ආණ්ඩුවට අවුරුද්දයි! විපක්ෂය තාම බාලයි!

0
13

සජබ – එජාපය නොදකින යථාර්ථය

පොහොට්ටු පක්ෂය දෙලොවක් අතර

විමල් වීරවංශ විපක්ෂයට එල්ල කළ අභියෝගය ජාජබට එරෙහිව ජාජබ

ජාතික ජනබලවේගයේ (ජාජබ) රජයේ පළමුවන සංවත්සරය සහ සමගි ජනබලවේගය (සජබ) නොමැති විපක්ෂයේ ආණ්ඩුවට එරෙහි ප්‍රථම ඒකාබද්ධ විරෝධතා රැලිය (‘මහජන හඬ’) නොවැම්බර් 21 දිනට යෙදී ඇත.

පසුගිය වසරේ මහ මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කර වසර පහක ජනවරම ලබා ගත් ජාජබ තම පළමුවන වසර දේශපාලන අභියෝගයකින් තොරව සම්පූර්ණ කර ඇත. තුනෙන් දෙකකට වඩා වැඩි අද්විතීය බලයක් හිමි ආණ්ඩු පක්ෂයට ව්‍යවස්ථාදායකය තුළ හෝ එයින් පිටත ප්‍රධාන විපක්ෂය වන සජබ පක්ෂයෙන් හෝ අනෙකුත් කණ්ඩායම්වලින් අභියෝගයක් නැත.

නුගේගොඩ රැලිය පිටුපස කතාබහ නැවත නැවතත් අවධාරණය කරන්නේ ආණ්ඩුවට එරෙහි පොදු වැඩපිළිවෙළක් පිළිබඳව එකඟතාවයකට පැමිණීමට විපක්ෂය තවමත් අසමත් වී ඇති බවයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු විපක්ෂයේ සිටින 40 දෙනකුගෙන් සමන්විත ප්‍රධාන පක්ෂය වන සජබ සහ මැතිසබය නියෝජනය කරන අනෙකුත් කුඩා පක්ෂ සහ මැතිසබයෙන් පිට සිටින කණ්ඩායම් අතර අතර පොදු වැඩපිළිවෙළක් පිළිබඳව එකඟතාවයක් නොමැති තත්ත්වයක් තුළ නුගේගොඩ
රැලිය විපක්ෂයට අවාසිදායක තත්ත්වයක් කරනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක නාමල් රාජපක්ෂ පවසන ආකාරයට ජාජබ ජනතාවට දුන් ඡන්ද පොරොන්දු මතක් කිරීමට නුගේගොඩ රැලියක් සංවිධානය කිරීමට අවශ්‍ය නැත. මන්ත්‍රීවරයා එම අදහස ප්‍රකාශ කළේ එජාප නායක සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහගේ කුරුඳුවත්ත මල් පාර ප්‍රදේශයේදී නොවැම්බර් 12 වන දින පැවති සාකච්ඡාවකින් පසුවය. විපක්ෂය නියෝජනය කරන පක්ෂ පොදු වැඩපිළිවෙළක් සහ විකල්ප ක්‍රියාමාර්ග/යෝජනා පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුතුය. නමුත් සජබ නුගේගොඩ රැලියට එකතු නොවීම තුළ විපක්ෂ ක්‍රියාමාර්ගය ‘පුස් වෙඩිල්ලක්’ වීම වැළැක්වීමට නොහැකිය. භූමියේ දේශපාලන සත්‍යය තේරුම් ගැනීම අපහසු නැත.

විපක්ෂය මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වයට සාපේක්ෂව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දේශපාලන-ආර්ථික-සමාජීය අර්බුදකාරී තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට සමත් වී ඇත.

ආණ්ඩුව තම දෙවන වසරට අවතීර්ණ වන අවස්ථාවේ ජාජබ සහ විපක්ෂය නියෝජනය කරන පක්ෂ මුහුණ දෙන අභියෝග විමසා බලමු. ප්‍රධාන විපක්ෂය වන සජබ සහ බිංදුවට වැටී ඇති එක්සත් ජාතික පක්ෂය (එජාප) අතර හැකි ඉක්මනින් එකඟතාවයකට පැමිණීම එම පක්ෂ දෙක මුහුණ දී ඇති අතිශය තීරණාත්මක අභියෝගයයි. පසුගිය වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයට (2024 සැප්තැම්බර්), මහ මැතිවරණයට (2024 නොවැම්බර්) සහ පළාත් පාලන මැතිවරණයට (2025 මැයි) පෙර සජබ සහ එජාපය අතර සාකච්ඡා බිඳ වැටීමට හේතුවූයේ නායකත්වය පිළිබඳ ගැටලුවයි.

සජබ-එජාප අර්බුදය විසඳිය හැකි සූත්‍රය කුමක්ද? ප්‍රධාන විපක්ෂය වන සජබ කිසිවක් කරකියාගත නොහැකි එජාපයට එකතු වීමද? නැතහොත් එජාපය සජබට එකතු වීමද? ජාජබට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට එම පක්ෂ දෙක එකතු වුවහොත් එම බලවේගයේ නායකත්වය සජිත් ප්‍රේමදාසටද ? නැතහොත් රනිල් වික්‍රමසිංහටද? එම පක්ෂ දෙක වර්තමාන අභියෝගයට දීමට අවශ්‍ය යථාර්ථවාදී ක්‍රියාමාර්ග ගැනීමට උත්සුක විය යුතුය. තේරුමක් නොමැති විරෝධතාවලින් විපක්ෂයට ඵලක් නැත. මාධ්‍ය තුළ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති මැවීමෙන් ලැබෙන වාසියක් නැත. සමස්ත මාධ්‍ය පරීක්ෂාවෙන් විමසා බලන කෙනකුට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කරන විකාර මෙහෙයුම් තේරුම්ගත හැකිය.

සැබෑ එජාප පාක්ෂිකයන්ට 2020 දී පක්ෂය දෙකඩ වීම අදටත් දරාගත නොහැකිය. ඒ පිළිබඳව කතා කිරීමට බොහෝ කරුණු කාරණා ඇත. තවමත් සජබ සහ එජාපය ඒකාබද්ධ න්‍යාය පත්‍රයකට/ නැවත එකතු කිරීමට ඇති බාධාව නායකත්ව ගැටලුවයි. සජිත් ප්‍රේමදාසද නැතහොත් 1994 සිට එජාප නායකත්වය දරන රනිල් වික්‍රමසිංහද යන පසුකර යා නොහැකි ප්‍රශ්නයේ එම පක්ෂ දෙක තවමත් හිරිවී සිටී. සජබ නුගේගොඩ නොයන්නේ ඒ හේතුව නිසා බව පැහැදිලිය. කිසිදු තේරුමක් නොමැති දෙපාර්ශ්වය අතර සාකච්ඡා හරහා මෙම අර්බුදය විසඳීමට නොහැකි බව කවුරුත් දනී. එවැනි සාකච්ඡා දෙපාර්ශ්වයම අභියෝගය මඟහැරීමට නැතහොත් කල් ගැනීමට ගනු ලබන උපාය මාර්ගයක් ලෙස පාවිච්චි කරන බව සක්සුදක්සේ පැහැදිලිය.

සජබ-එජාප අර්බුදයේ වාසිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බවද ඔවුන් දනී. ඊට දිය හැකි හොඳම උදාහරණය 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයයි. ජාජබ අපේක්ෂක අනුර කුමාර දිසානායක 5,634,915 (42.31%) ඡන්ද ලබා ගනු ලැබූ අතර සජබ නායක සජිත් ප්‍රේමදාස 4,363,035 (32.76) සහ අංක 16 යටතේ තරග කළ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ 2,299,767 (17.27%) එකතුව ඡන්ද 6,662,802 ලබා ගැනීමට සමත්විය. සජබ සහ එජාප නායකයන් ජයග්‍රාහී ජාජබ අපේක්ෂක ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද 1,027,887 ලබා ගැනීමට සමත්විය.

මහ මැතිවරණයට පෙර එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන හිටපු මන්ත්‍රීවරයා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම ලියුම්කරු නායකත්ව ගැටලුව හේතුවෙන් සජබ සහ එජාපය එක ස්ථාවරයකට නොපැමිණීමෙන් ජයග්‍රහණය ජාජබ ට හිමිවීම එජාපයට ප්‍රශ්නයක් නොවන්නේ දැයි විමසීය. ඊට ඍජු පිළිතුරක් ලැබුණේ නැත. (https://island.lk$ruwan-confidentof-total-overhaul-of-unp-includingleadership-change-after-generalelection/). ඔක්තෝබර් 28, 2024 මල් පාර කාර්යාලයේ පැවැත්වූ එම සාකච්ඡාවේදී ඔහු නොවැම්බර් මාසයේ මහ මැතිවරණයෙන් පසුව පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට ඇති අවශ්‍යතාවය දැඩිව අවධාරණය කළේය. රුවන් විජයවර්ධන දුන් පොරොන්දුව සම්බන්ධයෙන් ඊට වසරකට පසුව එම පක්ෂයට කීමට දෙයක් නොමැත. පූර්ණ ප්‍රතිසංවිධානයක් තබා අවශ්‍ය අභ්‍යන්තර ප්‍රතිසංසකරණ කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැත. ඇස් බැන්දුම්වලින් දේශපාලන ඉලක්ක ළඟා කරගත නොහැක. එවැනි ප්‍රයෝගකාරී වැඩපිළිවෙළවල් සාර්ථකව ක්‍රියාවට නැඟූ කාලයක් ශ්‍රී ලංකාව තුළ විය. නමුත් වර්තමාන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය.

මෑතකදී පැවැත්වූ එජාපයේ 79 වන සංවත්සරයේදී යෝජනා කළ පරිදි රට පුරා රැස්වීම් 1,000 සංවිධානය කර තවදුරටත් වර්ධනය වෙමින් පවතින අර්බුදය විසඳීමට නොහැකිය. එජාප නායක වික්‍රමසිංහ එම යෝජනාව සැප්තැම්බර් 6, 2025 වන දින සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ප්‍රකාශයට පත් කළේය. එය ක්‍රියාත්මක කිරීමේ වගකීම හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දුට භාර කළේය. හරින් වෙනුවෙන් නව තනතුරක්ද නිර්මාණය කළේය. ඒ බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහා ලේකම් තනතුරයි. සජබ සහභාගිත්වය නොමැතිව රට පුරා රැස්වීම් 10,000 සංවිධානය කළත් පලක් නැත. නුගේගොඩ රැලියට සජබ ප්‍රතිචාරය අවධාරණය කරන්නේ පවතින තත්ත්වය තුළ ප්‍රධාන විපක්ෂය එජාපය සමග එක වේදිකාවකට ගොඩ නොවන බව නොවේද? සජබ 2020 දී මැතිවරණ කොමිසමේ ලියාපදිංචිය ලබා ගැනීමට හේතුවූ කරුණු කාරණා පිළිබඳව අවංක විමසා බැලීමක් එජාපය අද වනතුරු කර නැත.

මහජන මුදල් අපයෝජනය කළ චෝදනාවට අධිකරණ ක්‍රියාවලියක පැටලී සිටින වික්‍රමසිංහ තවමත් තමන්ගේ ‘ස්ථානය’ ස්ථාවර කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවට අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. එජාපය සහ නාමල් රාජපක්ෂ නායකත්වය දෙන තුන් දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) මන්ත්‍රී කණ්ඩායම නුගේගොඩ වේදිකාවට ගොඩවීම අපූරු සිද්ධියකි. නොගැළපෙන දේශපාලන සංයෝජනයකි.

ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහට සහයෝගය දීම ප්‍රතික්ෂේප කරමින් පොහොට්ටු පක්ෂය වෙනුවෙන් නාමල් රාජපක්ෂ තරගයට ඉදිරිපත්විය. අරගලය විසින් 2022 ජුලි මාසයේදී පලවා හැරිය ගෝඨාභය රාජපක්ෂට 2019 දී ලැබුණ වසර 5 ක ජනවරමේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීමට පොහොට්ටු පක්ෂය විසින් තෝරාගත් වික්‍රමසිංහ සමග දීගය රාජපක්ෂවරු හමාර කළේය. නමුත් පොහොට්ටු මැති ඇමැතිවරු දුසිං ගණනාවක් වික්‍රමසිංහ සමග එකතු විය. ඒ අතර කවදත් රාජපක්ෂවරුන් සමග දේශපාලනය කළ මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද විය. ඒ වික්‍රමය එජාපයට, පොහොට්ටු පක්ෂයට හෝ වික්‍රමසිංහට කළ සෙතක් නැත. ඒ දේශපාලන ක්‍රියාදාමයේ පූර්ණ වාසිය ජාජබට හිමිවිය. දිනේෂ් ගුණවර්ධන – වික්‍රමසිංහ අවබෝධතාවය අනුව ඔහු වික්‍රමසිංහ නායකත්වය දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළු විය. නමුත් වර්තමාන පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක් ලැබුණේ නැත. එම පක්ෂයට ලැබුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක හිටපු අමාත්‍යවරුන් වන රවි කරුණානායක සහ ෆය්සර් මුස්තාපා ඩැහගත් බවට එජාපය චෝදනා කර ඇත.

ජනාධිපතිවරණයෙන් මස තුනකට පසුව පැවැත්වූ මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂය මන්ත්‍රීවරු තුනකට සීමාවූ අතර (නාමල් රාජපක්ෂ තරග කිරීමෙන් වැලකී ජාතික ලයිස්තුවේ අංක එක විය), වික්‍රමසිංහ නායකත්වය දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 5 හිමිවිය. එම මහජන නියෝජිතයන්ගෙන් කී දෙනකු නුගේගොඩ රැලියට එකතු වේවිද? එම පස්දෙනා අතර එක එජාප පාක්ෂිකයකු නැත.

පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් එම පක්ෂයේ ඩාලී පාරේ පිහිටි මූලස්ථානයේ සාකච්ඡාවක මෑතකදී නිරත වීම අවධාරණය කළේ එම පක්ෂ දෙකම දේශපාලනිකව මංමුළා වූ තත්ත්වයයි. ජනාධිපතිවරු බිහිකළ ශ්‍රීලනිපය අද මැතිසබයේ නැත. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව හරහා මෙවර මැතිසබයට ආන්දෝලණාත්මක පසුබිමකට පත්වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රීලනිපය හරහා එම මන්ත්‍රී ධුරය ලබා ගනු ලැබුවත් එම පක්ෂයේ හඬ අද මැතිසබයේ නැත.

පසුගිය වසරේ ජනතාව ජාතික මැතිවරණ දෙකකදී සහ මේ වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ විපක්ෂය නැවත ජනතා විශ්වාසය දිනාගැනීමේ බරපතළ අභියෝගයට මුහුණ දී ඇත. ඒ සුළුපටු අභියෝගයක් නොවේ. පක්ෂ ලාංඡන පසෙකට කරමින් සන්ධාන ගොඩනැඟීම ප්‍රධාන පක්ෂවලට විනාශකාරී තත්ත්වයක් උදාකළ බව භූමියේ සත්‍යයයි. එජාපය නැත්තටම නැතිවීමට වැරදි තීන්දු තීරණ මෙන්ම සන්ධාන දේශපාලනය හේතුවිය. වික්‍රමසිංහගේ නායකත්වය යටතේ 2009/2010 සිට 2019 දක්වා ක්‍රියාත්මක වූ එජාප-ජවිපෙ (ජාජබ තිබුණේ නැත. ජාජබ කරලියට පැමිණියේ 2019 වසරේදීය. ඒ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටය). හවුල එජාපය දිය කර හැරියේය.

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ජයග්‍රාහී යුද හමුදාවට නායකත්වය දුන් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමෙන් එජාපය තම පක්ෂයට සහ සමස්ත දේශපාලනයට කළ විනාශය ඇස්තමේන්තු කළ නොහැක. එජාපය කළ වැරැද්ද නැවත හැරවිය නොහැකි වැරද්දක් වූයේ ෆොන්සේකා වෙනුවෙන් ගොඩනැඟූ සන්ධානයට මිනීමරු කොටි ත්‍රස්තවාදී කල්ලියේ අතකොළුවක් වූ ත්‍රස්තවාදීන් පාර්ලිමේන්තුව තුළ 2001 සිට 2009 දක්වාම නියෝජනය කළ ඉලංකෙයි තමිල් අරසුකච්චි නායකත්වය දුන් දෙමළ ජාතික සන්ධානය ද එම මෙහෙයුමට සම්බන්ධ කර ගැනීමෙනි. ඒ කුරුමානම වැරදිනි.

නමුත් එම අශුද්ධ සන්ධානය 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන ඉදිරියට දමා දෙවරක් ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ පරාජය කළේය. එජාප-ශ්‍රීලනිප හවුල අතිශය විනාශකාරී වුවත් තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය සපුරා ගැනීමට ව්‍යවස්ථාව වෙනස් කර තුන්වන වරටත් ජනාධිපති ධුරය වසර හයකට ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ කළ අශෝභන උත්සාහය පරාජය කිරීම සම්බන්ධයෙන් ලියුම්කරුට සතුටක් ඇත. තනි පුද්ගලයකු වසර හය බැගින් තුන්වරක් ජනාධිපති වීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. මහින්ද රාජපක්ෂගේ උත්සාහය සාර්ථකව වූවානම් 2022 ක්‍රියාත්මක කළ ‘අරගලයට’ වඩා විනාශකාරී තත්ත්වයක් ඊට වසර ගණනාවකට පෙර ඇතිවීමට තිබිණි. ලියුම්කරු මෙම තත්ත්වය දකින්නේ ත්‍රස්තවාදය පරාජය කළ දේශපාලන ප්‍රවාහයට අඛණ්ඩව සහයෝගය දුන් කෙනකු වශයෙනි.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ නුගේගොඩ රැලියට සහභාගී නොවීමට කළ හේතු දැක්වීම එම ව්‍යපෘතියට සම්බන්ධ සෑම පක්ෂයකටම මෙන්ම ඊට සහභාගි නොවන සජබට දැඩි අභියෝගයකි.

ජාජබ ආණ්ඩුවට අදාළ තීරණාත්මක කරුණු පිළිබඳව නිශ්චිත එකඟතාවකින් තොර හා ඊට එරෙහිව පුළුල් හා නිවැරදි වැඩපිළිවෙළක් පිළිබඳ එකඟතාවයකින් තොරව සංවිධානය කරන නුගේගොඩ රැලිය නිෂ්ඵල උත්සහයක් බවට වීරවංශ කර ඇති ප්‍රකාශය ‘මහජන හඬ’ සංවිධායකයන්ට නොසලකා හැරීමට නොහැකිය.

රාජ්‍යයේ ස්වෛරීත්වය සහ ආර්ථික ස්වාධීනත්වය ඉන්දියාව ඇතුළු බාහිර පාර්ශ්වයන් ට පාවාදෙමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපායමාර්ගයට රට ගොදුරු කර ඇති ජාජබ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාමයෙන් බෞද්ධාගම ඇතුළු සියලුම ආගම් පසෙකලා අති විනාශකාරී සුළුතර ලිංගික ප්‍රවණතා (LGBTO) ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක ඒ පිළිබඳව ස්ථිර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය වීරවංශ අවධාරණය කර ඇත. ඊට අමතරව දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදාවට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග, මහා බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වහලෙකු කිරීම සහ විදේශ රටවල සඟවා ඇති මුදල් නැවත රටට ගෙන ඒමට අවශ්‍ය කරයුතු නොකරන ජාජබ ට එරෙහිව නිශ්චිත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ සැබෑ අවශ්‍යතාවය පෙන්වා දී ඇත. නමුත් 2024 ආර්ථික පරිවර්තන පනත ඡන්දයකින් තොරව මැති සබයේදී සම්මත කිරීමට කටයුතු කළ සජබ හෝ එදා විශාලතම පාර්ලිමේන්තු කණ්ඩායම වූ පොහොට්ටු පක්ෂය මෙන්ම අද බලයේ සිටින ජාජබ ද ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය නැවත හැරවිය නොහැක.

ඉන්දියාව එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට තර්ජනය කර ව්‍යවස්ථාවට ඇතුළු කළ රටට පිළිකාවක් වූ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සජබ බැඳී සිටින බවට එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා නව දිල්ලියේදී ප්‍රකාශ කරන්නේ වර්තමාන තත්ත්වය පිළිබඳව නොදැන නොවේ. ජාජබ සහ පොහොට්ටු පක්ෂය මෙන්ම සජබටද ඉන්දියාවෙන් ගැලවීමක් නැති නිසාය. නව දිල්ලියේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වූ මහේෂිනි කොලොන්නේ ද සිටින සභාවකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

සමස්තයක් ලෙස ඉන්දීය මාධ්‍යද ඒ මෙහෙයුමේම කොටසක්ය. තවමත් රහසක්ව පවතින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පසුගිය අප්‍රේල් මාසයේදී අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් එකෙකු ප්‍රශ්නයක් ඇසුවේ නැත. ඉන්දීය ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් 2022 අරගලය ශ්‍රී ලංකාවේ දුර්වල පාලනය නැතහොත් දුර්වල ආණ්ඩුකරණය නිසා සිදුවූ බවට මෑතකදී කළ ප්‍රකාශයද කිසිවකුට ප්‍රශ්නයක් වූයේ නැත.

අදටත් ජාජබ ආණ්ඩුව සහ ඉන්දියාව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් හතම රහසකි. පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර නොමැත.

විපක්ෂයේ දුර්වලතා සහ ජනතා විශ්වාසය නැවත

දිනාගැනීමට තවමත් අසමත් වීම හේතුවෙන් ජාජබ ආණ්ඩුව තම පළමු වසරේ ජනතා අවිශ්වාසයට පාත්‍රවූ කරුණු කාරණා සමස්ත පොදු වැඩපිළිවෙළකට එකතු කර ගැනීමට සජබ ප්‍රමුඛ විපක්ෂය අසමත් වී ඇත. කොළඹ වරායෙන් කන්ටේනර් 323 අනීතිකව 2025 ජනවාරියේදී පිටකිරීම, ජාජබ ඇමැතිවරුන් බංකොළොත් රටේ රැස්කර ඇති අදහාගත නොහැකි දේපළ සහ මිල මුදල්, ඉන්දියාව සමග ගනුදෙනුව, රජයේ ටෙන්ඩර් පටිපාටිය උඩු යටිකුරු කළ ඩබල් කැබ් මංකොල්ලය, කෘෂිකර්මාන්තය/ගොවියා නඟාසිටුවීමට අපොහොසත් වීම සහ සමස්තයක් ලෙස ජනතාවට දුන් පොරොන්දු කඩ කිරීම ඇත්ත වශයෙන්ම ජාජබට සැබෑ අභියෝගයක් වී ඇත්තේ එදා ජනතාවට දුන් පොරොන්දු විපක්ෂ සමාජ මාධ්‍ය මෙහෙයුමේදී දිනපතා ජනතාවට මතක් කර දීමයි.

කෙසේ වෙතත් පාතාලය සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට එරෙහිව මීට පෙර කිසිදු ආණ්ඩුවක් ගනු ලැබූ ක්‍රියාමාර්ගවලට වඩා ඇති සාර්ථක මෙහෙයුමක් අනුර කුමාර ජනාධිපතිවරයා දියත් කර ඇත. අපි ඊට සුබපතමු. පෑලියගොඩ නගර සබාවේ ජාජබ මන්ත්‍රීවරියගේ සැමියා සහ පුත්‍රයා හෙරොයින් ජාවාරම් කිරීම ප්‍රශ්නයක් කර ගත යුතු නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here