21 වැනිදා මහා රැලිය අල වීමට ඉඩක් තිබේ ද?

0
15

2025 නොවැම්බර් මස 16 වැනිදා ඉරිදා

ආණ්ඩුවට එරෙහිව විවිධ සුන්බුන් කොටස් තැන තැන එකතුවෙමින් පවතින බව ජනාධිපති අනුර දිසානායක පවසා තිබේ. 36 වැනි ඉල්මහ සමරුවට එකතු වෙමින්, 1971 සිට මේ දක්වා රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද ජේ.වී.පී. සාමාජිකයන් අනුස්මරණය කිරීම සඳහා පැවැති ඉල්මහ සමරුවේ දී ජනාධිපති දිසානායක මේ බව පවසා තිබේ. එසේම ප්‍රතිගාමීන්ට රඟන්නට ඉඩ නොදෙන බව ද ඔහු කියා තිබේ. කැප්පෙටිපොළලා සහ දොන් ජුවන් ධර්මපාලලා එකට එකතුවෙමින් සිටින බවද තම කතාවේ දී ඔහු සඳහන් කර ඇත. ප්‍රතිගාමීන්ට රඟන්නට ඉඩ නොදෙන්නේ ය යන කියමන තුළ කිසියම් මර්දනකාරී ස්වරූපයක් ඇත. එය මේ රටේ ජීවත් වන සියලුම දේශපාලන පක්‍ෂවල ඡන්දවලින් බලයට පැමිණි ජනාධිපති කෙනකුට නොගැළපෙන කියමනකි. එසේම ආණ්ඩුවට විරුද්ධව තැන තැන එකතුවන කුණුගොඩවල් ද අඩුවෙන් තක්සේරු කළ යුතු නැත. අප දන්නා පරිදි කුණුගොඩවල්වලින් ඇමෝනියා වායුව නිකුත් වේ. මීතේන් වායුව ද නිකුත් වේ. හිටපුගමන් මේ මීතේන් සහ ඇමෝනියාවලට ගිනි ඇවිළෙයි. එවිට විශාල ස්ඵෝටන බලයක් ඇති කරමින් කුණුගොඩ පුපුරා යයි. මෙයට කලකට පෙර ඇමෝනියා සහ මීතේන් ක්‍රියාත්මක වීම නිසා මීතොටමුල්ලේ කුණු කන්දෙන් කොටසක් බිමට පාත් විය. මෙවිට ඒ කුණු කන්ද වටේ ගෙවල් හදාගෙන සිටි විශාල පිරිසක් කුණුගොඩට යටවී මියගියහ. මේ නිසා ජනාධිපති දිසානායක ප්‍රතිගාමීන්ට වඩා අවධානය යොමු කළ යුත්තේ පොඩි පොඩි කුණු කන්දවල් දෙසට ය. කැප්පෙටිපොළලා සහ දොන් ජුවන් ධර්මපාලලා එකතුවීම ගැන එතරම් ගණන් ගත යුතු නොවේ. මේ පොළලා සහ පාලලා ලංකා ඉතිහාසය පුරාම එකතු වූහ. එහෙත් ඔවුන්ට ඉතා ඛේදජනක මරණ අත්විය.

අද අප සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නේ ජනාධිපතිගේ ඉල්මහ සමරු කතාව ගැන නොව මේ මස 21 වැනිදා පැවැත්වීමට නියමිත පොදු විපක්ෂයේ ජනරැලිය ගැනය. මේ ජනරැලිය පවත්වන්නේ මහින්ද සුළඟේ දෙවන අදියරක් ලෙස බව අපට පෙනේ. මහින්ද සුළඟ නමැති ජනරැලිය නුගේගොඩ දී පැවැත්වූ කාලයේ දී මහින්ද රාජපක්ෂ යන නම ඉතා හොඳින් අලෙවි කිරීමට හැකි විය. එම ජනරැලියට මහින්ද රාජපක්ෂ ගොඩවුණේ නැතත් විපක්ෂයේ සියලුම පක්ෂ පැමිණි බව දැනගන්නට තිබේ. නුගේගොඩට රැස්වූ අතිවිශාල ජනසංඛ්‍යාව නිසා මේ ජනරැලිය විශාල විභවයකින් යුතු ක්‍රියාවක් බව පෙනෙන්නට තිබිණ. එකී ජනරැලිය පවත්වන අවස්ථාවේදී එවකට තිබූ යහපාලන ආණ්ඩුව පරිහානියට පත්වෙමින් තිබිණ. ඒ ආණ්ඩුවේ ජනාධිපති සහ අගමැති අතර අප්‍රකාශිත යුද්ධයක් තිබිණ. හැබැයි මේ වෙලාවේදී මේ ආණ්ඩුව තුළ එබඳු තත්ත්වයක් නැත. මේ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවන් වන ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය අතර ප්‍රතිපත්තිමය ප්‍රශ්නයන් තිබේ යැයි අපි නිකමට හිතමු. එහෙත් ඒ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයන්ට පිටතට පැමිණ ගුටිකෙළගෙන පුපුරා යෑමට ටිල්වින් සිල්වා කීයටවත් ඉඩ දෙන්නේ නැත. ටිල්වින් සිල්වා යනු මිනිසෙක් හෝ නමක් නොව න්‍යායාත්මක බලවේගයකි. අනුර දිසානායක සහයෝගය දෙතොත් අනෙක් අය එකතු කරගෙන ආණ්ඩුව පවත්වාගෙන යෑමට ටිල්වින් සිල්වා නමැති බලවේගයට පුළුවන. ටිල්වින් සිල්වා විඥානවාදියකු නොවේ. එහෙත් ඔහුගේ බලය ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනිගේ බලයට සමාන ය.

21 වැනිදා පැවැත්වීමට යන ජනරැලියේ අරමුණ කුමක්ද යන්න අපට පැහැදිලි නැත. 21 වැනිදාට මේ ආණ්ඩුවට අවුරුද්දක් සපිරේ. ආණ්ඩුවට අවුරුද්දක් පිරෙන දා තමන් ආණ්ඩුවට වළ කපන බව අඩුම ගණනේ පෝස්ටරයකින්වත් ප්‍රකාශයට පත් කොට Milage එකක් ගැනීමට පොදු විපක්ෂයට මතක් වී නැත. පොදු විපක්ෂය යැයි කීවාට මේ ජනරැලියේ සිටින්නේ විපක්ෂයෙන් පංගුවක් පමණි. සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය නිල වශයෙන් මෙයට සහභාගි වන්නේ නැත. එහෙත් සමගි ජන බලවේගය මෙයට නියෝජිතයකු එවීමට ඉඩ ඇත. සජිත් 21 වැනිදා ස්ටේජ් එකට ගොඩනොවීමෙන් පෙනී යන්නේ ඔහු මේ වැඩේට විරුද්ධ බවය. සියලුදෙනා ඉස්සර කරගෙන ගොස් ආණ්ඩුවක් පිහිටුවා වෙන කෙනකු ජනාධිපති කර තමා අගමැති වීමේ අභිලාෂය සජිත් තුළ නැත. එසේම විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ද මෙයට සහභාගි වන්නේ නැත. ඒ ආකාරයෙන් බලන විට එක්සත් ජාතික පක්ෂයත්, පොදුජන පෙරමුණත් තවත් කුඩා පක්ෂ කිහිපයකුත් පමණක් මෙයට සහභාගි වෙනවා ඇත. එමගින් ආණ්ඩුවක් පෙරළීමට නොහැක. මහින්ද සුළඟ නමැති ජනරැලිය පටන්ගත් අවස්ථාවේ දී අඩුම ගණනේ මේ රටේ විපක්ෂයෙන් 70% ක් වත් එයට එකතු විය. ගෝඨාභය බලයට පත්කිරීම සඳහා වූ කුණාටුව බවට පත්වන්නේ මෙකී මහින්ද සුළඟයි. මේ මොහොතේ දී මේ රට තුළ සුළං හෝ කුණාටු ඇතිවීමට අවශ්‍ය දේශපාලන පසුබිමක් තිබෙන බව නොපෙනේ. සමහර විට 21 වැනිදා රැස්වීමට ලොකු පිරිසක් පැමිණීමට ඉඩ තිබේ. එහෙත් එමගින් කිසිදු බලවේගයක් නිර්මාණය වන්නේ නැත. දැනට මේ රටේ මිනිස්සුන්ට හරියාකාරව කන්න නැත. බඩු මිල ඉහළ ය. විකුණා ගැනීමට නොහැකිව ලූනු කිලෝ ලක්‍ෂ ගණනක් කුණුවී තිබේ. අල සහ වට්ටක්කාවලටත් එම ඉරණමම අත්වී ඇත. එහෙත් එය මේ ආණ්ඩුව පෙරළීමට තරම් සුදුසු සාධකයක් බවට පත්වන්නේ නැත. එබැවින් අප මුලින්ම පොදු විපක්ෂයෙන් ඉල්ලන්නේ තමන් කිරීමට යන වැඩපිළිවෙළෙහි නිශ්චිත අරමුණ හඳුනා ගන්නා ලෙස ය. රැලියට පැමිණ ස්ටේජ් එකට නැඟීමෙන් පසු කථිකයන්ට අරමුණ අමතක වුණොත් එය ආණ්ඩුවට විරුද්ධ ඉදිරි කටයුතුවලදී ද නරකට බලපානවා ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here