දෙවියන් ගැන සාහිත්‍ය
හින්දු ධර්මයේ ඉගැන්වෙන අන්දමට ශිව හෙවත් ඊශ්වර යනු ලෝකය විනාශ කරන්නාය. බුදුගුණ අලංකාරයේ දක්වා ඇති පරිදි ඊශ්වර දෙවිඳුගේ ලක්ෂණ මෙසේය.
දළ අඩ සඳ බඳින
ගොරසප් හරක් පළඳින
රඟ කරන දින දින
මහලු ගොන් වාහනෙන් ඇවිදින
මෙවැනි ලක්ෂණයන්ගෙන් යුතු ශිව හෙවත් ඊශ්වර ආදි කාලීන දෙවියෙකි. බොහන්ජොදාරෝ සහ හරප්පා නගරවලින් සොයාගත් පුරාවස්තු අතර ඇති තඹ තහඩුවල සටහන්වලින් මේ දෙවිඳුගේ ආදි කාලීන ස්වරූපය පෙන්වා දෙයි. ශිවගේ පශුපති නාමය හා ත්‍රිශූලායුධය එහි සටහන්ව ඇත්තේය. ශිව – පශුපති- මහේෂ්වර- රුද්‍රා- නටරාජ ආදී වශයෙන් ඊශ්වර දෙවිඳු හැඳින්වීම සඳහා අන්වර්ථනාම රාශියක් පවතියි. ශිව සහශ්‍රනාම පොතෙහි නම් දහසක් දක්වා තිබේ. ශිව දෙවියන්ට වැඳුම් පිදුම් කරන බොහෝ බැතිමත්හු පුරාණයේ සිටම ශිව දෙවියන්ගේ ප්‍රතිමා වෙනුවට ශිව ලිංගය ඇදහීම පුරුදු කරති. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළ ගවයන්ට අධිපති පශුපති ලෙසින් සැලකූ ශිව දෙවියන්ගේ ‘ලිංගය‘ වන්දනා කිරීමට එහි ජනතාව පුරුදු වී සිටි බව ඉන්දියානු සාහිත්‍ය පෙන්වා දෙයි. භෘඟු ඍෂිවරයා කළ සාපයක් නිසා ශිව දෙවි ලිංගයක් ලෙස පෙනී සිටි බව ‘පද්ම පුරාණය’ පෙන්වා දෙයි. භෘඟු ඍෂිවරයා යම්කිසි අවශ්‍යතාවක් සඳහා ශිව දෙවි හමුවීමට කෛලාෂ කූටය වෙත ගියේය. ආරක්ෂක භූතයෙකු ඒ මොහොතේ ඉදිරියට පැමිණ මෙසේ කීවේය.
“මාගේ ස්වාමියා පාර්වතිය සමග සයනයේ සැතපී සිටියි. ඔබට දන්වනතුරු මෙහි රැඳීී ඉන්න.”
ඔහු එසේ කීවත් බොහෝ වේලා ගතවී ගිය ද කැඳවීමක් ලැබුණේ නැත. එනිසා කෝපයට පත්වූ පත් වූ භෘඟු ඍෂිවරයා ශිවට දොස් නගමින් ශාපයක් කළේය. “ ශිව නුඹ මා වෙහෙසට පත් කරමින් අවනම්බු කළේය. මට වඩා බිරිඳ වැලඳ ගැනීම තොපට උතුම් කාර්යයක් වූයේය. මෙතැන් පටන් නුඹේත් පාර්වතියගේත් ජනේන්ද්රියන් (ලිංගයන්) වඳිනු පුදනු ලැබේවා.!”
මෙම ශාපයෙන් පසු ඊශ්වර දෙවිඳු අදෘශ්‍යමාන විය. දෙවියන් ලෙස පෙනී සිටියේ නැත. කෙටි කලකට පසු යළි පෙනී සිටියේ ශිව ලිංගය ලෙසිනි. දෙවිවරුත් දිව්යාංගනාවොත් ඉන්පසු ශිව ලිංගයට වැඳුම් පිදුම් කළෝය. ඍෂිවරුන්ගේ මාර්ගයෙන් ශිවලිංගය පිදීමේ සිරිත මනු ලොවටද ආවේය. මිනිසුන් ශිවලිංගයට වැඳුම් පිදුම් කරන්නේ එතැන් පටන්ය. වර්තමානයේ ද ශිව රාත්‍රි දිනයේ මෙම චාරිත්‍රය ඉටු කෙරේ.
ශිව දෙවියන් පිළිබඳ මීට වෙනස් පුවතක් ශිව පුරාණයේ සඳහන් ය. එය මෙසේය.
එක් කාලයක රාක්ෂයෝ හා දෙවිවරු පොළෝ තලයට වී සිටියහ. රාක්ෂ හමුදාවේ නායක භෂ්මාසුර සටනට පැමිණෙන ලෙස ශිව දෙවිට අභියෝග කළේය. ශිව දෙවිඳු භෂ්ම අසුරයාගේ මෙම අභියෝගය භාරගත්තේය. සටන් පැවති සෑම මොහොතකදීම භෂ්මාසුර පරාජයට පත්විය. පරාජයන් මඟහැර සැඟවී සිටීමට සිතූ අසුර රාජයා සියඹලා ගසකට නැග එහි මුදුනට වී සිටියේය. ශිව දෙවිඳු අසුරයා සොයමින් සියඹලා ගස යටට වී සිටියේය. එනිසා කෝපයට පත් අසුරයා සියඹලා ශාකයේ අතු සොළවන්නට පටන් ගත්තේය. ශිව දෙවිඳු ගස දෙස බැලීය. කොළ අතර සැඟව සිටි අසුරයා නොපෙනුණේය. කෝපාවිෂ්ට වූ මහා දේව ඔහුගේ තුන්වැනි නෙතින් (ලලාටාක්ෂියෙන්) සියඹලා ගස දෙස රවා බැලීය. ඒ මොහොතේ පිටවූ රශ්මි කදම්බයෙන් ගසේ අස්සක් මුල්ලක් නෑර ශිව දෙවිට පෙනුණි. සැඟව සිටීමට උත්සාහ දරන භෂ්මාසුරට ගිනි ජාලාවක් යවා දවා අළු කළේය. ඒ ගිනි ජාලාව හේතුකොට ගෙන විශාල සියඹලා පත්‍ර සිහින් තීරුවලට කැඩී වෙන්ව ගියේය. එදා සිට සියඹලා වෘක්ෂයේ පත්‍ර (කොළ) ඉතා කුඩා ලෙස පිහිටා ඇති බව කියති.
( මාධ්‍යවේදී මිස්සක සූරියබණ්ඩාරගේ කෘතියක් ඇසුරෙනි)
නිමල් කුඩාතිහි
කතරගම
Saru FM Media









