පොඩි මිනිහාගේ දේශපාලන පාඩම

0
14

2025 නොවැම්බර් මස 09 වැනිදා ඉරිදා

බැරැක් ඔබාමා ඇමෙරිකන් ජනාධිපති බවට පත්වීම ඇමෙරිකන් ඉතිහාසයේ එක්තරා හැරවුම් ලක්‍ෂ්‍යයකි. ඇමෙරිකන් ඉතිහාසයේ ජනාධිපති බවට පත්වී තිබුණේ සුද්දන් පමණි. එම ඉතිහාසය තුළ කළු ජාතිකයකු ජනාධිපති වූයේ නම් ඒ බැරැක් ඔබාමා පමණි. ඔබාමා ඉස්ලාමීය ජන්මයක් හිමි පෙළපතකින් එන කෙනෙකි. එහෙත් ළමා වියේදීම කතෝලික ආගම වැලඳගත් ඔහු තනිකරම ඇමෙරිකානුවකු බවට පත්වෙයි. ඔහු රට පාලනය කළ කාලයේ දී හැඟී ගිය වැදගත්ම කාරණය වන්නේ ඔහු කළු හමක් තිබුණත් සුද්දෙකුටත් වඩා සුදු චින්තනයක් තිබූ මිනිසකු බවය. ඇමෙරිකාවේ සුද්දන් ආවාට ගියාට විදේශිකයන් පිළිගන්නේ නැත. ඒ රටේ කළු සුදු භේදය අදටත් තිබේ. එසේ තිබියදී ඇමෙරිකන් ජනතාව කළු ජාතිකයකු වූ ඔබාමාට ඡන්දය දෙන්නේ ඔහු සුද්දන්ගේ ඇමෙරිකාව ගොඩදමනු ඇතැයි යන අධික විශ්වාසය නිසා ය. ඔබාමා ඒ විශ්වාසය රැක්කේ ය. ඒ, ඔසාමා බින්ලාදින් ඝාතනය කරවීමෙනි. පාකිස්තානයේ ඇබෝටාබාද් ප්‍රදේශයේ ආරක්‍ෂිත නිවස්නයක සැඟව සිටිමින් ඔහු අල්කයිඩා සංවිධානය මෙහෙය වූයේ ය. ඔසාමා ඝාතනයෙන් අතිශය සතුටට පත් ඇමෙරිකානුවෝ ඔබාමා දෙවන වරටත් ජනාධිපති බවට පත් කළේ ය.

මීට අවුරුදු විස්සකට පෙර එංගලන්තයේ එළිසබෙත් රැජින වැදගත් ප්‍රකාශයක් කළාය. එනම් තවත් අවුරුදු තිහකින් එංගලන්තයට ඉන්දියානු අගමැතිවරයකු ලැබෙන බවය. එහෙත් ඇය එසේ කියා අවුරුදු දහයක් ගතවීමටත් පළමු රිෂී සුනක් නමැති ඉන්දියානුවා බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත්විය. රිෂී සුනක් ඉතාම ළමා වියේ දී බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී පුරවැසිභාවය ලැබූ කෙනෙකි. මේ නිසා ලෝක දේශපාලනය තුළ තවදුරටත් ජාතිය හෝ ආගම වැදගත් වන්නේ නැත. මිනිස්සු තමන්ට අවශ්‍ය මිනිහා රටේ නායකත්වයට පත්කර ගනිති.

බැරැක් ඔබාමා සහ රිෂී සුනක් පිළිබඳ උදාහරණ දෙක ඒ බව ඔප්පු කිරීම සඳහා පෙන්වාදිය හැකිය. මේ වෙලාවේ ඇමෙරිකාවේ සිටින්නේ සම්පූර්ණයෙන්ම සුදු ජාතිකවාදී චින්තනයක් තිබෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඒ අතර ඇමෙරිකන් දේශපාලනය ඔළුවෙන් සිටුවන දෙයක් මීට සතියකට පමණ පෙර සිදුවිය. එනම් 34 හැවිරිදි සොරාන් මම්දානි නමැති මුස්ලිම් ඇමෙරිකානුවා නිව්යෝර්ක් ප්‍රාන්තයේ නගරාධිපති බවට පත්වීම ය. සොරාන් මම්දානි යනු ඉතාම අප්‍රකට පුද්ගලයෙකි. ගිය අවුරුද්දේ මේ කාලය වන විට නිව්යෝර්ක් නගරයේ කවුරුවත් ඔහු ගැන දැන සිටියේ නැත. ඔහු 8 හැවිරිදි වියේ දී ඉන්දියාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය විය. ඔහු ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්‍ෂයට විරුද්ධ ඩිමොක්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස ඡන්දය ඉල්ලුවේ ය. ඔහු ජය ගන්නේ ට්‍රම්ප්ගේ නගරාධිපති අපේක්‍ෂකයා පරදවා 50% කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමෙනි. මම්දානි නගරාධිපතිවරයා බවට පත් කිරීමට නිව්යෝර්ක් නගරයේ ජනතාව තීරණය කළේ ඉතාම හදිසියෙනි. ඔවුන් එසේ කළේ සොරාන් මම්දානිටවත්, ඔහුගේ ඉස්ලාමීය ජන්මයටවත් කැමැති වූ නිසා නොව ට්‍රම්ප්ට කනට දෙකක් දීමට අවස්ථාවක් ලැබෙන නිසාය. නිව්යෝර්ක් නගරය යනු සම්පූර්ණයෙන්ම පාරිභෝගික නගරයකි. එහි කිසිවක් නිෂ්පාදනය කරන්නේ නැත. ඒ නගරය චීන, ආර්මේනියා, තුර්කි, පකිස්තාන, ඉන්දියානු, බංගලාදේශය වැනි වෙනත් ජාතීන්ට අයත් සංක්‍රමණිකයන්ගෙන් පිරීගොස් තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් තම රට තුළ බදු වැඩි කිරීම නිසා රටවැසියන් තරහ කරගත්තේ ය. ඇමෙරිකාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට බදු වෙනස්වෙයි. නිව්යෝර්ක් යනු බදු ඉතාම වැඩි ප්‍රාන්තයකි. මේ ප්‍රාන්තය තුළ ඇමෙරිකානු පුරවැසිභාවය ලද සංක්‍රමණිකයෝ විශාල පිරිසක් සිටිති.

ඒ අනුව මම්දානි දිනවීමෙන් ඔවුන් ට්‍රම්ප්ට පාඩමක් උගන්වන ලද බව පෙනේ. වෙන රටවල යුද්ධවලට සම්බන්ධ නොවන බව කියමින් බලයට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සහ ඊශ්‍රායලයත්, පලස්තීනය සහ ඊශ්‍රායලයත් අතර තිබෙන ගැටුම්වලදී ඊශ්‍රායලයට විශාල සහයෝගයක් දුන්නේ ය.එසේම ඔහු තමන් හමුවීමට එන රාජ්‍ය නායකයන්ට ඇතැම් විට කතා කළේ ඉතා පහත් ලෙස ය. හොඳම උදාහරණය වන්නේ යුක්රේනයේ ජනාධිපති ට්‍රම්ප් හමුවට පැමිණි අවස්ථාව ය. එහිදී ඔහු ගර්හාවට ලක් කළ ට්‍රම්ප් ධවල මන්දිරයෙන් ඔහු පලවා හැරියේ ය. යුක්රේන ජනාධිපති අඳින නිල ඇඳුමක් තිබේ. මේ නිල ඇඳුමට ටයිඑක හෝ කෝට් එක අයත් නැත. ට්‍රම්ප් සමග යුක්රේන ජනාධිපති සාකච්ඡා කිරීමෙන් පසු සහ අපහාසයට ලක්වීමෙන් පසු ඇමෙරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් යුක්රේන ජනාධිපතිගේ නිල ඇඳුම තරයේ විවේචනය කළේ ය. ඔහු ඉඟි කළේ යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති හමුවීමට එන විට වැදගත් ඇඳුමකින් සැරසී සිටිය යුතු බවය. මේවා වික්ටෝරියානු සම්ප්‍රදායේ මෝඩ අදහස් ය. ඇමෙරිකානුවෝ ඕනෑම කෙනකුට නමින් කතා කරති. ඒ රටේ ජනතාව කෙනකුට සර් කියන්නේ ඉතා කලාතුරකිනි. ට්‍රම්ප්ගේ පාලනය අනවශ්‍ය ගරු නම්බු සහ අනවශ්‍ය ඒකාධිපතිත්වයක් පාවිච්චි කිරීමෙන් වැඩවසම් යුගයකට යෑමට උත්සාහ කරන බව පෙනේ. එබැවින් නිව්යෝර්ක් නගරාධිපති ලෙස සොරාන් මම්දානි තෝරා ගැනීමට නිව්යෝර්ක් ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ ඔහුට ඇති ආදරය නිසා නොව ට්‍රම්ප් කෙරෙහි ඇති විරෝධය නිසා බව අපගේ වැටහීම වේ. මේ වනවිට අතිවිශාල ආනයන බදු පැනවීම නිසා ලෝකයේ රටවල්වලින් භාගයක්ම ඇමෙරිකාව කෙරෙහි කෝපයෙන් පසුවෙයි. ඇමෙරිකාවට අවවාද දීමට මේ පුවත්පතට නොහැක. අප මේ තීරුව ලියන ලද්දේ ඉතාම සද්භාවයෙනි. ට්‍රම්ප් කෙරෙහි අප තුළ කිසිදු වෛරයක් ද නැත. ඒ නිසා ඇමෙරිකන් තානාපති කාර්යාලය මේ කතුවැකිය වැරදියට තේරුම් නොගත යුතු ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here