ජනපති සමග කළ සාකච්ඡාවල අවසන් එකඟතාවක් නෑ: වෛද්‍ය වෘත්තීය සටන දිගටම

0
7

සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඊයේ (17දා) ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව මූලික එකඟතාවයකින් තොරව අවසන් වූ බැවින්, ඊයේ (17දා) දිවයින පුරා ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

2026 අයවැය මගින් සෞඛ්‍ය සේවය හා වෛද්‍යවරුන් නොසලකා හැර ඇති බව පවසමින් එයට විරෝධය පළ කිරීම සඳහා ඊයේ (17දා) සිට රෝහල් තුළ නොමැති ඖෂධ හා උපකරණ පිටතින් ලබාගැනීම සඳහා රෝගීන්ට තුණ්ඩු නිකුත් නොකිරීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නියැළීමට වෛද්‍යවරුන් කටයුතු කළ අතර, මේ හේතුවෙන් රෝගීහු පීඩාවට ලක්ව සිටියහ.

වෛද්‍යවරුන්ගේ ‘ඩැට්’ දීමනාව යාවත්කාලීන කිරීම, අමතර රාජකාරි දීමනා ස්ථාවර කිරීම, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයන්ට අනුව ප්‍රවාහන දීමනා අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ඊයේ (17දා) ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු බලධාරීන් සමග සිය සංගමයේ විධායක සභාවේ නිලධාරීන් සාකච්ඡා පැවැත්වූ බවත්, මෙහිදී සිය ගැටලු ජනාධිපතිවරයා පිළිගත් බවත්, මෙයට විසඳුම් අයවැය තුළදී හෝ ඉන් පිටතදී කළ හැකි දැයි සොයාබලන බවට පැවසූ බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (17දා) ප්‍රකාශ කළේය.

2026 අය – වැය තුළින් සෞඛ්‍ය සේවය හා වෛද්‍යවරුන් නොසලකා හැරීමට විරෝධය පළ කරමින් ඊයේ (17දා) පෙ.ව. 8.00 සිට රෝහල් තුළ නොමැති ඖෂධ හා උපකරණ පිටතින් ලබාගැනීම සඳහා තුණ්ඩු නිකුත් නොකිරීම, රෝහල් තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකර ගැනීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කඳවුරු හා සායන සඳහා ස්වේච්ඡාවෙන් සහභාගි නොවීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කරන බවත්, මින් අත්‍යවශ්‍ය රෝගී සත්කාරක සේවා කිසිවකට බලපෑමක් ඇති නොවන බවත්, වෛද්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයෙන් ලැබෙන ඉදිරි ප්‍රතිචාර මත සාකච්ඡා කර තීරණයක් ගැනීමට සිය සංගමයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව කටයුතු කරන බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
සුජීව තත්සර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here