ආණ්ඩුවේ 2026 අය-වැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය තවම අවසන් වී නැත. මෙම විවාදය අර්ථවත් විශ්ලේෂණ හා තාර්කික සංවාදයක් බවට පත් කරගැනීමට විපක්ෂය අසමත් වූ බව අගමැතිනි, හරිනි අමරසූරිය ද පවසා තිබේ. ඒ කතාව ඇත්තකි. එහිදී අප දුටුවේත් මාධ්‍යවල ප්‍රමුඛතාවක් දෙමින් වාර්තා කර තිබුණේත් අය-වැය යෝජනා හෝ ඒවායේ ඵලදායිතාව විමර්ශනය කිරීමක් නොව, වෙනත් දේශපාලන විවේචන බවද පෙනී යයි. මේ අය-වැය සම්බන්ධයෙන් සාධනීය විවේචනයක් කර තිබුණේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා තවත් සමාජ ක්‍රියාකාරීන් කීපදෙනෙක් පමණි. කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින්ම සඳහන් කර තිබුණේ 2026 අය-වැය ජනප්‍රියවාදී රෙදිපිළිවලින් වැසූ තාක්ෂණික ඇස් බැන්දුමක් බවය. ඔවුන්ගේ විවේචනයෙහි ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපට ද එකඟ විය හැකිය. ග්‍රාමීය දරිද්‍රතාව සම්බන්ධයෙන් අය-වැය අවධානය යොමු විය යුතු බව සැබෑවකි.
කෙසේ හෝ මෙතෙක් අය-වැය විවාදයෙහිදී විපක්ෂයට එහි අන්තර්ගතය පිළිබඳ සාධනීය විවේචනයක් කළ නොහැකි වූ බව අපට ද පෙනුණි. වතුකරයේ වැඩ කරන ජනතාවගේ රු. 200/- දීමනාව සම්බන්ධයෙන් විපක්ෂයට පැහැදිලි විවේචනයක් ද නොවීය. අවසානයේදී ඒ වතු කම්කරුවන් එහි නායකයන්ට එරෙහිව පොල් ගැසූ අතර සජබයේ සිටි දෙමළ මන්ත්‍රීවරු ද ආණ්ඩුව සමග ඡන්දය දුන්හ. මේ සතියේ එනම් සඳුදා (17දා) වුවද අය-වැය විවාදය උණුසුම් කළේ වෙනත් සිදුවීමකි.
ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක බුදුපිළිමයක් මුල්කර ගත් අවුලක් ගැන විපක්ෂය ආණ්ඩුවට නැඟුවේ දැඩි චෝදනාවකි. ඇත්තටම මෙය අතිශය සංවේදී පුවතකි. රූපවාහිනි මාධ්‍ය මගින් එම සිදුවීමට පොලිසිය දැක්වූ ප්‍රතිචාරය රටම බලා සිටියේය. එය අනුමත කළ නොහැකිය. මෙයට එරෙහිව දැනටමත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා විරෝධය නඟති. ඇත්තටම මේ හදිසි ඉදිකිරීම ප්රශ්නකාරී එකකි. එසේම වෙරළ සංරක්ෂණ බලධාරීන්ගේ පැමිණිල්ල ගැන ද සමහරු ප්‍රශ්න කරති.
මෙරටේ මෙතෙක් සිදුවී තිබෙන වැඩි හරියක් නීතිවිරෝධී ඉදිකිරීම් පිළිබඳව මෙබඳු උද්යොගිමත් ප්‍රතිචාර ඔවුන්ගෙන් ජනතාව දුටුවේ ද නැත. විහාරයේ හිමිවරුන්ට රෝහල් ගතවීමට සිදුවී තිබේ නම් එයත් බරපතළ කරුණකි. විපක්ෂය චෝදනා කළේ එය තනිකරම ආණ්ඩුවේ කාගේ හෝ බලපෑමකින් සිදු වූ බව කියමින්ය. එහි ඇත්ත නැත්ත අපි නොදනිමු.
ජාතිවාදය හා ආගම්වාදය එකම කාසියක දෙපැත්තකි. ඒවා දේශපාලනයේදී භාවිත වූ ආකාරය ගැන අමුතුවෙන් කිව යුතු ද නැත. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු හැම ජනකොටසකගේම හිමිකම්, අයිතීන් රැකීම ආණ්ඩුවක වගකීමය. එහෙත් ඒ ආණ්ඩුවල ආගම්වාදය, ජාතිවාදය ඇවිළවීමට වුවමනා ගින්දර සහිත චරිත ද සිටිති. ආගමික සමගියක් නැතිව ජාතික සමගියක් ඇති නොවේ. ජාතික හා සංස්කෘතික අන්‍යතාව යනු සියුම්-සංවේදී කරුණු බව ආගම්වල නායකයෝ ද දනිති. එසේම එය නොදන්නා ස්වල්ප දෙනෙක් ද සිටිති. කුමක් වුවත් මේ බුදුපිළිමය සුනාමි අනතුරක් සේ පෙනී යෑම ද ප්රශ්නයකි. රූපවාහිනි පුවත්වල ඒ පිළිබඳ සජීවී වාර්තා ද පළවිය. එම සිද්ධිය විභාග කිරීමට ආ උසස් පොලිස් නිලධාරියා පැමිණ සිටියේ ද සිවිල් ඇඳුමින්ය. ඔහු කවරෙක්දැයි ප්‍රශ්න කළ විට නිලබල හෙළි විය.
කෙසේ හෝ මේ වර්ගයේ වැඩවිමර්ශන මේ ආණ්ඩුවට හානිදායක බව කිව යුතුය. පොලිසිය ක්‍රියා කළ යුත්තේ නීතිමය පසුබිමක් තුළය. බුදු පිළිමය බදාගෙන සිටි හාමුදුරුන් සමග පොර බැඳීම ද අනවශ්‍ය වැඩකි. පොලිසිවල රාජකාරි පිළිබඳව මොන චක්‍රලේඛ උපදෙස් තිබුණත් ගොන්පාට්වල ද අඩුවක් නැත. කුමක් වුවත් සිද්ධිය ඔඩුදිවීමට ඉඩ නොදී බේරුමක් කරගැනීම ගැන ද පැසසිය යුතුය.
දැන් අපි මෙවර අය-වැය විවාදය උණුසුම් කළ තවත් සිදුවීම් කීපයක් වෙත ද යොමු වෙමු. ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් මතු වූ අදහස් නිසැකයෙන්ම ජනතාවගේ ද අවධානයට යොමු විය යුත්තකි. මේ රටේ රාජ්‍ය නායකයන් ලෙස ක්‍රියාකරමින් ජනතාවගේ මුදල් අවභාවිත වූ ආකාරය එම විවාදයේදී සාක්ෂි සහිතව ඉදිරිපත් විය. ජනාධිපති ධුරය තමන්ට රිසි පරිදි භාවිත කළ හැකි නිලයක් බව මෙතෙක් ඒ ඒ යුගවල සිදු වූ විවිධ ක්‍රියාකාරකම් දෙස බලන විට ද පැහැදිලිවේ.
වත්මන් ජනාධිපතිගේ හා අගමැතිගේ උපදේශකයන් ලෙස 37 දෙනකු කටයුතු කරන බවත් සමහර උපදේශකයන්ගේ සේවය නොමිලේ ලැබෙන බවත් කියැවී තිබේ. එය පැසසිය යුතුය. දේශපාලනඥයන්ට විශේෂඥ උපදෙස් ලබාගත යුතු බවට විවාදයක් නැත. එහෙත් මෙරටේ අපට තිබෙන වාර්තා අනුව බොහෝ විට එබඳු උපදේශඥයන් ලෙස තෝරාගනු ලබන්නේ ජනාධිපති, අගමැති, ඇමැති ආදීන්ගේ නෑයන්, මිතුරන්, පාක්ෂිකයන් විනා අදාළ සුදුසුකම් සහිත අය නොවෙති. හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහට හා මහින්ද රාජපක්ෂට ද ඒ විවේචන එසේ නොවේ යැයි කිව හැකිදැයි අපි නොදනිමු. පාර්ලිමේන්තුවේදී හෙළි කළ කරුණු මාධ්‍යවල ද පළවිය. ඇත්තටම දේශපාලනඥයා යනු, අවම සදාචාරයවත් නොතකන නරුමවාදී ලෙස කටයුතු කරන්නෙක් දැයි සිතෙන තරමටම ඒ විවේචන ප්රබලය.
වත්මන් ජනාධිපති අනුර කුමාර එක විනාඩියකට රුපියල් විසිඑක් දහසක් වියදම් කළ බවට මොරදෙන විපක්ෂයේ විවේචනයට පිළිතුරු දුන් ආණ්ඩුව සිදුකළ අනාවරණයන්ගෙන් ඒ විවේචනයෙහි බංකොලොත් බවට අමතරව දේශපාලනයේ කුණුවීමේ ප්‍රමාණය ද රටට හෙළි වේ. වසර හතළිහකට වැඩි දේශපාලන අත්දැකීම් සහිත රනිල් වික්‍රමසිංහ මෙරටේ විපක්ෂ නායක, අගමැති වැනි ධුර ද හොබවමින් පසුව ජනාධිපති ධුරයට ද පත්වූ අයෙකි. ඔහු සිය උපදේශකයන් ලෙස පත් කරගත්, ලක්ෂ ගණනින් ජනතා මුදල් ලබාදුන් අයගේ නම් ද ප්‍රකාශ විය. මේ අයගේ විශේෂඥ භාවය ඔවුන් ඉදිරිපත් කළ විශේෂ සමාජ – ආර්ථික හෝ දේශපාලන සැලසුම් දුන් උපදෙස් මොනවාදැයි අපි නොදනිමු. එහෙත් මේ අය ඔහුගේ පක්ෂය නියෝජනය කළ අය වෙති. එසේම මහජන මුදල් කාබාසිනියා කළ ඒ අය මේ රට වෙනුවෙන් සිදුකර තිබෙන්නේ කුමක්දැයි යන්න පමණක් අපි ප්‍රශ්න කරමු. කුමක් වුවත් ආනන්ද විජේපාල ඇමැතිවරයා පවසන ආකාරයට වත්මන් ජනාධිපතිවරයා අනවශ්‍ය වියදම් කපා හැර රුපියල් කෝටි 30ක් ඉතිරිකර තිබීම ද අගය කළ යුත්තකි.
ජනාධිපති ධුරය ඇතුළු ඒ ක්‍රමවේදය නඩත්තු කරනතෙක් මෙම ප්‍රශ්නයට විසඳුමක් නැති බවද කිව යුතුය. ජනාධිපති ධුරය ව්‍යවස්ථාදායක ඒකාධිපතියකුට සමාන කර තිබෙන බව දේශපාලන විඥානයක් සහිත පුරවැසියෝ ද දනිති. එහෙත් ඒ ධුරයට පත්ව එහි රහ බලන කිසිවෙක් ඒ ධුරය අහෝසි කරත් ද යන්න තවමත් සැකයක් පමණි.
මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ද එකී ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥාවක් ලබා දී ඇත. තවත් වසර හතරක කාලයක් ද ආණ්ඩුවට තිබෙන නිසා එබඳු වෙනසකට කාලය හා අවස්ථාව තිබෙන බවද කිව යුතුය.
මේ සතියේ විපක්ෂයේ මෙන්ම ඉන් පිටත සිටින ඇතැම් දේශපාලනඥයන් විසින් ද මතු කරන ලද තවත් ප්‍රශ්නයක් ඇත. එයට නිමිත්ත වූයේ මේ ආණ්ඩුව හා ඇමෙරිකාව අතර ඇති කරගත් තවත් අවබෝධතා ගිවිසුමකි. හිටපු ඇමැතිවරයකු වූ පාඨලී චම්පික දැඩිව පවසා සිටියේ, ජනාධිපති අනුරට මෙරටේ ස්වාධිපත්‍යයට හානිවන ගිවිසුම්වලට අත්සන් කිරීමට නොහැකි බවත් ඒවා වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්ය. එසේම මහින්ද ජනාධිපති ධුරයේ සිටියදී අත්සන් කළ සියලුම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද ඔහු පෙන්වා දෙයි. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් පැවසුවේ දෙරටක් අතර ඇති කරගන්නා එබඳු රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් හෙළි කළ නොහැකි බවය. එසේම ආණ්ඩුව රටට හානිදායක කිසිවක් නොකරන බවද ඔහු අවධාරණය කළේය.
මෙයට ප්‍රතිචාර දැක්වූ තවත් හිටපු ඇමැතිවරයකු ද වූ උදය ගම්මන්පිල මාධ්‍යවලට පැවසුවේ, මෙරටේ ආණ්ඩු ගැන එබඳු විශ්වාසයක් තැබිය නොහැකි බවය. ඔහුගේම වචනවලින් කියන්නේ නම් අපේ ආණ්ඩු අපට ෂුවර් නැති බවය.
මෙරටේ පැවති හා අදටත් ඒ පැවති දේශපාලනයේම සෙවණැලි වැටී තිබෙන බව ඇතැම් ක්‍රියාකාරකම් දෙස බලන විටත් පෙනේ. ජනතාව සිටින්නේ දේශපාලන වශයෙන් අන්ධකාරයක බවද රහසක් නොවේ. එහෙත් මේ ආණ්ඩුව අලුත් යමක්, අලුත් වෙනසක් කිරීමට දරන උත්සාහය අපට පෙනේ.
ජනතා මුදල් භාවිතය සම්බන්ධයෙන් ඔවුන් වගකීමෙන් කටයුතු කරනු ඇතැයි යන විශ්වාසය සෑහෙන පිරිසකට ද තිබේ. එසේ වුවද ඇතැම් පත්වීම්, දේශපාලන බැඳීම් මත පදනම්ව ක්‍රියාකිරීම් එහෙම පිටින්ම අඩුවී ඇතැයි ද කිව නොහැක. විපක්ෂය දිගින් දිගටම ප්‍රශ්න කරන වරායෙන් කන්ටේනර් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිබෙන සැක සංකා දුරලීම ද ආණ්ඩුවේ වගකීමකි. විපක්ෂය ප්‍රශ්න කරන ආකාරයටම මේ කන්ටේනර් ගැන ප්‍රශ්න කරනවිට ඇමැතිවරුන් ඇඹරෙන්නෙහිදැයි අපි නොදනිමු. කුමක් වුවත් මේ චෝදනාව නිදහස් කරගැනීමට අදාළ ඇමැතිවරු අවධානය යොමු කළයුතු වෙයි.
අද විපක්ෂය පමණක් නොව ජාජබයේ පසමිතුරෝ ද මේ ආණ්ඩුවට හිටු කියා පහර දෙති. ඒ ඔවුන්ගේ අසමත්කම් හා දේශපාලන වශයෙන් නොමේරු ක්‍රියාකාරකම් නිසාය. මේ ආණ්ඩුවට ජනතාව දුන් ජනවරම ප්‍රබල එකකි. ජනතා විරෝධයට ලක්ව දේශපාලන භූමියෙන් විසිවී ගිය චරිත දෙස බලනවිට ඇත්තටම බහුතර ජනතාවගේ අභිලාෂය, අරමුණ කුමක්දැයි තේරුම් යායුතුය. එබඳු පසුබිමක් සහිතව ලබාදුන් ශක්තිමත් ජනවරම ජනතාවගේ යහපතට සුබසෙතට යොදාගන්නට ආණ්ඩුවට අමුතුවෙන් මතක් කළ යුතු නැත.
ලබන 21 වැනිදා නුගේගොඩ පැවැත්වීමට නියමිත විපක්ෂවල ජනහමුවේ අරමුණු ගැන ද විවිධ කතා ඇසෙයි. ඒ රැස්වීම, මේ ආණ්ඩුව අමතක කළ පොරොන්දු මතක් කිරීමට බව කියනු ඇසුණි. තවත් අරමුණක් ලෙස, බහු පක්ෂ ක්‍රමය හා ප්රජාතන්ත්රවාදය සුරැකීම ගැන ද පෙන්වා දී තිබේ. ඒ එකක්වත් වැරදි නැත. ඇත්තටම අද ප්රජාතන්ත්රවාදයට අනතුරක් තිබේ නම් එය වෙනුවෙන් විපක්ෂ ඉදිරිපත් වීම අගය කළ යුතුය. අපට පෙනෙන ආකාරයට නම් මෙම විධායක ක්‍රමය තුළ ඒ ප්රජාතන්ත්රවාදයට සරදම් කළ හැකිය. ඒවා සිය පාලන යුගවලදී තහවුරු කළ ජනාධිපතිලා 21 වැනිදා නුගේගොඩට නොපැමිණියත් එදාට එන පිරිස අතර ඒ ප්රජාතන්ත්රවාදී සෙප්පඩ විජ්ජාවලට අත් එසවූ අය ද සිටිති. නුගේගොඩ රැලියට පැමිණීම පිළිබඳ සජබය ගත් තීන්දුව ගැන ද විවිධ විවේචන ඇසෙයි. එහෙත් දැනට එජාපයට, ශ්‍රීලනිපයට හෝ ඇතැම් අයට වඩා දේශපාලන වශයෙන් සජබය වෙනස් තලයක තැබිය හැකිය. මන්දයත් තවම සජබය ලෙස මෙරටේ ආණ්ඩුවක් බලයේ නොසිටීම නිසාය. සජබය වෙනම පක්ෂයක් ලෙස එජාපයෙන් මෙන්ම පොහොට්ටුවෙන් ද වෙනස් ප්‍රතිපත්තිමය කරුණු මත පදනම්ව ක්‍රියා කරන්නේ නම් මෙහිදී යළිත් ඒ දේශපාලන අච්චාරුවට දායක වීම ප්රශ්නකාරී විය හැකිය.
මේ සියලු කැලඹීම්, හැලහැප්පීම් අතර ජනාධිපති අනුර, ජවිපෙ මහ ලේකම් ටිල්වින් ඇතුළු ප්‍රබලයන් විසින් උද්යොගිමත්ව සහභාගි වූ 36 වැනි ඉල්මහ විරු සමරුව පිළිබඳව ද අලුත් සංවාදයක් ද අපට ඇසුණි. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සිහිපත් කරමින් ජාජබ ආණ්ඩුව අලුත් දේශපාලන පණිවුඩයක් රටට ලබාදී තිබේදැයි සමහරු අසති. මෙහිදී ප්‍රකාශ වූ අදහස් ජවිපෙ අධිෂ්ඨානශීලි ගමන, ඒ වෙනුවෙන් ඉවසූ දුක් පීඩා ආදිය පිළිබඳ සංවේදි ආවර්ජනයක් ලෙස පෙනේ. මරණය අතේ තියාගෙන සටන් කළ පිරිසක් ලෙස ජවිපය ගැන උදම්අනන නායකයන් පැවසුවේ, ජවිපය අද පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස වැඩී තිබෙන බවය. එය නිදහස, ගෞරවය, විමුක්තිය වෙනුවෙන් නිම වූ ගැඹුරු මහජන ව්‍යාපාරයක් බවද අවධාරණය කෙරුණි.
“පවතින තත්ත්වයට අනුව අපේ අරමුණු ගළපාගෙන අලුත් උපාය උපක්‍රම යොදන්න රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අපේ ගුරුවරුන්ගෙන් ඉගෙන ජයග්‍රහණය කරා ආවා. ඒ කාලේ අපට කීවේ, විජේවීරගේ ප්‍රතිපත්ති ගෙනෙන්න යනවා කියලා. දැන් කෑගහන්නේ විජේවීර සහෝදරයාගේ ප්‍රතිපත්ති අතහැරලා කියලයි. රෝහණ සහෝදරයා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ලබාගත්ත ප්‍රකාශයෙන් අපට දුන් පණිවුඩය වූයේ, සතුරා සියලු උපක්‍රම දන්නා බැවින් උපක්‍රම වෙනස් කර අලුතින් ගමන් ගන්නා ලෙසයි. රෝහණ සහෝදරයා අපට ඉගැන්වූයේ, දූෂිත පාලන ක්‍රමය පෙරළා දමා ජනතා බලයක් පිහිටුවනතුරු ධෛර්යෙන් වැඩ කරන්න කියලයි.”
මේ විජේවීරගේ පින්තූරය අබියස සිට මහ ලේකම් ටිල්වින් කළ අවධාරණයෙන් බිඳකි. මෙය එදා ජවිපෙ ප්‍රතිපත්තිය නොවේ යැයි පවසන විවේචකයන්ට දුන් පිළිතුරක් බව නිසැකය.
මෙහිදී මගේ මතකයට නැඟෙන්නේ මෙයට වසර හතළිහකටත් පෙර (1984 මැයි 10) එදා රෝහණ විජේවීර ‘දිවයින’ ප්‍රධාන කර්තෘ එඩ්මන්ඩ් රණසිංහයන් අතට විශේෂ දූතයකු මගින් එවන ලද ඓතිහාසික ලිපියයි. ජවිපෙ තහනමට ලක්ව සැඟවී සිටියදී එහි නායකයා වූ රෝහණ විජේවීර ජනතාව ඇමතීමට අප පුවත්පත යොදාගත්තේ ද සුවිශේෂ හේතු කීපයක් නිසාය. ඔහු එම ලිපියෙන් ද පවසා තිබුණේ, රටේ පළවන සෙසු ජාතික යැයි කියාගන්නා පුවත්පත්වලට වෙනස් අයුරකින් ක්‍රියාකරමින් දුෂ්කර තත්ත්වයන් යටතේ වුවත් යුක්තියත් සාධාරණත්වයත් වෙනුවෙන් අප පුවත්පත හඬක් නඟන බවය.
ඒ ඓතිහාසික ලිපිය තවමත් සුරක්ෂිතව අපේ ප්‍රධාන කතුවරයා ළඟ තිබේ. මා පහත උපුටා දක්වන්නේ එයින් කොටස් කීපයකි. එදා හා මෙදා දේශපාලනය, නායකයන්ගේ ආකල්ප සමග ඒවා විමසා බැලීම පාඨක ඔබට භාරය. කුමක් වුවත් රෝහණ විජේවීර එවක තිබුණු දූෂිත පාලනයට දැවැන්ත විවේචනයක් සමග අධිචෝදනා පත්‍රයක් ද එල්ල කර ඇත. අද මේ ආණ්ඩුවේ තේමාවක් බවට පත්ව තිබෙන දූෂණ විරෝධී වංචනිකයන්ගේ අනතුර විජේවීර අවධාරණ කර තිබුණේ ඔවුන් ‘ඔටුනු පලන් චෞරයන්’ ලෙස හඳුන්වමින්ය. ගර්හිත දේශපාලනයේ ම්ලේච්ඡ හා සාහසිකත්වය පිළිබඳ එදා තිබුණු චිත්‍රය අද දුරස්ථ වී තිබේද? මේ ඔහුගේ විවේචනයෙන් බිඳකි.
“අද සියල්ලන්ටම වඩා දූෂණයේත් වංචාවේත් උල්පත් වී ඇත්තේ දේශපාලන නායකත්වය නොවේද? හිල්ටන් හෝටල්, රොබින්සන් හෝටල් ආයෝජන, කොමිස් ගැහිලි, ඉහළින්ම කෙරෙන හොරකම්, දූෂණ හා කොන්ත්රාත්දීම්, මුදල් නෝට්ටු හොරට මුද්‍රණය ආදී කී නොකී සියල්ලක්ම කියාපාන්නේ අද රට පාලනය කරන්නේ ඔටුනු පලන් චෞරයන් පිරිසක් විසින් බව නොවේද?”
විජේවීර මෙයට වසර හතළිහකට පෙර (ජයවර්ධන පාලන සමය) තිබුණු හොරකම්, දූෂණ, වංචා, අයථා ක්‍රියා ගැන කතා කළේ පාලකයන්ට අධිචෝදනා නඟමින්ය. එදා සිට අද දක්වාත් ඒ චෞර වළල්ල සක්‍රීයව සිටින බව ජනතාව ද දනිති.
රෝහණ විජේවීරගේ ලිපිය අවසන් කර තිබුණේ මෙසේය.
“කෙසේ වෙතත් රටත් ජාතියත් මේ අඥාන දාමරික චෞරයන්ගෙන් බේරා ගැනීම සඳහා ඔබත් අපත් සෙසු හැමෝමත් අතර පොදු එකඟතාවයක් ඇති කරගැනීමට පෑදේවා”
ජාජබ ආණ්ඩුව අද, එදා සිය නායකයා පැවසූ වචන – ප්‍රාර්ථනා කළ රට ගොඩනැඟීම සඳහා කැපවිය යුතු බවත් එය තම නායකයාට දක්වන උත්තම උපහාරය බවත් සඳහන් කළ යුතුය.
ගාමිණි සුමනසේකර
Saru FM Media









