“රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම්ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

0
5

වසර 2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙරට ඉදි කෙරෙන විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 140කි.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොටියාගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ අක්කර 500 ක පමණ විශාල භූමි ප්‍රදේශයක ඉදි කිරීම කෙරෙන මෙම ව්‍යාපෘතිය සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ව්‍යාපෘති භූමිය, ප්‍රවේශ මාර්ගය සහ ආදාළ සියලු අනුමැතීන් සහිතව ව්‍යාපෘති ආයෝජක වෙත ලබාදුන් පළමු ව්‍යාපෘතිය වේ.

මෙරට වාර්ෂික විදුලිබල පරිභෝජනය ගිගාවොට්පැය 15,000- 16,000ක අතර ප්‍රමාණයක් වන අතර මෙම ව්‍යාපෘතිය මගින් ගිගාවොට්පැය 219ක් වාර්ෂිකව ජාතික පද්ධතියට එක් වේ. ඒ හේතුවෙන් විදුලි නිෂ්පාදනය සඳහා ඩීසල් ආනයනය වෙනුවෙන් දැරීමට සිදුවන රුපියල් බිලියන 21ක විදේශ විනිමයක් වාර්ෂිකව රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව එක අක්කරයකින් දළ වශයෙන් රුපියල් මිලියන 41ක විදේශ විනිමයක් රටට ඉතිරි වනු ඇත.

මෙරට තිරසර සංවර්ධනයේ සහ සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් වන රිවිදනවි ව්‍යාපෘතිය හේතුවෙන්, වායුගෝලයට විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වසරකට මෙට්‍රික් ටොන් 150,000ක් පමණ අඩුවේ යැයි අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය මෙගාවොට් පැය 12ක බැටරි ගබඩා පහසුකම්ද සහිත වීම නිසා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමේදී විශාල සහයක් වනු ඇතැයිද සැලකේ.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඉදිකිරීම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය ලක්දනවි සමාගම සහ වින්ඩ් ෆෝස් (WindForce PLC) සමාගම ඒකාබද්ධව පිහිටුවන ලද “රිවි දනව්” පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙරට බලශක්ති ස්වාධීනත්වය සහ සුරක්ෂිතතාව ඇති කරමින් ව්‍යාපෘතියේ කටයුතු 2027 පළමු කාර්තුවේදී අවසන් කිරීමට නියමිතය.

එමෙන්ම මෙම ව්‍යාපෘතියට සමගාමීව පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය, නව රැකියා අවස්ථා උදා කිරීම සහ සමාජ සුබසාධන ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබේ. ඒ අතර උසස් පෙළ සිසුන් සඳහා රිවි නැණ ශිෂ්‍යත්ව වැඩසටහන, කොටියාගල අක්කර සීය සහ කම්මල්යාය ජල ගැටලුව හේතුවෙන් පීඩා විඳින නිවාස එකසිය තිස්පහක් පමණ ආවරණය වන පරිදි ජල පහසුකම් සැපයීමට අදාළ ව්‍යාපෘතිය, මුත්තාවල වැව ( මුත්තකණ්ඩිය වැව) ප්‍රතිසංස්කරණය කිරීම, ඇතිමලේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙහි ක්‍රියාත්මක කර්මාන්ත ශාලා විදුලි කාර්මික තාක්ෂණ ශිල්පී පාඨමාලාව NVQ Level 4 දක්වා ඉහළ දැමීමට අදාළ පහසුකම් සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් ඊට අයත්ය.

ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද, මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here