ලංකා බැංකුව, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස නම් කිරීම අපගේ ගනුදෙනුකාර භවතුන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්

0
13

ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී – සමීර ලියනගේ

ලොව ප්‍රමුඛ පෙළේ ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Brand Finance ආයතනයට අනුබද්ධිත Brand Finance Lanka සමාගමේ වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස ලංකා බැංකුව නම් කෙරිණි. මෙම ඇගයීම හරහා, ලංකා බැංකුව සිය ආයතනික වගකීම් මනා ලෙස ඉටු කරමින් මෙන්ම ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැකගනිමින් සිදු කරන විශිෂ්ට ජනතා සේවය පිළිබිඹු කරන බව පැවසිය යුතුම කරුණකි.

ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන Brand Finance Lanka ආයතනය, සිය ශ්‍රේණිගත කිරීම් සඳහා අදාළ සන්නාමය ක්‍රියාත්මක කර ඇති අලෙවිකරණ උපාය මාර්ග, සන්නිවේදන ක්‍රමවේද, ගනුදෙනුකාර සේවාවන්හි ප්‍රශස්ත බව, ලබා ඇති සමස්ත ආදායම, පාලන ප්‍රමිතීන්, තිරසාරත්වය පිළිබඳ කැපවීම, ඩිජිටල් සේවා ප්‍රගතිය සහ අභ්‍යන්තර කළමනාකරණ ශක්තිය ආදී පුළුල් ක්ෂේත්‍රයක් වෙත අවධානය යොමු කරමින්, ගනුදෙනුකරුවන් හා ගනුදෙනුකරුවන් නොවන යන දෙපාර්ශ්වයම මෙම සමීක්ෂණ සඳහා සහභාගි කර ගැනීම විශේෂත්වයකි.

ලංකා බැංකුව, 2009 වසරේ සිට 2019 වසර දක්වා පසු ගිය දශකය තුළ අඛණ්ඩව ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස නම් කෙරුණු අතර, ආර්ථික සහ දේශපාලන අස්ථාවර භාවය ආදී වශයෙන් පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක වසර කිහිපයකින් පසු ලංකා බැංකුව නැවතත් දේශයේ වටිනාම සන්නාමය ලෙස තේරී පත් වීම සතුටට කරුණකි. එමෙන් ම මෙම වසර පුරාවටම ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ අතර, රට ආර්ථිකමය වශයෙන් පීඩනයට පත් වූ සෑම අවස්ථාවකදීම එම තත්ත්වයෙන් මිදීමට ලංකා බැංකුව ශක්තියක් වීම ප්‍රශංසනීය වේ. එම නිසාම ලබා ගත් මෙම ජයග්‍රහණය සහ සන්නාමයක් ලෙස පැමිණි ගමන් මඟ පිළිබඳව තොරතුරු දැන ගැනීමට අපි ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරි සමීර ලියනගේ මහතා සමඟ සාකච්ඡා කළෙමු.

ලංකා බැංකුව වසරේ වටිනාම සන්නාමය ලෙස Brand Finance Lanka වෙතින් ශේණිගතවීම ප්‍රවීණ අලෙවිකරුවකු ලෙස ඔබ දකින්නේ කොහොමද ?

මෙම ඇගයීම ශ්‍රී ලාංකික ජනතාව ලංකා බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසයට හොඳම සාක්ෂියක්. බැංකුකරණයේදී, විශ්වාසය වඩාත් තීරණාත්මක සාධකයක්. ගනුදෙනුකරුවන් තමන්ගේ ඉතිරි කිරීම බැංකුව වෙත භාර දෙන්නේ දැඩි විශ්වාසයකින්. ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස නම් කිරීමෙන් පෙනී යන්නේ මේ රටේ ජනතාව ආරක්ෂිතම සහ විශ්වසනීයම ආයතනය විදියට ලංකා බැංකුව වැළඳ ගෙන ඇති බවයි.

සන්නාම ඇගයීමේදී Brand Finance Lanka ආයතනය ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කිරීම පිළිබඳව සඳහන් කළ යුතුමයි. එහිදී ඔවුන් මූල්‍ය වගේම මූල්‍ය නොවන සාධකවලටත් අවධානය යොමු කිරීම විශේෂයි. මෙය ශ්‍රී ලාංකිකයින්ට වගේම අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ටත් ඉතා හොඳ පණිවුඩයක් ලබා දෙන බව මගේ අදහසයි.

2009 වසරේ සිට 2019 දක්වා වසර දහයක් අපි ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස අඛණ්ඩව තේරී පත් වීමට සමත් වුණා. වසර හයකට පසු නැවතත් එම ශේණිගත කිරීම ලබා ගැනීම තුළින් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ලංකා බැංකුව සතු හැකියාව පිළිබිඹු වෙනවා.

මෙම ජයග්‍රහණය දෙස අලෙවිකරණ කෝණයකින් බැලීමේදී ඒ සඳහා ඩිජිටල් පරිවර්තනය, ගුණාත්මක ගනුදෙනුකාර සේවය, තිරසාරභාවය සහ ප්‍රශස්ත මට්ටමේ සන්නිවේදනය යන ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කරමින් අප ලබා ගත් සාර්ථකත්වය හේතු වී ඇති බව පැවසුවොත් මා නිවැරදියි. ඒ වගේම ලංකා බැංකු සන්නාමය ජනතාවගේ මනස තුළ ගැඹුරින් සනිටුහන්වී ඇති බවත්, විශ්වසනීයත්වය සහ අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් අපගේ කැපවීම මෙම ජයග්‍රහණය හරහා තහවුරු වෙනවා.

සන්නාම පිළිබඳ සිදු කෙරෙන සමීක්ෂණය සඳහා Brand Finance ආයතනය ගෝලීය ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳව ඔබගේ අදහස ?

සන්නාමයක් නිරන්තරයෙන් මූල්‍යකරණය හා බැඳී පවතිනවා. ඒ වගේම අදාළ ආයතනික ආකෘතිය මඟින් සන්නාමයේ ශක්තිය මනින බවත්, පසුව එයට මූල්‍ය වටිනාකමක් එක් වන බවත් පැවසුවොත් මා නිවැරදියි. සන්නාමය ශක්තිමත් කිරීම සඳහා අලෙවිකරණය උපායශීලීව සහ ස්ථාවරව ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි.

සන්නාමයක වටිනාකම මැන බැලීම වෙනුවෙන් Brand Finance සමාගම අනුගමනය කරන විද්‍යාත්මක සමීක්ෂණ ක්‍රමවේදය තුළදී ආයතනික යහ පැවැත්ම, තිරසාරභාවය, මානව සම්පත් කළමනාකරණය, ඩිජිටල් සේවා භාවිතය සහ ගනුදෙනුකාර සේවාව ආදී වශයෙන් පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරනවා. එහිදී ඔවුන් අදාළ ආයතනයේ ගනුදෙනුකරුවන්ගෙන් වගේම ගනුදෙනුකරුවන් නොවන පුද්ගලයන්ගේ අදහස් වෙතත් අවධානය යොමු කිරීම විශේෂයි. ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් නොවන පුද්ගලයින් පවා ලංකා බැංකු සන්නාමය ඇගයීම, සන්නාමයක් ලෙස අප ගොඩනඟා ගෙන ඇති කීර්තියට සහ සාර්ථකත්වයට හොඳම උදාහරණයක්.

වේගයෙන් වෙනස් වන මූල්‍ය ක්ෂේත්‍රය වෙත සාර්ථක ව අනුවර්තනයවීම වෙනුවෙන් ලංකා බැංකුව යොදා ගත් අලෙවිකරණ උපාය මාර්ගය මොනවාද ?

ගනුදෙනුකාර අභිලාශ කේන්ද්‍ර කර ගත් උපාය මාර්ගික ක්‍රමවේද අනුගමනය කිරීම අපගේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක්. අපගේ අරමුණු හා ඉලක්ක කරා ගමන් කිරීමේදී සාර්ථක සන්නිවේදන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව නොරහසක්. උදාහරණයක් විදියට දැක්වුවොත්, අප ළමා ඉතුරුම් ගිණුමක් හඳුන්වා දීමේදී එමඟින් ලබා දෙන පොලී අනුපාත පිළිබඳ වගේම, එම ඉතුරුම් හරහා දරුවාගේ අනාගතය ශක්තිමත් වන ආකාරයත් දැනුවත් කිරීම අවශ්‍යම වෙනවා. ඒ වගේම ජීවනෝපායන් නිර්මාණය කිරීම සහ ව්‍යවසායකයින් සවි බල ගැන්වීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය ප්‍රවර්ධනය කිරීමත් අපගේ සාර්ථක අලෙවිකරණ උපායමාර්ගයක් විදියට දැක්වීමට පුළුවන් ඩිජිටල් පරිවර්තනය අපගේ සාර්ථකත්වයේ ප්‍රධානතම අංගයක්. ඉලක්ක ගත ව්‍යාපෘති සැලසුම් කිරීම සඳහා

ගනුදෙනුකාර කේන්ද්‍රීය තොරතුරු සහ දත්ත මත විශ්වාසය තබන බව පැවසිය යුතුමයි. අපි අපගේ ප්‍රවර්ධන කටයුතු සඳහා වැඩි වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කරනවා. තරුණ ප්‍රජාව ආමන්ත්‍රණය කිරීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ඒ සඳහා නිවැරදි විසඳුම් ලබාදීමට එය අත්‍යවශ්‍ය බව මා විශ්වාස කරනවා.

ඒ වගේම පසුගිය අභියෝගාත්මක කාල වකවානුවලදී අප ක්‍රියා කළ ආකාරය සහ ඒවාට පිළිතුරු ලබාදීමට අප මැදිහත් වූ ආකාරය අපගේ සන්නාමයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සමත් වූ බව පැවසුවොත් මා නිවැරදි යි. කොවිඩ් වසංගතය අතරතුර රටේ සැපයුම් දාමයන්ට බාධා සිදු වූ විට, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ ආනයනය සඳහා ලංකා බැංකුව මූල්‍ය පහසුකම් ලබාදීම ඊට උදාහරණ විදියට දැක්විය හැකියි. ඒ වගේම ඉන්ධන, ගෑස් සහ විදුලිය ආශ්‍රිත ව අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූ විට පවා එය සමනය කර ගැනීමට ලංකා බැංකුව සක්‍රීය මැදිහත් වීමක් සිදු කළ බවත් සිහිපත් කළ යුතු ම යි. අප මෙම මැදිහත් වීම් කිසිදු ප්‍රවර්ධන අරමුණකින් තොර ව ක්‍රියාත්මක කළත්, එය ජාතික සන්නාමයක් විදියට ලංකා බැංකුවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සමත් වූ බව පැවසිය යුතුයි.

තරගකාරී මූල්‍ය වෙළෙඳපොළ තුළ ලංකා බැංකු සන්නාමය අනෙකුත් මූල්‍ය ආයතනවලින් වෙනස් වීමට අලෙවිකරණ ක්‍රියාවලිය දායක වී ඇත්තේ කෙසේද ?

ලංකා බැංකුව සැම විටම අනෙකුත් සන්නාමයන්ගෙන් වෙන්ව රැඳී සිටින්නේ විශ්වාසය, ආයතනික අරමුණු සහ ව්‍යාපාර ධාරිතාව යන අංශ කෙරෙහි දක්වන දායකත්වය හේතුවෙන් බව පැවසිය යුතුමයි. අතීතයේ ලබා ගත් ප්‍රගතිය, වෙළෙඳපොළ තුළ පවතින තත්ත්වයන්ට අනුගතවීමේ හැකියාව සහ සාර්ථක ලෙස වගකීම් කළමනාකරණය කිරීම යන කරුණු පදනම්ව සන්නාමයක් කෙරෙහි විශ්වාසය ගොඩනැඟීම සිදු වන බව පැවසුවොත් මා නිවැරදියි. දිවයිනම ආවරණය කරමින් පිහිටා ඇති 660 කට අධික දේශීය ශාඛා ජාලය, 2300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන හා විදේශීය ශාඛා , ශක්තිමත් ඩිජිටල් සේවා කලඹ සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ පවතින සහයෝගිතාව තුළින් නිර්මාණය වී ඇති නියෝජිත බැංකු ජාලය හරහා අපගේ පුළුල් ව්‍යාප්තිය සනිටුහන් වී ඇති බවත් පැවසිය යුතුමයි.

ඒ වගේම සේවා සහ නිමැවුම්වල නිර්මාණශීලී බව, අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ එමඟින් ජාතික හා සාමාජීය මට්ටමින් සිදු කළ හැකි දායකත්වය මත ලංකා බැංකුවේ අරමුණ කෙතරම් පොහොසත්ද යන්න විදහා පාන බව නොරහසකි. මේ සඳහා BOC Youth ණය යෝජනා ක්‍රමය හොඳම උදාහරණයක්. ඇපකරයක් තැබීමට නොහැකි, වයස අවුරුදු 30 ට අඩු ආරම්භක මට්ටමේ ව්‍යවසායකයින්ට එමඟින් අද්විතීය සහයෝගයක් ලබා දෙනවා. ඔවුන්ගේ ව්‍යාපාර සැලැස්ම යථාර්ථයක් කර ගැනීමට මෙම ණය යෝජනා ක්‍රමය හරහා ලංකා බැංකුව මූල්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම ලංකා බැංකුව මෙම ණය යෝජනා ක්‍රමය හරහා දැනටමත් තරුණ ව්‍යවසායකයින් 19,000 කට වැඩි පිරිසක් බල ගන්වා ඇති බව මා පවසන්නේ මහත් අභිමානයෙන්.

ලංකා බැංකුව කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍රවලට නවෝත්පාදන ඒකාබද්ධ කිරීමට කටයුතු කළා. ඒ අති නවීන ඩ්‍රෝන තාක්ෂණය කෘෂිකර්මාන්තය හා ඒකාබද්ධ කිරීමෙන් අපි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණයටත්, ඩ්‍රෝන නියමුවන් පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම, නිවැරදි කෘෂි පර්යේෂණ සඳහා සහාය වීම, ජලය හා පොහොර භාවිතය ප්‍රශස්ත කිරීම හරහා අස්වැන්න වැඩි දියුණු කිරීම සඳහා ඩ්‍රෝන භාවිත කිරීම දිරිගැන්වීම වැනි ක්‍රියාකාරකම් හරහා ඒ ආශ්‍රිත වපසරිය පුළුල් කිරීමටත් ලංකා බැංකුව නොමඳ සහයෝගය ලබා දුන්නා.

අපගේ පුහුණුව ලත් අති දක්ෂ කාර්ය මණ්ඩලයත් අපගේ වෙනස විදහා පාන බව අවධාරණය කළ යුතුයි. 8,000 කට අධික අපගේ කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු ප්‍රමාණයක් වයස අවුරුදු 35 ට අඩු වීම විශේෂත්වයක්. ඔවුන් ශක්තිය, කැප වීමේ හැකියාව සහ ඩිජිටල් සාක්ෂරතාව ඉතා ඉහළයි. අපගේ ශාඛා ජාලය ආශ්‍රිත ව වගේ ම ඩිජිටල් සේවා ආශ්‍රිතවත් ගනුදෙනු කරුවන් වෙත ප්‍රශස්ත මට්ටමේ සේවාවක් ලබා දීමට එම සුවිශේෂත්වයත් ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.

තාක්ෂණික දැනුම සහිත තරුණ පරම්පරාවේ අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම ලංකා බැංකුවේ සාර්ථකත්වය හා සමපාත වන්නේ කොහොමද ?

දශක අටකට වැඩි ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සහ ඩිජිටල් පරිවර්තනය හරහා නව පරපුර ආමන්ත්‍රණය කිරීම යන දෙකම නිවැරදිව කළමනාකරණය කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා. ගෙවීම් කටයුතු ඇතුළු සමස්ත බැංකු සේවා පහසුකම් සලසන BOC Flex ජංගම යෙදුම තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගත් ප්‍රධානතම ඩිජිටල් සේවාවක්. ඔවුන්ට ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ජංගම දුරකථනය භාවිත කර බැංකු කටයුතු සිදු කිරීමේ හැකියාව මෙමඟින් අපි ලබාදී තිබෙනවා.

අධ්‍යාපනය සහ රැකියා අවස්ථා වර්ධනය කර ගැනීම සඳහා අපි තරුණයින් වෙත නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා. සෑම වසරකම අපි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් රුපියල් මිලියන 30 කට ආසන්න ශිෂ්‍යත්ව ලබා දීමට අපි කටයුතු කරනවා. එම ශිෂ්‍යත්ව ඔවුන් උපාධිය ලබා ගන්නා තෙක් ලබා දීම විශේෂයි. ඊට අමතරව අපගේ Dream Builders වැඩසටහන හරහා අපි විශ්වවිද්‍යාල සමඟ එක් වෙලා රට පුරා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් අධ්‍යාපනය සහ රැකියා අතර පරතරය පියවීමට දායකත්වය ලබා දෙනවා. මෙවැනි ව්‍යාපෘති සමාන්‍ය වැඩසටහන්වලින් ඔබ්බට ගිය අනාගත ආයෝජන වැඩසටහන් විදියට හඳුන්වා දීමට පුළුවන්. අපගේ සන්නිවේදන ක්‍රියාවලිය වෙත අවධානය යොමු කළ විට, TikTok” WhatsApp සහ Instagram ඇතුළු තරුණ තරුණියන් අතර ජනප්‍රිය සමාජ මාධ්‍ය භාවිත කිරීම හරහා අපි ඔවුන් වෙත වඩාත් සමීප වී තිබෙනවා. එයත් ලංකා බැංකුව වෙත තරුණ තරුණියන්ගේ ආකර්ෂණය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බව පැවසිය යුතුමයි.

ඉදිරි වසර 5 තුළ ලංකා බැංකු සන්නාමය වර්ධනය කරා ගෙන යාම සඳහා ඔබේ දැක්ම කුමක්ද ?

ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වසනීයම මූල්‍ය සහකරු ලෙස අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කිරීම අපගේ ප්‍රධානතම අරමුණු අතරින් එකක්. ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ආයතනික කළමනාකාරිත්වය මෙම අවශ්‍යතාව මැනෙවින් වටහා ගෙන තිබෙනවා. ඒ අනුව අපගේ ඉදිරිය සැලසුම් කිරීම සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම වඩාත් තීව්‍ර කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා. මෙහි මූලික පියවරක් ලෙස ඩිජිටල් සේවා පුළුල් කිරීමට, AI තාක්ෂණය හරහා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉලක්ක කර ගත් සේවා පුළුල් කිරීමට සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් අප දියත් කරන වැඩසටහන් ශක්තිමත් කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කරන බවත් පැවසිය යුතුමයි.

ඒ වගේම අපගේ ජාත්‍යන්තර සබඳතා වර්ධනය කර ගනිමින් දකුණු ආසියාව තුළ ප්‍රබලම සන්නාමය බවට ලංකා බැංකුව පත් කිරීමේ මෙහෙයුම් අපි දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් පැවසිය යුතුමයි. The Banker සඟරාව විසින් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට ලංකා බැංකුව නැවතත් ශේණිගත කිරීම සහ අපගේ ඉස්ලාමීය බැංකු සේවා ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වීම අපගේ සන්නාමය ජාත්‍යන්තරය ජය ගනිමින් සිටින බවට සාක්ෂි වශයෙන් දැක්විය හැකියි.

ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතයේ පැවැත්මට අවශ්‍ය මූල්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම අපගේ මූලික පදනම විදියට හඳුන්වා දීමට පුළුවන්. අලුත උපන් දරුවකුගේ පළමු ඉතුරුම් ගිණුමේ සිට තරුණ හා කාන්තා ව්‍යවසායකයින් වෙනුවෙන් ව්‍යාපාර ණයක් හෝ ගොවි ප්‍රජාව වෙත නවීන තාක්ෂණය හඳුන්වා දීම මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම දක්වා ලංකා බැංකුව විශ්වසනීය හවුල්කරුවෙකු විදියට ශ්‍රී ලාංකික ජන සමාජය සමඟ බැඳී පවතිනවා. අපගේ සන්නාමයේ මූලික හරය එය යි. එය ඉදිරි වසරවල දීත් අපගේ ජයග්‍රාහී මාවතට ශක්තියක් වනු ඇති බව මා තරයේ විශ්වාස කරනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here