ගෙදර අය, ගෙදර අයටම පහරදීම

0
3

(ගෘහස්ථ හිංසනය)

ගතවූ වසර 10 තුළ මේ රටේ වාර්තා වූ ගෘහස්ථ හිංසන ප්‍රමාණය දාහතර ලක්ෂ විසිඑක් දහස් හත්සිය හැට එකක් බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය ඇමැති නාමල් ගුණරත්න පාර්ලිමේන්තුවේදී පවසා තිබේ. ඒ අනුව සාමාන්‍යයක් වශයෙන් ගත් කල ගෘහස්ථ හිංසන පැමිණිලි එක්ලක්ෂ විසිපන්දහසක් පමණ පොලිසිවලට ලැබේ. තාත්තා විසින් අම්මාට පහරදීම, තාත්තා දරුවන්ට පහරදීම, තාත්තාගේ දෙවන බිරිය දරුවන්ට පහරදීම, මවගේ දෙවැනි සැමියා දරුවන්ට පහරදීම සහ ඇතැම්විට දරුවන් දූෂණය කිරීම යනාදිය ගෘහස්ථ හිංසන පැමිණිලි කැටගරියට අනියුක්ත කළ හැකිය. ලංකාවේ ජනගහනය දෙකෝටි විසිලක්ෂයකි. ගෘහස්ථ හිංසන පැමිණිලි එක්ලක්ෂ විසිපන්දහසක් අවුරුද්දකට වාර්තා වන්නේ නම් ජනගහනයට සාපේක්ෂව විශාල ප්‍රමාණයකි. උදේ සිට රෑ වෙනතුරු බණ අසන, රේඩියෝවේ පිරිත් දමාගෙන සිටින, කඨින පින්කම් සඳහා මිලියනයකට වඩා වැය කරන, මල් වට්ටි වෙන්දේසිවලදී රුපියල් ලක්ෂ ගණන්වලට මල් වට්ටි මිලදී ගන්න සහ භික්ෂූන් වහන්සේලා පන්සිය නමකට හෝ දහස් නමකට එකවර දානය දෙන ජනතාවක් මේ රටේ සිටිති. පන්සල්වල පින්කම් පවතින දවස්වලට සුදු ඇඳපු ජනයා මොන්ටෙරෝ සහ V8 වලින් බසින දර්ශන ඇහැට ඉතා ප්‍රියමනාප ය. ඇත්තම කතා කළොත් මෙහිදී වැදගත් වන්නේ සුදු ඇඳපු ජනයා නොව V8 එක හෝ මොන්ටෙරෝ එකය. මිනිසුන් කල්පනා කරන්නේ රියෙන් බසින පින්වත් උත්තමයාට V8 එකක් හෝ මොන්ටෙරෝ එකක් ලැබුණේ කවර පින්කමක් නිසාද යන්නය. සාමාන්‍යයෙන් සම්පූර්ණ සුදු අඳින ජනතාවගෙන් අප ප්‍රවේශම් විය යුතුය. සුදු කිට් එක ඇතුළේ පල් හොරු සැඟවෙති. කුඩුකාරයෝ සැඟවෙති. මිනීමරුවෝ සැඟවෙති. එය වෙනම දවසක වඩා පුළුල් මාතෘකාවක් ලෙස සලකා සාකච්ඡා කරමු. ගෘහස්ථ හිංසන සිද්ධියට නැවතත් අපේ අවධානය යොමු කරමු.

ශිෂ්ටාචාරය වූ කලී ජනතාවට හොඳ දේ මෙන්ම නරක දේ ද පුරුදු කළ භයානක පාඩම් පොතකි. ශිෂ්ටාචාරයේ දියුණුව සමග ගෘහස්ථ හිංසනය අඩු විය යුතු නමුදු එය වැඩි විය. එය කොතරම් උපරිම මට්ටමකට ගොස් තිබේ ද යත් අද වනවිට සීයාගෙන් මිනිබිරිය පරිස්සම් කරගැනීම අමාරුය. තරුණ කොල්ලෝ ආච්චිලා දූෂණය කරති. හිංසනය සහ ප්‍රචණ්ඩත්වය විශේෂාංගයක් ලෙස ඉදිරියටම යමින් පවතී. හැම ගෙයක් ඇතුළේම පාහේ වාචිකව හෝ ශාරීරිකව ගෘහස්ථ හිංසනය සිදු කෙරෙයි. හවසට බීගෙන එන තාත්තා මුළු පවුලටම කුණුහරුපයෙන් බණී. අම්මා එයට උත්තර දීමට ගියවිට තාත්තා පොලුවලින් පහරදී ඇය මරන්නට තැත් කරයි. ඒ අවුල විසඳීමට දරුවන් ඉදිරිපත් වූ විට තාත්තා උන්ට ද පොලු පහර දෙයි. එසේ පොලු පහර කන දරුවන් අතර කඳ බඩ උස මහත වූ වැඩිදුර නොහිතන පුතෙක් හිටියොත් ඌ තාත්තාගෙන් පොල්ල උදුර ගෙන තාත්තාටම නෙළන්නට පටන් ගනී. මෙවිට බොහෝවිට සිදුවන්නේ පියා මියයෑමය. යම් හෙයකින් අධිකරණයෙන් දරුවාට නිදහසක් ලැබුණත් ගෙදර ආ දවසේ පටන් දරුවාගේ හිත පීතෘ ඝාතක අපරාධයෙන් විකාර වන්නට පටන් ගනී. මේ විකාර රූපී අදහස් මර්දනය කිරීම සඳහා කොලුවා එක්කෝ කසිප්පු බොයි. නැත්නම් කුඩු ගහයි. අවසානයේදී පුතා ඛේදවාචකයකට මුහුණ දී ජීවිතය අත්හැර දමයි. එක්කෝ ඔහු එල්ලෙයි. නැත්නම් වස බොයි. නැත්නම් කෝච්චියට පනියි. ජීවත්වීමට උපකාර කරන ක්‍රමවලට වඩා මැරෙන්නට උපකාර කරන ක්‍රම ප්‍රමාණය වැඩි බව අප මතක තබාගත යුතුය.

පිටරටවල ද ගෘහස්ථ හිංසනය සිදුවෙයි. එහෙත් ඒ පිළිබඳ ක්‍රියාකරන ආකාරය ගැන ගෙදර මහ මිනිහාගේ සිට පොඩි එකා දක්වා ඉතා හොඳින් දැන සිටී. ගෙදර හිංසනයක් සිදුවූ විට කළයුතු වන්නේ අංක 3කින් සමන්විත දුරකථන අංකයකට කතා කිරීම පමණි. එසැණින් පොලිසිය පැමිණ ගේ වට කරයි. හිංසාවට පත් පුද්ගලයා රෝහලට ගෙනයනු පිණිස හෙලිකොප්ටර් ගිලන් රථයක් ද පැමිණෙයි. පොලිසිය මගින් මර්දනය කරනු ලබන හිංසකයා මාංචු දමා පොලිසියට ගෙන යනු ලැබෙයි. හුඟක් රටවල මාංචු දමන්නේ අපේ රටේ විදියට අත්දෙක ඉදිරිපසින් තබා නොව පිටුපසින් තබාය. ඊළඟට හිංසකයාගේ බෙල්ලෙන් අල්ලා ඔහුගේ හිස පහත් කරගෙන වේගයෙන් තල්ලු කරගෙන පොලිස් රථය වෙත ගෙනයනු ලැබේ. මේ දර්ශනය දුටු සැණින් අල්ලපු ගෙදර එකා ගෘහස්ථ හිංසනය මතක් කිරීමටවත් බියපත් වෙයි. ගුරුවරුන් සහ වැඩිහිටියන් විසින් දරුවන්ට හිංසා පීඩා කරනවිට සහ ශාරීරික දඬුවම් පමුණුවනවිට එයට එරෙහි වීම සඳහා නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා මේ ආණ්ඩුව තීරණයක් ගත්තේය. එහෙත් ඒ තීරණය ඇසූ සැණින් මේ රටේ නිදහසේ තණකොළ උලාකමින් සිටින ඇතැම් මීහරක් පට්ටි එයට විරුද්ධ වූහ. සිසුන්ට පහරදීමට අයිතිවාසිකම නොලැබුණොත් වැඩවර්ජනවලට යන බව ඇතැම් ගුරු සංගම් කීහ. මේ රටේ මේ ආකාරයේ ප්‍රශ්නයක් ද තිබේ; මෙහි සිටින්නෝ කොල්ලන් නොව කොලු තාත්තලා ය. උහු ගුරුවරුන්ටත් පහර දෙති. පිටරටවල ද මේ තත්ත්වය මෙසේම පවතී. එහෙත් එය ටැකල් කිරීමට ආණ්ඩුව හා ගුරුවරු දනිති. සමහර අවස්ථාවල යුරෝපයේ තත්ත්වය මීට වඩා භයානක ය. හිටි ගමන් ගිනි අවියක් ගෙන පාසලකට ඇතුළු වන ශිෂ්‍යයෙක් ගිනි අවියේ තිබෙන පතරොම් ටික ඉවර වෙනතුරුම වෙඩි තබාගෙන යයි. සමහරවිට ඒ ළමයා පොලිසියෙන් මැරුම් කයි. ඔහු ගැන සොයා බලනවිට පැහැදිලි වන්නේ එක්කෝ ඔහු කුඩුකාරයෙක් බවය. එක්කෝ ඔහු මානසික පීඩනයකින් පෙළෙන කෙනකු බවය. ගෘහස්ථ හිංසනය යනු මත්ද්‍රව්‍ය සහ මානසික පීඩාවේ ප්‍රතිඵලයක් වීමට බොහෝදුරට ඉඩ තිබේ. ඒ නිසා රජය මෙය පරිස්සමෙන් කළමනාකරණය කරගත යුතුය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here