කොළඹ උතුර පිලට ලකුණු 8ක ජයක්

0
4

ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් තරගාවලිය

කුසලතා පිරි යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගවේෂණය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ‘ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ’ පසුගියදා පැවැති කොළඹ උතුර හා දඹුල්ල අතර තරගයෙන් කොළඹ උතුර පිල ලකුණු 8ක ජයක් ලැබීය.

කොළඹ මැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඕවර් 38කට සීමාවූ අතර, කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ක්‍රීඩකයෝ මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් කොළඹ උතුර පිල ඕවර් 38කදී කඩුලු 9කට ලකුණු 209ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල ඕවර් 39කදී කඩුලු 5ක් දැවී ලකුණු 201කට සීමා විය.

දඹුල්ල පිලේ ආරම්භක පිතිකරු දිසස් බණ්ඩාර පන්දු 106කදී හයේ 5ක් හා හතරේ පහර 10ක් සමඟ නොදැවී අගනා ලකුණු 101ක් ලබා ගත්තද අනෙක් පිතිකරුවන්ගෙන් වේගවත් දායකත්වයක් නොලැබිණි. දිසස් බණ්ඩාර හා තාරුක්ෂ ද සිල්වා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් ගොඩනැගූ අතර, දිසස් බණ්ඩාර හා සන්තෝෂ් ගුණසේකර අතර තෙවැනි කඩුල්ලට පන්දු 82කදී ලකුණු 92ක් එක් වූහ. පන්දු යැවීමේදී සඳිස කාවින්ද ලකුණු 21කට කඩුලු 2ක් බිදහෙලා දඹුල්ල පිලට පීඩනය වැඩි කළේය.

කොළඹ උතුර පිලේ අංක තුන පිතිකරු චේතින කාවින්ද පන්දු 70කදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ අගනා ලකුණු 53ක් ලැබූ අතර, දෙවැනි කඩුල්ලට ආරම්භක පිතිකරු ජනදීප ඔකාෂ් සමඟ එක්ව පන්දු 89කදී ලකුණු 50ක සබඳතාවක් කිරීමට ද සමත් විය.

එමෙන්ම පස්වැනි කඩුල්ලට හෆීස් ජුන්කීර් හා සෙහඳු සමරවීර පන්දු 47කදී ලකුණු 56ක් ගොඩනැඟීමද කොළඹ උතුර පිලේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූ තවත් අවස්ථාවකි. සඳිස කාවින්ද හා අබ්දුල් රහුමාන් 7 වැනි කඩුල්ලට පන්දු 15කදී ඉක්මන් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වූහ. දඹුල්ල පිලේ රසිඳු ආකර්ෂා හා නෙසාද් වීරසේකර කඩුලු 3 බැගින් බිදහෙලූහ.

කොළඹ උතුර පිල ඕවර් 38කදී කඩුලු 9කට ලකුණු 209

ජනදීප ඔකාෂ් 27, චේතින කාවින්ද 53, මිෂික අබේවර්ධන 12, හෆීස් ජුන්කීර් 35, සෙහඳු සමරවීර 19, සඳිස කාවින්ද 23, අබ්දුල් රහුමාන් 7, ෂෙනුක් නිලේෂ් නොදැවී 12, අතිරේක 19 (සජිත නෙත්සර 41/1, පබසර වනසිංහ 17/1, රසිඳු ආකර්ෂා 30/3, යුමාල් එගොඩගේ 47/1, නෙසාද් වීරසේකර 39/3)

දඹුල්ල පිල ඕවර් 38කදී කඩුලු 5කට ලකුණු 201

දිසස් කාවින්ද නොදැවි 101, තාරුක්ෂ ද සිල්වා 25, සන්තෝෂ් ගුණසේකර 39, පබසර වනසිංහ 16, අතිරේක 15 (දෙසිඳු දින්සර 42/1, සඳිස කාවින්ද 21/2, අබ්දුල් රහුමාන් 34/1)

කොළඹ දකුණටත් තියුණු ජයක්

අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් තරගාවලියේ’ පෙරේදා පැවැති කොළඹ දකුණ කණ්ඩායම හා ගාල්ල අතර තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කර ගැනීමට කොළඹ දකුණ පිල සමත් වූවේය.

කොළඹ විශ්විවිද්‍යාලය පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කොට ඕවර් 38.1කදී සියලු දෙනා දැවී ලකුණු 123ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ දකුණු පිල ඕවර් 40.2 කදී කඩුලු 9ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තේය.

කොළඹ දකුණු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ මෙනුර දිසානායක හා ලිතුම් දේවසුරේන්ද්‍ර පළමු කඩුල්ලට පන්දු 58කදී ලකුණු 50ක් එක්කොට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර, මෙනුර දිසානායක පන්දු 28කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 31ක් ලබා සිටියදී දැවී ගියේය.

ලකුණු 15ක් තුළ කොළඹ දකුණු කණ්ඩායමේ කඩුලු 3ක් බිඳවැටී යෑමෙන් පසු රනිඳු රණසිංහ හා නවිනු ප්‍රනාන්දු 5 වැනි කඩුල්ලට පන්දු 57කදී ලකුණු 24ක් එක් කළ අතර, හාමීඩ් අෆ්ඩාල් හා නවිනු ප්‍රනාන්දු 6 වැනි කඩුල්ලට පන්දු 56කදී ලකුණු 22ක් එක් කිරීමෙන් පීඩනය ගිලිහී ගියේය. එහෙත් 6 වැනි කඩුල්ලේ සිට 9 වැනි කඩුල්ල දක්වා පිතිකරුවන් සිව් දෙනකු ලකුණු 2ක් තුළ දැවී යෑමෙන් යළි කොළඹ දකුණු කණ්ඩායම අසීරුතාවට පත් වූ අතර හාමීඩ් අෆ්ඩාල් නොදැවී ලකුණු 20ක් ලබා ජය තහවුරු කර ගත්තේය

ගාල්ල ඉනිමේදී කොළඹ දකුණු කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් වූ හාමීඩ් අෆ්ඩාල් හා ගඟන ගමගේ මුල සිටම තර්ජනාත්මක පන්දු යැවීමක නිරතවීමෙන් ගාල්ල පිලේ පළමු කඩුලු 4 ලකුණු 24ක් තුළ බිද වැටුණි. අනතුරුව දියත් සන්ජිත හා ලිනුවර සත්විඳු පස්වැනි කඩුල්ලට පන්දු 30කදී ලකුණු 13ක සබඳතාවක් එක් කළ අතර, 8 වැනි කඩුල්ලට චෙනුල් මනුල්ක හා ගෙසඳු බිසස් 8 වැනි කඩුල්ලට පන්දු 90කදී ලකුණු 51ක සබඳතාවක්

ගොඩනැඟීමෙන් ගාල්ල පිල තරමක් හිස එසැවිය. චෙනුල් මනුල්ක ලකුණු 13කට දැවී යෑමෙන් පිටියට පිවිසි ගයුක කවීෂ හා ගෙසඳු බිසස්ට එක්ව 9 වැනි කඩුල්ලට පන්දු 30කදී ලකුණු 17ක් එක් කළහ.

ගාල්ල පිලට අස්වැසිල්ලක් ගෙනදී මෙවර 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් තරගාවලියේ පළමු අර්ධ ශතකය

රැස්කිරීමට ගෙසඳු බිසස් සමත් වූ අතර, ඔහු පන්දු 76කදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 52ක් එක් කළේය. පන්දු යැවීමේදී ගඟන ගමගේ කඩුලු 3ක් හා සනුග දුල්මික, හාමීඩ් අෆ්ඩාල් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ගාල්ල පිල ඕවර් 38.1කදී සියලු දෙනා දැවී ලකුණු 123

සෙතූජ මන්දිනූ 7, දියත් සන්ජිත 6, ලිනුවර සත්විඳු 14, ගෙසඳු බිසස් 52, හිරුක අකලංක 6, චෙනුල් මින්ලක 13, අතිරේක 14 (හාමිඩ් අෆ්ඩාල් 20/2, ගඟන ගමගේ 26/3, සනුග දුල්මික 11/2, අකාෂ් දිසානායක 23/2, නවිනු ප්‍රනාන්දු 22/1)

කොළඹ දකුණු පිල ඕවර් 40.2 කදී කඩුලු 9ක් දැවී ලකුණු 125

මෙනුර දිසානායක 31, ලිතුම් දේවසුරේන්ද්‍ර 31, මයුර බණ්ඩාර, රනිඳු රණසිංහ 14, නවිනු ප්‍රනාන්දු 20, හාමීඩ් අෆ්ඩාල් නොදැවී 20, අතිරේක 6 (ගෙසඳු බිසස් 25/1, කවිඳු ගයාෂාන් 23/4, හිරුක අකලංක 18/1, නිෂිත් තේජව ද සිල්වා 22/1, චෙනුල් මින්ලක 13/1)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here