‍රිය තත්ත්වයේ තිබෙන රාජ්‍ය ආයතන තවදුරටත් රජයෙන් නඩත්තු කරමින් මහජනයා මත බර පැටවිය යුතු නොවේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය අංශයේ ආරම්භය, 1939 -1945 අතර කාලය තුළ පැවැති දෙවන ලෝක යුද සමයේ දී, සැපයීම සීමා වූ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් පිහිටුවීම සිදු වූ කාලය දක්වා අතීතයට දිවයන බව ද 2021 වසරේ මහ බැංකු වාර්තාවේ දැක්වේ. එහි සඳහන් පරිදි මෙම කාලයේ දී, පිළිවෙළින්, 1955 අංක 19 දරන රාජ්‍ය අනුග්‍රහය ලත් සංස්ථා පනත සහ 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යන ප්‍රධාන පනත් දෙකක් බලගැන්වීම සිදුකර ඇත. ඉන් පළමු පනත මගින් පැවැති කර්මාන්ත නීතිගත කිරීමට ප්‍රයත්න දැරීම සහ දෙවැන්න මගින් ඕනෑම කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකමක් ආරම්භ කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට බලතල ලබාදීම සිදු කරන ලදී. මේ පනත් ප්‍රකාරව එවකට ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායයන් රැසක් ආරම්භ වී ඇත. සිමෙන්ති, කඩදාසි, පිඟන් භාණ්ඩ, සම් සහ පාවහන් ආශ්‍රිත ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායයන් මෙන්ම 1958 වසරේ දී ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට තුඩු දුන් බස් සමාගම් ජනසතු කිරීම ද සිදුව ඇත. 1970 දශකයේ දී, නව ව්‍යවසායයන් ස්ථාපිත කිරීම සහ පුද්ගලික ව්‍යාපාර ජනසතු කිරීම හා පවරා ගැනීම් යන ක්‍රම ද්විත්වය හරහා රාජ්‍ය අංශයේ ඒකාධිකාරයන් කිහිපයක් පිහිටුවීම ඇතුළු ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීම සඳහා ගත් නව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. මීළඟ වසර කිහිපය තුළ වරාය සේවා, මගී ප්‍රවාහනය සහ වැවිලි කර්මාන්තය වැනි අංශවල ක්‍රියාත්මක වූ පෞද්ගලික ව්‍යාපාර ජනසතු කිරීම සිදුව ඇත.
1970 දශකයේ මැද භාගය වන විට ප්‍රධාන ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් රාජ්‍ය අංශයේ ඒකාධිකාරයන් ලෙස හෝ බොහෝ දුරට රාජ්‍ය ව්‍යවසායයන් විසින් ක්‍රියාත්මක කිරීම සිදුව ඇත. මේ අනුව 1962 වසරේ දී 14 ක් වූ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රමාණය, 1980 දශකය මැද භාගය වන විට 280 ඉක්මවා බොහෝ ඉහළ ගොස් තිබේ. මහ බැංකු වාර්තාව පෙන්වාදෙන පරිදි 1980 දශකයේ මැද භාගය වන විට, රාජ්‍ය ව්‍යවසායයන් විවිධ ගැටලු රාශියකට මුහුණ දෙන බව හඳුනා ගන්නා ලද අතර මෙම ගැටලු අතර දුර්වල මූල්‍ය ක්‍රියාකාරිත්වයක් බවට පරිවර්තනය වන මෙහෙයුම් අකාර්යක්ෂමතා, නිෂ්පාදන හා සේවාවල ගුණාත්මකභාවය අඩු වීම හා සැපයුම් හිඟය ද තිබිණි. මෑත කාලයේ දී සමාගම් පනත යටතේ ද රාජ්‍ය ව්‍යවසායයන් කිහිපයක් ස්ථාපිත කර ඇත. උපායමාර්ගික අංශ හරහා ආර්ථිකය තුළ වැදගත් භූමිකාවක් රාජ්‍ය ව්‍යවසායන් මගින් ඉටු කර ඇත. එසේම ඉටු කරමින් තිබේ. එසේ නොවන රාජ්‍ය ව්‍යවසායයන් ද තිබේ. ඒවායේ දුර්වල මූල්‍ය කාර්යසාධනය අපේ ආර්ථිකයට සැලකිය යුතු අහිතකර ආර්ථික බලපෑම් සමග රාජ්‍ය මූල්‍ය මත අධික පීඩනයක් එල්ල කර ඇත. මේ බර අවසාන වශයෙන් පැටවෙන්නේ බදුගෙවන මහජනයා මතය. එය එම ජනයාට කරන බලවත් අසාධාරණයකි. ඒ නිසා තවදුරටත් රජය විසින් පවත්වාගෙන යන රාජ්‍ය ආයතන කාර්යක්ෂම කරමින් පාඩු නොලබන හෝ ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට ක්‍රියාමාර්ග ගන්නා අතරම දැනට අක්‍රිය තත්ත්වයට පත්ව ඇති එසේම ඇමැති නලින්ද ජයතිස්ස කියන පරිදි නාම පුවරුවට පමණක් සීමා වී ඇති රාජ්‍ය ව්‍යවසායන් වසා දමා එහි බර මහජනයාගෙන් නිදහස් කිරීමේ වරදක් අපට නොපෙනේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]
Saru FM Media