නිෂ්පාදන ආර්ථිකය බලගන්වන අනුරගේ දෙවන අයවැය

0
9

නව ඉදිරි මුදල් වර්ෂය සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අනාගත මුදල් වර්ෂයේ ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම සහ ඒ අනුව ජනිත වන අයවැය හිඟය පියවන ආකාරය දැක්වෙන ලේඛනයකි. මෙය අනාගත මුදල් වර්ෂය පිළිබඳ ඇස්තමේන්තුවකි. මෙහි අයවැය යෝජනා අන්තර්ගත වේ. එනම් එම අවුරුද්දේ දී ආණ්ඩුවට අවශ්‍ය වන ආදායම ලබා ගන්නා මාර්ග සහ ඒවා වියදම් කරන ආකාරය එහි දැක්වේ. බොහෝ විට ඇස්තමේන්තුගත ආදායමට වඩා ඇස්තමේන්තුගත වියදම වැඩිවෙන නිසා එහිදී අයවැය හිඟයක් උද්ගත වන අතර එය දේශීය හා විදේශීය මූල්‍ය මගින් පියවගනු ලබයි. මෙය හුදෙක් ආදායම් සහ වියදම් ලේඛනයක් පමණක් නොව එක්තරා ආකාරයක රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයකි. එනම් මෙය රටේ අනාගත ගමන් මගේ දිශානතිය පෙන්වන ප්‍රධානතම ලියැවිල්ලයි. සාමාන්‍යයෙන් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම අවුරුද්දක් පාසා සිදුවන ඉතා වැදගත් ක්‍රියාවලියකි. සෑම වසරකම මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ අයවැය කතාව කියවන අයුරු අප දුටුවත් එම අයවැය සකස් කිරීමට ද දීර්ඝ ක්‍රියාවලියක් තිබේ. අයවැය පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කරගෙන එම විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් කළ විට එය රටේ නීතියක් බවට පත් වේ.

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉකුත් නොවැම්බර් 07 වැනිදා සවස 01.30 ට ජාතික ජනබලවේග රජයේ දෙවන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඊට පෙර එදිනම උදේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ, 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගැනීම ද සිදුවිය. එසේම අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නොවැම්බර් 06 වැනිදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කරනු ලැබීය. දැන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, 2026 වසරේ රාජ්‍ය අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසන්ය. දැන් එළඹ තිබෙන්නේ මේ අයවැය ලේඛනයේ හොඳ නරක විමසීමේ අවස්ථාවයි. ජනපතිවරයා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා පවත්වා නොවැම්බර් 14 වැනිදා පස්වරු 6.00 ට දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. ඉන්පසු නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 දක්වා අයවැය තුන්වැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත්, දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6.00 ට අයවැය අවසන් ඡන්ද විමසීමත් පැවැත්වීමට නියමිතව තිබේ. මෙසේ අයවැය සම්මත වී කථානායකවරයා ඊට අත්සන යෙදීමෙන් පසු එය රටේ නීතියක් බවට පත් වුවත් එහි සඳහන් දේ එලෙසින් ඉටුවීමට මෙන්ම නොවීමට ද ඉඩ තිබේ. මේ නිසා අයවැයේ අන්තර්ගතයෙන්ම පමණක් අයවැයක හොඳ නරක විමසිය නොහැකිය. ඒවා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය ද එහිදී අපට විමසා බැලීමට සිදුවේ.

අයවැයේ අන්තර්ගත ප්‍රධාන සංරචකයක් වන්නේ ආගත මුදල් වර්ෂය සඳහා වන ඇස්තමේන්තුගත බදු ආදායමයි. මේ ආදායම් එකතු කිරීමේ වගකීම ප්‍රධාන වශයෙන් පැවරී ඇත්තේ දේශීය ආදායම්, රේගු සහ සුරබදු යන රටේ ප්‍රධාන ආදායම් දෙපාර්තමේන්තුවලටය. මෙහිදී වැඩිම රාජ්‍ය ආදායමක් උපයා දෙන ප්‍රධානතම දෙපාර්තමේන්තුව වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. එම දෙපාර්තමේන්තුව නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සමිතියක් වන්නේ දේශීය ආදායම් සේවා සංගමයයි. එම සංගමයේ සම ලේකම්වරුන් වන එච්.ඒ.එල්. උදයසිරි සහ අයි.පී. සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සනින් ලිපියක් යවමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා බාධාවක්ව පවතින ගැටලුකාරී තත්ත්වයන්ට කඩිනමින් විසඳුම් ලබා ගැනීමේ අවශ්‍යතාවයයි. මේ ලිපියේ සඳහන් කර ඇති පරිදි 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය මගින් යෝජනා කරන ලද ඇතැම් බදු නීති සංශෝධනයන් මේ දක්වා සිදු කිරීමට නොහැකි වී ඇතැයි දේශීය ආදායම් සේවා සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී ඇත.

දේශීය ආදායම් සේවා සංගමය එම ලිපියේ දක්වා ඇති පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව පවතින අවම වූ භෞතික හා මානව සම්පත් භාවිතා කරමින් පසුගිය 2024 වර්ෂය තුළදී සමස්ත රාජ්‍ය බදු ආදායමෙන් සියයට 70 කට අධික බදු ආදායමක් රැස්කර දීමට දේශීය ආදායම් කාර්යය මණ්ඩලය සමත් වී ඇත. 2025 වර්ෂය තුළදී ද මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියමිත ආදායම් ඉලක්කය සියයට 102 ක් දක්වා රැස්කිරීමට සමත් වී ඇත. එම සංගමය පවසන්නේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම බදු ගෙවන්නන්ගේ අනුකූලතාවය ඉහළ නැංවීම, බදු පදනම පුළුල් කිරීම, හිඟ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුකිරීම, බදු ලිපිගොනු විගණනය හා විමර්ශන කටයුතු පුළුල් කිරීම හා බදු ගෙවන්නන්ට සහායක සේවාවන් සැපයීම අඛණ්ඩව හා කාර්යක්ෂමව සිදු කළ යුතු බවයි. මේ බදු එකතු කිරීම තවත් කාර්යක්ෂමව සිදු කිරීමට මේ සියලු කරුණු ඉතා වැදගත් බවට කිසිම සැකයක් ඇත. එහෙත් මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොයෙකුත් ගැටලු හා දුෂ්කරතා ඇති බව ද එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන කරුණකි. ඒ අනුව බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා මානව සම්පත් හා සම්බන්ධ ගැටලු ඇතුළු තවත් ගැටලු ගණනාවක් බලපා ඇත. මේ ගැන ඔවුන් සඳහන් කරන්නේ කාර්යමණ්ඩල පුරප්පාඩු සඳහා බඳවා ගැනීම ප්‍රමාද වීම ද ප්‍රධාන කරුණක් බවයි. ඒ අනුව දේශීය ආදායම් සේවයේ විධායක ශ්‍රේණියේ සහකාර කොමසාරිස් තනතුරු 300 ක පමණ පුරප්පාඩු සංඛ්‍යාවක් මේ වන විට පවතින බව ඔවුන් පෙන්වා දෙයි. මෙම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට අපොහොසත් වුවහොත් එය සමස්ත බදු පදනම පුළුල් කිරීම, බදු ලිපිගොනු විගණන හා විමර්ශන කටයුතු කිරීම හා බදු අනුකූලතාවය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සාර්ථක කර ගැනීම ගැටලුකාරී වනු ඇත.

එම කරුණ ඇතුළුව දේශීය ආදායම් සේවයේ නිලධාරීන් 450 කට පමණ බලපා ඇති උසස් වීම් විෂමතාවය කඩිනමින් නිවැරදි කිරීමේ අවශ්‍යතාව, දේශීය ආදායම් කාර්යය මණ්ඩලය සඳහා ප්‍රමාණවත් පුහුණු අවස්ථා නොමැති වීම යන ගැටලු මානව සම්පත පැත්තෙන් ඉතා අහිතකර ආකාරයට බලපා ඇතැයි දේශීය ආදායම් සේවා සංගමය කියයි.

එසේම ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (රැමිස්) පවතින ගැටලු, භෞතික සම්පත්වල පවතින ඌනතාවය සහ බදු අණ පනත්වල පවතින ගැටලු නිවැරදි කිරීම සඳහා සිදුකළ යුතු නීති සංශෝධන කඩිනමින් සිදු නොකිරීම යන ගැටලු ද මේ සඳහා බලපානු ලබයි. මේ පසුබිම තුළ 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය මගින් යෝජනා කරන ලද ඇතැම් බදු නීති සංශෝධනයන් මේ දක්වා සිදු කිරීමට නොහැකි වී ඇතැයි දෙශීය ආදායම් සේවා සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යවා ඇති ලිපියෙන් දැනුම් දී ඇත.

විශේෂයෙන්ම බදු පැහැර හැරීම් හා බදු වංචාවන් සම්බන්ධව ක්‍රියාත්මක කළ යුතු අධිකරණ ක්‍රියාමාර්ගවලට අදාළ නීති සංශෝධන කටයුතු මේ දක්වා සිදුකර නොමැති බව ද මෙම තත්ත්වය බදු අනුකූලතාවය පහළ වැටීමටද ප්‍රබල හේතුවක් බවට පත්වී ඇතැයි ද එම ලිපියේ සඳහන්ය. මහා භාණ්ඩාගාරය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා වන යෝජනා හා නිර්දේශ වාර්තා කොතෙකුත් ඉදිරිපත් කළද, එකී ආයතනයන් විසින් බදු පරිපාලනය තුළ පවතින මේ ගැටලු සම්බන්ධව ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව තම විශ්වාසය බව ද පසුගිය 2025 වර්ෂයට අදාළව අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ පැවති තත්ත්වයන්ට මේ දක්වා ප්‍රමාණවත් විසඳුම් ලබාදීමට අදාළ වගකිවයුත්තන් මේ දක්වා අපොහොසත් වී ඇති බව ද එම ලිපියේ තවදුරටත් සඳහන් වේ.

2026 අයවැය සකස් කිරීමේ පදනම

රජය විසින් යම් මූල්‍ය වර්ෂයක් තුළ දැරීමට නියමිත වියදම් සඳහා බලය පැවරීම, එම වර්ෂය තුළ රජයේ ණය ගැනීම් සඳහා බලය පැවරීම සහ වර්ෂය තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා යම් විධිවිධාන සැලසීම පිණිස පාර්ලිමේන්තුව විසින් සෑම වසරකම විසර්ජන පනත් කෙටුම්පත සම්මත කරගනු ලබයි. 2026 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේ දී පහත සඳහන් මාර්ගෝපදේශ අනුගමනය කර ඇත.

  1. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් – වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය

2.2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ පහත දැක්වෙන දිශානතීන්

  • අදාළ මූල්‍ය වර්ෂය සඳහා ඇස්තමේන්තුගත නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% නොඉක්මවන පරිදි රජයේ ප්‍රාථමික වියදම පවත්වාගත යුතුය.
  • වාර්ෂික අයවැය සංචිතය, ප්‍රාථමික වියදමේ යෝජිත ඇස්තමේන්තුවෙන් සියයට දෙකක් නොඉක්මවිය යුතුය.
  1. මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද 2025-2030 මධ්‍යකාලීන සාර්ව-මූල්‍ය රාමුව
  • 2026 දී ආර්ථිකය සියයට 4-5 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ
  • 2026 දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.4% ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 20.5% ක මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ.
  • 2026 දී රාජ්‍ය ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.0% ක මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ.
  • 2026 වසර සඳහා අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.1% ක මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ.
  • දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.5% ක ප්‍රාථමික ශේෂයක් (ණය පොලී ගෙවීම් හැර වියදම) ළඟා කර ගැනීම (ණය අඩු කිරීම සහ මූල්‍ය ආරක්ෂණ නැවත ගොඩනැඟීම සඳහා අවශ්‍ය පියවරක්)

2026 – රාජ්‍ය ආදායම සහ වියදම

2026 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත මුළු ආදායම හා ප්‍රදාන රු. බිලියන 5300 කි. මින් බදු ආදායම ලෙස රු. බිලියන 4,910 ක්, බදු නොවන ආදායම රු. බිලියන 4,910 බදු නොවන ආදායම රු. බිලියන 360 ක් සහ ප්‍රදාන රු. බිලියන 30 ක් ද වේ.

බදු ආදායම ප්‍රධාන වශයෙන් වැට් බදු, බාහිර වෙළෙඳාම සඳහා බදු සහ සුරා බදුවලින් සමන්විත වන අතර බදු නොවන ආදායම දෙපාර්තමේන්තු ආදායම්, කුලී, ලාභාංශ සහ ගාස්තුවලින් සමන්විත වේ.

ලබන වසර (2026) සඳහා රජයේ වියදම රු. බිලියන 7057 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ඉන් රු. බිලියන 5688 ක් වර්තන වියදම් වන අතර රාජ්‍ය ආයෝජනය වන රු. බිලියන 1380 කි.

ණය පොලී සහ වට්ටම් ගෙවීම් සඳහා වන රු. බිලියන 2617ක් වන අතර ණය ආපසු ගෙවීමට අදාළ මුදල රු. බිලියන 1878ක් වේ. ප්‍රාථමික වියදම රු. බිලියන 4485ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. මේ ප්‍රාථමික වියදම් යන්නට ණය ආපසු ගෙවීම සහ පොලී ගෙවීම් හැර අනෙකුත් සියලුම රජයේ වියදම් ඇතුළත් වේ. ලබන වසර (2026) සඳහා මේ ඇස්තමේන්තුගත ආදායම සහ වියදම අනුව ජනිත වන ලබන වසරේ 2026 ඇස්තමේන්තුගත මුළු අයවැය හිඟය රු. බිලියන 1757 ක් වේ. මේ වසර (2025) සඳහා සංශෝධිත මුළු අයවැය හිඟය රු. බිලියන 1448 ක් වේ. මේ අනුව ලබන වසරේ අයවැය හිඟය මේ වසරට සාපේක්ෂව රු. බිලියන 309 කින් (එනම් රු. කෝටි 30900 කින් ඉහළ යනු ඇත. මෙම 2026 වසරේ ඇස්තමේන්තුගත මුළු අයවැය හිඟය රු. බිලියන 1757 ක් අගය පියවා ගන්නට සැලසුම් කර ඇත්තේ මුළු විදේශ මූල්‍යනය රු. බිලියන 235 කින් සහ මුළු දේශීය මූල්‍යනය රු. බිලියන 1522 ක් වශයෙනි. මේ ඇස්තමේන්තුගත ආදායම් සහ වියදම් තත්ත්වයන් අනුව ලබන වසරේ (2026) ඇස්තමේන්තුගත මුළු ආදායම හා ප්‍රදාන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15.4 ක් වේ. එසේම ලබන වසරේ (2026) දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ඇස්තමේන්තුගත මුළු වියදම සියයට 20.5 ක් වේ. රාජ්‍ය ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.2 සිට සියයට 4 ක් දක්වා ද වර්ධනය කර ගැනීමට ඉලක්ක කර ඇත. මේ අනුව ලබන වසරේ (2026) ඇස්තමේන්තුගත මුළු අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.5 සිට සියයට 5.1 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම 2026 වසරේ අපේක්ෂිත ආදායම් හිඟය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.4 සිට සියයට 1.2 ක් දක්වා අඩු වනු ඇත.

අයවැය යෝජනා සාරාංශය

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පෞද්ගලික අංශය සහ ආයෝජන මගින් බලගැන්වෙන ආර්ථික වර්ධනයක් ගැනය. පසුගිය කාලය පුරා අප ද සඳහන් කළේ මේ අදහසමය. එහිදී ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම ගැන ද ඔහු කියා ඇත. මේ යටතේ විදේශීය සහ දේශීය ආයෝජන සඳහා වඩාත් ශක්තිමත් රීති මත පදනම් වූ දිරිගැන්වීමේ පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතට සහ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බවත්, මෙම සංශෝධන මගින් සෘජු විදේශ ආයෝජන සඳහා වූ ක්‍රියාවලීන් විධිමත් කිරීම, දිරිගැන්වීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ විදේශීය ආයෝජකයන් අපේක්ෂා කරන අනුකූලතාව ලබා දීම සිදු කරන බව ද සඳහන් කර ඇත. ජනාධිපතිවරයා කියන්නේ මෙම සංශෝධන මගින් සෘජු විදේශ ආයෝජන මෙරටට ගලා ඒම සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇතැයි අප විශ්වාස කරන බවයි. විනිවිදභාවයෙන් යුතු නීතිමය රාමුවක් සපයන “රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව පනත” පිළිඳව පනත් කෙටුම්පත සැප්තැම්බර් මාසයේ මහජන අදහස් විමසීම සඳහා ඉදිරිපත් කර ඇති අතර, 2026 වසරේ මුල් භාගයේ දී එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම හා ආයෝජන ආරක්ෂා කිරීම සඳහා නව

“ආයෝජන ආරක්ෂන පනත” 2026 වසරේ මුල් භාගයේ දී සම්මත කරනු ලබන බවද අයවැය කතාවේ සඳහන් වේ. පහත වැදගත් අයවැය යෝජනා ද අයවැය කතාවේ සඳහන් වේ.

ආයෝජන කලාප ආශ්‍රිත සේවා කලාප

දැනටමත් ක්‍රියාත්මක වන ආයෝජන කලාප ආශ්‍රිත සේවා කලාප ලෙස සහායක කලාප සංවර්ධනය කිරීම තුළින්, ප්‍රධාන ආයෝජන කලාපවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත්, ආර්ථික ප්‍රතිලාභ පළාත් මට්ටමින් පුළුල් කිරීමටත් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අගය දාමයන්ට ඒකාබද්ධ කිරීමටත් හැකියාව තිබෙනවා.

මෙමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම, ශ්‍රම සංචලනය වැඩිදියුණු කිරීම සහ කාර්මීකරණයේ ආර්ථික ප්‍රතිලාභ පළාත් මට්ටමින් ව්‍යාප්ත කිරීම අපේක්ෂා කරනවා. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති අතර එයට අමතරව තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

විදේශීය ආයෝජකයන්ට නේවාසික වීසා ක්‍රමයක්

ප්‍රමුඛතා අංශවල හෝ සුදුසුකම් ලබන ව්‍යාපෘතිවල නිශ්චිත අවම ආයෝජන සීමාවක් සපුරාලන විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමයක් හඳුන්වා දෙනවා.

ආයෝජන ව්‍යාපෘති අනුමැතියට තනි කවුළු යාන්ත්‍රණයක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ ‘තනි කවුළු” (Single Window) යාන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කරනවා. මෙම යාන්ත්‍රණය මගින් ආයෝජන ක්‍රියාවලිය කාර්යක්ෂමව, විනිවිද පෙනෙන ලෙස සහ වේගවත් ලෙස සිදුකළ හැකි වන අතර, ආයෝජකයන්ට ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා අවශ්‍ය විශ්වාසය සහ පහසුව ලබා දෙනවා. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 100 ක් වෙන්කර තිබෙනවා.

ජාතික අපනයන සන්නාම ප්‍රවර්ධන සැලැස්මක්

අපනයන වැඩි කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන්ගේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය ඇතිව දැනටමත් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කරමින් පවතිනවා. එම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු සඳහා අමතරව රුපියල් මිලියන 250 ක් අපනයන සංවර්ධන මණ්ඩලයේ ජාතික අපනයන සන්නාම ප්‍රවර්ධන සැලැස්ම වැඩසටහන යටතේ වෙන් කිරීමට යෝජනා කරනවා.

අපනයන නැඹුරු ව්‍යවසායයන්ට දිරිගැන්වීම්

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා ව්‍යාප්ත කිරීම සඳහා අපනයන නැඹුරු ව්‍යවසායයන්, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ නැඟීඑන සේවා අංශ වෙනුවෙන් වෙළෙඳ ප්‍රදර්ශනවල සහභාගි වීම, නිෂ්පාදන සහතික කිරීම, ඩිජිටල් අලෙවිකරණය සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන්ට අනුවර්තනය වීම වැනි වැඩසටහන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපනයන සංවර්ධන මණ්ඩලයට වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ජාතික තනි වෙළෙඳ කවුළුව පහසුකම වැඩිදියුණු කිරීමට මිලියන 2,500 ක්

එහි දී ජාතික තනි වෙළෙඳ කවුළුව (Trade National Single Window) ඇතුළු පහසුකම් සංවර්ධනය, නීතිරීති යාවත්කාලීන කිරීම, නියාමන ක්‍රියාවලීන් සම්මතගත කිරීම, ගනුදෙනු පිරිවැය අඩු කිරීම සහ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළවල් සමග කාර්යක්ෂමව සම්බන්ධ වීමට හැකියාව ලබාදීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වෙනවා. ඒ සඳහා ජාතික තනි වෙළෙඳ කවුළුව පහසුකම වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 2,500 ක් වෙන් කර තිබෙනවා.

කර්මාන්ත කලාප පිහිටුවීම සහ සංවර්ධනයට මිලියන 1,000 ක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවල සම්බන්ධීකරණය කාර්යක්ෂම කිරීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායය සංවර්ධන අංශයේ කාර්යයන් ඒකාබද්ධ කර කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට පත් කිරීමට යෝජනා කරනවා. කර්මාන්ත කලාප පිහිටුවීම සහ සංවර්ධනය මනා ලෙස කළමනාකරණය කිරීමට 2026 වසර සඳහා දැනට වෙන් කර ඇති රුපියල් මිලියන 4,000 ක අයවැය ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.

2026 දී රු. මිලියන 7,000 ක ණය සුරැකුම්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය ලබා දීමේ දී ඇතිවන අවදානම අවම කිරීම සඳහා ස්ථාපිත කරන ලද ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ඇප රහිතව ව්‍යවසායකයන්ට ණය ලබා දීමට දුන් පොරොන්දුව අප විසින් ඉටු කර තිබෙනවා. ඒ අනුව 2025 වසරේ දී මේ වන විට රුපියල් මිලියන 4,027 ඉක්මවා ඇප රහිතව ණය ලබා දී තිබෙනවා. 2026 වසරේ දී රුපියල් මිලියන 7,000 ක පමණ ණය සඳහා සුරැකුම් ලබා දීමට මේ අනුව අප විසින් සැලසුම් කර තිබෙනවා. මෙම ආයතනය ආරම්භ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය ආධාර ලබා දී තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන පොලීයට ණය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා හා ආයෝජන සඳහා සාර්ථකව පවත්වාගෙන යන ව්‍යාපාරයකට රුපියල් මිලියන 25 ක් දක්වා ද, ආර්ථික අපහසුතාවලට මුහුණ පා ඇති ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 15 ක් දක්වා ද සහන පොලී අනුපාත යටතේ ණය ලබා දීමට රුපියල් මිලියන 25,000 ක් වෙන් කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය සඳහා රුපියල් මිලියන 50 දක්වා ණය ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 5,900 ක් වෙන්කර තිබෙනවා.

කෘෂිකාර්මික ණය ලබාදීමට මිලියන 1,700 ක්

නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හරහා සියයට 5ක පොලී සහනාධාරයක් යටතේ රුපියල් මිලියන 3 දක්වා කෘෂිකාර්මික ණය ලබාදීමට රුපියල් මිලියන 1,700 ක් වෙන් කර තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා අලුත් ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 7,700 ක් වෙන් කර ඇති අතර ඒ තුළින් සහන පොලියට රුපියල් මිලියන 50 දක්වා නව ණය ලබා දෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට මිලියන 50 ක් දක්වා ණය

කෘෂිකර්ම අගය දාමයන් සංවර්ධනය කිරීම සඳහා සහන පොලී වැඩසටහනක් යටතේ රුපියල් මිලියන 50 දක්වා ණය ලබා දීමට රුපියල් මිලියන 6,200 ක් වෙන් කර තිබෙනවා. ඔඩපන ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රුපියල් මිලියන 50 ක් දක්වා සහන පොලී අනුපාතිකයක් යටතේ ණය ලබා ගත හැකියි. මේ සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන් කර තිබෙනවා.

තිරසර ගොවි ණය අරමුදලක්

කෘෂි ව්‍යාපෘතිවලට ප්‍රවේශය ඉහළ නැංවීම අරමුණු කරගත් තිරසර ගොවි ණය අරමුදලක් පිහිටු වීමට රුපියල් මිලියන 800 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නව ආයෝජන දිරිමත් කිරීමක්

නව ආයෝජන පුළුල් කිරීම හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා නව ආයෝජන දිරිමත් කිරීමේ අරමුණෙන් දැනට පවතින වැඩි කළ ප්‍රාග්ධන දීමනා සඳහා සුදුසුකම් ලබන ආයෝජන සීමාව, ඇමෙරිකානු ඩොලර් මිලියන 3 සිට ඇමෙරිකානු ඩොලර් 250,000 දක්වා පහළ දැමීමට යෝජනා කරනවා.

සංචාරක ගමනාන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

සොබාදහම කේන්ද්‍ර කරගත් හා ඓතිහාසික උරුමයන් හුවා දක්වන සංචාරක ගමනාන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මෙම කටයුතුවලට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 3,500 ක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ බස්නාහිර පළාතේ වෙරළ හා මුහුද ආශ්‍රිත හැමිල්ටන් ඇළ, මීගමු කලපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරයන් සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

කෙටිකාලීන සංචාරක වෘත්තීය පුහුණු වැඩසටහනකට මිලියන 500 ක්

ආගන්තුක සත්කාර අංශයේ පවතින භෞතික හා මානව සම්පත් සීමිත බැවින් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට පමණක් මෙම ඉල්ලුම සපුරාලිය නොහැක. මෙම ජාතික මට්ටමේ ශ්‍රම බලකා පරතරය පියවීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් දිවයින පුරා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණු ආයතන හරහා කෙටි කාලීන වෘත්තීය පුහුණු වැඩසටහනක් වන ආගන්තුක සත්කාර බහුකාර්ය වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 500 ක් යොදා ගැනීමට යෝජනා කරනවා.

බේරේ වැව සංවර්ධනයට මිලියන 2500 ක්

බේරේ වැව සංවර්ධනය කොට එය කොළඹ නගර මධ්‍යයේ පවතින ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමටත්, සංචාරක ක්‍රියාකාරම් ඇතුළු සමාජයීය, ආර්ථික සහ පාරිසරික යන සියලු අංගයන්හි ඵලදායී භාවිතය ඉහළ නැංවීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 2,500 ක් යොදා ගැනීමට යෝජනා කරනවා.

අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය කරයි

සීගිරිය, ත්‍රිකුණාමලය අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය හා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කරනු ලබන අතර අතිරේක ප්‍රතිපාදන සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය දායක කර ගනු ලබනවා.

ඩිජිටල් යටිතල පහසුකම් සඳහා මිලියන 3000 ක්

කෘත්‍රීම බුද්ධිය, ක්ලවුඩ් පරිගණක සහ දත්ත මධ්‍යස්ථාන ඇතුළුව ඊළඟ පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කර තිබෙනවා.

2026 තෙවන කාර්තුවේ දී ඩිජිටල් හැඳුනුම්පතක්

2026 වසර මුල දී ශ්‍රී ලංකාවෙහි ඒකීය ඩිජිටල් අනන්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරනවා. 2026 වසරේ 3 වන කාර්තුවේ දී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරනවා.

ඉලෙක්ට්‍රොනික ගෙවීම් සේවා ගාස්තු ඉවතට

මේ අනුව, 2026 වසරේ ජනවාරි මස 1 වන දින සිට, රජයේ ආයතන වෙත ඉලෙක්ට්‍රොනික ගෙවීම් සඳහා වන සියලුම සේවා ගාස්තු ඉවත් කිරීමට අවසර ලබා දෙනවා. තවද, QR කේත ක්‍රමයට අනුව ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා, රුපියල් 5,000 ට අඩු වටිනාකමක් ඇති QR කේත ගෙවීම් කිසිම පිරිවැයකින් තොරව සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය හරහා ලබා දෙන්නට යෝජනා කරනවා.

ඩිජිටල් තාක්ෂණ ව්‍යාප්ති වැඩසටහනට සහනයක්

ඩිජිටල් තාක්ෂණයේ ව්‍යාප්තිය වේගවත් කිරීම සඳහා, සන්නිවේදන කුලුනු වැනි ඩිජිටල් යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා වඩාත් සරල වූ සහ කඩිනම් අනන්‍ය අනුමත කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කරනු ලබනවා. මෙම ඩිජිටල් තාක්ෂණ ව්‍යාප්ති වැඩසටහන යටතේ ඉදිකරන ලද නව කුලුනු සඳහා අදාළ වන බද්ද වසර 5 ක කාලයක් සඳහා අත්හිටුවීමට යෝජනා කරනවා.

ආයෝජන ආකර්ෂණයට අරමුදලක්

ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා, ඇරඹුම් සඳහා වන වටපිටාවෙහි (Star-ups ecosystem) වර්ධනය වේගවත් කිරීම සඳහා අරමුදලක් 2026 වසරේ දී පිහිටුවනවා. එම අරමුදල පිහිටුවීම සඳහා මූලික රාජ්‍ය අනුග්‍රහය ලෙස රුපියල් මිලියන 1,500 ක් (ඩොලර් මිලියන 5 ක්) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ වෙන්කර තිබෙනවා.

පර්යේෂණ වාණිජකරණ ජාතික වැඩපිළිවෙළට මිලියන 1,200 ක්

පර්යේෂණ වාණිජකරණය දක්වා ගෙන ඒමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. එම සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කරනු ලබන, මධ්‍යගත පරිපාලන ආයතනයක් ලෙස ජාතික පර්යේෂණ, සංවර්ධන හා වාණිජකරණ ආයතනය ද, පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ජාතික සභාව ද ස්ථාපනය කෙරෙන අතර ඊට අදාළ පනත 2026 වසරේ දී මෙම සභාවට ඉදිරිපත් කරනවා. පර්යේෂණ වාණිජකරණය දක්වා ගෙන ඒමේ ජාතික වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 1,200 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට මිලියන 6500

මේ රට ප්‍රමිතිගත, අසිරිමත් රටක් බවට පත් කිරීම උදෙසා පක්ෂ පාට භේදයකින් තොරව කාටත් එකඟ විය හැකි වැඩසටහනක් ලෙසයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දුන්නා. එම වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 6500 ක් වෙන් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය පාලනයට මිලියන 1500 ක්

“රටම එකට ජාතික මෙහෙයුම” පිළිබඳ දැක්ම ඉදිරියට ගෙන යාමට පාදක වන සෑම අංශයක්ම ආවරණය වන පරිදි, මත්ද්‍රව්‍ය පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 1500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

විෂ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූ පුද්ගලයින් පුනරුත්ථාපනයට

විෂ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූ පුද්ගලයින් පුනරුත්ථාපන කිරීම සඳහා, පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පොලොන්නරුව, වැලිකන්ද-සේනාපුර ඇතුළු ස්ථාන 10 ක, ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 10 ක් පිහිටුවීමට යෝජනා කරනවා.

බන්ධනාගාර කාර්යයන් කාර්යක්ෂම කිරීමට මිලියන 2000 ක්

බන්ධනාගාර කාර්යයන් කාර්යක්ෂම කිරීම සඳහා ඇති හදිසි අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ආබාධ සහිත ප්‍රජාවට සහන

ආබාධ සහිත ප්‍රජාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස්නැවතුම් පොළ, අධිකරණ, පොලිස් ස්ථාන වැනි පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීමේ සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදන වෙන්කිරීමට යෝජනා කරනවා.

ආබාධ සහිත අයට 50% ක වැටුප් සහනාධාරයක්

ආබාධ සහිත ප්‍රජාව ජාතික ආර්ථිකයට දායක කර ගැනීම මූලික කරගෙන පෞද්ගලික සේවායෝජකයන් දිරිගැන්වීම හා සේවා නියුක්තිය වර්ධනය කිරීමේ අරමුණින් රැකියාවක නියැලිය හැකි මට්ටමක සිටින ආබාධ සහිත තැනැත්තන් පෞද්ගලික අංශයේ රැකියාවක් සඳහා යොදවා ගන්නේ නම්, රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව සේවකයන්ගේ වැටුපෙන් සියයට 50 ක වැටුප් සහනාධාරයක් මාස 24 ක් දක්වා රජය මඟින් ගෙවීමට අප යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

සෑම දරුවකුටම අධ්‍යයන කටයුතුවලට ලිපි ද්‍රව්‍ය

පවුලකට තම දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත්, උපකරණ හා ලිපි ද්‍රව්‍ය සඳහා වන පිරිවැය අඩු කිරීමට සහ සෑම දරුවකුටම තම අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ලැබෙන බව සහතික කිරීම අරමුණු කරගනිමින්, 2025 වසරේ සිසුන් සඳහා ලබා දුන් රුපියල් 6,000 ක ලිපිද්‍රව්‍ය දීමනාව 2026 වසරේ දී ද අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපි කටයුතු කරනවා. මේ සඳහා අස්වැසුම වැඩසටහන තුළින් රුපියල් මිලියන 9,000 ක් වෙන්කර තිබෙනවා.

ආබාධ සහිත දරුවන් අධ්‍යාපනයට දිරිමත් කිරීමක්

ආබාධ සහිත දරුවන් අධ්‍යාපනය සඳහා යොමු වීම ඉතා අඩු මට්ටමක් පවතිනවා. මෙම දරුවන් පාසල් වෙත යොමු කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශය මත එක් දරුවකුට රුපියල් 5,000 ක දීමනාවක් මාසිකව ලබා දීම සඳහා රුපියල් මිලියන 50 ක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කරනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට පහසුකම් දෙන්න මිලියන 2500 ක්

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම නිසා බරපතල ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය නේවාසිකාගාර, ආපනශාලා සහ පොදු ඉගෙනුම් ප්‍රදේශ ආදී පොදු පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 2,500 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍යාධාර දීමනා ඉහළට

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාව අපගේ පළමු අයවැයේදීම රුපියල් 2,500 කින් වැඩි කළා. 2026 වසරේ දී ද ඉහළ යන ජීවන වියදමට සරිලන පරිදි, විශ්වවිද්‍යාල සිසුන් සඳහා මාසික මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා රුපියල් 2,500 කින් වැඩි කිරීමට යෝජනා කරනවා. ඒ අනුව මාසික මහපොළ දීමනාව රුපියල් 10,000 ක් දක්වාත් ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9,000 ක් දක්වාත් ඉහළ නංවනවා. මෙයට සමගාමීව “නිපුණතා සිසු දිරිය දීමනාව” ද රුපියල් 2,500 කින් වැඩි කරනවා.

එසේම උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ආබාධ සහිත ශිෂ්‍යයින් දිරි ගැන්වීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍යයින් සඳහා රුපියල් 5,000/- ක දීමනාවක් මාසිකව ලබා දීමට රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

වෘත්තීය පුහුණු අධ්‍යාපනයට මිලියන 8000 ක්

වෘත්තීය අධ්‍යාපන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 9 ක්, විශිෂ්ටතා මධ්‍යස්ථාන ලෙස වැඩි දියුණු කිරීම හා දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 50 ක් වැඩි දියුණු කිරීම 2026 වසරේ ආරම්භ කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් ඇතුළුව සමස්ත වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රුපියල් මිලියන 8,000 ක් වෙන් කර තිබෙනවා.

මහල් 16 කින් යුතු ජාතික හෘද ඒකකයක්

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය, ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම දියුණු හෘද රෝග සත්කාර මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වුවත් සීමිත ඉඩකඩ සහ සීමිත පහසුකම් හේතුවෙන් වැඩිවන රෝගීන් සංඛ්‍යාවට පහසුකම් සැලසීමට අපොහොසත් වී තිබෙනවා. මේ හේතුවෙන් දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනවල සිටීමට හෝ විශාල මුදලක් වැයකර පෞද්ගලික අංශයෙන් සේවාව ලබා ගැනීමට සිදුවී තිබෙනවා. මෙම ගැටලුවලට පිළියමක් ලෙස රුපියල් මිලියන 12,000 ක පිරිවැයක් දරමින් වැඩි ඉඩ පහසුකම් සහ නවීන උපාංගයන්ගෙන් සමන්විත මහල් 16 කින් යුතු ජාතික හෘද ඒකකය පිහිටුවීමට අවශ්‍ය මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා රු. මිලියන 200 ක් වෙන් කර තිබෙනවා.

අඩු ආදායම්ලාභී තැලසීමියා රෝගීන්ට මාසික දීමනාවක්

අඩු ආදායම්ලාභී තැලසීමියා රෝගීන්ට පළාත් සභා විසින් ගෙවනු ලබන මුදල වෙනුවට වෛද්‍ය නිර්දේශ මත රුපියල් 10,000 ක් බැගින් මාසික දීමනාවක් ලබා දීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ප්‍රජාවිද්‍යා සහ සෞඛ්‍ය සමීක්ෂණයට මිලියන 570 ක්

ප්‍රජාවිද්‍යා සහ සෞඛ්‍ය සමීක්ෂණය පැවැත්වීම සඳහා රුපියල් මිලියන 570 ක් වෙන්කර තිබෙනවා.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට මිලියන 25000 ක්

ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා, ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වෙන් කර ඇති රුපියල් මිලියන 4,250 ක ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 20,750 ක් වෙන් කරමින් මුළු ප්‍රතිපාදන රුපියල් මිලියන 25,000 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වයට සහන

වතු කම්කරුවන්ට ගෙවනු ලබන දෛනික අවම වැටුප වන රුපියල් 1,350 ක මුදල, 2026 ජනවාරි මස සිට රුපියල් 1,550 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. තවද, රුපියල් 1,550 ක වැටුපට අමතරව රජය විසින් පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200 ක් ගෙවීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 5,000 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.

ප්‍රාදේශීය සංවර්ධනයට මුදල්

ග්‍රාමීය ප්‍රජාවන්ට දෛනික ගමනාගමනය, වෙළඳාම සහ සේවා ප්‍රවේශය පුළුල් කිරීම සඳහා, මීට පෙර ආරම්භ කර අතරමග නවතා තිබූ මාර්ග සහ පාලම් ඉදි කිරීම් යළි සක්‍රිය කිරීමටත්, ප්‍රධාන මංසන්ධි පුළුල් කිරීමටත් කටයුතු කරනවා. ඒ අනුව, පිළිවෙළින් ග්‍රාමීය මාර්ග සඳහා රුපියල් මිලියන 24,000 ක් ද ග්‍රාමීය පාලම් සඳහා රුපියල් මිලියන 2,500 ක් ද වෙන් කර තිබෙනවා.

රිදී ආර්ථිකයට මුදල් ආයෝජනයක්

වයස අවුරුදු 60 සහ ඊට වැඩි ජනගහනයේ අනුපාතය තරුණ ජනගහනයට වඩා වේගයෙන් වර්ධනය වෙනවා. ඔවුන් සමාජයේ සක්‍රීය පාර්ශ්වකරුවන් බවට පත්කර ගැනීම වෙනුවෙන් ප්‍රතිපත්තියක් සැකසීම සඳහා රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට වෙන් කිරීමට යෝජනා කරනවා.

කාන්තා අභිවෘද්ධියට මිලියන 200 ක්

කාන්තා ව්‍යවසායකයින් හට නව ව්‍යාපාර ආරම්භ කිරීමට, ස්වයංරැකියා කටයුතු ශක්තිමත් කර ගැනීමට, ආධාර ලබා දීමට කටයුතු කරනවා. මීට අමතරව, කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන් සඳහා අමතර රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

විදේශගත ශ්‍රමිකයින්ට සහන පොලියට නිවාස ණය

විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනවා. එය පොලී ප්‍රතිපූර්ණය ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් භාවිතයෙන් සිදු කිරීමට යෝජනා කරනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. මූලික වැඩකටයුතු කඩිනමින් සිදුකර 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකරනවා. මෙම වැඩසටහන් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියන 2,000 ක් ආරම්භ පියවරේ දී වෙන්කරනු ලබනවා.

ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට සහාය

නවීන තාක්ෂණයට සමගාමීව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන දියුණුවට ගැලපෙන ලෙස ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහාය ලබා දීම වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට හා ජනමාධ්‍යකරණයේ දී අවශ්‍ය වන තාක්ෂණික ප්‍රවේශය සඳහා සහයක් ලබා දීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ක්‍රීඩා සංස්කෘතිය වර්ධනයට පියවර

ළමා පරපුර මෙන්ම තරුණ ප්‍රජාව අතර ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා රුපියල් මිලියන 1,800 ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා තවත් අමතරව රුපියල් මිලියන 800 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

තාක්ෂණය සහිත වී වියලුම් යන්ත

වී සඳහා සහතික මිල තීරණය කිරීමේ දී හොඳින් වියළුණු වී සඳහා ඉහළ මිලක් ලබා දෙන බැවින් නවීන තාක්ෂණය සහිත වී වියලුම් යන්ත්‍ර අදාළ ගොවි සමාගම් හෝ සමුපකාර සමිති වෙත ලබාදීමට අපේක්ෂා කෙරෙනවා. යෝජිත මෙම ව්‍යාපෘතිය “නිෂ්පාදන සමුපකාර සමිති ගොඩනැඟීම සහ තරුණ ව්‍යාවසායකයින් නිර්මාණය” වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට අමතරව, මෙම ව්‍යාපෘතිය සඳහා තවදුරටත් රුපියල් මිලියන 500 ක් ලබා දීමට යෝජනා කරනවා.

ආහාර භෝග ගබඩාකරණ පහසුකම් වැඩිදියුණු කරයි

ලොකු ලූනු, අර්තාපල් සහ බඩ ඉරිඟු ඇතුළු ආහාර භෝග නිෂ්පාදනවල මිල උච්චාවචනය අවම කර ගැනීම සඳහා සතොස මඟින් සපයන සේවාවට අදාළ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට හා ගබඩාකරණයේ පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1,000 ක් ලබාදීමට යෝජනා කරනවා.

මිල්කෝ දූෂණ පිළිබඳව පරීක්ෂණයක්

මිල්කො (ප්‍රයිවට්) ලිමිටඩ් හි බඩල්ගම නව කිරි කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම ඉතා වැදගත්. මෙහි වැඩකටයුතු කඩිනමින් අවසන් කර, දැනට නාරාහේන්පිට ඇති කිරි කර්මාන්තශාලාව මෙම ස්ථානයට ගෙන යෑමට යෝජනා කරනවා. මෙහි සංවර්ධනයට මුදල් වෙන් කරන අතරම මේ තුළින් සිදු වී ඇති මහජන මුදල් දූෂණය හා නාස්තිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

උතුරු පොල් ත්‍රිකෝණය තවත් ව්‍යාප්ත කරයි

වර්තමාන වාර්ෂික පොල් නිෂ්පාදනය ගෘහස්ථ පරිභෝජනය සපුරාලීමට ප්‍රමාණවත් වුව ද, කර්මාන්ත ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවේ. එමනිසා, පොල් නිෂ්පාදනය වැඩි කිරීමේ දිගුකාලීන උපාය මාර්ගයක් ලෙස පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත දැනටමත් ස්ථාපිත උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් මිලියන 600 ක් වෙන් කර තිබෙනවා.

දැනටමත් පොල් වගා කර ඇති ඇස්තමේන්තුගත ඉඩම් අක්කර 447,000 ක් පමණ වන අක්කර 5 ට වඩා අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීම සඳහා පොල් වගාකරුවන් පෙළඹවීමට විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2,500 ක් වෙන්කිරීමට යෝජනා කරනවා.

ධීවර වරායන්වල යටිතල පහසුකම් වැඩිදියුණු කරයි

බේරුවල, අම්බලන්ගොඩ, කුඩාවැල්ල, නිල්වැල්ල, ඇතුළු තෝරාගත් ධීවර වරායන්වල පවතින යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය, පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කර තිබෙනවා. තවද, ධීවර වරායන්හි අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දැනට ලබාදී ඇති ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000 ක් ලබාදීමට යෝජනා කරනවා. ධීවරයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ධීවරයින් වෙත ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ඇළ වේලි ප්‍රතිසංස්කරණයට මුදල්

සේනානායක සමුද්‍රයේ සොරොව්ව ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම ඇතුළුව, ගල්ඔය,රාජාංගනය, හුරුළුවැව, මින්නේරිය වැව ඇතුළු අනෙකුත් ඇළ වේලි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 6,500 ක් වෙන්කර තිබෙනවා. කුඩා වැව්, ඇළ මාර්ග සහ එල්ලංගා පද්ධති වැඩිදියුණු කිරීම හා පුනරුත්ථාපනය වෙනුවෙන් රුපියල් මිලියන 8,350 ක ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඒ යටතේ වැව් 650 ක් සහ ඇළ මාර්ග කිලෝමීටර් 350 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කරනවා.

පානීය ජල සැපයුම ඉහළ නැංවීමට පියවර

කොළඹ දිස්ත්‍රික්කයේ, නාගරික පානීය ජල ඉල්ලුම සපුරාලීමට අඹතලේ නව ජල සැපයුම් පද්ධතියක් ඉදිකිරීමටත්, කොලොන්නාව සහ නුගේගොඩ-ජුබිලි කණුව යන ප්‍රදේශ ආවරණය කෙරෙන නළ ජල පද්ධතිය යාවත්කාලීන කර නව ජල සැපයුම් ලබාදීමටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල හිඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම හා නිෂ්පාදන ආර්ථිකය ඉලක්ක කොටගත් කර්මාන්ත වැඩිදියුණු කිරීම සඳහා දායක වන නව ජල ව්‍යාපෘතියක් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඉදිකිරීමටත්, රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ප්‍රතිපාදන

පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම පිණිස දුර ගමන් සේවා සඳහා බස් රථ 600 ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් ධාවනයට එක්කිරීමට නියමිතයි. එහි මූලික කටයුතුවලට රුපියල් මිලියන 3,600 ක් වෙන් කර තිබෙනවා. එසේම ශ්‍රී ලංගම බස් රථ 307ක ගෙවී ගිය එන්ජින් කට්ටල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 2,062 ක් ලබන වසර සඳහා වෙන් කර තිබෙනවා.

දුම්රිය සේවාව තවදුරටත් කාර්යක්ෂම හා මගී හිතැති සේවාවක් බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත නව ඩීසල් බලවේග කට්ටල 5 ක් ලබා ගැනීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 3,300 ක් වෙන් කර තිබෙනවා.

මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර

රටේ ඇතිවූ ආර්ථික අර්බුදය සමග මාර්ග සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් අතරමග නතර කරනු ලැබුවා. ඒ හේතුවෙන් විවිධ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවුණා. එම ව්‍යාපෘතිවල ඇති ගැටලු මග හරවා ගනිමින් නැවත මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට අප පියවර ගත්තා. සමස්ත මාර්ග සංවර්ධනයට 2026 වසර සඳහා රුපියල් මිලියන 342,000 ක් වෙන් කර තිබෙනවා.

පුළුල් මාර්ග ආරක්ෂණ වැඩසටහනක්

මාර්ග සඳහා ආරක්ෂිත ක්‍රමෝපායයන් ඇතුළත් කිරීම, අනාරක්ෂිත මාර්ග කොටස් වැඩිදියුණු කිරීම ඇතුළු මාර්ග ආරක්ෂාවට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් පුළුල් මාර්ග ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

සෑම පුද්ගලයෙකුටම ආරක්ෂිත නිවසක්

අපේ රටේ පුරවැසි ජීවිතවලට සැනසිල්ලක් රැගෙන එන බලාපොරොත්තුව ඇතිව අපි, නිවසක සිහිනය සැබෑ කිරීමේ කටයුත්ත ආරම්භ කරනවා. නිවාස ගැටලුවලට මුහුණ පා සිටින සියලු කණ්ඩායම් ආවරණය කරමින්, අලුත්ම ප්‍රවේශයකට අනුව නිවාස සංවර්ධන වැඩසටහනක්, 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. එම වැඩසටහන යටතේ, දැනට ඉදිවෙමින් පවතින නිවාස ඇතුළුව නව නිවාස 27,000 ක වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරනවා.

අඩු ආදායම්ලාභී නිවාස ගැටලුවලට පිළියමක්

අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුවලට පිළියමක් ලෙස ලබන වසරේ සිට “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස වැඩසටහන අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ඒ යටතේ නිවාස 70,000 ක් මධ්‍යකාලීනව ඉදි කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා, 2026 වසරේ නිවාස 10,000 ක් ඉදිකිරීම වෙනුවෙන් දැනට වෙන්වී ඇති රුපියල් මිලියන 7,200 ට අමතරව තවත් මිලියන 3,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

කොළඹ සහ තදාසන්න නගරවල ‘නාගරික වතු’ ලෙස හෝ අඩු පහසුකම් සහිත නාගරික ජනාවාස ලෙස හඳුනාගත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඇපල්වත්ත, මාදම්පිටිය, ෆර්ගසන් මාවත, ඔබේසේකරපුර, ස්ටේඩියම්ගම, කොළඹගේ මාවත සහ ටොරින්ටන් පෙදෙස නිවාස ඉදිකිරීම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන්කර තිබෙනවා.

මාධ්‍යවේදීන් හා කලාකරුවන්ට නිවාස

චීන රජයේ ආධාර යටතේ මොරටුව, පෑලියගොඩ, දෙමටගොඩ, මහරගම සහ කොට්ටාව යන ස්ථානවල නිවාස 1996 ක් පමණ ඉදිවෙමින් පවතින අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 6,500 ක් දැනටමත් වෙන් කර තිබෙනවා. එම නිවාස අතුරින් මාධ්‍යවේදීන් හා කලාකරුවන් සඳහා ද නිවාස ලබා දීමට කටයුතු කරනවා.

රජයේ ආයතන 13 ක් ඈවර කරයි

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ ලබා දී ඇති නිර්දේශ පදනම් කර ගනිමින් ආයතන 21 ක් එකම කාර්යයන් ඒකාබද්ධ වන ආකාරයෙන් ප්‍රතිසංවිධානය කිරීමටත්, පර්යේෂණ ක්ෂේත්‍රයේ ඇති ආයතන 14 ක් ඒකාබද්ධ කර ජාතික මට්ටමේ එක් ආයතනයක් පිහිටුවීමටත්, දැනට වාණිජ ආකෘතියක කටයුතු නොකරන ආයතන 9 ක් මූල්‍ය ස්වාධීනත්වයෙන් යුත් ආයතන ලෙස පරිවර්තනය කිරීමටත්, ආයතන 13 ක් ඒවා එවකට පිහිටුවීමේ අරමුණු වර්තමානයට අවශ්‍ය නොවීම මත ඈවර කිරීමටත් කටයුතු කරනු ලැබේ.

රාජ්‍ය වැටුප් වැඩිවීමේ දෙවන අදියරට බිලියන 110 ක්

2025 සිදුකරන ලද වැටුප් සංශෝධනවලට අනුව එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක ප්‍රතිපාදනයක් වෙන් කර තිබෙනවා. ඒ අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ වැටුප සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරනවා.

විශ්‍රාම වැටුප් සංශෝධනයක්

විශ්‍රාම වැටුප් සංශෝධන දෙවන අදියරේ දී 2020 ට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් 2019 වසරේ වැටුප් ව්‍යුහය මත පදනම්ව සංශෝධනය කරනු ලබනවා. මෙම සංශෝධිත වැටුප 2026 ජූලි මස සිට ගෙවීම සඳහා රුපියල් මිලියන 20,000 ක් මුදලක් වෙන් කර තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ට සහන පොලී ණය

රජයේ සේවකයින්ට ලබා දුන් දේපළ ණය යෝජනා ක්‍රමය, නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ 50 දක්වා ණය ලබා ගැනීමට හැකිවන පරිදි සක්‍රීය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී මුල් රුපියල් ලක්ෂ 30 දක්වා සියයට 4 ක පොලී සහනයක් ද, රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා සියයට 2 පොලී සහනයක් ද ලබා දීම සඳහා රුපියල් මිලියන 500 ක් ලබාදීමට යෝජනා කරනවා.

බදු පදනම පුළුල් කිරීමට පියවර

බදු පදනම පුළුල් කිරීම සඳහා එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව 2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට අපි යෝජනා කරනවා.

වාහන මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පනවයි

වාහන ආනයනික අවස්ථාවේ දී හෝ නිෂ්පාදනය කර විකිණීමේ දී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කර, පසු අලෙවිකරණ අවස්ථාවලදී මෙම බද්ද නිදහස් කිරීමට යෝජනා කරනවා. මෙය 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

ජාතික තීරු බදු ප්‍රතිපත්තිය 2026 අප්‍රේල් සිට

දැනට ක්‍රියාත්මක වන 0%, 15%, 20% වන තීරු බදු අනුපාත, 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි තීරු බදු අනුපාත 0%, 10%, 20%, 30% ලෙස ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අප යෝජනා කරනවා

සියලු බදු පනත්වලට නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙයි

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීමට එරෙහි රජයේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා බදු සම්බන්ධ වැරදි අර්ථ නිරූපණය කිරීම, නීතිපතිවරයා විසින් නඩු පැවරීම, දඩ සහ දඬුවම් නියම කිරීම, ඇතුළු බලාත්මක කිරීම් සිදු කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සියලු බදු පනත්වලට හඳුන්වා දීමට යෝජනා කරනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක් කාර්යාල පරිශ්‍රයකට

දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය සහ ඒ ආශ්‍රිත කාර්යාල එක් කාර්යාල පරිශ්‍රයක පවත්වාගෙන යෑමෙන්, බදු ගෙවන්නන්ට වඩාත් සරල, විශ්වාසදායක සහ කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි වන අතර, බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ද තිරසාරව ශක්තිමත් කළ හැකිය. බදු ගෙවන්නන් මෙම ආයතනයේ ප්‍රධාන සේවාලාභීන් වන බැවින්, ඔවුන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය භෞතික පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, යෝජනා වී ඇති ස්ථාන අතරින් වඩාත් සුදුසු ස්ථානයක් තෝරාගෙන, ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර, නව කාර්යාල සංකීර්ණයක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here