ජනපති දිවයිනට

0
13

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනය පරිදි AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක, සිය සංචාරය නිම කර ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය.

AI Impact 2026 සමුළුව ලෝක නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සහ තාක්ෂණ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නවදිල්ලි නුවරදී පැවැත්වුණේ කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණෙනි.

ඉකුත් 19 වැනිදා පස්වරුවේ රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් හා හැකියාවන් ප්‍රවර්ධනයට AI තාක්ෂණය ඉවහල් කරගත යුතු බවයි.

සමුළුව අතරතුරදී ජනාධිපතිවරයා  ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්, භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ, අබුඩාබිහි ඔටුන්න හිමිකරු වන ශෙයික් කාලෙඩ් බින් මොහොමඩ් බින් සායෙඩ් අලි නාහියා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබිණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ද ඊයේ (20) විශේෂ හමුව පැවැත්විණි.

මේ අතර, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා සමග හමුවකටද එක්ව තිබිණි.

පසුගිය 16 වැනිදා නවදිල්ලි නුවර “භාරත් මණ්ඩපම්” සම්මේලන මධ්‍යස්ථානයේදී  ‘AI Impact 2026’ ආරම්භ වූයේ රටවල් 45ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙනි.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන්  රටවල් 20ක නායකයින් සහභාගිවූ එහි රාජ්‍ය නායක සමුළුව පසුගිය 19 වැනිදා පැවැත්විණි.

එම සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය අගහරුවාදාය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here