වරායෙන් වාහනයක් අරන්දෙන්න කෝටි 2ක් ගත් ලේකම් නෝනා අද අධිකරණයට

0
3

අති සුඛෝපභෝගී වාහනයක් ලබාදෙන බව පවසා රුපියල් දෙකෝටි විසි හත් ලක්ෂයක (22,700,000 ) මුදලක් වංචා කළ බව කියන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අතිරේක ලේකම්වරියක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල නැදිමාල පදිංචි 56 හැවිරිදි නිලධාරිනියක බව පොලිසිය සඳහන් කළේය. 

කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයකුගෙන් ඉකුත් වසරේ දෙසැම්බර් මස 30 වැනිදා ලද පැමිණිල්ලකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය මීට මාස හතකට පමණ ඉහතදී වරාය හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවය කර ඇති අතර එම අවධියේදී පැමිණිලිකාර වෛද්‍යවරයාගෙන් මුදල් ලබාගෙන ඇත්තේ වරාය පරිශ්‍රයේ වෙන්දේසි සඳහා යොදන වාහන සහනදායි මිලට ලබාදීමට හැකි බව පවසමින් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ අතර සැකකාරිය පැමිණිලිකාර වෛද්‍යවරයාට වාහනය හෝ මුදල් ලබානොදී දිනෙන් දින මගහැර ඇති බව පැමිණිල්ලේ සඳහන්ය. 

එම සැකකාරිය අද (20) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ උපදෙස් මත මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජිත වර්ණප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here