ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්

0
14

බහුදින ධීවර යාත්‍රා ගොඩක්ම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයි…

පසුගිය අවුරුදු 05ට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලක්‍ෂ 9ක් අත්අඩංගුවට…

ලොකු මාළුන්ගේ බඩ ඇතුළෙත් මත්ද්‍රව්‍ය ගේනවා…

ඇෆ්ගනිස්තානය, පකිස්තානයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි කරලා…

මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වෙන්නේ බන්ධනාගාරවලින්…

ලංකාවට වැඩියෙන්ම මත්ද්‍රව්‍ය එන්නේ ඇෆ්ගනිස්තානයෙන්, පකිස්තානයෙන්…

ධීවර බෝට්ටු දැඩි නියාමනයකට ලක් කරන්න…

මෙරට මත්ද්‍රව්‍ය ඉතිහාසය වසර සිය ගණනකට එපිට ය. ගංජා (මරිජුවානා) අබිං සහ අරක්කුවලින් පටන්ගත් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ගෙවී ගිය වසර විසිගාණ තුළ වේගයෙන් හෙරොයින්, අයිස්, සහ විෂ රසායනික මත්ද්‍රව්‍යවලට මාරු වී ඇත. මත්ද්‍රව්‍ය නොමැති නගරයක්, ගමක් සොයාගැනීමට නැති තරමට මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වී තිබේ. මේ වනවිට ලෝක මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් 2024 වසරේ දී ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තාවකින් ද හෙළිදරව් කර ඇත.

ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් නැඟෙනහිර ඉන්දියානු සාගර කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම බහුල වශයෙන් සිදු කරන බවත්, මාලදිවයින සහ ශ්‍රී ලංකාව බෙදාහැරීමේ මධ්‍යස්ථාන බවට පත් කරගෙන ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය. ආසියාවේ බහුල වශයෙන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටවල් සමීපයෙහි මෙරට සහ මාලදිවයින පිහිටීමත්, විශාල වෙරළ තීරයන් සහ භූගෝලීය පිහිටීමට අනුව ලොව පුරා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට පහසුවීම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ විශේෂ අවධානයට ලක්වීමට ප්‍රධාන හේතුවකි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාල වාර්තාවට අනුව මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීමේ ප්‍රධාන මර්මස්ථාන දෙකකි. එනම් ගෝල්ඩන් ක්‍රෙසන්ට් සහ ගෝල්ඩන් ට්‍රයෑංගල් යන කලාප දෙකය. ගෝල්ඩන් ට්‍රයෑංගල් (රන් ත්‍රිකෝණය) කලාපයට මියන්මාරය, තායිලන්තය, වියට්නාමය සහ ලාඕසය යන රටවල් අයත් වන අතර ගෝල්ඩන් ක්‍රෙසන්ට් (රන් චන්ද්‍රවංකය) කලාපයට ඇෆ්ගනිස්තානය, පකිස්තානය සහ ඉරානය අයත් වේ. අබිං ඇතුළු ඔපියම් ආශ්‍රිත මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට නම් දරා සිටිනුයේ මියන්මාරය, තායිලන්තය, වියට්නාමය සහ ලාඕසය වැනි රටවල්ය. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ 2023 වාර්තාවට අනුව හෙරොයින් නිෂ්පාදනයට නම් දරා සිටි ඇෆ්ගනිස්තානය මේ වනවිට අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙත් (කෘතිම මත්ද්‍රව්‍ය) නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට වැඩි වශයෙන් නැඹුරු වී ඇත. පකිස්තානයේ ද අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි වී ඇත. ඇෆ්ගනිස්තානය සහ පකිස්තානයේ නිෂ්පාදිත අයිස් ඉරානය සහ පකිස්තානය හරහා ලෝකයට බෙදාහැරීම ද වැඩි කර ඇත. බැලොචිස්තානය සහ ඉරානය අතර පිහිටා ඇති ‘මැක්‍රාන් වෙරළ තීරය’ ඔස්සේ ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය මෙරට දකුණු වෙරළ තීරයට බහුල වශයෙන් රැගෙන එන බව ද වාර්තාවේ.

ජාත්‍යන්තර ජාවාරම්කාරයන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ ප්‍රතිඅපනයනය සිදුකරනුයේ මෙරට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සහයෝගයෙනි. මෙරට අපරාධ කණ්ඩායම්වල නායකයන් බොහෝවිට ජාවාරම් මෙහෙයවනු ලබන්නේ විදේශීය රටක හෝ බන්ධනාගාරගතව සිටය. එම අපරාධ කණ්ඩායම් නායකයන් විසින් ඇෆ්ගනිස්තානයේ හෝ පකිස්තානයේ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන්ට ඇණවුම් භාරදෙනුයේ වට්ස් ඇප්, බොටීම් ඇප් හෝ සැටලයිට් දුරකථන මාර්ගයෙනි. ඇණවුම භාර ගන්නා සැපයුම්කරුවෝ මත්ද්‍රව්‍ය තොග පාර්සල්කොට මැක්‍රාන් වෙරළ තීරයට ප්‍රවාහනය කරනු ලැබේ. ඒ වනවිට ඇණවුම භාර දුන් මෙරට පාතාල නායකයෝ මත්ද්‍රව්‍ය තොග ගැඹුරු මුහුදට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය කුඩා බෝට්ටු සූදානම් කරති. කුඩා බෝට්ටුවලින් ප්‍රවාහනය කෙරෙන මත්ද්‍රව්‍ය තොග මෙරට ඇණවුම්කරුවන් විසින් ලබාදෙන තොරතුරු මත මුහුදේ යාත්‍රා කරමින් පවතින ඉරාන බෝට්ටුවලට භාර දෙනු ලැබේ. ඉරාන බෝට්ටු මගින් රැගෙන එන මත්ද්‍රව්‍ය තොග ලැබෙන තොරතුරු මත දකුණු දෙසින් ගැඹුරු මුහුදේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවලට හුවමාරු කරනු ලැබේ.

2020 වර්ෂයට පෙර මත්ද්‍රව්‍ය තොග රැගෙන එන ඉරාන බෝට්ටු මෙරට මුහුදු සීමාව ආසන්නයටම යාත්‍රා කොට දේශීය බහුදින ධීවර යාත්‍රාවලට හුවමාරු කර ඇති බවත් නාවික ආරක්‍ෂාව දැඩි කිරීමත් සමග ගැඹුරු මුහුදු තීරයේ දී හුවමාරුව සිද්ධ කිරීමට ජාවාරම්කාරයන් සූක්‍ෂම වී ඇත. හුවමාරු කටයුතු පහසු කරගැනීමට චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් ක්‍රියාත්මක දුරකථන භාවිත කරන බව ද වාර්තා වේ. කාලයක සිට සිදු කෙරෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේදී රැගෙන එන මත්ද්‍රව්‍ය තොගවලින් මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් තොග තබාගෙන ඉතිරි ප්‍රමාණය ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ රටවලට ප්‍රතිඅපනයනය කරනු ලැබේ. ප්‍රතිඅපනයනට පෙර තවත් කෙමිකල් එකතු කර බර ප්‍රමාණය වැඩි කිරීමට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් කටයුතු කරන බව ද වාර්තා වේ. එමෙන්ම මෙරට තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල් විදේශීය රටවලට රැගෙන යන්නේ නීතිවිරෝධී මුදල් හුවමාරු ක්‍රමවලින් සහ එම මුදල්වලින් ලබාගත් රත්තරන්ය. අපරාධ කල්ලිවල සංවිධානාත්මක අපරාධවලට, රාත්‍රී සමාජ ශාලාවලට, ගණිකා ජාවාරම්වලට එම මුදල් යොදවන බව ද වාර්තා වේ.

එහෙත් කාලයකට පෙර මෙරටට හෙරොයින් ඇතුළු විවිධ විෂ මත්ද්‍රව්‍ය පෙති, වර්ග ප්‍රවාහනය කරනු ලැබුයේ ගුවන් යානා හරහා ය. ගුවන් තොටුපළ ආශ්‍රීතව මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමත් සමග නාවික යාත්‍රාවල, කන්ටේනර් තුළ සඟවා ප්‍රවාහනය කිරීමට උත්සුක විය. පකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරන ලද කන්ටේනර් ඇසුරුම් තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගත් අවස්ථා කිහිපයක් වාර්තා වූ බව ද සැබෑය. නාවික බහාලුම් පරීක්‍ෂාව දැඩි වනවිට ධීවර බෝට්ටු ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන වැඩි විය. ඇතැම් බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සහ ආරක්‍ෂක නිලධාරීන් සංවිධානගතව මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බව ධීවරයන්ම අප සමග පවසා තිබේ. දිවයින ඉරිදා පුවත්පත ඔස්සේ එම තොරතුරු හෙළිදරව් කළ අවස්ථා ද බොහෝ ය. පහළින් පෙළගැසෙන කතාව අපට කීවේ ද බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙකි.

“ලොකු මාළුන්ගේ බඩ පලලා ශුද්ධ කරල මත්ද්‍රව්‍ය ඇසුරුම් රිංගවල හීනි නූලකින් බඩ මහලා අයිස් කරල ගේනවා. එහෙම ගොඩබිමට ගේන මාළු ආරක්‍ෂක නිලධාරීන්ට කොටු වෙනව අඩුයි. තඩි මාළු හාර පන්සීයක්, ඊටත් වැඩියෙන් ගේන යාත්‍රාවක් ඔත්තුවකට සෝදිසි කරනව මිසක් හිතුමතේට සෝදිසි කරන්නේ නෑ. මත්ද්‍රව්‍ය කිලෝ සීය, දෙසීය ඊටත් වැඩි තොග මාළුන්ගේ බඩවල් ඇතුළෙ ගේනවා. බහුදින යාත්‍රාවල බඳේ සඟවාගෙන එනව වගේම මාළුන්ගේ බඩේ මත්ද්‍රව්‍ය තොග සැඟවීමත් කාලයක සිට සිද්ධ වෙන දෙයක්. මෙරටින් ජාත්‍යන්තර දියඹට යන බහුදින ධීවර යාත්‍රා බොහෝමයක් ධීවර රස්සාව දෙවැනිකොට මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රධාන කරගෙන තියෙනවා. මේක අද, ඊයේ ඉඳල වෙන දෙයක් නෙමෙයි. එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්තවාදය පැවති කාලයේ සිට අඛණ්ඩව වෙන ජාවාරමක්. එල්.ටී.ටී.ඊ.ය සංවිධානයත් මත්ද්‍රව්‍ය බෙදාහැරීම ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගෙන තිබුණා. දකුණු මුහුදු තීරයෙන් විතරක් නෙමෙයි, රට වටෙන් ජාත්‍යන්තර මුහුදට යන සමහර බහුදින ධීවර යාත්‍රා මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන යනවා. සමහර කුඩා බෝට්ටුකාරයොත් අඩු, වැඩි වශයෙන් මුහුදේ සිට ගොඩබිමට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා. ඒ, ඒ ප්‍රදේශවල සමහර දේශපාලනඥයන්, ආරක්‍ෂක නිලධාරීන්ගේ උපරිම රැකවරණය මත්ද්‍රව්‍ය ජාවාරමට ලැබුණා. ඒ උපකාරවලට තෘප්තිමත් විය හැකි මුදල් පංගුවක් ඔවුන්ටත් ලැබුණා. මත්ද්‍රව්‍ය ජාවාරම අපිට පේනවට වඩා සූක්‍ෂමයි. භායානකයි. මහ මුහුදේ සිදු කෙරෙන ජාවාරම් ගැන ධීවරයන් දැන හිටියට ආරක්‍ෂක අංශවලට කියන්නේ නෑ. එහෙම තොරතුරු දීලා අතුරුදන් වෙච්ච ධීරයෝ ඕන තරම් ඉන්නවා. එහෙම අතුරුදන් වෙච්ච ධීවරයන් ගැන මරණ පරීක්‍ෂණ නෑ. මුහුදු මාර්ග ඔස්සේ කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මඬින්න නම් ධීවර යාත්‍රා දැඩි නියාමනයකට ලක් කරන්න ඕනෑ. ධීවරයන් සහ ජාවාරම්කාරයන් හඳුනාගන්න ඕනෑ. බුද්ධි අංශ නිලධාරීන්ට ඒක පහසුවෙන් කරන්න පුළුවන්. මෙච්චර කාලයකට නොකරපු ඒ දේවල් දැන්වත් කරන්න ඕනෑ. මේ රටේ ධීවර කර්මාන්තය පිරිසිදු කරගන්න අපිටත් ඕනෑ. නැති නම් මේ කර්මාන්තයත් නැත්තටම නැති වෙනවා…” ඇතැම් බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් නොදැන, බෝට්ටුව පදවන්නා සහ සෙසු සමාජිකයන්ගේ දැනුවත් භාවයෙන් පමණක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන අවස්ථා ද තිබෙන බව හේ පැවසී ය. බොහෝවිට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනුයේ බෝට්ටු අයිතිකරුගේ අනුදැනුම මත බව ද ඔහු පැවසුවේ ය.

උතුරු මුහුදු තීරයේ මන්නාරම, කන්කසන්තුරේ, යාපනය සහ මුලතිව් මුහුදු තීරයෙන් බහුලව කේරළ ගංජා රැගෙන එන බවත් අඩු, වැඩි වශයෙන් අයිස්, හෙරොයින් විෂ මත්ද්‍රව්‍යය, මත්පෙති වර්ග ද ගොඩ බාන බව වාර්තා වේ. කල්පිටිය සිට මීගමුව දක්වා මුහුදු තීරය ඔස්සේ ද විෂ මත්ද්‍රව්‍ය අඩු, වැඩි වශයෙන් මෙරට වෙරළට ප්‍රවාහනය කරති. ඉන්දියාවෙන් මෙරටට ප්‍රවාහනය කරන කේරළ ගංජාවලට මුදල් ගෙවීම් සිදු කරනුයේ රත්තරන් හරහා ය. නියපොත්තෙන් කඩා විනාශ කළ හැකිව තිබූ පුංචි මත්ද්‍රව්‍ය පැළය මේ වනවිට මහා රූස්ස ගසක් බවට පත් වී ඇත. මත්ද්‍රව්‍ය ගස පෝෂණය කිරීමට මෙරට දේශපාලනඥයන් ද පොහොර අඩුම කුඩුම අඩු, වැඩි වශයෙන් සැපයූ බව ද නොරහසකි. ඒ ගැන කතා කිරීම රාජ උදහසට ලක්වීමට ද ඉඩ ඇති බැවින් කොහේවත් යන නයි රෙද්ද අස්සේ දා ගැනීමට අප අකමැති ය. එහෙත් මත්ද්‍රව්‍ය තොග කොපමණ අත්අඩංගුවට ගත්ත ද රට හැම තැන මත්ද්‍රව්‍ය අඩු නැති බව නම් කිවයුතුමය. මද්‍යසාර මිල ඉහළ ප්‍රතිශතයකින් වැඩි වී තිබුණ ද භාවිත කරන පුද්ගලයන්ගේ පැහැදිලි අඩුවීමක් නොපනේ. මත්ද්‍රව්‍ය, මද්‍යසාර සහ දුම්කොළ භාවිත කරන පුද්ගලයන් ලක්‍ෂ 60කට වැඩි සංඛ්‍යාවක් මෙරට සිටිති.

පසුගිය වසර 5 තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 8000ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5,491 සහ ගංජා කිලෝග්‍රෑම් 82,000ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය වාර්තා කර තිබිණි. ගෙවී ගිය වසර 05 තුළ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් ලක්‍ෂ 09ට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ. මෙරට බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගෙන් 60%කට වැඩි සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් සහ වැරදිකරුවන් බව ද වාර්තා වේ. මේ වනවිට බහුල වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන්නේ බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් බවට ද තොරතුරු අනාවරණය වේ.

බන්ධනාගාරගතව සිටින පාතාල නායකයන් පමණක් නොව, ඇතැම් සාමාන්‍ය සිරකරුවන් සන්තකයේ ද ජංගම දුරකථන එක, දෙක තිබෙන බව ද වාර්තා වේ. එළියට වඩා බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය පරිභෝජනය වන බව ප්‍රසිද්ධ කථාවකි. නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන තුළ පවතින දූෂණය, මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිමය ක්‍රියාදාමයන්ට කාලය ගතවීම ප්‍රධාන දුර්වලතා ලෙස එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් නිකුත් කර ඇති වාර්තාවේ ද පැහැදිලි කර ඇත.

මතට තිත, මතින් නිදහස් රටක්, යුක්තිය සහ ජනාධිපති බළකා මෙහෙයුම විවිධ නම්වලින් මත මැඬීමට ක්‍රියාත්මක වුවද මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ස්ථාන බන්ධනාගාර පිරිසිදු කිරීමට, මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති යාවත්කාලීන කිරීම එම මෙහෙයුම්වලට සමගාමීව සිදු නොකෙරුණි. එහෙයින් එම මෙහෙයුම් ද අසාර්ථක විය. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ ශක්තියෙන් වැට කඩුලු බිඳ මත බෙදීම ද දිගටම කරගෙන ගියහ. කුඩු රජවරු කොතරම් සිර කර තැබුවද මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ කිසිදු අඩුවක් නොවුණි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පාතාල කල්ලි අතර මරා ගැනීම ද අඩු නැත. චිකාගෝවක තත්ත්වයට පත් කරමින් ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන තිරිසන් සිද්ධි පසුගිය කාලය පුරා දිනපතා වාර්තා වී ඇත.

පසුගිය 04 වැනිදා ද අම්බලන්ගොඩ පෝරඹ පදිංචිව සිටි 55 හැවිරිදි වරුෂවිතාන මිරන්තව මහ මඟදී වෙඩි තබා ඝාතනය කර තිබිණි. එම ඝාතනයත් සමග 2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි සිදු කරනු ලැබූ වෙඩි තැබීම් සංඛ්‍යාව 102ක් සහ මරණ 53ක් දක්වා ඉහළ ගොස් ඇත. එම වෙඩි තැබීම්වලින් තුවාල ලැබූ සංඛ්‍යාව 56කි. 2022 වර්ෂයේ සිට 2025 මාර්තු මස 31 දක්වා කාලය තුළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 238 දෙනකු ඝාතනය වී ඇත. බස්නාහිර සහ දකුණු පළාතවලින් වෙඩි තැබීමේ සිද්ධි බහුලව වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක මට්ටමින් කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති ඝාතන සංඛ්‍යාව අතිශය වැඩිය. අම්බලන්ගොඩ සහ අහුන්ගල්ල පොලිස් බලප්‍රදේශවලින් සැලකිය යුතු වෙඩි තැබීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේ ඝාතනවලින් බහුතරය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මරා ගැනීම් ය.

මත මෙරටට මහ පිළිලයකි. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ගෝලීය වශයෙන් සියලු රටවල් මුහුණදෙන ප්‍රධාන ගැටලුවකි. ඇමරිකා එක්සත් ජනපදය ද මේ වනවිට එරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට චෝදනා කරමින් ලතින් ඇමරිකානු රටවල ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කණ්ඩායම් ඉලක්ක කරගෙන මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. සාගරයේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට ඇමරිකානු මධ්‍යම සේනා විධානය විසින් ‘ඒකාබද්ධ සමුද්‍රීය බළකාය’ නමින් විශේෂ මෙහෙයුම් ඒකකයක් ද ස්ථාපිත කර ඇත. ලෝකයේ වැදගත් නාවික මාර්ග කිහිපයක් ආවරණය වන පරිදි වර්ග සැතපුම් මිලියන 3.2ක පමණ වන ජාත්‍යන්තර ජල තීරයේ ආරක්‍ෂාව වෙනුවෙන් ස්ථාපිත කර ඇති එම බළකායට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බහරේන්, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය ඇතුළු ලෝකයේ රටවල් 47ක නාවික හමුදා සම්බන්ධ වී සිටිති. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට ලෝකයේ රටවල් එකතු වන පසුබිමක මත්ද්‍රව්‍ය නමැති මායාකාරී කුණාටුවෙන් අපේ රට මුදාගැනීමට ජාතික ජන බලවේග ආණ්ඩුව ද විෂ මත්ද්‍රව්‍ය රාජ්‍යයට එරෙහි යුද්ධ ප්‍රකාශ කර තිබේ.

‘ලොල් වුණු අය ඉවත් වෙන්න… විකුණන අය යටත් වෙන්න…’ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය මස 30 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති

‘රටම එකට’ ජාතික මෙහෙයුම් වැඩසටහනේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට අවසාන නිවේදනය ද නිකුත් කළේය. මත්කුඩු, කුලී ඝාතන වැනි දහදුරා ක්‍රියාකාරකම් තුළින් ධනය, බලය සොයන ජාවාරම්කාරයන් නිසා කළු රාජ්‍යයක් බවට පත් වූ මෙරට ‘සුපිරිසිදු පොහොසත් රටක් බවට පත් කරන බව ද ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දුවක් ලබාදුන්නේය. ජනාධිපතිවරයාගේ එම පොරොන්දුව යථාර්ථයක් බවට පත් කරන තෙක් අපි බලා සිටිමු.

තරංග රත්නවීර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here