ඊශ්‍රායලයේදී ගෙල කපා ඝාතනය කර ඇතැයි කියන 38 හැවිරිදි දෙදරු පියාගේ මෘතදේහය සතියක් තුළ ශ්‍රී ලංකාවට එවීමට හැකිවනු ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවසීය. රිය අනතුරු සහ සෞඛ්‍ය හේතු මත ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයන් මියයෑම් වාර්තා වුවත් ඝාතනයකින් ශ්‍රී ලාංකිකයකු මියයෑම පළමු වරට වාර්තා වූයේ මෙය බව ද තානාපතිවරයා කීය.
ඝාතනයට ලක්වූ 38 හැවිරිදි ගාල්ල, අම්බලන්ගොඩ, බටපොල පදිංචි තරිඳු ශානක නමැත්තා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩු රැකියාවක් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඊශ්‍රායලට පැමිණ ඇත. ඔහු ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සමග සිට ශරීර අවශ්‍යතාවයක් සඳහා ගොස් සිටියදී අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයකු සමග ඇතිකරගත් බව කියන සිද්ධියකින් පසු ඔහු විසින් මෙම ඝාතනය කර ඇති බවක් පැවසේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අවට CCTV දර්ශන උපයෝගි කරගෙන ඊශ්‍රායල් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. එහිදී සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගන්නා තෙක් නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ද බණ්ඩාර මහතා කීය.
මියගිය පුද්ගලයාගේ සිරුර ලංකාවට ගෙන්වා දෙන ලෙස ඔහුගේ බිරිඳ තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඊයේ වනවිට මෘත දේහය වෝහාරික වෛද්‍ය ආයතනයේ පැවැති බවත් ඒ මහතා කීය. මෘත දේහය මෙරටට ගෙනඒම සඳහා රුපියල් ලක්ෂ 15ක් පමණ වැයවන බවත් එම මුදල තානාපති කාර්යාලය මගින් (රක්ෂණ ආවරණය) වැය කර මෘත දේහය දිවයිනට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් තානාපතිවරයා පැවසීය.
රැකියාවේ නිරතවී සිටියදී අනතුරක් සිදුවුවහොත් වන්දි ලබාදීම සිදුවන බවත් එසේ වන්දි ලබාදීම් (මාසික වැටුප්) මේ වනවිට කිහිපදෙනකු සඳහා සිදුවන බවත් ඔහු කීය. මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 26,000ක් පමණ ඊශ්‍රායලයේ සිටින බවත් මේ වසර අවසන් වනවිට තවත් 1000ක් පමණ පැමිණීමට නියමිත බවත් තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා
Saru FM Media









