රේගුවේ රඳවා ගත් BYD 625 බැඳුම්කර යටතේ මුදාහැරීමට නියෝග

0
11

ජෝන් කීල්ස් ඔටෝ වෙහිකල් පුද්ගලික සමාගම විසින් ආනයනය කළ මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී. වර්ගයේ වාහන අතරින් සෙසු වාහන 625 ද බැංකු බැඳුම්කර හා සමාගම් බැඳුම්කර යටතේ මුදාහරින ලෙස අභියාචනාධිකරණය ඊයේ (11දා) ශ්‍රී ලංකා රේගුවට නියෝග කළේය.

වාහන ධාරිතාව අනාවරණය කර ගැනීම සඳහා සිදුකරන තාක්ෂණික පරීක්ෂණ සඳහා වාහන කීපයක් රඳවාගෙන ශ්‍රී ලංකා රේගුව විසින් 2025. 10. 09 වැනිදා තම අධිකරණයට ඉදිරිපත් කළ මෝසම් පත්‍රයට අදාළව එකී වාහන 625 මුදාහරින ලෙසට ද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නියෝග කළේය.

බී.වයි.ඩී. ඔටෝ 2 ප්‍රිමියම් කිලෝ වොට් 70, ඔටෝ 1 ඩයිනමික් කිලෝ වොට් 45, ඔටෝ 1 ප්‍රිමියම් කිලෝ වොට් 45 සහ ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 යන මෝටර් ධාරිතාවයෙන් යුත් වාහන මුදාහැරීමට රේගුව එකඟවන බව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා එම රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල හමුවේ පැවසීය. එම යෝජනාවට ජෝන් කීල්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පර්සාගා ජමිල් මහත්මිය ද එකඟතාව පළ කළෙන් විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය. සිය සේවාදායක සමාගම විසින් ඉදිරියේදී ආනයනය කරනු ලබන වාහන ද එකී බැඳුම්කර යටතේ මුදාහැරීමට වගබලා ගන්නා ලෙසට වගඋත්තරකාර ශ්‍රී ලංකා රේගුවට නියෝගයක් කරන ලෙසට ද ජෝන් කීල්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

තම සමාගම විසින් ආනයනය කරන ලද බී.වයි.ඩී. වර්ගයේ වාහන අතරින් කොටසක් මෝටර් ධාරිතාව පරීක්ෂා කිරීම යනාදී කරුණු මුල් කරගෙන රේගුව විසින් දිගින් දිගටම රඳවා තබාගැනීමෙන් පිරිමැසිය නොහැකි අලාභයක් සිදුවන බැවින් මෝටර් ධාරිතාව පරීක්ෂා කිරීමේ කොන්දේසියට යටත්ව අමතර බැංකු බැඳුම්කර මත ඒවා මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුවට නියෝගයක් කරන්නැයි ඉල්ලා ජෝන් කීල්ස් සමාගම විසින් එම පෙත්සම ගොනුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here