ඇමැති කුමාර කී සූර්ය බලශක්ති මාෆියාකාරයෝ මිලියන 14ක අල්ලසක් දී අලි බිමකට ඇරිය බවට තොරතුරු

0
3

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතාගේ මැදිහත්වීමෙන් ඉකුත් වසරේ අත්හිටවූ පසුගිය ආණ්ඩුවේ ජාවාරම්කාර ව්‍යාපාරික සමාගම් ව්‍යාපෘති 30ක් මිලියන 14ක වක්‍ර අල්ලසක් දී නැවත ආරම්භ කර ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය චෝදනා කරයි.
අදාළ ව්‍යාපෘති මෙවර ආරම්භ කර ඇත්තේ අලි – ඇතුන් ජීවත් වන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි අලින් ගේ නිජබිම් වන වනාන්තර පද්ධතිය හෙළි පෙහෙළි කරමින් බවද පැවසේ.

සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශවල වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ අලි – ඇතුන් ජීවත් වන වනාන්තර අක්කර 1000 ක් පමණ ඩෝසර් යන්ත්‍ර මගින් එළි කිරීම හා ගිනි තැබීම සිදු කරමින්, එල්ලෙන විදුලි වැටවල් මගින් වනාන්තර ආවරණය කරමින් දැවැන්ත වන විනාශයක් අදාළ සමාගම් සිදු කර ඇති බවට ද ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හෙළිකර ඇත.

දුදූ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Dudu International Pvt Ltd), නිධන්යා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Nidhanya International Pvt Ltd), ටානු ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Tanu International Pvt Ltd), ටනිෂ් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම (Tannish International Pvt Ltd), ඔරියන් සෝලා පුද්ගලික සමාගම (Orion Solar Pvt Ltd), එවර්නිව් එනර්ජි පුද්ගලික සමාගම (Everrenew Energy Pvt Ltd) හා ඒෂියන් සෝලා පුද්ගලික සමාගම (Asian Solar Pvt Ltd) යන සමාගම් මඟින් මේවා සිදු කර ඇතැයි ද පැවසේ.

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී අත්හිටුවන ලද මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සිදු කර ඇත්තේ රුපියල් මිලියන 14 ක මුදලක් සමාගම් පහක් එක් ව අල්ලස් ලෙස වක්‍ර මාර්ගික ව ලබා දීමෙන් බවටද ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක සජීව චාමිකර මහතා සිය වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

සජීව චාමිකර මහතා සිය වාර්තාවක් මගින් වක්‍රාකාරයෙන් අල්ලස් ලබාදුන් ආකාරය මෙසේ පැහැදිළිකර ඇත.

“හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ නාගරවැව සිට මයුරපුර දක්වා සහ උස්ගල දක්වා කිලෝමීටර 12 ක එල්ලෙන විදුලි වැටක් ඉදි කිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සුනිල් රත්නායක සහ හම්බන්තොට නගර සභාවේ නාගරික මන්ත්‍රි නලන් කුමාර යන අය ගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ගොවි සංවිධානයට මෙම විදුලි වැට ඉදි කිරීමට රුපියල් මිලියන 11 ක පමණ මුදලක් ලබා දී තිබේ. 

අනෙක් රුපියල් මිලියන 3 ක මුදල අදාළ සමාගම් විසින් ලබා දී ඇති ආකාරය නිවැරදි ව සඳහන් වී නොමැත. මේ ආකාරයට රුපියල් මිලියන 14 ක මුදලක් ලබා දී ඇත්තේ ඔරියන් සෝලා, නිධන්යා ඉන්ටර්නැෂනල්, ටනිෂ් ඉන්ටනැෂනල්, ටානු ඉන්ටර්නැෂනල් හා දුදූ ඉන්ටර්නැෂනල් යන සමාගම් පහ විසිනි.


මෙම සමාගම්වල මුදල් ලබා දීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිහාල් ගලප්පත්ති, රුවන් සෙනරත් හා අතුල වෙළෙදගොඩ යන අය ගේ මඟපෙන්වීම යටතේ සිදු වී ඇති අතර හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් දයාවංශ මෙම ක්‍රියාවලිය මෙහෙයවීම සිදු කර ඇත. මීට අමතර ව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා විසින් මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම සිදු කර ඇත. මේ ආකාරයෙන් විදුලි වැට ඉදි කිරීමට මුදල් ලබා දීමෙන් පසු ව අදාළ සමාගම් විසින් අලි – ඇතුන් ගේ නිජබිම් වන වනාන්තර විනාශ කරමින් සෝලා බලාගාර ඉදි කිරීමේ කටයුතු නැවත ආරම්භ කර තිබේ.”

මේ ආකාරයෙන් මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ප්‍රථම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී ගන්නා ලද තීරණ මත කිසිදු ආකාරයකින් ව්‍යාපෘති නැවත සමාලෝචනයකට ලක් කර නැතැයි ද පැවසේ.

ඉන් පැහැදිලි වන්නේ අත්හිටවූ ව්‍යාපෘති නැවත ආරම්භ කර ඇත්තේ එල්ලෙන විදුලි වැට ඉදි කිරීමට මුදල් ලබා දීමේ පදනම මත බව  යැයිද ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය චෝදනා කරයි.

එය වක්‍ර මාර්ගික අල්ලස් ලබා දීමක් බවද ඔවුන් පෙන්වාදෙයි.

සෝලාර් මාෆියාව

මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විලිබල නිශ්පාදනය තුළ තෙල් මාෆියාව පමණක් නොව, සෝලාර් මාෆියාවකුත් ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එය කඩා දමන බවද ඔහු එහිදී පැවසීය.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් පිටකර ඇති සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here