රට පුරා සියලුම වීදි ලාම්පු සඳහා වැයවන මුදල් පළාත් පාලන ආයතනවලින් අය කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සඳහා පළාත් පාලන ආයතනවලට ගිණුම් ආරම්භ කරන ලෙස දන්වා යවා ඇතැයි බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12දා) පැවසීය.
සියලුම වීදි ලාම්පු සඳහා වැය වන විදුලිය වෙනුවෙන් මේ වන විටත් අමාත්‍යාංශය බිල් නිකුත් කළද පළාත් පාලන ආයතන මුදල් නොගෙවන බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.
වීදි ලාම්පු වෙනුවෙන් වෙනම අයක්‍රමයක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති අතර එම ගිණුම්වලට අනුව වීදි ලාම්පු සඳහා වැය වන මුදල අදාළ පළාත් පාලන ආයතනය විසින් සිදු කළ යුතුව ඇතැයි බලශක්ති ඇමැතිවරයා පැවසීය.
විදුලිය සඳහා දරන පිරිවැය පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීම ප්‍රතිපත්තිය වන බැවින් සපයන විදුලිය වෙනුවෙන් අනිවාර්යයෙන් මුදල් අය කළ යුතු බවත් ඒ වෙනුවෙන් යම් විසඳුමක් දීමට ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය. එම සාකච්ඡා අනුව විසඳුමක් ලබාදීමට දැනටමත් කටයුතු වෙමින් පවතින අතර එම සාකච්ඡා අනුව සුදුසු විසඳුමක් ලබාදීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය. “මේ ප්රශ්නයේදී හරි විදිහට ක්‍රියාකරන්න තමයි බලන්නේ. මේවා නඩත්තු කිරීමේ ප්‍රශ්න තිබෙනවා. මේ ලාම්පු ඔන් – ඕෆ් කිරීමේදී හරි විදිහට කෙරෙන්නේ නෑ. හවස හතරට පහට ඔන් කළත් ඕෆ් කරන්න කව්රුවත් නෑ. අපි ඒවටත් එක්ක විසඳුම් සොයන්න ඕනෑ.
විදුලිය පරිභෝජනය අරපිරිමැස්මෙන් කළ යුතුයි. මේ වැය බර ඉදිරියේදී රජයෙන් හෝ ඒ අනුබද්ධ ආයතනවලින් ගෙවන්න තීරණය කළොත් විදුලි පහනක් තමන්ගේ නිවස ඉදිරිපිට නැති පාරිභෝගිකයාගේ විදුලි බිලෙන් තමයි ඒක නඩත්තු වෙන්නේ. ඒ නිසා හැම පැත්තක්ම බලලා ඒ වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
අකිත පෙරේරා
Saru FM Media









