ශ්‍රී ලංකාව තරගාවලිය පරදියි
තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී සහ පන්දු රැකීමේදී පාකිස්තානයට පීඩනයක් එල්ල කිරීමට අපොහොසත්වීම මත ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබාගැනීමට පාකිස්තානය සමත් විය. තවද තරගාවලි ජය ද පාකිස්තානයට හිමිකර දෙමිනි.
රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය තීරණය කළේ පන්දු යැවීමටයි. ඒ අනුව මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08කට ලකුණු 288ක් ලබාගැනීමට සමත් විය.
පැතුම් නිස්සංක සහ කමිල් මිෂාර ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ අතර පැතුම් නිස්සංක නොතිබුණු තෙවැනි ලකුණක් ලබාගැනීමට යෑමේදී ලකුණු 24ක් ලබා සිටියදී දැවී ගියේය. ඉන්පසු කමිල් මිෂාරත් දැවී ගියේ ලකුණු 27කටයි. කුසල් මෙන්ඩිස් ලකුණු 20කට සහ නායක චරිත් අසලංකත් ලකුණු 6කට දැවී ගිය අතර මෙවරත් බලාපොරොත්තු වූ සාර්ථකත්වය කරා යෑමට ඔවුන් දෙදෙනාටම හැකියාව නොලැබුණි. ජනිත් ලියනගේ ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථක වූ අතර ජනිත් ලකුණු 54ක් ලබාගත්තේ ඔහුගේ 7 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරමින්ය. කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් ද ඉනිමට එක්කළ අතර වනිඳු හසරංග අවසානභාගයේ වේගවත් ලකුණු 37ක් ලබාගත්තේය. පාකිස්තානයේ පන්දුවෙන් දස්කම් පෑ හරිස් රවුෆ් සහ අබ්රා අහමඩ් කඩුලු 3ක් ලබාගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුලු 2ක් පමණක් ලබාදී ජයග්‍රාහී ලකුණු 289 ලබාගත්තේ තවත් පන්දු 10ක් ඉතිරිව තිබියදීය.
පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ලබාගත හැකි උඩ පන්දු 3ක් ශ්‍රී ලංකාවට ලබාදුන්නත්, දුර්වල පන්දු රැකීම යළිත් පෙන්නුම් කරමින් එය පිටිය මැදදී බිම දැමීය. ඉන්පසු සමාන් ලකුණු 78කින් සිය කණ්ඩායමට දායකත්වය ලබාදුන්නේය.
බාබර් අසාම් කලකට පසු සිය 20 වැනි ශතකය ලබාගත්තේ පන්දු 119කදීය. බාබර් දැවී ගියේ ලකුණු 102කට ය.
ශ්‍රී ලංකාවට පාකිස්තානයේදී ආරක්ෂාව ඉතා හොඳ මට්ටමක සහ ක්‍රීඩා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරදීම ගැන පාකිස්තානයට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා පිතිකරු සදීර සමරවික්‍රම රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී දෙවැනි එක්දින තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
ශ්‍රී ලංකා පිල කඩුලු 8කට ලකුණු 288 (ඕවර් 50) – පැතුම් නිශ්ශංක 24, කමීල් මිෂාර 27, කුසල් මෙන්ඩිස් 20, සදීර සමරවික්‍රම 42, චරිත් අසලංක 6, ජනිත් ලියනගේ 54, කමිඳු මෙන්ඩිස් 44, වනිඳු හසරංග නොදැවී 37, දුෂ්මන්ත චමීර 0, ප්‍රමෝද් මධුෂාන් නොදැවී 7, අතිරේක 23 (හරිස් රාවුෆ් 66/3, අබ්රා අහමඩ් 41/3, මොහොමඩ් වසීම් 50/1)
පාකිස්තාන පිල කඩුලු 2කට ලකුණු 289 (ඕවර් 50) – ෆකර් සමාන් 78, සායිම් අයුබ් 33, බාබර් අසාම් නොදැවී 102, මොහොමඩ් රිස්වාන් නොදැවී 51, අතිරේක 25 (දුෂ්මන්ත චමීර 58/2)
සුසිල් ජයකොඩි
Saru FM Media









