පැනගිය දුව අල්ලන්න තාත්තා මාරක ගමනක් ගිහින්!

0
5

එක් අයකු මරාගෙන 4 ක් රෝහල් යවා
කඳානේ විජ්ජුම්බරයක්

කඳාන ප්‍රදේශයේදී තරුණයකු සමග යතුරුපැදියකින් පලායමින් සිටි සිය දියණිය අල්ලා ගැනීමට ලොරි රථයක් පැහැරගෙන ඔවුන් ලුහුබඳිමින් ගිය පියකු අතින් සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් එක් පුද්ගලයකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පෙරේදා (15ද) රාත්‍රී 7.00ට පමණ වූ මෙම සිද්ධියට සම්බන්ධ පියාද පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔහු ද මේ වනවිට රෝහල්ගත කර සිටී.

මෙහිදී සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ 43 හැවිරිදි මිනුවන්ගොඩ උග්ගල්බොඩ පදිංචි මගී ප්‍රවාහන යතුරු පැදිකරුවකු වූ දීපාල් හේමන්ත නමැත්තෙකි.

මියගිය එම පුද්ගලයා සමග යතුරුපැදියේ ගමන් ගත් අනෙක් පුද්ගලයා ද අසාධ්‍ය තත්වයෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පියා විසින් පැහැරගෙන ගිය ලොරියට යටවූ තවත් යතුරුපැදියක ගමන් කරමින් සිටි මවක පියෙකු සහ කුඩා දරුවකු ද රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

විමර්ශන පවත්වන පොලිස් නිලධාරින් පවසන අන්දමට කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු පෙරේදා රාත්‍රි 7.00 ට පමණ නගරයට පැමිණ ඇත. ඒ අවස්ථාවේ තම දියණිය තරුණයකු සමග යතුරුපැදියක නැඟී පලායන ආකාරය ඔහු දැක තිබේ. එහිදී දැඩි කලබලයට පත්වූ පියා සිය යතුරු පැදියේ නැඟී ඔවුන් ලුහුබැඳ ගොස් තිබේ.

කඳාන මාරියා මාවත ප්‍රදේශයේදී පියා පැදවූ යතුරුපැදියේ ඉන්ධන නිමවී එය නතර වී ඇත. පසුව පියා යතුරුපැදිය පසෙක දමා මාවතේ නිවසක් අසල නතර කර තිබූ කුඩා ප්‍රමාණයේ ලොරියක් පැහැරගෙන එහි නැඟී තම දියණිය පසුපස නැවත ලුහුබැඳ ගොස් තිබේ.

තම ලොරි රථය පැහැරගෙන යනු දුටු එහි හිමිකරු ඔහු යටතේ සිටින සේවකයන් පිරිසක් සමග යතුරුපැදි කීපයක නැඟී ලොරිය අල්ලා ගැනීමට ගොස් ඇත.

සැකකාර පියා කඳාන බටගම ප්‍රදේශය ඔස්සේ ලොරි රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක එය ගැටී ඇත. එහෙත් ඔහු රථය නොනවත්වා ධානය කර තිබේ.

පසුව ලොරි රථය තවත් යතුරුපැදියක ගැටී ඇති අතර එහි පැමිණි එකම පවුලේ තිදෙනෙකු තුවාල ලබා ඇත.

මේ අතර ලොරි රථයේ හිමිකරු ඔහුගේ සේවකයන් සහ නගරවාසීන් එක්ව ලොරිය පැහැරගත් පියා අල්ලාගෙන ඔහුට පහරදී පොලිසියට භාර දී තිබේ. 46 හැවිරිදි සැකකාර පියා පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ උපදෙස් මත කඳාන පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. පී. එස්. කස්තුරිආරච්චි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්. දිසානායක මහතා, පොලිස් සැරයන් අත්තනායක (51703) මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වති.
හේමන්ත රන්දුණු සහ කඳාන – රුක්මන් පින්තු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here