ලෙයට ලෙයින් අමු අමුවේ පලි ගන්නා දකුණේ පාතාලය

0
13

මීටියාගොඩ, කරන්දෙණිය, ඇල්පිටිය, අම්බලන්ගොඩ පාතාලයේ තවත් බිල්ලක්

මිරන්ත ඝාතනයට ලොකු පැටීගේ සහාය ලැබුණා ද යන්න සැකයක්

නලීන් ඝාතනයේ සැලසුම්කරු කරන්දෙණිය සුද්දාගේ බාල සොහොයුරා ‘රාජු’

මිරන්ත ඝාතනය භාරගනිමින් මීටියාගොඩ නලීන්ගේ පුතාගෙන් වීඩියෝවක්

මිරන්තට අපරාධ චෝදනා නෑ

මිරන්ත වරුසවිතානගේ වැඩිමහල් පුත්‍රයාගේ ජංගම දුරකථනය තොරතෝංචියක් නොමැතිව නාද වෙමින් තිබුණේය. ඇමතුම ලැබෙන්නේ ඩුබායි රාජ්‍යයෙන්ය. ඒ වනවිට මිරන්ත ඝාතනය වී ගතවී තිබුණේ සුළු මොහොතකි.

පියාගේ ඝාතනය නිසා දැඩි ලෙස කම්පනයට පත්ව සිටි පුත්‍රයා දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක් වූවේය.

මම මීටියාගොඩ නලින්ගෙ පුතා කතා කරන්නෙ. අපි තමයි උඹේ තාත්තව මැරුවෙ. අපේ තාත්තව
මීටියාගොඩදී මරපු පලිය ගත්තා උඹේ තාත්තව මරලා…

දුරකථනයෙන් කතා කළ තරුණයා කියූ දෙයින් මිරන්තගේ පුත්‍රයා අන්දුන්කුන්දුන් වුණේය. තම පියා ඝාතනය කළ පුද්ගලයා පියාගේ සිරුරේ උණුසුම යන්නත් මත්තෙන් කතාකර තර්ජනය කිරීම ඔහු දැඩි ලෙස වික්ෂිප්ත කරවීමට සමත් විය.

මිරන්ත ඝාතනය කරන්දෙණියේ සුද්දා සහ මීටියාගොඩ නලින් පාර්ශ්වය අතර පාතාල යුද්ධයේ ආරම්භය බව නම් පැහැදිලිය. මේ ඝාතනය අම්බලංගොඩ, මීටියාගොඩ, කරන්දෙණිය, ඇල්පිටිය ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් පාතාල මිනිස් ඝාතන වැලක ආරම්භය බව නිසැකය.

දකුණු පළාතට මත්ද්‍රව්‍ය බෙදන කරන්දෙණිය සුද්දා

කරන්දෙණියේ සුද්දා

දකුණේ පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු ලෙස නම් දරා සිටින කරන්දෙණියේ සුද්දා මේ වනවිට සිටින්නේ විදේශගතවය. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සුද්දා අම්බලන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් මුළු දකුණු පළාත පුරාම මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටියි. නොසිතූ මොහොතක තම මස්සිනා වන මිරන්ත ඝාතනයෙන් කරන්දෙණියේ සුද්දා දැඩි ලෙස කලබලයට පත් වූ බව නම් නිසැකය. මිරන්ත ඝාතනය කරන්දෙණියේ සුද්දාගේ පාතාල ආධිපත්‍යයට එල්ල වූ මරු පහරක් විය.

මෙතුවක් කාලයකට කරන්දෙණියේ සුද්දාගේ ඥාතියකු ඝාතනය කර ඔහුට අභියෝග කළ එකකු නොවීය. එහෙත් මේ වනවිට සුද්දාට අභියෝග කිරීමට කෙරුම්කාරයන් පිරිසක් ඉදිරිපත්ව සිටිති.

එය සුද්දාට දරාගත නොහැකි තරමේ ප්‍රහාරයක් බව නම් පැහැදිලිය.

අම්බලන්ගොඩ මෝදර දේවාල භාරකාර මණ්ඩලයේ සභාපති මිරන්ත වරුසවිතාන මහ දවල් දෙනෝදාහක් දෙනා බලා සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් දකුණු පළාත පමණක් නොව මුළු රටම උණුසුම් වුණේය. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මරා දැමීමේ උණුසුම යන්නටත් මත්තෙන් සිදුවූ මේ ඝාතනය පොලිසියට පමණක් නොව රජයට ද එල්ල කළ අතුල්පහරක් බඳු විය.

කොයිතරම් පාතාල මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණ ද ආරක්‍ෂාව තර කර තිබුණ ද පාතාලය තවමත් ක්‍රියාත්මකය.

මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ පාතාලය තවමත් පොලිසියට හෝ රජයට බියක් නොදක්වන බවය. තමන්ට අවශ්‍ය විටෙක අවශ්‍ය ඕනෑම ස්ථානයකදී තම ඉලක්කය සපුරා ගන්නට තරම් පාතාලය බලවත් වී සිටින බව නම් පැහැදිලිය. මිරන්ත මහ දවල් ඝාතනය වන්නේ ඒ බව සැබෑ කරමින්ය. ඝාතනයට ලක්වූ මිරන්ත වරුසවිතාන පාතාලයට නෑකම් කීව ද ඔහුට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් නැත. මිරන්ත ව්‍යාපාරිකයෙකි. ඔහු සතුව බහුදින ධීවර යාත්‍රා කීපයකි. ඊට අමතරව මිරන්ත අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

මිරන්තට තිබූ එකම චෝදනාව වූයේ ඔහු දකුණේ දරුණුම ගණයේ පාතාල අපරාධකාරයකු ලෙස නම් දරා සිටින කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා වීම පමණය. කරන්දෙණියේ සුද්දා නමැති අනක්ගුණක් නැති පාතාල පාපතරයාගේ වැඩිමහල් සොහොයුරිය සමඟ විවාහ වී සිටියේ මිරන්තය.

අම්බලන්ගොඩ, මීටියාගොඩ, කරන්දෙණිය ප්‍රදේශ පුරා ව්‍යාපාරිකයකු ලෙස නමක් දිනාගෙන සිටි මිරන්ත පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගය පක්‍ෂයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරග කළේය. එහෙත් ඉන් ජය ගන්නට ඔහුට අවස්ථාවක් හිමිව තිබුණේ නැත.

මිරන්ත වරුසවිතාන පළාත් පාලන මැතිවරණයට තරග කිරීම හරහා පැහැදිලි වන්නේ පාතාල මැරයන්ගෙන් පාතාලයට නෑකම් කියන පුද්ගලයන් දේශපාලනයට අවතීර්ණවී තමන්ට රැකවරණයක් ලබා ගැනීමේ ප්‍රවනතාවක් තිබෙන බවයි.

කරන්දෙණියේ සුද්දා එහෙමත් නැත්නම් ජයලත් සුද්දා පාතාල ලෝකයේ අපරාධකාරයකු ලෙස මුලින්ම කරලියට එන්නේ කරන්දෙණියේ හිත හොඳ දොස්තර මහතා වෙඩි තබා ඝාතනය කිරීමත් සමගය. හිත හොඳ දොස්තර වෙඩි තබා ඝාතනය කිරීමෙන් කරන්දෙණිය පමණක් නොව මුළු රටම කම්පා වුණේය. මේ වෛද්‍යවරයා හිත හොඳ දොස්තර ලෙස ප්‍රසිද්ධ වුණේ කරන්දෙණියේ පිහිටි ඔහුට අයත් පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් දුප්පත් රෝගීන්ට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර කිරීම මෙන්ම බෙහෙත් ලබාදීම නිසාය.

මේ හිත හොඳ දොස්තරගේ ක්‍රියාව නිසා බඩේ පහර වැදුණු තවත් වෛද්‍යවරයකු ඔහුගේ දිවි තොර කිරීමට සැලසුම් කළේය. ඒ මහා පාපකර්මය භාරදී තිබුණේ කරන්දෙණියේ සුද්දා සහ ඔහුගේ සොහොයුරා වන රාජු වෙතය.

මුදල් කොන්ත්‍රාත්තුවක් මත මේ මහා අපරාධය සිදු විය. කරන්දෙණියේ හිත හොඳ දොස්තර මහතා මරා දමා පාතාලය ආක්‍රමණය කළ කරන්දෙණියේ සුද්දා නමැති පාපතරයා මේ වනවිට දකුණු පළාත හොල්ලන දරුණුම ගණයේ පාතාල නායකයකු වී හමාරය.

දීර්ඝ කාලයක් තිස්සේ කරන්දෙණිය, මිද්දෙණිය, අම්බලන්ගොඩ, ඇල්පිටිය ප්‍රදේශ පැවතියේ කරන්දෙණියේ සුද්දාගේ අණසක යටතේය. සුද්දාගේ පාතාල කල්ලියට එරෙහි වන කිසිවකුටත් ජීවත්වීමට වරම් තිබුණේ නැත.

ඒ නිසාම ප්‍රදේශයේ ජනතාව කරන්දෙණියේ සුද්දාට දැක් වූයේ පුදුමාකාර භීතියකි. සුද්දාට නොව ඔහුගේ කල්ලියට විරුද්ධව වචනයක් හෝ කතා කිරීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත.

පාතාල භීෂණය මුදාහල කරන්දෙණියේ සුද්දා මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගියේය. ඒ වනවිට විදේශගතව සිටි සුද්දා හෙරොයින් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය තොග පිටින් එවා සිය ව්‍යාපාරය ජයටම කරගෙන ගියේය.

කරන්දෙණිය සුද්දාට අභියෝගයක් වූ නලින්

මේ අතර කරන්දෙණියේ සුද්දාගේ භීෂණයට එරෙහිව මීටියාගොඩින් එක් පවුලක් අභියෝග කරන්නට පටන් ගත්තේය. සුද්දාගේ පාතාල භීෂණය ගණනකට නොගත් මීටියාගොඩ නලින් ප්‍රසිද්ධියේම ඔහුට අභියෝග කළේය.

මීටියාගොඩ නලින්ගේ පාර්ශ්වය කසිප්පු නිෂ්පාදනය මහා පරිමාණයෙන් කරගෙන ගිය ද ඔවුන් හෙරොයින්, අයිස් ජාවාරමට තදින් විරුද්ධව සිටියහ.

කරන්දෙණියේ සුද්දා කුඩුයි අයිසුයි ගෙනල්ලා අපේ පළාතම විනාශ කරනවා. උන්ගේ මේ ජාවාරම් නැති කළේ නැත්නම් අනාගතේ අපිට ඉතුරු වෙන්නෙ කුඩුකාරයො ටිකක් විතරයි.

මීටියාගොඩ නලින් මේ ගැන නිතරම කතා කළේය. කරන්දෙණියේ සුද්දාගේ අණසකට පිටින් ඒ වනවිටත් කිසිවකුත් අභියෝග කර නොතිබූ නිසා නලින්ට ගමෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. සුද්දාගේ භීෂණයෙන් මිරිකී සිටි ගම්මුන් බොහොමයක් මීටියාගොඩ නලින් සමග සබඳතා පවත්වමින් ඔහුට සහය දීමට ඉදිරිපත් වූහ.

මීටියාගොඩ නලින් පාර්ශ්වය තම අණසකට එරෙහිව නැගීසිටීම කරන්දෙණියේ සුද්දාට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් විය. ඔහු නලින් කෙරෙහි පැවතියේ දැඩි වෛරයකි. අවස්ථා ගණනාවකදී නලින්ට තර්ජනය කළ ද ඔහු ඒ කිසිවක් ගණනකට ගත්තේ නැත.

නලින් ඝාතනය කිරීමට සැලසුමක්

නලින් කියන එකා සීන් එකෙන් අයින් කරලා දැම්මේ නැත්නම් අපට ලොකු කරදරයක් වෙනවා. මිනිස්සු දානටමත් උගේ පැත්ත අරගෙන. මෙහෙම ගියොත් අපිට බිස්නස් එකක් කරගන්නත් බැරි වෙයි.

කරන්දෙණියේ සුද්දා තම පාතාල සගයන්ට කීවේය. මීටියාගොඩ නලින්ද නාහෙටනාහන පුද්ගලයකු විය. 2015 වර්ෂයේදී ඔහු ද්විත්ව ඝාතනයකට සම්බන්ධ වුණේය. ඒ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී කලක් බන්ධනාගාරගතව සිටි නලින් ඉන් පිටතට එන්නේ අපරාධ ලෝකය පිළිබඳව පශ්චාද් උපාධිය ද ලබා ගෙනය.

මීටියාගොඩ නලින් අපරාධවලට සම්බන්ධ නොවූව ද ඔහු දිගින් දිගටම කරන්දෙණියේ සුද්දාට එරෙහිව කටයුතු කරන්නට පටන් ගත්තේය. මේ අතර කරන්දෙණියේ සුද්දා තම වෛරක්කාරයා වූ නලින් පරලොව යැවීමට සැලසුම් සකස් කරන්නට වුණේය.

නලින් ඝාතනය කිරීමේ සැලසුමේ ප්‍රධාන මෙහෙයුම්කරු වූයේ කරන්දෙණියේ සුද්දාගේ බාල සොහොයුරා වන රාජුය. නලින් මරා දැමීමට අවශ්‍ය සියලු උපදෙස් සුද්දා විසින් රාජුට ලබා දුන්නේය.

නලින් නිතරම බොන්න සෙට් වෙන රෙස්ටුරන්ට් එකක් තියනවා. එතනදී ඌව කොටුකර ගන්න පුළුවන් වෙයි. වැඩේට ඕන කරන ෂූටර්ලයි වෙපන් එකයි ලෑස්ති කරලා දෙන්නම් ඔත්තුකාරයො දෙතුන් දෙනෙක් දාලා හරියටම වැඩේ සෙට් කරපන්…

කරන්දෙණියේ සුද්දා සිය සොහොයුරා වන රාජුට උපදෙස් දුන්නේය. මැයි මස 03 වැනිදා දිනය මීටියාගොඩ නලින්ගේ ජීවිතයේ තීරණාත්මක දිනයක් විය. දවසේ වැඩ කටයුතු නිම කළ නලින් ඇඟේපතේ අමාරුව නිවාගන්නට තමා නිතර යන එන අවන්හල වෙත ආවේය. මේ අවන්හල හිමිකරු නලින්ගේ සමීප මිතුරෙකි. නලින් දන්නා හඳුනන කීපදෙනකුම මේ මත්පැන් සාදයට එක්ව සිටියෝය.

ඒ වනවිට රාජුගේ ඔත්තුකරුවන් නලින් ආගිය වේලාවන් නිවැරදිව ඔහුට ලබාදී තිබුණේය. කරන්දෙණියේ සුද්දාගේ පාතාල කල්ලියේ කුලී ඝාතකයන් ක්‍රියාත්මක වුණේය. ඝන අන්ධකාරය මැදින් ආ යතුරුපැදි දෙකක් අවන්හල ඉදිරිපිට නතර කළෝය. ගත වුණේ නිමේෂයකි. යතුරුපැදිවලින් ආ පුද්ගලයන්

ගිනි අවි දෙකක් යොදාගෙන නලින් ඇතුළු පිරිස වෙත වෙඩි වරුසාවක් එල්ල කළෝය. තත්පර කීපයකදී එල්ල වූ ප්‍රහාරය සාර්ථක විය. නලින් මෙන්ම තවත් කීපදෙනකු බිම ඇද වැටුණේය.

සිය ඉලක්කය සපුරාගත් කුලී ඝාතකයන් නිරුපද්‍රිතව අඳුරේම අතුරුදන් වුණේය. ප්‍රහාරයෙන් නලින් මෙන්ම වඩුකාර්මිකයකු ද ඝාතනයට ලක් විය. මීටියාගොඩ ද්විත්ව ඝාතනය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක විය. එහෙත් ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයන් හෝ ප්‍රහාරය මෙහෙයවූ කරන්දෙණියේ සුද්දා මෙන්ම ඔහුගේ සොහොයුරා වන රාජු අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ නැත. රාජු සහ සුද්දා ඒ වනවිටත් සිටියේ විදේශගතවය. ප්‍රහාරය සඳහා ඔත්තු බැලූවන් සහ ඊට ආධාර අනුබල දුන් කීපදෙනෙක් පමණක් පොලිසියට කොටු වූහ. නලින් ඝාතනය මුළු මීටියාගොඩම භීතියට පත් කිරීමට සමත් වූහ. ප්‍රහාරයෙන් නොනැවතුණු කරන්දෙණියේ සුද්දා නලින්ගේ ඥාතීන්ට මෙන්ම හිතවතුන්ට දිගින් දිගටම දුරකථනයෙන් කතා කර තර්ජනය කළේය.

පේනවා නේද අපට විරුද්ධව යන්න හදන උන්ට වෙන දේ. තොපිත් පරිස්සම් වෙලා හිටපල්ලා. තොපි සේරම පරලොව යැව්වට පස්සෙ තමයි මම මේ ගේම් එක නතර කරන්නෙ.

කරන්දෙණියේ සුද්දා මීටියාගොඩ නලින්ගේ දරුවන්ට පවා දුරකථනයෙන් කතා කර තර්ජනය කළේය.

මීටියාගොඩ, කරන්දෙණිය, ඇල්පිටිය, අම්බලන්ගොඩ ප්‍රදේශවල තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙමින් තිබුණේය. ඝාතනයට ලක් වූ නලින්ගේ ප්‍රත්‍රයන් වූ මහදුර සෙනුර නිමල්ෂ සහ මහදුර ලහිරු දැඩි ලෙස තර්ජනයට ලක්ව සිටියහ.

ඔවුන්ට සිය නිවෙස්වලින් පිටතට එන්නට බැරි තරමට භීෂණය උත්සන්න වී තිබුණේය. තමන්ට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් පොලිසිවලට පැමිණිලි කළ ද ඉන් පළක් නොවීය. ඒ කරන පැමිණිල්ල පවා පසුදාට කරන්දෙණියේ සුද්දා අතට පත්ව තිබුණේය.

නිමක් නැති සුද්දාගේ තර්ජන ගර්ජන

සෙනුර නිමල්ෂ සහ ලහිරු මාස ගණනක් තිස්සේ තම නිවසින් පිටතට ඒමට නොහැකිව සැඟවී සිටියෝය.

අවසානයේ මේ පිළිබඳව පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දීමට සෙනුර මෙන්ම ලහිරු ද කටයුතු කළහ. පොලිස්පතිවරයාගේ උපදෙස් මත මොවුන්ට පොලිස් ආරක්‍ෂාවක් ලැබී තිබිණි. එහෙත් සුද්දාගෙන් එල්ල වන තර්ජන ගර්ජන බලපෑම්වල නිමක් නැත. අවස්ථා කීපයකදීම සුද්දා මේ තරුණයන් දෙදෙනා මාරා දැමීමට උත්සාහ කළේය.

ඒ සඳහා සන්නද්ධ කුලී ඝාතකයන් පවා නිවස අසලට එවා තිබුණේය. එක් අවස්ථාවක සෙනුර සහ ලහිරු පොලිසියට ඔත්තු ලබාදී මේ කුලී ඝාතකයන් ඔත්තුකරුවන් අල්ලා දීමට කටයුතු කළහ.

ඒ වනවිට මේ සොහොයුරන් දෙදෙනා තීරණයකට එළැඹ සිටියහ. අපි දෙන්නා ගෙදර හිටියොත් කොයි වෙලාවක හරි මැරුම් කනවා. ඒ නිසා මම රටින් යනවා උඹ අම්මවයි පවුලෙ අයයි බලාගෙන හිටපන්. මම රට ගිහින් මුන්ට විරුද්ධව ෆයිට් කරනවා.

සෙනුර නිමල්ෂ සිය සොහොයුරු වූ ලහිරුට පවුලේ ආරක්‍ෂාව භාරදී රටින් බැහැර වුණේය. තමන් වෙත එල්ල වී තිබෙන භීෂණයට භීෂණයෙන්ම උත්තර දිය යුතු බව සෙනුර මෙන්ම ලහිරු ද හොඳින් දැන සිටියහ.

ඒ වනවිට කරන්දෙණියේ සුද්දා සහ ඔහුගේ සොහොයුරා විදේශගතව සිටි නිසා ඔවුන්ට අනතුරක් කළ නොහැකි විය. සුද්දාට උණ ගැනෙන්න ඔහුට රිද්දවීමට ඔහුගේ පාර්ශ්වයේ සමීපතමයකු ඝාතනය කළ යුතු විය.

කරන්දෙණියේ සුද්දාට රිද්දවීමට මරා දැමීමට පහසු ඔහුගේ සමීපම සාමාජිකයන් කව්දැයි සෙනුර මෙන්ම ලහිරු ද සොයන්නට වූහ. මිරන්ත වරුසවිතානගේ නම කරලියට එන්නේ ඔය අතරතුරදීය. කරන්දෙණියේ සුද්දාට අයත් බෝට්ටු කිහිපයක මෙහෙයුම් කටයුතු සොයා බැලුවේ මිරන්ත විසින් බව සෙනුර ලහිරු සොහොයුරන් දැන සිටියේය.

මේ අතර ඔවුන් විශ්වාස කළේ තම පියා ඝාතනයට මිරන්ත මෙන්ම ඔහුගේ පුතුන්ගේ ද සහායක් ලැබුණා යැයි කියාය. කරන්දෙණියේ සුද්දාට රිද්දවීමට මරා දැමීමට සුදුසුම පුද්ගලයා මිරන්ත බව සෙනුර නිමල්ෂ මෙන්ම ලහිරු ද තීරණය කළෝය.

ඩුබායි ඉඳන්ම මිරන්ත ඝාතන සැලැස්ම

සෙනුර ඩුබායි රාජ්‍යයේ සිට ප්‍රහාරය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කළේය. ලහිරු ප්‍රහාරයේ මෙහෙයුම්කරු ලෙස කටයුතු කරන්නට වුණේය. මිරන්ත ඝාතනය සඳහා කුලී ඝාතකයන් සම්බන්ධ කර ගැනීම මෙන්ම ආයුධයක් ලබාදීමට කටයුතු කරන්නේ ලහිරු විසින්ය.

මිරන්ත වරුසවිතාන ඝාතනය කිරීම සඳහා අහුංගල්ලේ ලොකු පැටීගේ ද සහායක් ලැබුණු බවට පොලිසියට සැකයක් මතුව තිබෙයි. ඒ අම්බලන්ගොඩ මෝදර දේවාලයේ උද්ගතවී තිබූ අර්බුදයක් නිසාය.

අහුංගල්ලේ ලොකු පැටී අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ආක්‍රමණය කර තිබුණේය. දේවාලයේ ප්‍රධාන කපු මහතා සමග සමීප සබඳතා පැවැත්වූ ලොකු පැටී දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් නොමසුරු සහයෝගයක් ලබාදී තිබුණේ වෙනත් අරමුණක් සිතේ සඟවා ගෙනය.

ලොකු පැටීගේ කළු සල්ලි සුදු කළ හැටි

ලොකු පැටී

දේවාලයේ නඩත්තු කටයුතු මෙන්ම සංවර්ධන කටයුතු සඳහා ලොකු පැටී වරින්වර රුපියල් ලක්‍ෂ 30කට අධික මුදලක් පරිත්‍යාග කර තිබුණේය. ඒ හරහා ලොකු පැටී දේවාලයේ ප්‍රධාන කපු මහතා සමග ඉතාම සමීප සබඳතාවක් ගොඩනගා ගන්නේය. ලොකු පැටීගේ අරමුණ වී තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා ලැබෙන අති විශාල ධනයෙන් කොටසක් දේවාලයේ ප්‍රධාන කපු මහතා හරහා නිත්‍යානුකූල මුදල් බවට හරවා ගැනීමය. කෙටියෙන් කියනවා නම් කළු සල්ලි සුදුකර ගැනීමටය. මේ කටයුත්තට ප්‍රධාන කපු මහතා කැමති කරවා ගත් ලොකු පැටී ඔහුගේ බැංකු ගිණුම්වලට රුපියල් කෝටි ගණන් මුදල් තැම්පත් කිරීමට කටයුතු කළේය.

ඒ සඳහා කපු මහතාට වෙනත් වරප්‍රසාද ලබාදීමට ද ලොකු පැටී පියවර ගත්තේය. කෙසේ වෙතත් මේ ජාවාරම වැඩි කාලයක් ලොකු පැටීට කරගෙන යන්නට ඉඩ ලැබුණේ නැත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයකදී ලොකු පැටීගේ මේ කෙරුවාව පිළිබඳ සියලු රහස් එළියට ආවේය. තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්‍ෂාව ලබාදෙන බව කියමින් අසරණයන් වෙනුවෙන් පෙනී සිටි කපුවා රුපියල් තිස්තුන් කෝටියක් කුඩු සල්ලි තම බැංකු ගිණුමේ තැම්පත් කරගෙන සිටියේය.

සැමට දෙවියන්ගේ ආරක්‍ෂාව ලබාදුන් කපුවාට අවසානයේ දෙවියන්වත් පිහිටට සිටියේ නැත. ලොකු පැටීගේ කුඩු සල්ලි තම බැංකු ගිණුමේ තැම්පත් කරගෙන සිටි චෝදනාව මත මෝදර දේවාලයේ ප්‍රධාන කපුවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කොටු වුණේය.

පාතාලය සමග සබඳතා පවත්වමින් කෝටි ගණනින් මුදල් ගනුදෙනු කළ මේ කපුවා ප්‍රධාන කපු වෘත්තිය කළ මෝදර දේවාල භාරකාර මණ්ඩලයේ සභාපති වූයේ මිරන්ත වරුසවිතානය. දේවාලයේ කපුවා සහ ලොකු පැටී අතර පැවැති පාතාල ගනුදෙනුව පිළිබඳව රහස් පොලිසියට ඔත්තු දුුන්නේ මිරන්ත වරුසවිතාන බවට කටකතාවක් ද පැතිර ගොස් තිබුණේය.

ඊට පලි ගැනීමක් ලෙස මිරන්ත වරුසවිතාන මරා දැමීමට ලොකු පැටීගේ සහාය සෙනුර ලහිරු සොහොයුරන්ට ලැබුණු බවට ද සැකයක් පොලිසිය වෙත මේ වනවිට මතුව තිබෙයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඇල්පිටිය කොට්ඨාශ අපරාධ මෙහෙයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරාගේ මූලිකත්වයෙන් විමර්ශන ආරම්භ කළේය.

ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට ඝාතකයන් පලා ගිය ප්‍රදේශය ඔස්සේ සී.සී.ටී.වී කැමරා පරීක්‍ෂා කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කළෝය. මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙයුමකදී කුලී ඝාතකයන් පලාගිය රතු පැහැති මෝටර් රථය මහමග අතහැර දමාගොස් තිබියදී සොයා ගැනීමට හැකි විය.

මේ අතර කුලී ඝාතකයන් මෝටර් රථය මහ මග දමා යන සී.සී.ටී.වී. දර්ශන ද පොලිසිය සොයා ගත්හ. කුලී ඝාතකයා මෝටර් රථයෙන් බැස මහමග යන අයුරු පැහැදිලිව දර්ශනය විය. මේ අතර මිරන්ත වරුසවිතාන ඝාතනය කර පැය කිහිපයක් ගතවන්නටත් මත්තෙන් විදේශගතව සිටි මීටියාගොඩ නලීන්ගේ පුත්‍රයා මෙරට යූ ටියුබ් නාලිකාවක් වෙත දුරකථනයෙන් කතා කළේය.

මම මීටියාගොඩ නලීන්ගේ පුතා කතා කරන්නේ. මම තමයි අද අම්බලන්ගොඩ මර්ඩර් එක ගැස්සුවේ.

මගේ තාත්තව පරපු පලිය ගන්න තමයි මම ඒක කළේ. මගේ තාත්තව පසුගිය මැයි මාසේ 3 වැනිදා මීටියාගොඩ රෙස්ට්ටොරන්ට් එකකදී වෙඩි තියලා මැරුවා. ඒක කළේ කරන්දෙණියේ සුද්දයි එයාගේ මල්ලි රාජුයි. ඒකට පලිගන්න තමයි එයාගේ මස්සිනාව මැරුවේ. ඩුබායි රාජ්‍යයේ සිට දුරකථනයෙන් කතා කළ සෙනුර නිමල්ෂ එහෙමත් නැත්නම් මීටියාගොඩ නලීන්ගේ පුත්‍රයා මිරන්ත ඝාතනයේ වගකීම භාර ගත්තේය.

මේ හඬපටය විමර්ශන නිලධාරීන් වෙත ද ලැබී තිබුණේය. මීටියාගොඩ නලීන්ගේ පුත්‍රයා මේ යූ ටියුබ් නාලිකාවට කතා කිරීමට පෙර මිරන්තගේ පුත්‍රයාට ද කතා කර ඝාතනයේ වගකීම භාර ගෙන තිබුණේය.

මේ හඬපටය ඔස්සේ විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරීන් සැබැවින්ම මිරන්ත මරා දැමීමට මීටියාගොඩ නලීන්ගේ පුත්‍රයන් දෙදෙනා හවුල්වී සිටි බව තහවුරු කර ගන්න ඊට හොඳම සාක්‍ෂියක් ද විමර්ශන නිලධාරීන්ට ලැබී තිබිණි. මිරන්ත මරා දැමූ කුලී ඝාතකයන් සමග මීටියාගොඩ නලීන්ගේ එක් පුත්‍රයකු වන ලහිරු සිටින බව විමර්ශන නිලධාරීන් හඳුනා ගත්තේය. එය මිරන්ත ඝාතන විමර්ශන ඉදිරියට කරගෙන යෑම පහසු විය.

මේ වනවිට ලහිරු ගම්බිම් අතහැර පලා ගොස් සිටියි. සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශන නිලධාරීන් කුලී ඝාතකයා ද හඳුනාගෙන සිටියි. කොයි ලෝකයේ සැඟවී සිටියත් මේ ඝාතකයන් හෙට දිනයේ පොලිසියට කොටුවනු නොවනුමානය.

එමෙන්ම මීටියාගොඩ, අම්බලන්ගොඩ, කරන්දෙණිය, ඇල්පිටිය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැඟෙමින් තිබෙන මේ පාතාල ගැටුම් කෙළවර වන්නේ නැත. වෛරය පිරිමසා ගැනීමට ඔවුන් එකිනෙකා මරා ගනු ඇත. එහිදී පාතාලයට සම්බන්ධ වූවන් මෙන්ම අහිංසකයන් ද මියයනු ඇත. මේ පාතාල ගැටුම මර්දනය කිරීමට කටයුතු නොකළොත් මහා භයානක තත්ත්වයක් උද්ගත වනු නොවනුමානය.

හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here