නොවැම්බර් 14 ලෝක දියවැඩියා දිනය අදයි
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය එක්ව සෑම වසරකම නොවැම්බර් මස 14 වන දින ලෝක දියවැඩියා දිනය ලෙස නම් කර ඇත්තේ මෙම බෝ නොවන රෝගයේ ගෝලීය ව්‍යාප්තිය සහ එහි බරපතළ බලපෑම් පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණෙනි. ශ්‍රී ලංකාව තුළද දියවැඩියාව ශීඝ්‍ර වර්ධනයක් පෙන්වන ප්‍රධානම සෞඛ්‍ය තර්ජනයක් බවට පත්ව ඇති බැවින් මෙම දිනය අපගේ ජනතාවට විශේෂයෙන්ම වැදගත් වේ.
වර්තමාන වේගවත් ජීවන රටාව, ආහාර පුරුදුවල වෙනස්කම් සහ ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම හේතුවෙන් අපේ රටේ වැඩිහිටි ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දියවැඩියාවේ ගොදුර බවට පත්ව සිටිති. මෙය හුදෙක් පුද්ගල සෞඛ්‍ය ගැටලුවක් නොව, පවුල්වල ආර්ථිකය, සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව සහ සමස්ත ජාතියේ සංවර්ධන වේගය කෙරෙහි සෘජුව බලපාන සාධකයක් බැවින් මේ පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවකි.
දියවැඩියාවේ මූලික විද්‍යාත්මක පසුබිම
දියවැඩියාව (Diabetes Mellitus) යනු ශරීරයේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යන තත්ත්වයකි. මෙම තත්ත්වය වර්ග දෙකක් යටතේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ හැකිය.
වර්ගය 1 දියවැඩියාව (Type 1 Diabetes) – මෙය සාමාන්‍යයෙන් ළමා කාලයේදී හෝ යෞවන වයසේදී ඇති වන අතර, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛල විනාශ කිරීම නිසා ඇතිවේ. මෙහිදී ශරීරයට ඉන්සියුලින් නිපදවීමට නොහැකි අතර, ජීවිතය පවත්වාගැනීම සඳහා පිටතින් ඉන්සියුලින් ලබාදීම අත්‍යාවශ්‍ය වේ.
වර්ගය 2 දියවැඩියාව (Type 2 Diabetes) – මෙය වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබෙන වර්ගය වන අතර, මෙහිදී ශරීරය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවන්නේ නැත. නැතහොත් ශරීර සෛල ඉන්සියුලින් සඳහා ප්‍රතිචාර දැක්වීම නවතාලයි (ඉන්සියුලින් ප්‍රතිරෝධය). අසමතුලිත ආහාර රටා සහ නිශ්චල ජීවන රටාව මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වේ.
ප්‍රමාණවත් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයක් නොමැති විට, රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යන අතර, කාලයත් සමග මෙම අධික සීනි ප්‍රමාණය ශරීරයේ සියුම් රුධිර නාලිකා සහ ස්නායු පද්ධතියට හානි කරමින් භයානක සංකූලතා රැසකට මඟ පාදයි.
ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගය
ශ්‍රී ලංකාවේ දියවැඩියාව වැළඳී ඇති අයගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යමින් පවතී. විශේෂයෙන් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල මෙම තත්ත්වය බරපතළ ය. ප්‍රධානතම ගැටලුව වන්නේ බොහෝ දෙනා තමන්ට දියවැඩියාව ඇති බව හඳුනාගන්නේ සංකූලතා ඇති වූ පසුව වීමයි.
දියවැඩියාවේ ප්‍රධාන සංකූලතා
★ හෘද රෝග සහ ආඝාතය – දියවැඩියාව ඇති පුද්ගලයන්ට හෘද රෝග ඇතිවීමේ අවදානම දෙගුණයක් පමණ වේ.
★ වකුගඩු අකර්මණ්‍ය වීම – දියවැඩියාව යනු නිධන්ගත වකුගඩු රෝග (CKD) සඳහා ප්‍රධානතම හේතුවකි.
★ අන්ධභාවය – දියවැඩියාව හේතුවෙන් ඇසේ රුධිර නාලිකාවලට හානි වීමෙන් ඇතිවන දියවැඩියා රෙටිනෝපතිය (Diabetic Retinopathy) අන්ධභාවයට මඟ පාදයි.
★ ස්නායු හානි – විශේෂයෙන් පාදවල ස්නායු හානි වීමෙන් තුවාල හඳුනාගැනීමට නොහැකි වන අතර, ආසාදන ඇති වී අවසානයේ පාද කපා ඉවත් කිරීමට පවා සිදුවිය හැකිය.
★ ප්‍රතිශක්තිය අඩුවීම – රෝගී තත්ත්වයන්ට ප්‍රතිරෝධය දැක්වීමේ ශක්තිය අඩු වීම.
වැළැක්වීමේ උපාය මාර්ග
වර්ගය 2 දියවැඩියාවෙන් 80% ට වඩා ප්‍රමාණයක් වැළැක්වීමේ හැකියාව ඇත. එබැවින්, රෝගය වැළඳීමට පෙර පූර්ව ආරක්ෂක පියවර ගැනීම ඉතා වැදගත් වේ.
- පෝෂණය හා ආහාර පුරුදු
සීනි සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සීමා කිරීම – තේ/කෝපි සඳහා සීනි භාවිතය අවම කිරීම, පැණි බීම, කෘත්‍රිම යුෂ, කේක්, බිස්කට් වැනි ඉහළ ග්ලයිසමික් දර්ශකයක් (High& Glycemic Index) සහිත ආහාර පරිභෝජනය සම්පූර්ණයෙන්ම සීමා කිරීම.
තන්තුමය ආහාර වැඩියෙන් ආහාරයට ගැනීම – දේශීය පලා වර්ග, කොළ එළවළු, පළතුරු, නිවුඩ්ඩ සහිත සම්පූර්ණ ධාන්‍ය සහ රනිල කුලයේ බෝග වැඩි වශයෙන් ආහාරයට එක් කිරීම. මේවා මගින් ග්ලූකෝස් අවශෝෂණය මන්දගාමී වේ.
නිරෝගී මේද ආහාරයට ගැනීම- තෙල්, පොල් තෙල් (ප්‍රමාණවත්ව), ඇට වර්ග සහ මාළු වැනි ඔමේගා 3 අඩංගු මේද තෝරා ගැනීම.
- ශාරීරික ක්‍රියාකාරකම්
දිනපතා ව්‍යායාම සිදු කිරීම – දිනකට අවම වශයෙන් මිනිත්තු 30ක වේගවත් ඇවිදීම, පිහිනීම හෝ වෙනත් මධ්‍යස්ථ මට්ටමේ ව්‍යායාමවල නිරත වීම අත්‍යාවශ්‍ය වේ.
නිශ්චලතාව අඩු කිරීම – දීර්ඝ වේලාවක් එකම ඉරියව්වෙන් සිටීමෙන් වැළකී, පැයකට වරක්වත් නැඟිට ඇවිදීම හෝ සරල ව්‍යායාම කිරීම.
නියමිත බර කළමනාකරණය – ශරීර ස්කන්ධ දර්ශකය BMI 25 ට අඩුවෙන් පවත්වා ගැනීම ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කිරීමට උපකාරී වේ.
- පූර්ව පරීක්ෂාව සහ අධීක්ෂණය
අවදානම් කණ්ඩායම් සඳහා පරීක්ෂණ – පවුල් ඉතිහාසයක් ඇති, අධික බරින් පෙළෙන හෝ වයස අවුරුදු (40) ඉක්මවූ සෑම පුද්ගලයෙක්ම වසරකට වරක්වත් රුධිරයේ සීනි මට්ටම (Fasting) (Blood) (Glucose) හෝ (HbA1c) පරීක්ෂා කරගත යුතුය.
දියවැඩියාව පාලනය – රෝගය වැළඳී ඇත්නම්, වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද ඖෂධ හෝ ඉන්සියුලින් නිවැරදිව භාවිතා කිරීම, නිර්දේශිත ආහාර සැලැස්ම අනුගමනය කිරීම සහ නිතිපතා වෛද්‍ය පරීක්ෂණ සඳහා සහභාගී වීම අත්‍යාවශ්‍ය වේ.
අපේ වගකීම පවුල සහ සමාජය වෙනුවෙන්
දියවැඩියාව යනු පවුලක් තුළ සාමූහිකව මුහුණ දිය යුතු තත්ත්වයකි. පවුලේ අයගේ සහයෝගය සහ දිරිගැන්වීම රෝගියාගේ පාලනය සඳහා ඉතා වැදගත් වේ. දෙමාපියන් ලෙස අපගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් කුඩා කල සිටම සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදුවලට හුරු කිරීම සහ එළිමහන් ක්‍රීඩාවලට යොමු කිරීම අපගේ වගකීමයි.
ලෝක දියවැඩියා දිනයේදී අප සෑම අයෙකුම අපගේ සෞඛ්‍යය පිළිබඳ පාලනය තමන් වෙත ගනිමින්, දැනුවත් තීරණ ගැනීමට ප්‍රතිඥා දෙමු. දියවැඩියාවට බිය නොවී, එය කළමනාකරණය කිරීමේ ශක්තිය සහ දැනුම අප සතුව ඇත.
යහපත් ජීවන රටාවක් තුළින් දියවැඩියාව වැළැක්වීමෙන් සහ නිසි පාලනයෙන්, අපට නිරෝගී, ක්‍රියාශීලී සහ දීර්ඝායුෂ සහිත හෙට දවසක් අපට උදාකර ගත හැකිය.
මිහිරි නවෝදා වික්‍රමසිංහ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.
Saru FM Media





