තමාව අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2025.8.12 වැනිදා නිකුත් කර තිබූ වරෙන්තු නියෝගය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ගොනුකර තිබූ ප්රතිශෝධන අයැදුම්පත පෙත්සම්කාර පාර්ශ්වය විසින් ම ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රතික්ෂේප කළේය.
සැකකාර රාජිත සේනාරත්න මහතා මේ වනවිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇති බැවින් මහෙස්ත්‍රාත්වරයාගේ එම නියෝගය සම්බන්ධයෙන් තම අධිකරණය හමුවේ ගොනුකර ඇති ප්රතිශෝධන අයැදුම්පත තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑම ඵල රහිත ක්‍රියාවක් බවත් මහෙස්ත්‍රාත්වරයාගේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කරන්නේ නම් එය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගෙනු කළ යුතු බවත් විනිසුරුවරයා පෙත්සම්කරුගේ නීතිඥවරයාට පෙන්වා දුන්නේය. එම කරුණු පිළිගත් පෙත්සම්කරුගේ නීතිඥවරයා අතිරේක මහෙස්ත්‍රාත්වරයාගේ එකී වරෙන්තු නියෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර ඇති බැවින් සිය සේවාදායකයාගේ නෛතික අයිතිවාසිකම්වලට අගතියක් නොවන පරිදි ප්රතිශෝධන අයැදුම්පත ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට අවසර ලබාදුන් ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම ප්රතිශෝධන අයැදුම්පත නිශ්ප්‍රභ කළේය. අවශ්‍යතාවයක් ඇති වුවහොත් මහෙස්ත්‍රාත් අධිකරණයේ එකී වරෙන්තු නියෝගය සම්බන්ධයෙන් සුදුසු නඩුකරයක් යටතේ අභියෝගයට ලක්කරන බව ද නීතිඥ නිලූෂිකා අබේරත්න මහත්මියගේ උපදෙස් මත රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් අබේරත්න මහතා මහාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක
Saru FM Media





