බෙහෙත් මිල අඩු කිරීම සහ රට වෙනුවෙන් දිවි පිදීම

0
9

ළමා රෝග, පිළිකාව, අධික රුධිර පීඩනය, දියවැඩියාව ඇතුළු රෝග රැසකට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 350 ක මිල අඩු කිරීමට නියෝග කර ඇතැයි ඖෂධ නියාමන අධිකාරිය පවසයි. අධිකාරිය මෙසේ බෙහෙත් මිල අඩු කළාට ෆාමසිකාරයන් බෙහෙත් මිල අඩු කරන්නේ නැත. එයට හේතුව ඔවුන් දැනට තබාගෙන ඇති බෙහෙත් තොග පරණ මිලට ගත් ඒවා නිසා ය. ඒවා අඩු මිලට වික්කොත් ෆාමසියට පාඩු ය. ඒ පාඩුව පියවීමට ඖෂධ නියාමන අධිකාරිය හෝ එහි සභාපති දොස්තර ආනන්ද විජේවික්‍රම සිය බැංකු ගිණුම හොලවන්නේ නැත. එබැවින් අපට හැඟෙන පරිදි මේ අඩු මිල ක්‍රියාත්මකවීමට තව මාස තුන හතරක්වත් ගතවනවා ඇත. රත්‍රන්, අවි ආයුධ, බෙහෙත් සහ මාළුවලට පාලන මිලක් නැත. පාරිභෝගිකයාගේ මුහුණ බලා රත්‍රන් බඩුකාරයා රත්‍රන් බඩුවලට ගණන් කියන්නේ යම් සේද බෙහෙත් වෙළෙන්දා ද ආයුධ වෙළෙන්දා ද මාළු වෙළෙන්දා ද තමන්ට හිතෙන ගාණට තම වෙළෙඳ භාණ්ඩ අලෙවි කරයි. හාල් මුදලාලිගේ තත්ත්වය ද මෙයම නමුත් වැඩි මිලට හාල් විකුණන කට්ටිය හිටපු ගමන් වැටලීමේ ක්‍රියාන්විතයක් ආණ්ඩුවට තිබේ. සාමාන්‍යයෙන් මේ රටේ භාණ්ඩ හා සේවා සපයන කිසිකෙනකු කිසිදු ආණ්ඩුවක් ගණන් ගත්තේ නැත. මේ ආණ්ඩුවේ තත්ත්වයත් එයම ය. හයිවේ එකේ ආරක්ෂක පටි පැලඳීම රියැදුරන් විසින් කළ යුතු බවට ආණ්ඩුව නීතියක් පනවා තිබේ. එහෙත් හයිවේ එකේ බස් දුවන ඩ්‍රයිවර්ලා එය ගණන් ගන්නේ නැත. සී.ටී.බී. බස් සහ පෞද්ගලික බස්වල මගීන්ට ටිකට් දීම නීතියක් වන නමුත් කවුරුත් එය ගණන් ගන්නේ නැත. සාමාන්‍ය නීතිය නම් පයින් යන අය පාරේ දකුණෙන් ගමන් කළ යුතු බවය. එහෙත් පයින් යන එකා යන තරමක් යන්නේ වම් පැත්තෙනි. නැත්නම් පාර මැදිනි. සුදු ඉර පෙනි පෙනීම එයට මීටර් 15 ක් පමණ ඈතින් නිදැල්ලේ පාර පනින එකා සමහර විට වාහනයකට යටවෙයි. එවිට වටේ සිටින අය රියැදුරාගේ අතපය කඩා වාහනයට ගිනි තබති. පසුගිය කාලයේ දී මේ රටේ 50% ක් වත් ක්‍රියාත්මක වූ එකම නීතිය වන්නේ ෂොපින් බෑග් පිළිබඳ නීතියයි. ෂොපින් බෑග් මුදලට මිස නොමිලේ දීම තහනම් කර තිබේ. කඩකාරයා මේ නීතියට මාර සපෝට් එකක් දෙන්නේ ඔහුට මේ නීතිය යටතේ ෂොපින් බෑග් මුදලට විකිණිය හැකි නිසා ය. වෙනදා මදුරු කොයිල් එකක් ගත්තත් ඒ සඳහා විශාල ෂොපින් බෑග් එකක් ඉල්ලන පාරිභෝගිකයා අද ෂොපින් බෑග්වලට මුදල් ගෙවීම ප්‍රතික්‍ෂේප කර හාල්, පොල්, එළවළු ඇතුළු සියලු පාරිභෝගික භාණ්ඩ අතින් කටින් එල්ලාගෙන නත්තල් පප්පා සෙල්ලම්බඩු බෙදන්නට යනවාක් මෙන් ගෙවල් බලා යයි.

අග්නිදිග ආසියාවේ බෙහෙත් මිල වැඩිම රටවලින් එකක් වන්නේ ශ්‍රී ලංකාව ය. ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය වැනි රටවල බෙහෙත් මිල ඉතා අඩු ය. ලංකාවේ බෙහෙත් මිල වැඩිවීමට ප්‍රධානම හේතුව වන්නේ පැරසිටමෝල් සහ කැස්ස සිරප් හැරුණු විට වෙන කිසිදු බෙහෙතක් මේ රටේ නිෂ්පාදනය නොකිරීම ය. එහෙත් ඉන්දියාව සහ පාකිස්තානය මුළු ආසියාවටම සෑහෙන පරිදි බෙහෙත් නිපදවති. නේපාලය බෙහෙත් නිපදවන්නේ නැත. ඉන්දියාව සහන මිලට නේපාලයට මෙන්ම භූතානයටත් ඖෂධ විකුණයි. ඒ සපෝට් එක ඉන්දියාව අපට නොදෙන්නේ අප නිරෝගී ජාතියක් වුණොත් එමගින් ඉන්දියාවට කරදර පැමිණේ යැයි එරට සිතන නිසා ද? මීට දින දෙක තුනකට පෙර අප විසින් කතුවැකියකින් කියන ලද පරිදි මේ රටේ දොස්තරලා ඖෂධීය නාමයෙන් එන බෙහෙත්වලට වැඩිපුර කැමති නැත. ඔවුන් නිතරම ප්‍රිය කරන්නේ එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය, ඇමෙරිකාව වැනි රටවල් නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩඩ් ඖෂධවලට ය. ලංකාවේ නිපදවන පැරසිටමෝල් පෙත්තක් රුපියලකි. එංගලන්තය නිපදවන පැරසිටමෝල් පෙත්ත ජනප්‍රිය වෙළෙඳ නාමයක් යටතේ ලංකාවට ගෙන්වනු ලැබේ. ලංකාවේ රුපියලට විකුණන මේ පෙත්ත බ්‍රෑන්ඩ් එකක් වැදී මෙරටට එන විට පෙත්තක් රුපියල් හැත්තෑ පහක් පමණ වේ. ලංකාවේ පැරසිටමෝල් එකත්, එංගලන්තයේ පැරසිටමෝල් එකත් දෙකම එක සමාන ය. එහෙත් ලංකාවේ පැරසිටමෝල් පෙත්තෙන් දොස්තරට ලැබෙන ජරාව ඉතා අඩු ය. එංගලන්තයේ පැරසිටමෝල් පෙත්ත මෙරට විකිණීම සඳහා නියෝජිත වෙළෙඳ ආයතනයක් තිබේ. එම ආයතනය දොස්තර ලවා තම ඖෂධය රෝගීන්ට නියම කරවයි. ඒ වෙනුවෙන් දොස්තරට බොහෝ උපකාර කිරීමට බෙහෙත් කොම්පැනිය සූදානම් ය. උදාහරණයක් වශයෙන් දොස්තර පිටරට යන විට හෝටල් බිල ගෙවීමට ඖෂධ සමාගම ඉදිරිපත් වෙයි. දොස්තරගේ ළමයා අධ්‍යාපන කටයුතු සඳහා පිටරට යන විට ගුවන් ප්‍රවේශපත්‍රය මිලට ගෙන දීමට බෙහෙත් කොම්පැනිය ඉදිරිපත් වේ. සාමාන්‍යයෙන් තමන් ළඟ වැඩ කරන සේවකයන්ගේ සියලු වියදම් දරන සමාගම් ලෝකයේ තිබේ. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර බෝයිං ගුවන් සමාගම සිය නිලධාරීන්ගේ දරුවන්ගේ විදේශ අධ්‍යාපනයට මුළුමනින්ම මුදල් වැය කරයි. එහෙත් එයට චර්යාත්මක පදනමක් තිබේ. ඒ පදනම වන්නේ එම සේවකයා බෝයිං සමාගම වෙනුවෙන් විශාල මෙහෙවරක් කිරීම ය. අපේ රටේ කොමිස් කන දොස්තරලා බෙහෙත් කොම්පැනිවල වැඩ කරන්නේ නැත. එම බෙහෙත් කොම්පැනිවල ඖෂධ ප්‍රවර්ධනය කිරීමට කැපවීමෙන් එම දොස්තරලා බෙහෙත් කොම්පැනියට අනියමින් සේවය කරති. මේ නිසා බෙහෙත් මිල පහත හෙළීමට නම් ඒවා ලංකාවේ නිෂ්පාදනය කළ යුතු ය. මේ පිළිබඳ සිහිනයක් ඖෂධ සංස්ථාවේ පළමුවැනි සභාපති මහාචාර්ය සේනක බිබිලේට තිබිණ. එම සිහිනය රටට හෙළි කිරීමෙන් පසු ඔහු අබිරහස් ලෙස මළේ ය. එබැවින් මේ කතාව මෙතැනින් නවත්වමු. අපි ජීවත්වීමට ආසා කරන පෘථග්ජනයෝ වෙමු. රට වෙනුවෙන් මියයන්නට සූදානම් යැයි කියන එකකුවත් අවස්ථාව පැමිණි විට සොයා ගැනීමට මෙකල නොහැක.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here