චාන්දනී වෝක් බෝම්බය නොකියන සුදු කරපටි ත්‍රස්තවාදය

0
17

සඳුදා සවස (10දා) දිල්ලියේ රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 13දෙනකු මියගොස් ඇති බව දිල්ලි පොලිසිය තහවුරු කර තිබේ. පිපිරීමෙන් වාහන හයක් පමණ විනාශ වී තිබේ. ඇත්තෙන්ම උමාර් මොහොමඩ් නමැති මරාගෙන මැරෙන බෝම්බකරු අසල පිහිටි වාහන ගාල් කරන ස්ථානයකට පැමිණ ඇත්තේ සවස තුනට පමණය. පැය තුනකට අධික කාලයක් එතැන නතර වී සිට පසුව එතැනින් පිටවී රතු බලකොටුව අසලට පැමිණෙනවිට මෙම පිපිරීම සිදුව ඇත. මෙම පිපිරීම සිතාමතා කළා ද නැත්නම් හදිසියේ අත්වැරදීමකින් සිදු වුවාද යන සැකයත් මතුව තිබේ. මන්ද මෙම බෝම්බය පිපුරුණු ස්ථානයට වඩා ජනාකීර්ණ මෙන්ම වැදගත් ස්ථාන රැසක් දිල්ලිය පුරා විසිර තිබෙන නිසාය.

මාර්ග සංඥා පුවරුවක් අසල මෙම පිපිරීම සිදුව ඇත්තේ පස්වරු 6.52 ටය. දිල්ලි ගිනි නිවන ඒකකයකට මේ පිළිබඳව තොරතුර ලැබෙන්නේ 6.55 ටය.

දැනට තිබෙන තොරතුරු අනුව මේ මරාගෙන මැරෙන බෝම්බකරු වෛද්‍යවරයෙකි. පසුගිය දින කිහිපයේ ඉන්දීය පොලිසිය හා බුද්ධි අංශ සිදු කළ මෙහෙයුමකින් හර්යානා ප්‍රාන්තයේ ෆාරිසාබාද් ප්‍රදේශයේ නිවසකින් පුපුරන ද්‍රව්‍ය ටොන් තුනක් සොයාගැනීමට හැකි විය.

එසේම ආයුධ කිහිපයක් ද සොයාගැනීමට හැකි විය. මේ පිළිබඳව අතීත කතාව සොයා බැලිය යුතුය. ඔක්තෝබර් 19 වැනිදා ශ්‍රී නගර් ප්‍රදේශයේ පෝස්ටර් අලවා තිබුණේ ජයිෂ්-ඊ-මොහොමඩ් කල්ලියට සහය පිණිසය.

මේ ගැන පොලිසිය කළ පරීක්ෂණයෙන් පසුව තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ පිරිසගෙන් දිගින්දිගටම කළ පරීක්ෂණ අනුව ආදිල් අහමඩ් නම් වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ නොවැම්බර් 06 වැනිදාය. ඒ අනුව සුදු කරපටි මුස්ලිම් අන්තවාදී කල්ලිය ගැන තොරතුරු හෙළිවේ.

සඳුදා බෝම්බය පුපරණවිට මේ කල්ලියට සම්බන්ධ වෛද්‍යවරු 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සියලුදෙනා සේවය කරන්නේ හර්යානා ප්‍රාන්තයේ අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේය. ෆරිසබාද් හි නිවසකින් ටොන් තුනක පුපරණ ද්‍රව්‍ය හමුවන්නේ මේ වෛද්‍යවරුන් ලබාදුන් තොරතුරු අනුවය. මෙහි එක් කාන්තා වෛද්‍යවරියක් ද වෙයි. ඇය උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ ශාහින් සහිඩ් වේ. ඇය ලක්නව් අලහබාද් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා තිබේ. ඈය ලබාදුන් තොරතුරු අනුව ඒ.කේ. 47 රයිෆලයක් සොයාගෙන තිබේ. ඇත්තෙන්ම මේ කණ්ඩායමේ ප්‍රමුඛ කාර්යයක් මේ කාන්තාව විසින් සිදු කර ඇති අතර අලුතෙන් ජිහාඩ් සාමාජිකයන් බඳවා ගැනීම සඳහා කටයුතු කර ඇත්තේ මේ වෛද්‍යතුමිය බව ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර තිබේ, මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැක කරන වෛද්‍ය උමාර් මොහොමඩ් 1989 පෙබරවාරි 24 වැනි දින ජම්මු – කාශ්මීරයේ පුල්වාමා හි උපත ලබා තිබේ. ඔහු ද අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති බවත් වාර්තා වේ.

කවරක් නමුත් මේ සියලු වෛද්‍යවරු ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා කැමැත්ත පළ කර තිබිණි. වෛද්‍යවරු බිහි කරන්නේ ජීවිත ගලවා ගැනීම සඳහාය, නමුත් මේ කණ්ඩායම ජිහාදය වෙනුවෙන් සඳුදා රාත්‍රියේ ඉන්දීය මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් දිල්ලි රෝහලේ ගිලන් රථ රියැදුරු මොහොමඩ් අසාද් පැවසුවේ තමා එම ස්ථානයට පැමිණෙනවිට අවම වශයෙන් මළ සිරුරු හතරක් බිම වැටී තිබෙනු දුටු බවයි. “මළ සිරුරු අසල වාහන ගිනිගෙන තිබුණා මම සහ තවත් ගිලන් රථ රියැදුරන් කිහිපදෙනකු මළ සිරුරු එකතු කර රෝහලට ගෙනගියා” ඔහු පැවසීය. රාජ්ධර් පාණ්ඩේ නමැති දිල්ලි වැසියකු ANI ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ, “අපි ගිනිදැල් නැඟෙනවා දැක්කා ඒක මගේ ගෙදරට පෙනුණා, ඊට පස්සේ මම පහළට ආවා මොකද වෙන්නේ කියලා බලන්න.

විශාල ශබ්දයක් ඇහුණා. බිල්ඩින් එකේ ජනෙල් හෙළවුණා.

මගේ ගෙදර තියෙන්නේ ගුරුද්වාරා ළඟ.” මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 24 දෙනෙක් තුවාල ලබා තිබේ. මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බළකාය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සමග අනීතික ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත යටතේ ප්‍රති ත්‍රස්ත නීතිය බලාත්මක කිරීමට දිල්ලි පොලිසිය පියවර ගෙන ඇත.

මේ ප්‍රහාරයෙන් දිල්ලි ප්‍රාන්තයටත්, මුම්බායි, කොල්කටා, බැංගලූරු, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද්, උත්තර් ප්‍රදේශ්, උත්තරාකන්ද් යන නගර සහ ප්‍රාන්තවලට ආරක්ෂාව තර ඇති අතර ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපළවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

බෝම්බ ප්‍රහාරයෙන් පසුව එක්ස් සටහනක් තැබූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ ඥාතීන් වෙත සිය ශෝකය පළකර තිබුණි. එමෙන්ම එම ස්ථානයට ගිය ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාහ් පැවසුවේ මේ සම්බන්ධ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවය.

මේ ප්‍රහාරය හෙළා දකිමින් මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු මෙලෙස එක්ස් සටහනක් තබා තිබිණි. “අද සවස දිල්ලි රතු කොටුව අසල සිදු වූ පිපිරීමෙන් සිදුවූ ඛේදජනක ජීවිත හානි පිළිබඳව දැඩි ලෙස කනගාටුවට පත්ව සිටිමු.

මියගිය අයගේ පවුල්වලට අපගේ හෘදයාංගම ශෝකය පළ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. මෙම දුෂ්කර අවස්ථාවේදී මාලදිවයින ඉන්දීය ජනතාව සහ රජය සමග සහයෝගයෙන් සිටී.” ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මෙම ඛේදජනක සිදුවීම පිළිබඳව දැඩි ශෝකය පළ කළ අතර එක්ස් හි සටහනක් පළ කරමින්, “ දිල්ලියේ සිදු වූ පිපිරීම පිළිබඳ පුවත ගැන ශ්‍රී ලංකාව කනගාටුවට පත්ව සිටී. ශ්‍රී ලංකාව ඉන්දීය ජනතාව සමග සහයෝගයෙන් සිටී. පීඩාවට පත් සියලුදෙනාට අපේ බලවත් කනගාටුව පළ කරමු.”

චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here