මිත්‍රත්වයේදී ත්‍රස්තවාදය සැමවිටම පරාජය වෙයි

0
17

96 අමතක නොකළ ක්‍රිකට් සුහදතාවය

ආරක්ෂක හේතු මත පකිස්තානයේ දැනට පැවැත්වෙන තරග සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මෙරටට පැමිණීමේ සූදානමක් පවතින බවට බදාදා (නොවැ: 12) මාධ්‍ය වාර්තා පළ කර තිබිණි.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා කියා සිටියේ, පැවති තත්ත්වය සම්බන්ධයෙන් පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පකිස්තානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිලධාරීන් සමග සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්තාන තරග සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, අදාළ තරග සංචාරය සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙන බව ය.

ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු උපුටා දක්වමින් නැවත ශ්‍රී ලංකාව බලා යෑමට අවශ්‍ය බවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු විසින් කණ්ඩායමේ කළමනාකාරීත්වයට දැනුම් දී තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

මෙම තත්ත්වයත් සමග, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහා ම ක්‍රීඩකයන් සමග සම්බන්ධ වී පකිස්තාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම සාමාජිකයකුගේ ම ආරක්ෂාව සහතික කිරීම සඳහා පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අදාළ බලධාරීන් සමග සම්බන්ධ වූ බවත්, ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති වීමට ඉඩ නොදෙන බවට සහතික වූ බවටත් දැනුම් දුන් බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තත්ත්වය තුළ, නියමිත පරිදි තරග සංචාරය අඛණ්ඩව කරගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු ම ක්‍රීඩකයන්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් උපදෙස් නොතකා නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන ක්‍රීඩකයන් හෝ සහයක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිළිබඳව ගන්නා තීරණය පිළිබඳව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

“සංචාරය දිගට ම කරගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා, යම් ක්‍රීඩකයකු සංචාරයෙන් ඉවත් වුවහොත් තරගාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව කරගෙන යෑම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහා ම ආදේශක ක්‍රීඩකයන් පකිස්තානයට යැවීමට කටයුතු කරන,” බව එහි දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයකු හෝ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයකු නැවත මව්රට බලා පැමිණිය හොත්, ඔවුන්ගේ ක්‍රියාව තක්සේරු කිරීම සඳහා විධිමත් සමාලෝචනයක් පවත්වනු ලබන අතර, සමාලෝචනය අවසානයේ සුදුසු තීරණයක් ගනු ලබන,” බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජාත්‍යන්තර විස්තර විචාරකයකු ලෙස එක්වී සිටින රොෂාන් අබේසිංහ අදහස් දක්වමින් පැවසුවේ, පකිස්තානයේදී තමන්ට සහ ක්‍රිකට් කණ්ඩායමට සපයා ඇති ආරක්ෂාව පිළිබඳව තමන් සෑහීමකට පත්වන බව ය.

“මට නම් ඇත්තට ම මේ තියෙන ආරක්ෂාව ගැන කිසි ම ගැටලුවක් නැහැ. අපිව හෝටලයේ ඉඳලා ක්‍රීඩාංගණය දක්වා එක්කන් යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ම යි.

උපරිම ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා. පාරේ අනෙක් වාහන ගමන් කරන එක නතර කරලා තියෙන්නේ. ඒ වගේ ම මම දැක්කා අඩු ම තරමින් පාර දෙපැත්තේ වාහනයක්වත් නතර කරන්න දීලා නැහැ අපිව එක්කන් යද්දී වගේ ම ආපහු ක්‍රීඩාංගණයේ ඉඳලා හෝටලයට එක්කන් එනකොටත්.

මට කියන්න පුළුවන් මගේ පෞද්ගලික මතය අනුව මේ දීලා තියෙන ආරක්ෂාව ගැන මම සෑහීමකට පත්වෙනවා කියලා. අනිත් අය හිතන දේ ගැන මට මුකුත් අදහස් දැක්වීමක් කරන්න බැහැ.” ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පකිස්තානය පෙනී සිටි අවස්ථා රැසක් තිබේ.

ඉන් සුවිශේෂී අවස්ථාවක් වන්නේ, 1996 වසරේ ලෝක කුසලාන තරගාවලිය යි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පකිස්තානය සම සත්කාරකත්වය දැක්වූ 1996 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පැවති යුදමය තත්ත්වය සහ කොළඹ සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් ඔස්ටේ්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්දින තරග ක්‍රීඩා කිරීමට නොපැමිණෙන බව දැනුම් දුන් අවස්ථාවේදී ඉන්දීය සහ පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල එක්ව සුහද තරගයක් සඳහා දෙරටේ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මෙරටට එවී ය.

ඊට අමතරව, 1996 වසරේ පකිස්තානයේදී පැවති ලෝක කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්තාන ක්‍රිකට් ලෝලීන්ගෙන් ප්‍රබල සහයෝගයක් ලැබිණි.

මෙවන් සබඳතාවක් ගොඩනගාගෙන ඇති තත්ත්වයක් තුළ ඉස්ලාමාබාද් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමේ සිදුවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පකිස්තාන තරග සංචාරය අත්හිටුවා නැවත පැමිණීමට තීරණය කළහොත් එයින් ලබා දෙන පණිවුඩය කුමක් වනු ඇත් දැයි ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහගෙන් කළ විමසීමට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

“ඒක ලොකු අභියෝගයක් වනවා ශ්‍රී ලංකා රජයට වගේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට. මොක ද මේ රටවල් දෙක අතර තියෙන්නේ දිර්ඝ කාලීන බැඳීමක්. ඒකට මේ ගන්න තීරණයත් එක්ක යම් පළුදු වීමක් වෙන්න පුළුවන්කමක් තියෙනවා,” ඔහු පැවසුවේ ය.

මේ අතර, X පණිවුඩයක් පළ කරමින් පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි සඳහන් කර ඇත්තේ, ‘තරග සංචාරය දිගට ම කරගෙන යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණය පිළිබඳව කෘතඥ වන’ බව ය.

එම X පණිවුඩයේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

‘පකිස්තාන තරග සංචාරය දිගට ම කරගෙන යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණය පිළිබඳව කෘතඥ වෙමි.’

එය ක්‍රීඩාශීලීත්වයේ සහ සහයෝගීතාවයේ ජීව ගුණය දීප්තිමත්ව බැබළවීමකි.

‘කණ්ඩායමට අසාරුදීන්, සචින් තෙන්ඩුල්කාර්, සයීඩ් අන්වර්, වසීම් අක්‍රම්, අනිල් කුම්බ්ලේ, රෂීඩ් ලතීෆ්, වකාර් යුනිස්, අජේ ජඩේජා, ඉජාස් අහමඩ් සහ ආමීර් සොහේල් ඇතුළත් විය. එවකට ඔවුන්ගේ අගමැති වූයේ (සිරිමාවෝ) බණ්ඩාරනායක ය. තරගයෙන් පසු නායක (අර්ජුන) රණතුංග කතාවක් පැවැත්වූ අතර, එහිදී ඔහු හැඟීම්බර වී කණ්ඩායම් දෙකට ම ස්තූති කළේ ය. ලාහෝර්හිදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව ලෝක කුසලාන අවසන් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර බෙනාසීර් භූතෝ රණතුංගට කුසලානය ප්‍රදානය කළා ය.‘

ශ්‍රී ලංකාව තරම් වෙනත් කිසිදු ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් පකිස්තානය සමග මෙතරම් ස්ථිරව සිට නොමැති බව බරාම් කාසි නමැති පරිශීලකයෙක් සටහන් තබා තිබිණි.

‘ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පකිස්තාන සංචාරය දිගට ම කරගෙන යෑමට ගත් තීරණය ක්‍රිකට් පිළිබඳ තීරණයක් පමණක් නොව, ජාතීන් දෙක අතර මිත්‍රත්වය සහ විශ්වාසය සම්බන්ධයෙන් අලංකාර රූපකයක්’ බව ලරායිබ් නම් පරිශීලකයෙක් ලියා තිබිණි.

ඔහු තවදුරටත් මෙසේ ලිවී ය, ‘මෙය සාමයේ ක්‍රීඩා පිටිය යි, එහිදී ත්‍රස්තවාදය සැමවිට ම දැවී යන අතර ආදරය කිසි විටක දැවී නොය යි.’

‘ක්‍රීඩාවකට වඩා, මෙය ධෛර්යයේ, විශ්වාසයේ සහ මිත්‍රත්වයේ සංකේතයකි. ත්‍රස්තවාදය වෛරය පතුරුවන නමුත් ක්‍රිකට් හදවත් එක්සත් කරන බව ඔබ ලෝකයට පෙන්වා දී ඇත,” තවත් පරිශීලකයෙක් ලිවීය.

‘පකිස්තානය ඔබේ ආශාව, නිර්භීතකම සහ ක්‍රීඩාවට ඇති ආදරයට උපහාර දක්වයි. මෙම මිත්‍රත්වයේ සහ ක්‍රීඩාශීලීත්වයේ බැඳීම සැමවිට ම පවතිනු ඇත.’

(බීබීසී ඇසුරිනි)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here