ඇමෙරිකානු සමාජය තුළ දේශපාලන න්‍යාය පත්‍රය මෙහෙයවන දුරස්ථ පාලකය වන්නේ සාම්ප්‍රදායක ප්‍රාග්ධනය හිමි බලවතුන්ගේ පංතිය බව රහසක් නොවේ. එම පංතියේ න්‍යාය පත්‍රයට අභියෝග කිරීම දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමක් ලෙසින් විශ්වාස කරන තත්ත්වයක් ඇමෙරිකානු සමාජය තුළ පවතී. එම න්‍යාය පත්‍රයට අනුව සමාජවාදියකු සහ කොමියුනිස්ට්වාදියකු වශයෙන් පෙනී සිටින්නන් දෙස අපරාධකරුවන් ලෙසත්, මුස්ලිම්වරයකු වන විට ඔහු ත්‍රස්තවාදියකු ලෙසත්, බලන සමාජ වටපිටාවක් මෙම බලගතු පංතිය විසින් ලොව පුරා නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටීම අප දකින යථාර්ථයයි. මෙවැනි පසුබිමක “මම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙක්” යැයි කියමින් සොහ්රාන් මම්දානි තම ඡන්ද ව්‍යාපාරය අභීතව මෙහෙය වූ ආකාරය සැබැවින්ම විශ්මයජනකය.
මම්දානිගේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී දැක්ම මේ අයුරින් එළිදකින විට මගේ මතකයට නැඟුණේ, 1963 වසරේ දින දෙකක් තිස්සේ කළුතර පැවැති එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය” තම පක්ෂයේ දැක්ම බව එම සමුළුවේදී යෝජනාවකින් සම්මත කරගෙන නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ සිද්ධියයි.
හුදු නායකයන්ගේ කතාවලට පමණක් සවන් දෙන සංදර්ශන සමුළුවක් වෙනුවට දින දෙකක් තිස්සේ පැවැති මෙම සමුළුව නියෝජිතයන්ගේ අදහස්වලට ඉඩ දෙමින් සාකච්ඡාවලින් අනතුරුව තීන්දු තීරණ ගන්නා වූ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නුම් කරන සමුළුවක් විය.
පක්ෂයේ දැක්ම පිළිබඳව පැවැති උණුසුම් වාද විවාදවලින් පසු “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය” තම දැක්ම බව ප්‍රකාශයට පත්කිරීමත්, ඒ අයුරින්ම ඒ මග යෑමට ඩඩ්ලි සේනානායකයන් තම දේශපාලනය ජීවිතය තුළ කැපවී කටයුතු කිරීමත් දකින්නට තිබුණා.
කොමියුනිස්ට්වාදියා සහ සමාජවාදියා යන වචන දෙක තහනම් වචන ලෙස සැලකෙන සමාජ පසුබිමක, සමස්ත ඇමෙරිකානු දේශපාලනය කම්පනයට පත් කරමින්’ නිව්යෝර්ක් ජනතාව නගරාධිපති තේරීමේ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියකු තම නගරාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ විශිෂ්ට ජයග්‍රහණයක් ඔහු වෙත ලබා දෙමිනි.
සමාජ සාධාරණත්වය මෙන්ම ආර්ථික සාධාරණත්වය ගැන වූ පණිවිඩය ඉහළින්ම මතුකරමින් තම සමාජයේ පවතින ඇති-නැති පරතරය සහ සමාජ විෂමතාව මම්දානි ප්‍රධාන වශයෙන් තම ඡන්ද ව්‍යාපාරයේදී ඇමතූ කරුණ වුණා.
තම සමාජයේ සම්ප්‍රදායික පාලක පැලැන්තිය වග උත්තරකරුවන් කරමින් ඔහු ඉදිරිපත් කළ කරුණු, ඔවුන්ට එරෙහි චෝදනා පත්‍රයක් වුණා. මම්දානිගේ සන්ධානය මධ්‍යස්ථ මතධාරීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, සමාජයේ සියලු ජනකොටස් සම්බන්ධව සිටි පුළුල් සන්ධානයක්. ඡන්ද දායකයන්ගේ අවශ්‍යතාවන්, අභිලාෂයන්, අපේක්ෂාවන් හඳුනා ගැන්ම ඔවුන්ගේ පොදු එකඟතාව වුණා.
ඇමෙරිකානු දේශපාලනඥයන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගනිමින් සිටින අතලොස්සකගේ දූෂිත දේශපාලනයේ සංකේතයක් ලෙස ට්‍රම්ප් හඳුන්වමින්, ඔහු ගෙන ගිය ඡන්ද ව්‍යාපාරය පහසු අභියෝගයක් වුණේ නැහැ.
මම්දානිගේ මැතිවරණ ව්‍යාපාරයේ දේශපාලන උපදේශක වූ 28 හැවිරිදි මොරිස් කැට්ස් එම ඇරයුම ලැබූ මොහොතේ “මම්දානි කොහොමද මෙම මැතිවරණය දිනන්නට යන්නේ?” යන ප්‍රථම සිතිවිල්ල තමන්ට ඇතිවූ බව සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණා.
ඔහුගේ ප්‍රථම සිතිවිල්ල එසේ වීමට හේතු කිහිපයක්ම තිබුණා. ඔහු නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂය තුළ තිබූ විශාල බෙදීම් සහ ව්‍යාකූල තත්ත්වයන් මෙන්ම ඉස්ලාමෝෆෝබියා භීතිය උච්ඡ ලෙස මතුකර ඇති පසුබිමක, දකුණු ආසියාතික, අප්‍රිකානු, මුස්ලිම් මූලයක් ඇති අයෙකු මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම කළ හැකිද යන්න සැබැවින්ම අභියෝගයක්ව තිබුණා.
තමන් තුළ තිබූ දැක්ම සහ එහි නිවැරැදි බව පිළිබඳව ඔහුට තිබූ විශ්වාසයත්, අධිෂ්ඨාන ශක්තියත්, ඔහුගේ ආකර්ශනීය පෞරුෂයත්වය, සහකම්පනය මෙන්ම තම අදහස් ඡන්ද දායකයන්ට සන්නිවේදනය කිරීමට ඔහුට තිබූ ඉහළ හැකියාවත් මෙම චන්ද ව්‍යාපාරයේදී හොඳින් පෙනෙන්නට තිබුණා.
තම මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු ඩිමොක්‍රටික් පක්ෂය සාම්ප්‍රදායිකව අඩුවෙන් ඡන්ද ලබන ප්‍රදේශවලට ගොස් එම ප්‍රදේශයේ ඡන්ද දායකයන් හමුවී සංවාදයේ යෙදීම අත්හැරියේ නැහැ. සාමාන්‍යයෙන් ඡන්ද ව්‍යාපාරවලදී අපේක්ෂකයන් සිදුනොකරන ලෙසින් ඔහු, “මේ වෙනස සඳහා ඔබේ සහාය මට අවශ්‍යයි.” කියමින් එම ප්‍රදේශවල ජනතාව පුද්ගලිකව හමුවෙමින් සංවාදවල යෙදීම සිදුකළා.
මෙයට හොඳ ප්‍රතිචාරයක් මැතිවරණයේදී ලැබුණා. ජනාධිපතිවරනයේදී නිව්යෝර්ක් ප්‍රදේශයේ ට්‍රම්ප් ජයගත් කොට්ඨාශයන්හි ට්‍රම්ප් ලැබූ ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබමින් මම්දානි ජයග්‍රහණය කර තිබුණා. එමෙන්ම ඇමෙරිකාවේ වැඩියෙන් යුදෙව් ජාතිකයන් පදිංචි ප්‍රදේශය වන නිව්යෝක්හි 30%ක යුදෙව් ඡන්ද ඔහුට ලැබී ඇති බවට මාධ්‍ය වාර්තා කළා. අනෙකුත් සියලු ජන කොටස් වලින්ද (කළු, දුඹුරු, අප්‍රිකානු, ලතින් ඇමෙරිකානු සම්භවයක් ඇති) 50%කට වඩා ඡන්ද ඔහු ලබාගෙන තිබූ බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.
ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී ස්වේච්ඡා සේවය ලබාදුන් පිරිස ලක්ෂයකට වැඩි වූ අතර, ඒ තුළින් මේ ජයග්‍රහණය සඳහා ඡන්ද දායකයන් තුළ තිබූ ක්‍රියාකාරී සහභාගීත්වය කොතෙක්ද යන්න හොඳින් දැකගන්නට පුළුවන්කම තිබුණා.
මේ මැතිවරණයේදී මම්දානි මතු කළ කරුණු ඇමෙරිකානු සමාජයේ සම්ප්‍රදායික දේශපාලනය මුදලේ බලයෙන් පාලනය කරන අන්ත දක්ෂිණාංශික පංතිය දුටුවේ තමන්ට එල්ල වූ දරුණු අභියෝගයක් ලෙසයි. එබැවින් මම්දානි පරාජය කිරීම සඳහා මුදල් කන්දරාවක් වියදම් කිරීමට ඔවුහු ඉදිරිපත්ව සිටි බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහුට නොයෙකුත් අවලාද අපහාස ඉතා ප්‍රබල ලෙසින් මේ පිරිස් මැතිවරණ ව්‍යාපාරය තුළ මතුකර තිබුණා. ඔහු කොමියුනිස්ට්වාදියකු බවත්, ඔහු මැදපෙරදිග ත්‍රස්තවාදී සංවිධානවල සබඳතා ඇති අයෙකු බවත්, ඔහු නගරාධිපති ධුරයට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර නොමැති අයකු බවත් ආදී විවිධ චෝදනා වැලක් ඔහුට එල්ල කර තිබුණා.
මේ සියලු අභියෝග මධ්‍යයේ ඔහු ලද ජයග්‍රහණය සැබෑ ජනතා ජයග්‍රහණයක්. මැතිවරණ ජයග්‍රහණය කිරීමට නම් සාම්ප්‍රදායිකව ඉහළ පන්තියේ ධනවත් බලවේගවල අනුග්‍රාහත්වය නොමැතිව කළ නොහැක්කක්ව යන්න තවදුරටත් වලංගු නොමැති බව මේ ජයග්‍රහණය තුළින් නිව්යෝර්ක් ජනතාව පෙන්නුම් කර තිබෙනවා.
ඇමෙරිකානු සමාජයේ ආර්ථික සමාජ සාධාරණත්වය ඇමතීම ස්ථිරවම ප්‍රමුඛතාව දිය යුතු කරුණක් බව මේ ඡන්ද ප්‍රතිඵල මතුකර දක්වනවා. විවිධත්වය ඉවසන, විවිධත්වය සමග ජීවත්වීමට සූදානම් වන නව පරපුරක බලපෑම මේ ඡන්ද ප්‍රතිඵල පැහැදිලිව හෙළි කර තිබෙනවා.
ගෝලීය යුක්තිය පිළිබඳ සැලකිල්ල දක්වන ඇමෙරිකානු සමාජයක මතුවීමද මේ චන්ද ප්‍රතිඵල තුළින් පෙන්වා තිබෙනවා.
ඉස්ලාමෝෆෝභියාව මෙන්ම සංක්‍රමණිකයන්ට විරුද්ධ ට්‍රම්ප් ප්‍රමුඛ බලවේගය ඇතිකර ඇති භීතිය ප්‍රතික්ෂේප කරන සහ එය පැරදවූ මැතිවරණ ජයග්‍රහණයක් වෙනවා.
ඇමෙරිකානු දේශපාලනයේ සාම්ප්‍රදායික ගමන විප්ලවීය වෙනසකට බඳුන් කරමින් නව ජනතාවාදී දේශපාලන ප්‍රවණතාවක ආරම්භය සනිටුහන් කරන අවස්ථාවක් ලෙස මෙම මැතිවරණ ප්‍රතිඵලය මම දකිනවා.
හිටපු ඇමැති ඉම්තියාස් බාකීර් මාකාර්
Saru FM Media





