දකුණු කොරියාවේ ගොසියොන් නගරයේ පිහිටි මත්ස්‍ය ගොවිපළක් ආශ්රිත ජල ටැංකියක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි ලාංකික තරුණයන් දෙදෙනකුගේ හා ඔවුනගේ අධීක්ෂක නිලධරයාගේ මළසිරුරු එරට පොලිසිය විසින් පෙරේදා (09දා) රාත්‍රියේ සොයාගෙන තිබේ. ජල ටැංකිය තුළ මියගොස් සිටි ශ්‍රී ලාංකීය තරුණයන් දෙදෙනා අවුරුදු විසි හා තිස් ගණන්වල පසුවන බවත් ඔවුනගේ අධීක්ෂක නිලධරයා වයස අවුරුදු පනස් ගණන්වල පසුවන අයකු බව දකුණු ග්යියොන්සංග් පොලිස් ආයතනය විසින් පවසා තිබේ.
පොලිසියට අනුව මියගිය තිදෙනා සිටි ජල ටැංකිය විශාල ජලාශ ටැංකියක් වන අතර එය ගොසියොන් මත්ස්‍ය ගොවිපළට අයත් වුවකි. අදාළ ටැංකිය මීටර් 4ක් (අඩි 13ක්) පළල් වූ මීටර් දිගැති මීටර් 2ක් ගැඹුරු වූ එකක් බවත් අදාළ තිදෙනා මිය යන අවස්ථාවේදී ටැංකිය ජලයෙන් පිරී පැවති ඇති බව වාර්තා වී තිබේ. සේවකයන් තිදෙනා මියගොස් සිටි ජල ටැංකිය තරුණ මත්ස්‍යයන් බෝකරන මත්ස්‍ය ගොවිපළ සඳහා සපයන ජලය ගබඩා කිරීම සඳහා භාවිත කර ඇති අතර එම ටැංකිය වෙත යාම සඳහා ඉනිමගක් භාවිත කරන බවත් අනාවරණය වී තිබේ. ටැංකිය තුළ තිදෙනකු මියගොස් ඇති බව පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ මියගොස් ඇති දකුණු කොරියානු අධීක්ෂක නිලධරයාගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහු සමග පැවැත්වූ දුරකථන සන්නිවේදනය නැවතුනු බවට පොලිසියට කර ඇති පැමිණිල්ලක් හේතුවෙනි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විසින් පෙරේදා රාත්‍රී 8.30ට පමණ මියගොස් ඇති තිදෙනාගේ සිරුරු ජල ටැංකිය තුළ තිබියදී සොයාගෙන තිබේ. ග්යියොන්සංග් පොලිසියට අනුව මියගොස් ඇති අයගෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු ස්ථානයට පළඳින ඇඳුමක් පැලඳ සිටි අතර සෙසු දෙදෙනා සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිට තිබේ. ජල ටැංකියට වැටී මියගොස් සිටි තිදෙනාගේ මරණයට මුල්ව ඇති ග්යියොන්සංග් පොලිසිය විසින් විමර්ශනයක් අරඹා ඇති අතර මෙම මරණ සම්බන්ධයෙන් පැති ගණනාවක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස් ආරංචිමාර්ග උපුටා දක්වමින් දකුණු කොරියානු පුවත්පත් විසින් වාර්තා කර තිබේ. වැඩබිමෙහි සිදු වූ අනතුරක් අදාළ මරණවලට හේතු වුයේද නැතහොත් මිය යන අවස්ථාවේදී අදාළ තිදෙනා ටැංකිය ශුද්ධ පවිත්‍ර කරමින් සිටියේද යන්න පිළිබඳව ද මෙහිදී විමසා බැලෙන බව වාර්තා වේ. මියගිය තිදෙනාගේ මරණවලට මුල්වූ නිශ්චිත හේතුව දැන ගැනීම සඳහා හදිසි මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති බව පොලිසිය පවසයි.
ඒමන්ති මාරඹේ
Saru FM Media





