කොටහේනේ ඝාතනය – පලනි රිමෝෂන් – පූකුඩුකන්නා කල්ලි දෙකේ ගැටුමක්

0
9

කුලී ඝාතකයා ඇතුළු 4ක් යාපනය මනිපායිහිදී අල්ලයි

කොටහේන, 16 වන පටුමගේදී පුද්ගලයකුට වෙඩි තබා මෝටර් රථයකට යටකර ඝාතනය කිරීම පලනි රිමෝෂන් සහ පූකුඩුකන්නා පාතාල කල්ලි දෙක අතර කාලයක පටන් පවතින ආරවුලක ප්‍රතිඵලයක් නිසා සිදුවී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ඝාතනය සිදු කළ කුලී ඝාතකයා ඇතුළු සැකකරුවන් සිව් දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදාගත් මෝටර් රථය ද සොයාගෙන තිබේ.

කොටහේන, 16 වැනි පටුමගේදී පසුගිය 07 වැනිදා රාත්‍රියේ ඝාතනයට ලක්වූ 43 හැවිරිදි අසේල බුද්ධික නමැත්තා පූකුඩුකන්නා නමැති පාතාල නායකයාගේ සමීපතමයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත.

අසේල බුද්ධික නමැත්තා 16 වන පටුමඟ ඔස්සේ යමින් සිටියදී ඔහු පසුපසින් පැමිණි පාතාල කුලී ඝාතකයකු ඔහුගේ හිසට වෙඩි තබා තිබිණි. පසුව කුලී ඝාතකයන් පැමිණි මෝටර් රථයෙන් ද මෙම පුද්ගලයා යටකර ඔවුන් පලාගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ අසේල බුද්ධික රෝහල්ගත කිරීමෙන් පසු මිය ගියේය. මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසය යාපනය මනිපායි ප්‍රදේශයේ ගරාජයක සැඟවී සිටි කාන්තාවක ඇතුළු සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පලනි රිමෝෂන් සහ පූකුඩුකන්නා කොටහේන පාතලයේ කල්ලි නායකයන් දෙදෙනකු වන අතර ඔවුහු මේ වනවිට ඉන්දියාවේ එළිමහන් සිරකඳවුරු දෙකක රඳවා සිටිති. කොටහේන ජම්පටා වීදියේ හැටේ වත්තේ සෙල්ලි නමැති කාන්තාවගේ පුත්‍රයා වන පලනි රිමෝෂන් මේ වනවිට පාතාල නායකයකු බවට පත්ව සිටියි.

පූකුඩුකන්නාගේ පාතාල කල්ලිය විසින් හැටේ වත්තේ සෙල්ලි හෙවත් කුඩු සෙල්ලි ඝාතනය කළ අතර එතැන් පටන් පලනි රිමෝෂන් සහ පූකුඩු කන්නා පාර්ශ්වය අතර ගැටුම් හටගෙන ඇත.

මෙම ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට විශාල පිරිසක් ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඉන්දික ලොකුහෙට්ටි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here