බලශක්ති ක්ෂේත්‍රයේ නව පිම්මක් ලබන වසරේ අපි ගන්නවා – බලශක්ති ඇමැති කුමාර ජයකොඩි

0
3

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට හදවතින්ම සහාය දෙනවා – අජිත් පී. පෙරේරා

බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ලබන වසරේදී නව පිම්මක් ගන්නා බවත්, ඒ සඳහා ධනාත්මක සහයෝගයක් සියලු දෙනාගෙන් බලාපොරොත්තු වන බවත් බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය. එහිදී වැඩිදුරටත් කතාකළ ඇමැතිවරයා මෙසේද කීය.

“සමාගම් 12කට කඩලා විකිණීමට නියමිතව තිබූ ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් 12,000ක් කැබිනට් අනුමැතියෙන්ම ගෙදර යවන්න නියමිතව තිබුණා. රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් මණ්ඩලය ආරක්ෂා කර ගැනීමට පනත සංශෝධනය කර අගෝස්තුවේ වැඩ ආරම්භ කළා.

සේවක සංගම් සමග සාර්ථකව සාකච්ඡා කිරීමෙන් අනතුරුව සේවක එකඟතාවයෙන් අවසන් ප්‍රතිසංස්කරණවලට දැන් කටයුතු සිදු වෙනවා. මීළඟ පිම්ම ගැනීමට ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සූදානම්. එය ඉක්මනින් මහජන අදහස්වලට යොමු කරන්න කටයුතු කරමින් ඉන්නවා. එහි ප්‍රතිචාර අනුව කැබිනට් මණ්ඩලය අවශ්‍ය තීරණ ගන්නවා. මම පක්‍ෂ විපක්‍ෂ හැමෝම සමග මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියනවා. විදුලි බිලෙන් සියයට 80ක් වෙන් වෙන්නේ ජනන වියදම්. අපි වියදම ක්‍රමයෙන් අඩුකර ගත යුතු බව නිතරම කියනවා.

ජනතා දේපළ විකුණා ආයෝජන කැඳවනවා වෙනුවට මණ්ඩලයේ ක්‍රියාවලියට පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව ගෙන්වා ගැනීමට අපි විවෘතව සිටිනවා. සිදුකරන ජනතාවාදී ආයෝජනවලට විදුලි ක්ෂේත්‍රය විවෘතයි. විනිවිදභාවය පවතිනවා. තරගකාරීත්වය වැඩියි. එයින් ක්‍රමයෙන් විදුලිබිල අඩු කිරීමට අවස්ථාව ලැබෙනවා.

පුනර්ජනනීය විදුලියට වැට බඳිනවා කියලා විරුද්ධවාදීන් කියනවා. පුනර්ජනනීය විදුලිය නාමයෙන් ලාභ ලබන්න ඉන්න අතළොස්සක් වන ඊනියා ව්‍යාපාරිකයන්ට අපි වැට බඳිනවාමයි. 2024 අපි බලයට ආවාම පොරොන්දු වුණා සූර්ය පැනල මගින් පමණක් ඉදිරි වසර 5දී මෙගාවොට් 2000ක් පද්ධතියට එක්කර ගන්නා බවට. 2025 ඔක්තෝබර් වනවිට මෙගාවොට් 800ක් එකතු කරගෙන තියෙනවා. ඉදිරි වසර 4 දී මෙගාවොට් 1200ක් එක්කර ගන්නවා. අපි මේ විදුලිය මිලදී ගන්නේ සාධාරණ මිලක් ගෙවලා. හැම විදුලි ඒකකයක්ම තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගන්නවා. මේ සඳහා ඔන්ලයින් කවුළුවක් අපි විවෘත කරනවා.

ස්මාට් මීටර් ලක්‍ෂ 2ක් අපි ගෘහස්ථවලට සවි කරගෙන යනවා. මාර්තු වනවිට මෙගාවොට් 650කට අදාළ ස්මාට් මීටර් සවිකරලා අවසන් වෙනවා. විදුලිබල ක්ෂේත්‍රයේ නව පිම්මක් ලබන වසරේ ගැනීමට අපි සූදානමින් ඉන්නවා. මේ සඳහා අපට ධනාත්මකව සහයෝගය ලබා දෙන්න.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කරන්න අපි ලංසු කැඳවූවා. ජාත්‍යන්තර ආයතන 20කින් ලිපි ලැබී තියෙනවා. ඉදිරි කටයුතු කරනවා. ත්‍රිකුණාමලයේ ටැංකි 24ක් සංස්ථාවට අයිතියි.

99න් 14ක් අයි.ඕ.සී. සමාගමට කලින් රජය සින්නක්කරව විකිණුවා. ඉතිරි 85න් 61ක් ඒකාබද්ධව සී.සී.පී. හා අයි.ඕ.සී. එක්ව කරනවා. අපේ ටැංකි දෙකක් පිළිසකර කර තිබෙනවා. නළ එලීමට අවශ්‍ය පියවර ගන්නවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා (සජබ) –

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අපි හදවතින්ම පූර්ණ සහාය ලබා දෙනවා. දැක්විය හැකි හැම සහනයක්ම දෙනවා. එදා ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධ වූ අය දැන් කැමැති වුණා.

පසුගිය රජයත්, වත්මන් රජයත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව උනන්දුවක් දක්වනවා. එහි ප්‍රතිපත්ති අඛණ්ඩව ගෙන යනවා. එය ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම, පද්ධති පාලනය වෙන්න පුළුවන්, පරිපාලනයට අවශ්‍ය උප සමාගම් වුවත් පාලනය කළ හැකි ව්‍යුහයන්වලට කොටස් කර කොටස් නිසි ලෙස පාලනය කරලා අවසාන විග්‍රහයේදී ගුණාත්මක විදුලිය සාධාරණ මිලකට අඛණ්ඩව ගෘහස්ථ හා කර්මාන්ත කරුවන් වෙත ලබාදීම හා රටේ සංවර්ධනය උදෙසා දායකත්වය ලබාදීමට ඉඩකඩ සැලසීම අපි අගය කරනවා.

අද වනවිට පූර්ණ විදුලිබල පද්ධතිය මෙගාවොට් 2000ක් පද්ධතියේ තියෙනවා. මෙය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. තවම විදුලිය ඉල්ලුම අඩුයි. වැඩි වන්නේ නෑ. පද්ධතිය පාලනය කළ යුතුයි.ජල විදුලිය, සූර්ය හා සුළං ප්‍රවාහත් එකතු කර විදුලි නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුයි.

(පාර්ලිමේන්තුව හෙට (22 දා) උදේ 9.30 යළි රැස්වේ)

රනිල් ධර්මසේන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here