වෛද්‍යවරයකු නිර්දේශ කළොත් පමණක් ප්‍රතිජීවක ඖෂධ ගන්න: එපා කිව්වොත් යළි යළිත් ඉල්ලන්න එපා

0
13

වෛද්‍යවරයකු නිර්දේශ කළහොත් පමණක් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම සුදුසු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (12 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය.

බොහෝ අය ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය වෙලාවේ මෙන්ම අනවශ්‍ය වෙලාවේත් අවභාවිත කරන බව ද පැවසූ සෞඛ්‍ය ලේකම්වරයා මෙරට ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන වසර 30ක් ගතවී ඇතැයි ද කියා සිටියේය.

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව (AMR) නිසා මුත්‍රා ආසාදන; ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන, නියුමෝනියාව හෝ තුවාල ආසාදන වැනි තත්ත්වයන් සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන සම්මත ප්‍රති ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිකාරවලට රෝග ඇති කරන ලද ක්ෂුද්‍ර ජීවීන් ප්‍රතිචාර නොදක්වන තත්ත්වයක් ඇති බව ලොව පුරා වෛද්‍යවරුන් සොයාගෙන ඇතැයි කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ක්ෂුද්‍ර ජීවී ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ප්‍රතිරෝධීතාව හෙවත් ‘MR ඇති වනුයේ බැක්ටීරියා, වෛරස්, පරපෝෂිතයන් සහ දිලීර වැනි රෝග ඇති කරන විෂබීජ ඒවාට ප්‍රතිකාර කිරීමට හෝ විනාශ කිරීමට භාවිත කරන ප්‍රතිජීවක ඖෂධ ක්‍රියා විරහිත කරන ආකාරයට එම රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් වෙනස් වන විට බව ද එහි දී හෙළි විය.

එමගින් සිදුවනුයේ ආසාදන සුව කිරීමට අපහසුවීම, ලෙඩ රෝග දිගු කාලයක් සුව නොවී පැවතිය හැකි බව, සාමාන්‍ය වෛද්‍ය ක්‍රියා පටිපාටි පවා අවදානම් සහිත තත්ත්වයට පත්වීම, දිගු කාලීන ආබාධිත භාවයට සහ ජීවිතය අහිමි වන තත්ත්වයට පත් විය හැකි බවයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ පැවසීය.

“ඔබේ වෛද්‍යවරයා ඔබට ප්‍රතිජීවක අවශ්‍ය නැතැයි පැවසුවහොත් ඒවා යළි යළිත් ඉල්ලන්න එපා. සියලුම ආසාදන සඳහා ප්‍රතිජීවක අවශ්‍ය නොවේ. සෙම්ප්‍රතිශ්‍යාව, නාසය, උගුරේ අමාරුව සහ උණ වෛරස් නිසා ඇති වෙන්නේ. ප්‍රතිජීවක, වෛරස් ආසාදන සුව කිරීමට භාවිත නොකරන්න.

මෙහිදී ක්ෂුද්‍ර ජීව වෛද්‍ය විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජයන්ති ඇල්විටිගල, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම්.පී. අබේකෝන්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රියංවදා වික්‍රමසිංහ, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පද්මා අබේකෝන් යන මහත්ම මහත්මීහු ද කතා කළහ.

නොවැම්බර් 18 වැනිදා සිට 24 වැනිදා දක්වා යෙදෙන ලෝක ප්‍රති ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය පිළිබඳ දැනුම්වත් කිරීමේ සතියට සමගාමීව ප්‍රති ක්ෂුද්‍ර ඖෂධ වගකීමෙන් යුතුව භාවිත කිරීම පිළිබඳව අදම ක්‍රියාත්මක වෙමු. අපගේ වර්තමානය ආරක්ෂා කර ගනිමු. අපගේ අනාගතය සුරක්ෂිත කරමු යන තේමාව යටතේ මහජනතාව දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා ඒකකය හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්ව සිදුකරන ලද මාධ්‍ය සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here