පූජනීය ස්ථානවලට ද වාස්තු දෝෂ බලපායි

0
12

වාස්තු ශිල්පියකු වශයෙන් නිවසකට ගියත් පෞද්ගලික අවශ්‍යතාවයට හෝ හිතවත්කමකට හෝ නාඳුනන වෙළඳසලක් හෝ වේවා දැන හඳුනන හෝ නොදන්නා අයකුගේ ස්ථානයක, ගොඩනැඟිල්ලක, භූමියේ, වහලයේ, කුමන ස්ථානයක හෝ ඇසින් දුටු සැණින් කිවහැකි ප්‍රබල වාස්තු දෝෂයක් පවතින විට මගේ වැරද්දට හෝ කටපියාගෙන ඉන්නට නොහැකිව මේක වැරදියි කියන්න තදබල අවශ්‍යතාවය මට දැනේ. ඒ කුමන තරාතිරමක කුමන විධියේ හැසිරීමක් පවතින අයකුට වුව ද එය ඔහු හෝ ඇය ගැන අනාගතයේ වෙන්නට තිබෙන අනතුරක සේයාව දැක නිහඬව සිටීමට නොහැකි වීම නිසායි. කියන කරුණු සමහර උදවිය ඉතා සංවේදීව අසා තුති පුදන අතර තවත් බොහෝ අය ඉතා සමච්චලයෙන් හිනාවීම, ඕවා අපිට බලපාන්නේ නෑ, අපි අහවල් ආගමේ යන ප්‍රකාශ ද අසා අනන්ත සමච්චලයට ලක්වුණ අවස්ථා ද මාගේ ජීවිතයේ පවතී. බොහෝ හිතමිත්‍ර ඥාතීන්ගේ නිවෙස්වලට ගොඩවැදීමට පර මාගේ බිරිඳ සන්ධ්‍යා කියන දෙය නම් “අනේ ගේ සම්බන්ධයෙන් වාස්තු ගැන කතා කරන්න එපා. ඒ අය ඕව පිළිගන්නේ නෑ” යනුවෙනි. ඒත් එය පාලනය කර ගැනීමට මට නොහැකිවීම නිසා මා මෙන්ම ඇය ද අපහසුතාවන්ට පත්වී ඇත. එක්තරා විහාරස්ථානයකදී නායක ස්වාමීන් වහන්සේ නමකට ලැගුම් ගෙයි පැවැති වාස්තු දෝෂයක් පවසන්න යෑම නිසා බුදු දහමේ එවැනි දේවල් සම්බන්ධයෙන් පෙන්වා දී නොමැති බව උන්වහන්සේ පැවසූහ. මම විවාදයට

නොගියෙමි. නමුත් බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ පැලලුප් නගරයේ සුනීත හා වස්සකාර සිටුවරයන් නගර නිර්මාණය කළේ වාස්තු පදනම් කරගෙන හා එම සිටුවරුන් ප්‍රමුඛ නගරවාසීන්ට එදා ශීලය හා දුස්ශීලය අතර ලැබෙන ආනිශංස හා ගෘහයේ ගෘහ අධිපති දෙවියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනය කිරීම සම්බන්ධයෙන් මනා සූත්‍රයන් දේශනා කළ බවත් පැවසීමට සිතුවත්, සංඝයා කෙරෙහි පවතින ගෞරවය නිසා එලෙස නොකළෙමි.

තවමත් මා හොඳින් දන්නා විහාරස්ථානයක වැසිකිළි හා වැසිකිළි වළවල් පවතින්නේ ඊශාන දිශාව තුළ වන අතර ඊශාන දිශාවේ වැසිකිළි වළ පැවතීමෙන් සංඝාවාසයේ වෙසෙන ස්වාමීන් වහන්සේලාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වලවීම සෙම, පෙනහලු ආශ්‍රිත රෝග වැලඳීම, බෝවීම සිදුවේ. එයට නිවැරදිම ප්‍රතිවිපාකය එම විහාරස්ථානයේ සිටි නායක ස්වාමීන්වහන්සේ ශ්වසන ආබාධයකින් අපවත්වීමයි. ඉතා සිල්වත්, ගුණවත්, බුද්ධිමත් දක්ෂ සඟරුවනක්ව සිටි උන්වහන්සේගේ අඩුව අදටත් විහාරස්ථානයට දරාගත නොහැක.

මේ ආකාරයට පන්සලේ, කෝවිලේ, දේවාලයේ කියා විශ්ව ශක්තියේ ශුභාශුභ වෙනස් වන්නේ නැත. විශ්වයේ නීතිය වාස්තු සම්බන්ධයෙන් විශ්වය තුළ වෙසෙන සියලුම මනුෂ්‍ය ජීවීන්ට එක ය. විශ්ව නීතියට එකඟව අප කටයුතු කළ යුතුය. එම නිසා ආවාස ගෙය තුළ ද

ස්වාමීන්වහන්සේලාගේ වැඩවසන කාමර, ආලින්ද, වැසිකිළි, මුළුතැන්ගෙවල් නිසි ක්‍රමවේදයට නිසි දිශාවන්ට අනුකූලව නොපැවතුනහොත් මෙම ස්ථානවලට ඇදී එන අශුභ තරංග නිසා අමනුෂ්‍ය දෝෂ ඇති කරයි. මෙහි වසන භික්ෂූන් වහන්සේලාගේ මනසේ ක්‍රියාකාරීත්වය දුර්වල කරයි. යක්ෂ ප්‍රේත ආකර්ශනයක් නිසා ඔවුන්ගේ බලපෑම්වලට අවනතව සිත් දූෂණය වීමෙන් විනය විරෝධී ක්‍රියාවන්ට යොමුවිය හැක. වර්තමානයේ බොහෝ ධනවත් උදවිය විසින් තමන් උපන් දා සිට ජීවත් වුණ නිවස, වලව්ව, ආරාමයකට පන්සලකට පූජා කරයි. ගිහියන් විසින් පංච කාමයන්ගේ හැසිරෙමින් පංච සීලය කඩකරමින් ජීවත් වුණ ගෘහය, ආරාම සඳහා හෝ භික්ෂු නේවාසිකාගාර සඳහා ලබාදුන්න ද ඒ වායේ වෙසීම ශුභ වන්නේ නැත. මේ තුළ නොයෙක් නොපෙනෙන බලවේගයන්ගේ ක්‍රියාකාරිත්වයෙන් කුසල් ශක්තියෙන් හීන ස්වාමීන්වහන්සේලාට නොයෙක් පීඩාවලට පත්වීමට සිදුවනු ඇත. එවැනි අය සමාජ අපචාර ක්‍රියාවලට ඉක්මනින් යොමු වන්නේ එම බලවේගවල ක්‍රියාකාරී බව නිසා ය.

ඒ වගේම විහාරස්ථානයක් ඉදිකිරීමේදී අද බොහෝ විහාරස්ථානවල විශාල හිටිපිළිම වහන්සේලා තැන්පත් කරනු ලබයි. එවැනි හිටිපිළිම වහන්සේලා භූමියේ ඕනෑම ස්ථානයක තැන්පත් කළ නොහැක. අපි නිවසේ බුදු පිළිම තබනවාට වඩා බොහෝ වෙනස්කම් බෞද්ධ සිද්ධස්ථානයක තැබීමේදී සිදුකරනු ලබයි. සිද්ධස්ථාන භූමියේ උසම ස්ථානයක හිටිපිළිම වහන්සේව තැන්පත් කරන අතර ඊශාන, දිශාවට නැඟෙනහිර දිශාවට හෝ උතුරු දිශාවට මුහුණලා සිටින ලෙස තැබිය යුතුය. නිරිත දිශාවට හෝ වයඹ, බටහිර, දකුණ, ගිනිකොන දිශාවන්ට ඉඳිපිළිමයක් හෝ හිටිපිළිමයක් හෝ කුමන ආකාරයක ඉරියව්වකින් හෝ සිටින පිළිම වහන්සේ නමක් තැබීම ඉතාම වැරදි හා අශුභ දනවන්නකි.

බුදු මැඳුරක් ඉදිකිරීමේදී ද අනුගමනය කළ යුතු වාස්තුමය කරුණු පවතී. මෙය බුදු මැඳුරටම පමණක් නොව කුමන හෝ ආගමික සිද්ධස්ථානයකට අදාළව කරන කාර්යයක් වන්නේ නම් දිශාව හා වර්ගඵලය නිවැරදිව අනුගමනය කිරීමයි. බුදු මැඳුරක බුදු පිළිමය ස්ථාපිත කළ යුතු දිශාවන් අතර බුදු මැඳුරේ ඊශාන දිශාව හා බ්‍රහ්මපාදය කොටස තුළ එය සිදුකළ හැක. බුදු මැඳුරක වහලය නිර්මාණය කිරීම ද ගෘහයක වහලය නිර්මාණයට වඩා බොහෝ වෙනස්කම් පවතිනු ඇත. මෙම වහල ක්‍රම

සංඝාවාසය සඳහා නොව බුදුමැඳුර බණමඬුව ආශ්‍රිතව ගැටලුවක් නොපවතී. එනම් නිවසක ඉතා අශුභ වහලයක් වන කැනිමඬල වහලය, සොහොන් පරාලය සහිත වහල, අම්බලම් සඳහා භාවිතා වන වහල ආදිය යොදාගත හැක. බුදු මැඳුරක වහලයට නම් කොහොඹ දැව, මී දැව, යොදා මුදුන් යටලීය සකස් කර ගත යුතුය.

පන්සලක ආවාසගෙය තැනීමේදී දිග පළල ගත යුත්තේ ඔත්තේ වඩු රියන භාවිතා කරගනිමිනි. මෙහිදී ද නිවසක වඩු රියන අඟල් 31 සම්මත වුවද වෙහෙර විහාර, චෛත්‍ය, පූජනීය ස්ථානවලට ධර්මශාලාවලට යොදාගන්නා වඩු රියන වන්නේ අඟල් 33 ය. ශනිගේ දිනය ගෘහ ආරම්භය සඳහා යොදා නොගත්තාට විහාරස්ථාන ඉදිකිරීමේදී සුවන නැකතට සෙනසුරාදා දිනය ගෙන වැඩ ආරම්භ කිරීම කරනු ඇත.

පන්සලක් සඳහා භූමියක් තෝරා ගැනීමේදී සෑම විටම ප්‍රධාන මාර්ගයෙන් උස් වුණ භූමි ම තෝරා ගත යුතුයි. ප්‍රධාන මාර්ගයට පහළින් පිහිටන භූමිවල පන්සල්, දේවාල හෝ කුමන සිද්ධස්ථාන ඉදිකළ ද එහි දියුණුව දායකයන්ගේ ආකර්ශනය ජන සහභාගිත්වය කල්ගත වීමේදී අඩු විය හැක. උස් වූ භූමියක ඉදිකරන පන්සල් භූමියේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ද උසම ස්ථානයක ඉදිකිරීමෙන් දසත සිසාරා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ශ්වේත වර්ණයෙන් චෛත්‍යය, චෛත්‍යයෙහි කොත් වහන්සේ දිස්වීම හා කොත් කැරැල්ල මුදුනේ පවතින

චූඩා මාණික්‍යයේ රශ්මි කදම්භයත් දිස්වීම විශ්වශක්තිය ඇදගැනීමට මෙන්ම ගම සිසාරා පැතිරවීමට ද උපකාරී වනු ඇත. උදය කාලයේ පායන හිරු සේම සවස් කාලයේ බැස යන හිරු ද චෛත්‍යයේ කොත් කැරැල්ලෙන් මතුවීම හා අස්ථ වීම ද අවටින් දැකගැනීමට හැකිවනු ඇත. එය අවට සිසාරා ආශිර්වාදයක්ම වන්නේය.

දුටුගැමුණු රජතුමා ද අනුරාධපුරයේ වැව්, දාගැබ්, චෛත්‍ය ඉදිකළේ ඉන්දීය වාස්තු ශිල්පීය ක්‍රමයන් අනුගමනය කරමින් බව මහාවංශයේ ද සඳහන් වේ. එම නිසා කුමන ආගමික සිද්ධස්ථානයක හෝ දෙවියන්ගේ ඇල්ම, බැල්ම දේව ආකර්ශනය උදෙසා අධ්‍යාත්මික කටයුතුවල දියුණුව උදෙසා වාස්තු ශිල්පීය ක්‍රම භාවිතා කළ යුතුය.

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
දුරකථන අංකය- 0777856649.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here