අඩු ආදායම්ලාභීන් 2026 නැවත සමාලෝචනය කරනවා
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සහන පොලියට නිවාස ණය
අධිකරණ කාර්ය මණ්ඩලයට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙනවා
වත්කම් ප්‍රකාශ කරන්න ඩිජිටල් පද්ධතියක්
ආර්ථිකය වේගවත් පිම්මක් අප බලාපොරොත්තු වෙනවා
උද්ධමනය 5% අඩු අගයක තබා ගන්නවා
ආර්ථිකය මේ වන විට ස්ථාවර කර අවසන් බැවින් රටේ ආර්ථිකය අස්ථාවර වේ යැයි කිසිවෙකුත් බිය විය යුතු නැති අතර 2028 වසර වනවිට විදේශ ණය ගෙවීමේ හැකියාව ද තම ආණ්ඩුවට පවතින බවත් එවිටද පවතින්නේ තම රජය යැයි ජනාධිපති අනුර කුමාර දිසානායකත මහතා 2026 වසර සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ඊයේ (07දා) සඳහන් කළේය.
සිය දෙවැනි අයවැය යෝජනාවළිය ඉදිරිපත් කරමින් ජනාධිපති කළ සමස්ත අයවැය යෝජනාවලිය මෙසේය.
අපගේ දෙවන ජාතික අයවැය මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කිරීමට ලැබීම ඉමහත් සතුටක්.
ශ්‍රී ලාංකික ජනතාව අපට ලබාදුන් ඓතිහාසික ජනවරමින් පසු, ගත වූ වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත, ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා අප පැහැදිලි දැක්මකින් යුතුව තීරණාත්මක පියවර රාශියක් ගත්තා. මෙතෙක් පැවති ඥාති සංග්‍රහය, ඒ හා බැඳුනු දූෂිත දේශපාලන සංස්කෘතියේ පැහැදිළි වෙනසක් වෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළා. ඒ විශ්වාසය රැක ගැනීමට අප ගෙන ඇති පරිවර්තනීය පියවර ගැන අද අපට ආඩම්බර වීමට පුළුවන්. ආර්ථිකය හා දේශපාලන ව්‍යුහය නව්‍යකරණය කිරීමටත්, මහජන කේන්ද්‍රීය ආණ්ඩුකරණයක් බිහි කිරීමටත්, නීතියේ හා විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමටත්, පාලනය ශක්තිමත් කිරීමටත්, අප ආර්ථිකයේ අත්පත් කර ගන්නා ජයග්‍රහණ රටේ පතුළේම වෙසෙන ජනතාව කරා ගෙන යෑමටත් අප අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කොට තිබෙනවා.
අප මෙම අභියෝගය භාරගන්නා මොහොතේ දී, රටේ ආර්ථික පදනම දෙදරා ගොස් තිබුණා. දශක ගණනාවක් පුරා පැවති සාර්ව ආර්ථික අස්ථාවරභාවය හා රාජ්‍ය මූල්‍ය අසමතුලිතතා, ව්‍යුහාත්මක අකාර්යක්ෂමතා සහ පාලනයේ දුර්වලතා හේතුවෙන් සමස්ත ආර්ථිකයම දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා තිබුණා. එයින් අපගේ ජනතාව දැඩි පීඩනයකට ලක්වුණා. මෙම අර්බුදයට කිසිසේත්ම වගකිව යුතු නැති ජනතාවගේ බලාපොරොත්තු සුනුවිසුණු වී තිබුණා. ඒ නිසාම, අප ජනවරම ලැබූ මොහොතේ සිටම, සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමටත්, රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කිරීමටත්, රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමටත්, දූෂණයට තිත තබමින් විනිවිදභාවය ඉහළ නැංවීමටත්, ජනතාව කෙරෙහි වගවීම තහවුරු කිරීමටත්, ඉතා පුළුල් වූ ප්‍රතිසංස්කරණමය වෙනස්කම් ආරම්භ කළා. මෙකී ප්‍රතිසංස්කරණයන් හේතුවෙන් වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත, රාජ්‍ය මූල්‍ය, සාර්ව ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට හැකි වූ බව, අද මෙම ගරු සභාවට මම ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමැතියි.
ආර්ථිකයේ සියලුම අංශවල ශක්තිමත් වර්ධනය හේතුවෙන්, 2025 වසරේ පළමු භාගය තුළ දී, ආර්ථිකය සියයට 4.8 කින් වර්ධනය වුණා. එය බහුපාර්ශ්වික සංවිධානවල පුරෝකථයන් ද අභිබවා යෑමක්. උද්ධමනය මේ වනවිට නැවත ධන අගයකට පැමිණ තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය අඩුවීමෙන් මූල්‍ය අංශය ස්ථාවර වී තිබෙනවා. විනිමය අනුපාතිකය ද ස්ථාවර වී තිබෙනවා. ගෝලීය කම්පනයන් මධ්‍යයේ පවා ආනයන අපනයන ඇතුළත් විදේශ අංශය ශක්තිමත් වුණා. අපනයන, සංචාරක සහ විදේශ ප්‍රේෂණ ගලා ඒම ඉහළ යෑම හේතුවෙන්, දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ඉක්මවා ගියා. 2006 වසරේ සිට ආසන්න වශයෙන් දශක දෙකකට පසු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 16 ක මට්ටමට ළඟා වීමට මේ වසරේ දී හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. එමෙන්ම මේ වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 2.3 ක වූ ඉලක්කගත අගය කැපී පෙනෙන ලෙස ඉක්මවා යන, ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මෙම තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමග ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත්, ආයෝජකයන්ගේ විශ්වාසය පෙර නොවූ විරූ ලෙස ගොඩනැංවීමටත් අපට හැකිව තිබෙනවා.
ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ආරම්භක මූලික ක්‍රමෝපාය වූයේ රාජ්‍ය මූල්‍ය විනයත් සමගම විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීමයි. දේශීයව ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම, ආදායම් පරිපාලනය ඩිජිටල්කරණය කිරීම, රාජ්‍ය වියදම් තාර්කීකරණය කිරීම තුළින් ඉහළ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වුණා. මෙම ප්‍රාථමික අතිරික්තයේ අඛණ්ඩ ඉහළ යෑම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2022 වසරේ පැවති සියයට 114.2 ක අගයේ සිට 2026 වසර වන විට සියයට 96.8 දක්වා කැපී පෙනෙන ලෙස අඩු වීමට දායක වෙනවා. තවද, 2030 වසර වන විට එම අගය සියයට 87.0 ක පමණ මට්ටමකට ළඟා කර ගැනීමට අපේක්ෂා කරනවා. එම ප්‍රතිඵල හේතුවෙන් අපගේ ප්‍රමුඛතම අපේක්ෂාව වන ණය අර්බුදයෙන් මිදීම සඳහා වූ මාර්ගය විවෘතව තිබෙනවා.
2020 වසරේ දී ආර්ථිකයේ තිබුණු අර්බුදකාරී තත්ත්වය ක්‍රමිකව පුපුරා යන තත්ත්වයකට පත්වුණා. මෙය ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර කරා ඩොමිනෝ ආකාරයෙන් පැතිර ගියා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 2022 වසරේ අප්‍රේල් වන විට අප බංකොළොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්වීමයි. මෙම ආර්ථික බංකොළොත්භාවය විසින් අප රටට අහිමි දශකයක් නිර්මාණය කළා. එනම්, අර්බුදයට පෙර පැවැති ආර්ථික තත්ත්වය ළඟාකර ගැනීම සඳහා අවුරුදු 10 ක් ගතවන බවයි. ඒ අනුව බොහෝ අය ප්‍රකාශයට පත් කළේ එම 2019 වසරේ ආර්ථික තත්ත්වය 2029 වසරේ දී ළඟාකර ගන්නා බවයි. එහෙත් 2025 වසර අවසන් වන විට අර්බුදයට පෙර පැවැති ආර්ථික තත්ත්වය ළඟා කර ගැනීමට අපට හැකි වෙනවා.
අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය බොහෝ දුරට අවසන් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තිරසාර මූල්‍ය මාවතකට යොමු කර ඇති අතර දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. මෙම අත්පත් කරගත් ප්‍රගතිය හේතුවෙන්, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන වන FitchRatings,Moodyzs සහ S&P විසින් රටේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම් පිළිවෙලින් CCC+” Caa1 සහ CCC+ දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙම නව ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ විශ්වාසය තවදුරටත් පිළිබිඹු කෙරෙන කැඩපතක් වෙනවා.
අපගේ ජාතික අවශ්‍යතා මුදුන්පත් කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහභාගිත්වය ඇතිව අපට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරමින් සිටිනවා. එම වැඩසටහනෙහි ඉලක්ක හා ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරාලමින්, අනුක්රමිකව සිදුකරන සමාලෝචන සම්පූර්ණ කිරීමට හා එහි ආර්ථික ප්රතිලාභ ලබා ගැනීමට අප සමත්ව තිබෙනවා. සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සහ දිගුකාලීනව ඔරොත්තු දීමේ හැකියාව සඳහා අත්‍යවශ්‍ය වන රාජ්‍ය මූල්‍ය හා විදේශීය ස්වාරක්ෂක නැවත ගොඩනැඟීමේ දී රජය සහ ජාත්‍යන්තර සංවිධානවල ඇති සහයෝගීතාවය විසින් ඉහළ ප්‍රගතියක් අත්කර දී තිබෙනවා.
එමෙන්ම, සමාජ ආරක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනය අපගේ ප්‍රතිපත්ති ප්රවේශයේ මූලික අරමුණක්. ඒ සඳහා, අස්වැසුම වැඩසටහන යාවත්කාලීන කර පුළුල් කිරීම මගින්, සැබවින්ම සුදුසුකම් සහිත අඩු ආදායම්ලාභී පවුල්වලට ආධාර ලබාදීම අපේක්ෂා කරනවා. තවදුරටත් අඩු ආදායම්ලාභීන්ට එම ආධාර ලබාදීම සහතික කිරීම වෙනුවෙන්, එම ප්‍රතිලාභීන් 2026 වසරේ දී සමාලෝචනයට ලක් කරනවා. ඒ වගේම වැඩිහිටියන් සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනා වැඩි කළා. විශ්වවිද්‍යාල සිසුන්ට සහාය දීම සඳහා මහපොළ ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර දීමනා ද ඉහළ නංවනු ලැබුවා. අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල පාසල් සිසුන්ට පොත්පත් සහ පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දුන්නා. මෙම කාර්යයන්ගේ අරමුණ වන්නේ ආර්ථික වර්ධනයේ ප්රතිලාභ සැබෑ අවශ්‍යතාවයක් සහිත ජනතාවට ලබාදීමයි.
වඩා ගුණාත්මක සහ කාර්යක්ෂම සේවා සැපයීමක් සඳහා රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීමට අවශ්‍යයි. ඒ සඳහා අපගේ කැපවීම, අපගේ පළමු අයවැයෙන්ම පෙන්නුම් කළා. ඒ සඳහා මේ වන විටත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප අදියර 3 කින් වැඩි කර තිබෙනවා. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අංශය ඩිජිටල්කරණයට උපායමාර්ග සකස් කරමින් තිබෙනවා. රාජ්‍ය අංශය ප්‍රතිසංවිධානයට කටයුතු කරනවා. මෙහි අරමුණ ජනතාවට සැබවින්ම සේවය කළ හැකි කාර්යක්ෂම සහ ආකර්ෂණීය රාජ්‍ය සේවාවක් ගොඩනැඟීමයි.
පාලන ප්‍රතිසංස්කරණ හා දූෂණ විරෝධී ක්‍රියාකාරකම් වේගවත් කර, විනිවිදභාවය, වගවීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීමට අප සමත්ව තිබෙනවා. පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්වයන්, රාජ්‍ය ව්‍යවසායයන්, රාජ්‍ය වත්කම් කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රසම්පාදනය පිළිබඳ නව නීති සම්පාදනය කිරීම මගින්, යල්පැන ගිය නීති රීති ක්‍රමවේද, නව නීති පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ සඳහා අවශ්‍ය වන නව පනත් කෙටුම්පත් මේ වන විට අවසන් අදියරේ පවතිනවා. රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ අපගේ ඩිජිටල් ප්‍රවේශය ද මේ වන විට බොහෝ ක්ෂේත්රවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය ශක්තිමත් කිරීමත්, විද්‍යුත්-ප්‍රසම්පාදන පද්ධතිය නිර්මාණය කිරීමත් මගින් කාර්යක්ෂම හා වංචා හා දූෂණ අයුතු ක්‍රියාවන් සඳහා අවකාශයන් තවදුරටත් අහෝසි කරනවා.
‘දූෂණය කියන්නේ දුප්පතුන් මත පටවන ලද බද්දක්, ඒ වගේම එය අපගේ සංවර්ධනය වෙළා ගත් විලංගුවක්’. අපගේ ප්‍රතිසංස්කරණ හුදෙක් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පමණක්ම නොවේ; ඒවා සමාජ යුක්තිය ඉටුකිරීම සඳහා ද වැදගත් මෙවලම් වෙනවා. විවිධ අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබෙන කරුණු අනුව, දූෂණය අවම කිරීම මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකියි. එම නිසා වත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය වැඩිදියුණු කර තිබෙනවා. තවද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අයවැය සහ කාර්ය මණ්ඩල ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙනවා. 2026 වසරේ මාර්තු මාසය වන විට ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නවා, ඒ වගේම 2026 වසරේ දී අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වාදීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද අපේක්ෂා කරනවා. ඊට අමතරව, දේශපාලකයන්ට සහ ඉහළ පෙළේ නිලධාරීන්ට මෙතෙක් තිබූ අනවශ්‍ය වරප්‍රසාද කපා හැරීමට කටයුතු කළා. ඒ අනුව අපි සාධාරණත්වය සහ සමානාත්මතාව මත පදනම් වූ නව සමාජයක් ගොඩනැඟීම අරමුණු කරමින් වැඩ කරනවා.
දූෂණය වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මගින් ආයෝජකයන්ට හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් සිටිනවා. අපගේ රජය පෞද්ගලික අංශයට සතුරු විය හැකි බවටත්, ආයෝජන අධෛර්යමත් කරනු ඇති බවටත්, දේපල පවරා ගනු ඇති බවටත් විවිධ පාර්ශ්වයන් විසින් ද්වේෂ සහගත ප්‍රචාරයන් ව්‍යාප්ත කළා. මේවා පදනම් විරහිත ප්‍රකාශයන් බව දැන් ඔප්පු වී තිබෙනවා. ආයෝජන ආරක්ෂණය සහතික කිරීමට සහ ව්‍යාපාර කිරීමේ පහසුව සහතික කිරීමට අවශ්‍ය නව නීති සම්පාදනය කරමින් නියාමන රාමු ශක්තිමත් කරමින් සිටිනවා. අවිධිමත් ක්‍රම ඔස්සේ සිය ගජමිතුරන්ට බදු නිදහස් කිරීම් සහ බදු සහන ලබාදීමේ සංස්කෘතිය අප අවසන් කර දැමුවා. විනිවිදභාවයෙන් යුතු, රීති මත පදනම් වූ නිර්ණායක අනුව බදු සහන ලබාදීම සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සහ වරාය නගර පනත යන පනත් දෙකම සංශෝධනය කරනවා. බදු නිදහස් කිරීමේ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා, ලබාදුන් බදු නිදහස් කිරීම් පිළිබඳ ප්‍රකාශයක් වසරකට දෙවරක් මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනවා. එමෙන්ම සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය -SVAT- අවලංගු කර, බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව සහ කාර්යක්ෂම, කරමින් පවතින අතර එය බදු පරිපාලනය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වෙනවා.
රාජ්‍ය ව්‍යවසායයන් කාර්යක්ෂම කිරීමටත් අප පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය ව්‍යවසායයන් සඳහා නව “රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක්” හඳුන්වා දීමට නියමිත අතර එම පනත 2026 වසරේ මුල් භාගයේ දී මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමගින්, රාජ්‍ය ව්‍යාපාරවල අරමුණු පැහැදිලිව හඳුනාගැනීම, වාර්ෂිකව විගණනය කරන ලද ගිණුම් ප්රකාශනය කිරීම සහ උචිත ණය ගැනීම් සඳහා පමණක් සීමා කිරීම සිදු වනවා. තවද, අපගේ රාජ්‍ය වත්කම් අධීක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ නියාමන රාමුව ශක්තිමත් කරනවා. රාජ්‍ය වත්කම් අධීක්ෂණය හා කළමනාකරණයේ දී තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වන නිලධාරීන් සඳහා දඩ මුදල් පැනවීම පහසු කිරීම පිණිස “ජාතික විගණන පනත” දැනටමත් සංශෝධනය කරනු ලැබුවා. රාජ්‍ය ඉඩම් කළමනාකරණය සහ භාවිතය සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායක් පත් කරනවා. රාජ්‍ය වත්කම්වල විනිවිදභාවය, කළමනාකරණය සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සඳහා 2026 වසරේ දී “රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ පනත” සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා. පිරිවැය නිරූපිත බලශක්ති මිලකරණය දිගටම පවත්වාගෙන යන අතර අවශ්‍ය ක්ෂේත්‍ර සඳහා සහන දීමට කටයුතු කරනවා. දූෂණයට අනුබල දෙන ආයතන ජාල අක්‍රීය කිරීම සඳහා, 2026 වසරේ ජනවාරි මස වන විට ක්‍රියාකාරී ප්රතිලාභ හිමිකාරීත්ව ලේඛනයක් හඳුන්වා දීම මගින් මුදල් විශුද්ධිකරණයට එරෙහි රාමුව ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා. තවද, මේ වන විටත් “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත” සම්මත කර තිබෙනවා. එය බලාත්මක කිරීම සඳහා වෙනම පොලිස් කොට්ඨාශයක්, නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් දැනටමත් පිහිටුවා තිබෙනවා.
අපගේ මෙම දැක්මට සමාන්තරව, ආරක්ෂිත, සුරක්ෂිත සහ සාධාරණ සමාජයක් ගොඩනැඟීම අපගේ අරමුණයි. දිගු කලක් තිස්සේ, මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට ගොදුරු වූ අපගේ දරුවන් ඉන් මුදාගත යුතුයි. ඒ වෙනුවෙන්, විෂ මත්ද්‍රව්‍ය සැපැයුම් දාමය බිඳ වැට්ටවීම, ඉල්ලුම් ජාලය දුර්වල කිරීම, අධ්‍යාපන හා පුනරුප්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රැකියා අවස්ථා ලබාදීම ඇතුළත් බහුවිධ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කොට තිබෙනවා.
අපගේ සංවර්ධනය සඳහා සහාය දුන් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ට මෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව දක්වන ලද දායකත්වය සම්බන්ධයෙන් අප ස්තුතිවන්ත වෙනවා. මෙම හවුල්කාරීත්වයන් ස්ථාවර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැඟීම සඳහා පිටිවහලක් වූ අතර, මෙම බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට අපි උනන්දු වෙනවා.
අපගේ මෙම දෙවන අයවැය මගින්, පළමු අයවැයෙන් අප දැමූ අඩිතාලම තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථිකයේ වේගවත් පිම්මක් ලබාගැනීමට අපේක්ෂා කරනවා. පොහොසත් රටක් හා ලස්සන ජීවිතයක් කරා අප යන ගමනේ දී අභියෝග ජයගනිමින්, ඉදිරියටම යෑමට සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය හා සහයෝගය අපේක්ෂා කරනවා.

- 2026 අයවැයෙහි උපායමාර්ගික අරමුණු
2.1 තිරසර සහ සැමට ප්රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයක්
අපගේ ප්‍රධාන උපාය මාර්ගික අරමුණ වන්නේ වසර කිහිපයකින් සියයට 7 ඉක්මවා යන වර්ධනයක් ළඟා කර ගනිමින් එහි ප්රතිලාභ රටේ සෑම ප්‍රදේශ, ප්‍රජාවන් සහ සමාජ කණ්ඩායම් අතර සාධාරණව බෙදී යන බව සහතික කිරීමයි. ඒ සඳහා ජනසහභාගිත්ව ආර්ථිකය, ඵලදායිතාවය ඉහළ නැංවීම, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම, පෞද්ගලික අංශය සහභාගි කරගත් ආයෝජන හා වර්ධනය අපගේ ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන බලවේග වනු ඇත. විනිවිදභාවයෙන් යුතු, රීති මත පදනම් වූ ක්‍රමවේද මගින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරනු ඇත. එමෙන්ම අපනයන සහ අගය එකතු කළ කර්මාන්ත ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාව ගෝලීය අගය දාම සමග ඒකාබද්ධ කිරීම ද අවශ්‍යයි. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් සහ රාජ්‍ය ව්‍යවසායයන් නවීකරණය කිරීම මෙම ප්රයත්නයන්ට වැඩිදුරටත් ශක්තියක් ගෙන එනවා. ඒ වගේම උපායමාර්ගික යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව, විනිවිදභාවයෙන් සහ වගවීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.
2.2 අපනයන විවිධාංගීකරණය මගින් ඉහළ ආදායමක්
ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025-2029) මගින් අපනයන විවිධාංගීකරණය කිරීම, අපනයන තරගකාරීත්වය වැඩිදියුණු කිරීම සහ ගෝලීය අගය දාමයන් සමග සම්බන්ධ වීමට සහ නව අපනයන වෙළෙඳපොළවල් අත්පත් කර ගැනීමට මෙන්ම පවතින වෙළෙඳපොළ පුළුල් කිරීමට ද කටයුතු කරනවා.
ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය අරමුණු කර ගනිමින් දැනට අත්සන් කර ඇති වෙළෙඳ ගිවිසුම් සමාලෝචනය කිරීම හා නව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට මේ වන විටත් විශේෂඥ කමිටුවක් පත්කර තියෙනවා. නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමටත්, නව අපනයන නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීමටත්, ජාතික තනි වෙළෙඳ කවුළුව ඇති කිරීමටත් කටයුතු කරනවා.
2.3 ණය තිරසරභාවය සහතික කිරීම
ශ්‍රී ලංකාවේ ණය මට්ටම තිරසාර නොවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2022 වසරේ ප්‍රකාශ කර තිබුණා. එයට ප්‍රධාන හේතුව වූයේ වගකීම් විරහිතව ප්රමුඛතාවයන් නොවන ව්‍යාපෘති වෙනුවෙන් ණය ලබා ගැනීමත්, ලබාගත් ණයවලින් අවශ්‍ය වත්කම් ජනිත නොකිරීමත්, අදාළ ව්‍යාපෘති අදාළ කාලයේ දී නිම කිරීමට අසමත් වීමත්, ණය කළමනාකරණය විධිමත් හා ක්‍රමවත් ප්‍රතිපත්ති රාමුවක් තුළ සිදු නොකර තිබීමත්ය. කෙසේ වුව ද, මේ වනවිට අප ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා පැහැදිලි සැලැස්මක්, විශේෂයෙන් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය හරහා සකස් කරමින් පවතිනවා. අවසන් වීමට ආසන්න ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය අත්පත් කර ගැනීමත් සඳහා අපගේ මැදිහත්වීමත් නිසා වෙළෙඳපොළ විශ්වාසය වේගයෙන් වර්ධනය වී තිබෙනවා. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ඇති පසුබිමක, ණය තිරසරභාවය අත්පත් කර ගැනීමේ දිශාවට, පැහැදිලි මාවතක් ඔස්සේ, ක්‍රමවත්ව හා ස්ථාවරව අප රජය ගමන් කරමින් සිටිනවා.
දළ මූල්‍යන අවශ්‍යතාවය මාධ්‍ය කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 කට වඩා අඩු මට්ටමක හා වාර්ෂික මධ්‍යම රජයේ විදේශ මුදල් ණය සේවාකරණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5 ක් නොඉක්මවන මට්ටක පවත්වා ගැනීම ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා එක් උපාය මාර්ගයක්. ඒ අනුව රාජ්‍ය මූල්‍ය තත්ත්වය ශක්තිමත් වීමත් සමගම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වූ රාජ්‍ය ණය ක්රමාණුකූලව අඩු වීමට පටන්ගෙන තිබෙනවා.
2032 දී ළඟා කර ගත යුතු ඉලක්කය වන සියයට 95 ආසන්නයට මේ වන විටත් ළඟා වෙමින් තිබෙනවා. මෙම ප්‍රතිඵල මත හා අපගේ ණය කළමනාකරණ උපායමාර්ග අනුව 2032 දී ණය අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 90 කට වඩා අඩු අගයක තබා ගැනීමේ ඉලක්කය පහසුවෙන්ම ළඟා කර ගත හැකි බව අප විශ්වාස කරනවා.
2028 වසරේ දී විදේශ ණය ගෙවීමට නොහැකියාවක් මතු විය හැකි බවට පදනම් විරහිත මතයන් ඇතැම් පාර්ශ්වයන් විසින් සමාජගත කරමින් සිටිනවා. නමුත් සැබෑ තත්ත්වය කුමක් ද? අප 2024 දී විදේශීය ණය සේවාකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 1,674 ක් ගෙවා අවසන් කළා. 2025 වසරේ විදේශීය ණය සේවාකරණය ඩොලර් මිලියන 2,435 ක් වුණ අතර, සැප්තැම්බර් 30 වන විට ඉන් ඩොලර් මිලියන 1,948 ක් ගෙවා අවසන්. මේ වසරේ දෙසැම්බර් 31 වන විට තවත් ඩොලර් මිලියන 487 ක් ගෙවීමට සූදානම්. ඒ අනුව, 2025 වසරේ විදේශීය ණය සේවාකරණ ගෙවීම් 2024 ට සාපේක්ෂව ඩොලර් මිලියන 761 ක වැඩිවීමක්.
2028 වසරේ අප විසින් ගෙවිය යුතු විදේශ ණය සේවාකරණය ඩොලර් මිලියන 3,259 ක් පමණයි. එනම්, 2025 වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 824 ක වැඩිවීමක් පමණයි. මෙය ගෙවීමට අපට හැකියාවක් තියෙනවා. එබැවින් එවැනි සාවද්‍ය ප්‍රචාරයන් මේ රටේ ජනතාව පිළි නොගන්නා බව අප විශ්වාස කරනවා.
තවද, රජය විසින් ලබාගෙන ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් කොටසක් යහපත් ආණ්ඩුකරණය සමග බැඳී ඇති බැඳුම්කර (Governance-Linked Bonds) ලෙස ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. ඒවා 2034 සහ 2035 වසර තුළ ගෙවා අවසන් කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව විසින් ළඟා කරගන්නා දර්ශක දෙකක ප්‍රගතිය අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී සහනයක් සැලසීමට ණය හිමියන් එකඟ වී තිබෙනවා.
ඒ අනුව රජයේ ආදායම් ඉලක්ක 2026-2027 වසරවල දී පිළිවෙළින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක් හා 15.4 ක් ඉක්මවා යන පරිදි පවත්වා ගැනීම සහ නියමිත කාලසීමාව තුළ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයට පත් කිරීම කළ යුතු වෙනවා. එම ඉලක්ක සපුරා ගන්නේ නම් 2028 වසරේ සිට 2035 වසර දක්වා ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතයට සියයට 0.75 ක අඩු කිරීමක් ලබා දීමට එම ණය හිමියන් එකඟ වී තිබෙනවා.
ඒ අනුව, වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 7.9 ක ණය සේවාකරණයේ වාසියක් රජයට හිමිවනු ඇත. රජය විසින් එම ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරනවා.
2.4 නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම
අප ප්‍රධාන වශයෙන්ම ආනයන මත රඳා පවතින ආර්ථිකයක් බැවින් ගෝලීය අර්බුදයන් හමුවේ ආර්ථිකයට දැඩි හානි එල්ල වීමට පුළුවන්. එම නිසා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමට අපි අපේක්ෂා කරනවා. වර්තමානයේ දී අපි ආනයනය කරන භාණ්ඩ දේශීයවම නිෂ්පාදනය කිරීම සඳහා, අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඉලක්කගත සහනාධාර, අවැසි තාක්ෂණය සහ වෙළෙඳපොළ ප්‍රවේශය ලබා දීමට අප කටයුතු කරනවා. එමෙන්ම මහා පරිමාණ නිෂ්පාදන සඳහා පෞද්ගලික අංශයේ සහභාගිත්වය වර්ධනය කිරීමටත්, දේශීය නිෂ්පාදනයන්ට වටිනාකමක් එකතු කිරීමටත් අප අවධානය යොමු කරනවා. මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්වල ආයෝජනය කිරීමට සහ මානව සම්පත් සංවර්ධනය සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් උපයෝගී කරගැනීමටත් අපි අපේක්ෂා කරනවා.
2.5 ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම
ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීමට නම් කුඩාම ඒකකය වන ගම, පොහොසත් ගමක් බවට පත් කළ යුතුයි. ආර්ථිකයේ ජාතික මට්ටමේ සිදුවන වර්ධනයේ ප්රතිලාභ, ග්‍රාමීය ජනතාවට ද ලැබෙන පරිදි ආර්ථිකය ගමට රැගෙන යා යුතුයි. මේ සඳහා ඵලදායී ආර්ථික කටයුතුවල නියලීමට හැකිවන පරිදි ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම අපගේ ප්‍රධාන උපායමාර්ගයක්. ඒ සඳහා නවීන හා තිරසර මෙන්ම කිසිවෙක් අත් නොහැරෙන සංවර්ධන වැඩපිළිවෙළක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ, ආර්ථික අවස්ථා බහුල කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය ප්‍රවර්ධනය, සැලසුම් සහගත නාගරීකරණය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම. තිරසර සංවර්ධන අරමුණු සහ ඉලක්ක පාදක කර ගත් සංවර්ධන රාමුවක් යටතේ ක්‍රියාත්මක කරනවා.
ඒ අතරම, විශේෂ රැකවරණය ලැබිය යුතු පිරිස් අඛණ්ඩව රැක බලාගැනීමත්, විවිධ අර්බුදවල බලපෑම මත සංක්‍රාන්තික දරිද්‍රතාවට පත්වන පිරිස් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමත් කළ යුතුයි. පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් අත්පත් කර දීමේ අපගේ ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ මෙම අරමුණ මුදුන්පමුණුවා ගැනීමට බව කිවයුතුයි.
2.6 ඩිජිටල්කරණය ප්‍රවර්ධනය
ඩිජිටල්කරණය අපගේ ආර්ථික වර්ධනය හා සමාජ ජීවිතය උසස් කිරීමේ දී වැදගත් උපාය මාර්ගික ප්‍රවේශයක් ලෙස අප හඳුනාගෙන තිබෙනවා. අප රට තුළ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 15 ක් දක්වා වර්ධනය කිරීමේ විභවතාවයක් ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම, රාජ්‍ය පාලනය හා සේවා සැපයීම විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව ඉටුකිරීමේ දී, අප අත්පත් කරගන්නා මෙම ඩිජිටල් පරිවර්තනය සුවිශේෂී දායකත්වයක් සපයනවා. ඒ හේතුවෙන් ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැඟීමට අවැසි මූල්‍යමය සහය ලබා දීමට මෙන්ම නීතිමය හා ආයතනික පරිසරය සැකසීමට අප කටයුතු කරනවා.
කුරුණෑගල සහ ගාල්ලේ අයි.ටී. කලාප ගොඩ නඟනවා
ආයෝජන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න තනි කවුළුවක්
අභ්‍යන්තර ගුවන් ගමන් සංවර්ධනයට මිලියන 1000ක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබාදෙන ණය සීමාව වැඩි කරනවා
විවිධ රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කරනවා
900කට අධික ඌන උපයෝගිතා රජයේ සංචාරක බංගලා පෞද්ගලික අංශයේ සහය මත සංවර්ධනය කරනවා
- මධ්‍යකාලීන සාර්ව ආර්ථික දිශානතිය

මේ වන විටත් අප ළඟාකරගෙන ඇති අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ශක්තිමත් කළ රාජ්‍ය පාලනය සහ ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය තවදුරටත් ස්ථාවරව පවත්වාගෙන යෑමට අප කටයුතු කරනවා. අපගේ ආර්ථිකය ශක්තිමත්, තිරසාර සහ සැමට සමාන ප්රතිලාභ හිමිවන වර්ධනයක් කරා විශ්වාසයෙන් යුතුව මෙහෙයවීම අපගේ ඉලක්කයයි. අපි මධ්‍යකාලීනව සියයට 7 ඉක්මවන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් කටයුතු කරනවා.
මෙම ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් පළමු වසර තුළ අප ශක්තිමත් පදනමක් සකස් කොට තිබෙනවා. ඒ අනුව;
අපගේ ආර්ථික වර්ධනය 2024 වසරේ පළමු භාගය තුළ පැවති සියයට 4.6 සිට 2025 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී සියයට 4.8 දක්වා වැඩි වුණා.
විරැකියාව 2024 වසරේ පළමු කාර්තුවේ පැවති සියයට 4.5 ක සිට 2025 වසරේ පළමු කාර්තුවේ දී සියයට 3.8 දක්වා පහත වැටුණා.
2024 වසරේ මුල් මාස නවය හා සසඳන විට, 2025 වසරේ මුල් මාස නවය තුළ:
අපගේ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 8.5 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 9.1 දක්වා වැඩි වුණා.
සේවක ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.8 දක්වා වැඩි වුණා.
සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි වුණා.
ආදායම් සහ ප්‍රදාන රුපියල් ට්‍රිලියන 2.9 සිට රුපියල් ට්‍රිලියන 3.8 දක්වා වැඩි වුණා. මෙය අපගේ ඉලක්කයන් ද ඉක්මවා යෑමක්.
ප්‍රාථමික ශේෂය රුපියල් ට්‍රිලියන 0.8 සිට රුපියල් ට්‍රිලියන 1.5 දක්වා තියුණු ලෙස වැඩි වුණා. මෙයත් අපගේ ඉලක්කයන් ද ඉක්මවා යෑමක්.
2025 වසරේ සැප්තැම්බර් වන විට ප්‍රාග්ධන වෙළෙඳපොළේ කාර්යසාධනය 2024 වසරේ සැප්තැම්බර් මස කාර්යසාධනය හා සමග සැසඳීමේ දී:
සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 11,855 සිට ඒකක 21,779 දක්වා ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළා.
S&P SL දර්ශකය ඒකක 3,453 සිට ඒකක 6,127 දක්වා ඉහළ ගියා.
වෙළෙඳපොළ ප්රග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.4 සිට රුපියල් ට්‍රිලියන 7.8 දක්වා වර්ධනය වුණා.
විදේශීය මිලදී ගැනීම් රුපියල් බිලියන 37 සිට රුපියල් බිලියන 47 දක්වා වැඩි වුණා.
අපි මූල්‍යමය නොසැලකිලිමත්භාවයක් පැවති යුගය අවසන් කර, එය විචක්ෂණශීලී නීතිමය රාමුවක් මගින් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා. මෙම නීතිමය රාමුව අනාගත කම්පනවලින් අප ආරක්ෂා කරන අතර සෑම පුරවැසියකුටම ඔවුන්ගේ බදු විනයානුකූලව, විනිවිදභාවයකින් සහ වගවීමෙන් කළමනාකරණය කරන බවට අප සහතික කරනවා.
අප විධිමත්ව හා කාර්යක්ෂමව රාජ්‍ය ආදායම වර්ධනය කරමින් සිටිනවා. 2026 වසරේ දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක් ඉක්මවා යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව RAMIS 3.0 සමගින් නවීකරණය කිරීමට කටයුතු කරනවා. අපගේ ඉලක්කය වන්නේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 දක්වා දිගු කාලීනව වැඩි කිරීමයි. වඩාත් ප්රගතිශීලී සහ සාධාරණ බදු ක්‍රමයක් තහවුරු කරමින්, සෘජු හා වක්‍ර බදු අනුපාතය 25:75 සිට 40:60 අනුපාතය දක්වා ක්‍රමානුකුලව ගෙන ඒම අපගේ අරමුණයි.
අප ප්‍රාථමික වියදම් සියයට 13 ක සීමාව තුළ පවත්වා ගනිමින් වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සඳහා සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම හා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් සියයට 4 ක පවත්වා ගැනීමට කටයුතු කරනවා.
අපගේ රාජ්‍ය මූල්‍ය උපාය මාර්ගය වන්නේ අස්ථාවරත්වය වෙනුවට පුරෝකථනය කිරීමේ හැකියාවෙන් ද, වරප්‍රසාද වෙනුවට සාධාරණත්වයෙන් ද, කෙටිකාලීන වාසි වෙනුවට දිගුකාලීන සමෘද්ධියෙන් ද ප්‍රතිෂ්ඨාපනය කරන මාවතකි. සැමට ස්වෛරී, සමෘද්ධිමත් සහ යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ පදනම එයයි.
මම දැන් මෙම ගරු පාර්ලිමේන්තුවට 2026 වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කරනවා.
- පෞද්ගලික අංශය සහ ආයෝජන මගින් බලගැන්වෙන ආර්ථික වර්ධනය
4.1 ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම
ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වා ගෙන එන ලද අවිධිමත් හා පක්ෂපාති සංස්කෘතිය මේ වන විට වෙනස් කර තිබෙනවා. ඒ අනුව අප විසින් ජාවාරම්කාරීත්වය වෙනුවට විශ්වසනීයත්වයත්, අභිමතය වෙනුවට පුරෝකථනය කිරීමේ හැකියාවත්, වරප්‍රසාද වෙනුවට හවුල්කාරීත්වයත් ආදේශ වන නව පරිසරයක් ගොඩනඟමින් සිටිනවා. මෙවැනි පරිසරයක් ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වනවා. අපේ ජාතිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ශක්තිය සපයනු ලබනවා.
විදේශීය සහ දේශීය ආයෝජන සඳහා වඩාත් ශක්තිමත් රීති මත පදනම් වූ දිරිගැන්වීමේ පාලන තන්ත්රයක් ඇති කිරීම සඳහා, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතට සහ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම සංශෝධන මගින් සෘජු විදේශ ආයෝජන (FDI) සඳහා වූ ක්‍රියාවලීන් විධිමත් කිරීම, දිරිගැන්වීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ විදේශීය ආයෝජකයන් අපේක්ෂා කරන අනුකූලතාව ලබා දීම සිදු කරනවා. මෙම සංශෝධන මගින් සෘජු විදේශ ආයෝජන මෙරටට ගලා ඒම සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇතැයි අප විශ්වාස කරනවා.
ආර්ථික වර්ධනයට, රැකියා උත්පාදනයට සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම ඉතා වැදගත් වෙනවා. රජය සමග ශක්තිමත් හවුල්කාරීත්වයන් හරහා මෙම යටිතල පහසුකම් ලබා දීමේ දී පෞද්ගලික අංශයට වැදගත් කාර්යභාරයක් කළ හැකි වෙනවා. විනිවිදභාවයෙන් යුතු නීතිමය රාමුවක් සපයන “රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) පනත” පිළිඳව පනත් කෙටුම්පත සැප්තැම්බර් මාසයේ මහජන අදහස් විමසීම සඳහා ඉදිරිපත් කර ඇති අතර, 2026 වසරේ මුල් භාගයේ දී එය අනුමැතිය සඳහා මෙම සභාවට ඉදිරිපත් කරනවා.
ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම හා ආයෝජන ආරක්ෂා කිරීම සඳහා නව “ආයෝජන ආරක්ෂන පනත” 2026 වසරේ මුල් භාගයේ දී සම්මත කරනු ලබනවා
දැනටමත් ක්‍රියාත්මක වන ආයෝජන කලාප ආශ්රිත සේවා කලාප ලෙස සහායක කලාප සංවර්ධනය කිරීම තුළින්, ප්‍රධාන ආයෝජන කලාපවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත්, ආර්ථික ප්රතිලාභ පළාත් මට්ටමින් පුළුල් කිරීමටත් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අගය දාමයන්ට ඒකාබද්ධ කිරීමටත් හැකියාව තිබෙනවා. මෙමගින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම, ශ්‍රම සංචලනය වැඩිදියුණු කිරීම සහ කාර්මීකරණයේ ආර්ථික ප්රතිලාභ පළාත් මට්ටමින් ව්‍යාප්ත කිරීම අපේක්ෂා කරනවා. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති අතර එයට අමතරව තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තුළ ආයෝජන වර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ආයෝජන හිතකාමී පරිසරය මෙතෙක් ප්‍රායෝගිකව සවිමත් කර නොමැති බැවින්, එම ක්ෂේත්රය වෙත ආයෝජකයන් ආකර්ෂණය අභියෝගාත්මක වී තිබෙනවා. පසුගිය රජයන් විසින් විශාල පිරිවැයක් දරා ආරම්භ කර, වසර ගණනාවක් අත්හැර දමා ඇති තාක්ෂණික උද්‍යාන දෙකක් කුරුණෑගල සහ ගාල්ලේ පවතිනවා. මෙය ඉදිකළ කොන්ත්‍රාත්කරුවන්ට මහජන බැංකුවෙන් හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ණය ලබාගෙන ගෙවීම් සිදු කර ඇති නමුත් වසර ගණනාවකින් බැංකු වෙත නොගෙවූ මෙම හිඟ ණය මුදල පියවා දැමීමට රුපියල් මිලියන 1,500 ක් මෙම වසරේදීම ගෙවා නිම කර, එම ව්‍යාපෘති පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනවා. තවත් උද්‍යාන දෙකක් දිගන සහ නුවරඑළිය යන නගර කේන්ද්‍ර කරගෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
ප්‍රමුඛතා අංශවල හෝ සුදුසුකම් ලබන ව්‍යාපෘතිවල නිශ්චිත අවම ආයෝජන සීමාවක් සපුරාලන විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමයක් හඳුන්වා දෙනවා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ “තනි කවුළු” (Single Window) යාන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කරනවා. මෙම යාන්ත්‍රණය මගින් ආයෝජන ක්‍රියාවලිය කාර්යක්ෂමව, විනිවිද පෙනෙන ලෙස සහ වේගවත් ලෙස සිදුකළ හැකි වන අතර, ආයෝජකයන්ට ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා අවශ්‍ය විශ්වාසය සහ පහසුව ලබා දෙනවා. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 100 ක් වෙන්කර තිබෙනවා.
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලැස්ම සකස් කිරීම විධිමත් කිරීම සහ ආයෝජන සඳහා ඉඩම් නිදහස් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා ඉඩම් විෂයට අයත් ආයෝජන මණ්ඩලය වැනි ආයතනවල පහසුකම් වැඩි දියුණු කිරීම සහ එම ආයතන ඒකාබද්ධ කරමින් ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. එසේම, ආයෝජකයන්ට ඉඩම් ලබාදීම සම්බන්ධ නව නීතිමය රාමුවක් හඳුන්වාදීමටත්, ආයෝජනයේ ස්වභාවය අනුව ඉඩමේ තක්සේරුව තීරණය කිරීමටත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.
අපගේ පෙර අයවැයේ දී යෝජනා කළ, රජය සතු වාණිජ ව්‍යවසායයන් තුළ වගවීම, විනිවිදභාවය, පාලනය සහ ලාභදායිත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වාණිජ ව්‍යාපාරවල කොටස් හිමි රජයේ සමාගමක් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත 2026 වසරේ පළමු කාර්තුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
අපනයන වැඩි කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන්ගේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය ඇතිව දැනටමත් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කරමින් පවතිනවා. එම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු සඳහා අමතරව රුපියල් මිලියන 250 ක් අපනයන සංවර්ධන මණ්ඩලයේ ජාතික අපනයන සන්නාම ප්‍රවර්ධන සැලැස්ම වැඩසටහන යටතේ වෙන් කිරීමට යෝජනා කරනවා.
අප විවිධ රටවල් හා කලාප සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීමට සාකච්ඡා ආරම්භ කරනවා. ඒ සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂඥ හැකියාව සහිත කමිටුවක් පත්කොට ඇති අතර එම කමිටුව විසින් පවතින වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම හා අලුතින් එකතු විය යුතු වෙළඳ ගිවිසුම් පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා.
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා ව්‍යාප්ත කිරීම සඳහා අපනයන නැඹුරු ව්‍යවසායයන්, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ නැගී එන සේවා අංශ වෙනුවෙන් වෙළෙඳ ප්‍රදර්ශනවල සහභාගී වීම, නිෂ්පාදන සහතික කිරීම, ඩිජිටල් අලෙවිකරණය, සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන්ට අනුවර්තනය වීම වැනි වැඩසටහන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපනයන සංවර්ධන මණ්ඩලයට වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
අන්තර් ජාතික වෙළෙඳාම තුළ ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය වර්ධනය කිරීම සඳහා වෙළෙඳ පහසුකම් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. එහි දී, ජාතික තනි වෙළෙඳ කවුළුව (Trade National Single Window) ඇතුළු පහසුකම් සංවර්ධනය, නීතිරීති යාවත්කාලීන කිරීම, නියාමන ක්‍රියාවලීන් සම්මතගත කිරීම, ගනුදෙනු පිරිවැය අඩු කිරීම සහ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළවල් සමග කාර්යක්ෂමව සම්බන්ධ වීමට හැකියාව ලබාදීම ප්රමුඛ අවශ්‍යතාවයක් වෙනවා. ඒ සඳහා ජාතික තනි වෙළෙඳ කවුළුව පහසුකම වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 2,500 ක් වෙන් කර තිබෙනවා.
4.2 ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ශක්තිමත් කිරීම සඳහා වූ ඒකාබද්ධ රාමුව
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවල සම්බන්ධීකරණය කාර්යක්ෂම කිරීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ජාතික ව්‍යවසායය සංවර්ධන අධිකාරිය (NEDA), සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායය සංවර්ධන අංශයේ (SMED) කාර්යයන් ඒකාබද්ධ කර කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) යටතට පත් කිරීමට යෝජනා කරනවා. කර්මාන්ත කලාප පිහිටුවීම සහ සංවර්ධනය මනා ලෙස කළමනාකරණය කිරීමට 2026 වසර සඳහා දැනට වෙන් කර ඇති රුපියල් මිලියන 4,000 ක අයවැය ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52 කට වඩා දායක වන අතර, සේවා නියුක්තිය මුළු ශ්‍රම බළකායෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වෙනවා. එම ව්‍යවසායයන්ගේ මූල්‍ය ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් දේශීය බැංකු හරහා ආයෝජන සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා සහනදායී පොලී අනුපාත යටතේ ණය ප්රදානය කරමින්, රජයේ සහාය සහිත ණය යෝජනා ක්‍රම කිහිපයක් දැනටමත් හඳුන්වා දී තිබෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය ලබා දීමේ දී ඇතිවන අවදානම අවම කිරීම සඳහා ස්ථාපිත කරන ලද ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ඇප රහිතව ව්‍යවසායකයන්ට ණය ලබා දීමට දුන් පොරොන්දුව අප විසින් ඉටු කර තිබෙනවා. ඒ අනුව, 2025 වසරේ දී මේ වන විට රුපියල් මිලියන 4,027 ඉක්මවා ඇප රහිතව ණය ලබා දී තිබෙනවා. 2026 වසරේ දී රුපියල් මිලියන 7,000 ක පමණ ණය සඳහා සුරැකුම් ලබා දීමට මේ අනුව අප විසින් සැලසුම් කර තිබෙනවා. මෙම ආයතනය ආරම්භ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය ආධාර ලබා දී තිබෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා හා ආයෝජන සඳහා සාර්ථකව පවත්වාගෙන යන ව්‍යාපාරයකට රුපියල් මිලියන 25 ක් දක්වා ද, ආර්ථික අපහසුතාවලට මුහුණ පා ඇති ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 15 ක් දක්වා ද සහන පොලී අනුපාත යටතේ ණය ලබා දීමට රුපියල් මිලියන 25,000 ක් වෙන් කර තිබෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය සඳහා රුපියල් මිලියන 50 දක්වා ණය ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 5,900 ක් වෙන්කර තිබෙනවා.
කෘෂිකර්ම අගය දාමයන් සංවර්ධනය කිරීම
නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හරහා සියයට 5ක පොලී සහනාධාරයක් යටතේ රුපියල් මිලියන 3 දක්වා කෘෂිකාර්මික ණය ලබාදීමට රුපියල් මිලියන 1,700 ක් වෙන් කර තිබෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා අළුත් ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 7,700 ක් වෙන් කර ඇති අතර ඒ තුළින් සහන පොලියට රුපියල් මිලියන 50 දක්වා නව ණය ලබා දෙනවා.
කෘෂිකර්ම අගය දාමයන් සංවර්ධනය කිරීම සඳහා සහන පොලී වැඩසටහනක් යටතේ රුපියල් මිලියන 50 දක්වා ණය ලබා දීමට රුපියල් මිලියන 6,200 ක් වෙන් කර තිබෙනවා. ඔඩපන ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රුපියල් මිලියන 50 ක් දක්වා සහන පොලී අනුපාතිකයක් යටතේ ණය ලබා ගත හැකියි. මේ සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන් කර තිබෙනවා.
කෘෂි ව්‍යාපෘතිවලට ප්‍රවේශය ඉහළ නැංවීම අරමුණු කරගත් තිරසර ගොවි ණය අරමුදලක් පිහිටුවීමට රුපියල් මිලියන 800 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
මීට අමතරව, තරුණ ව්‍යවසායකත්ව ණය යෝජනා ක්‍රම, ක්ෂුද්‍ර මූල්‍ය ණය, කාන්තා ව්යවසායයකත්වය සවිබල ගැන්වීමේ ණය ක්‍රමද ඇතුළත්ව සියලු සහන ණය යෝජනාවන් සඳහා මුදල් වෙන් කර තිබෙනවා. ඒ අනුව, ප්රතිමූල්ය ණය, ප්‍රදාන, ඔඩපන ණය, ඇප රහිත ණය, සහ පොලී සහනාධාර වැනි ණය යෝජනා ක්‍රම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 80,000 ක ණය ලබා ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.
නව ආයෝජන පුළුල් කිරීම හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා නව ආයෝජන දිරිමත් කිරීමේ අරමුණෙන් දැනට පවතින වැඩි කළ ප්‍රාග්ධන දීමනා සඳහා සුදුසුකම් ලබන ආයෝජන සීමාව, ඇමෙරිකානු ඩොලර් මිලියන 3 සිට ඇමෙරිකානු ඩොලර් 250,000 දක්වා පහළ දැමීමට යෝජනා කරනවා.
- සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය
2030 වසර වන විට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් දක්වාත් සංචාරක පැමිණීම් මිලියන 4 ක් දක්වාත් වැඩි කිරීම ඉලක්ක කර ගනිමින් සංචාරක අංශයේ වේගවත් වර්ධනයක් අපේක්ෂා කරනවා. සංචාරක ක්ෂේත්රයේ දියුණුවට ඇති ප්‍රධානම අභියෝගය වන විවිධ පාර්ශ්වකරුවන් අතර වන සම්බන්ධීකරණ ගැටලු ජය ගැනීමට ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සංචාරක අංශයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන තියෙනවා. ආයතන ශක්තිමත් කිරීමට අමතරව, බලාපොරොත්තුවන සංචාරක කර්මාන්තයේ විවිධ අංශවල ඉලක්ක සපුරා ගැනීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය සහ ඒකාබද්ධ අලෙවිකරණ, ප්‍රචාරණ ව්‍යාපාරයක් පැවැත්වීමට අඛණ්ඩව ආයෝජන සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
සොබාදහම කේන්ද්‍රකර ගත් හා ඓතිහාසික උරුමයන් හුවා දක්වන සංචාරක ගමනාන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මෙම කටයුතුවලට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 3,500 ක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ බස්නාහිර පළාතේ වෙරළ හා මුහුද ආශ්රිත හැමිල්ටන් ඇළ, මීගමු කලපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරයන් සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
තවද, ඌව පළාත තුළ දැනටමත් විශාල වශයෙන් දේශීය සහ විදේශීය සංචාරක ආකර්ෂණයක් සහිත හපුතලේ, බෙරගල හා ඉදල්ගස්හින්න යන ප්‍රදේශවල පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථානයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීම මගින් හපුතලේ ප්‍රදේශය ලංකාවේ තවත් ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමට සැලසුම් කර තිබෙනවා.
රජය සතු ඌන උපයෝජිත සංචාරක බංගලා, නිවාඩු නිකේතන 900 කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. මේවායින් බොහෝමයක් ඉහළ සංචාරක ආකර්ෂණය සහිත තැන්වල පිහිටා තිබෙනවා. සංචාරක ක්ෂේත්රයේ නවාතැන් අවශ්‍යතාවන් සැපරීම සඳහා පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව ආදායම් උත්පාදන ඒකක බවට එම ස්ථාන පත්කරනවා.
2030 වසර වන විට සංචාරක හා ආගන්තුක සත්කාර අංශයේ විවිධ කාණ්ඩ හරහා නිපුණතා සහිත පුද්ගලයන් 800,000 කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. පවතින භෞතික හා මානව සම්පත් සීමිත බැවින් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට (SLITHM) පමණක් මෙම ඉල්ලුම සපුරාලිය නොහැක. මෙම ජාතික මට්ටමේ ශ්‍රම බළකා පරතරය පියවීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් දිවයින පුරා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් පිළිගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණු ආයතන හරහා කෙටිකාලීන වෘත්තීය පුහුණු වැඩසටහනක් වන ආගන්තුක සත්කාර බහුකාර්ය වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 500 ක් යොදා ගැනීමට යෝජනා කරනවා.
බේරේ වැව සංවර්ධනය කොට එය කොළඹ නගර මධ්‍යයේ පවතින ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමටත්, සංචාරක ක්‍රියාකාරම් ඇතුළු සමාජයීය, ආර්ථික සහ පාරිසරික යන සියලු අංගයන්හි ඵලදායී භාවිතය ඉහළ නැංවීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 2,500 ක් යොදා ගැනීමට යෝජනා කරනවා.
අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රචලිත කිරීම සංචාරක කර්මාන්තයේ වර්ධනයට අත්‍යවශ්‍යයි. මේ සඳහා දැනටමත් ආරම්භ කර ඇති හිඟුරක්ගොඩ ගුවන් තොටුපළෙහි සංවර්ධන කටයුතු 2026 වසර තුළ දී අවසන් කිරීමට අපේක්ෂා කරනවා. සීගිරිය, ත්‍රිකුණාමලය අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය හා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට රුපියල් මිලියන 1,000 ක ප්රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කරනු ලබන අතර අතිරේක ප්‍රතිපාදන සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය දායක කර ගනු ලබනවා.
ඉහළ යන ගුවන් ප්‍රවාහන ඉල්ලුම සපුරාලීමට සහ මගී හා භාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාවට ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර සංක්‍රමණ කේන්ද්‍රස්ථානයක් ( International Transit Hub) ලෙස ස්ථාපිත වීමට අනඟි අවස්ථාවක් උදා වී තිබෙනවා. අපගේ උපායමාර්ගික පිහිටීම, බටහිර සහ නැගෙනහිර කලාප දෙකටම අසමසම ප්‍රවේශයක් සපයනු ලබනවා.
මෙම දැක්ම යථාර්ථයක් කර ගැනීම සඳහා, අප නවීනතම ගුවන් තොටුපළ පහසුකම් සඳහා ආයෝජනය කළ යුතු අතර, ඒ සඳහා ප්‍රමාණවත් ගුවන් යානා සමූහයකින් සමන්විත අපගේම ගුවන් සේවයක් දියුණු කළ යුතුයි. ඒ සඳහා, ලබන වසරේ පළමු කාර්තුව තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමට නවතා දමා ඇති ව්‍යාපෘතිය නැවත ආරම්භ කරනවා. තවද, ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමට වැඩකටයුතු කෙරෙමින් පවතිනවා.
- නවීකරණය හා ඩිජිටල්කරණය
ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සැමට ප්රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයට සහ ගෝලීය තරගකාරිත්වයට තීරණාත්මක මාවතකි. සංවර්ධන මාවතේ ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන් මග හැරී ඇති නමුත් මෙම ඩිජිටල්කරණ අවස්ථාව අතපසු නොකළ යුතුය. 2026 වසරේ දී රුපියල් මිලියන 25,500 කට අධික රජයේ ආයෝජනයත් සමග, ශ්‍රී ලංකාවට ඩිජිටල් පරිවර්තනයේ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. යටිතල පහසුකම් අවශ්‍යතාවයන් සැපයීම, ආයෝජන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ නවෝත්පාදන-හිතකාමී පරිසරයන් පෝෂණය කිරීම යන යෝජනාවන් තිරසාර ඩිජිටල් දියුණුව සඳහා ක්‍රියාකාරී මාර්ග සිතියමක් සපයනවා.
රාජ්‍ය ආයතනවලට අදාළ ගෙවීම් කිරීමට GovPay පද්ධතිය ප්‍රචලිත කිරීම, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීම, ජනාධිපති අරමුදල, තානාපති කාර්යාලවලින් පුරවැසියන්ට ලබා දෙන ලේඛන සේවා ඩිජිටල්කරණය කිරීම, GovTech ආයතනය පිහිටුවීම වැනි ව්‍යාපෘති මේ වන විටත් අවසන් කර තිබෙනවා. එය අපේ ඩිජිටල් පරිවර්තනයේ විශාල පියවරක්. ඉදිරියේ දී ස්ථාපිත කිරීමට නියමිත ඩිජිටල් ආර්ථික අධිකාරිය සහ 5G බලපත්‍ර සාර්ථකව ලබා දීම වැනි කාර්යයන් ඩිජිටල් පිවිසුමේ ඉතාමත් ශක්තිමත් පියවරක් වෙනවා. සෑම පුරවැසියකුගේම සහභාගිත්වය සහතික කිරීම සඳහා රට පුරා බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශය පුළුල් කරමින් සහ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් අලුත් ව්‍යවසායකයන්ට සහාය දක්වන සුදුසු වටාපිටාවක් සකස් කරමින් සිටිනවා. කෘත්‍රීම බුද්ධිය, ක්ලවුඩ් (cloud) පරිගණක සහ දත්ත මධ්‍යස්ථාන ඇතුළුව ඊළඟ පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කර තිබෙනවා.
දත්ත ආරක්ෂණ අධිකාරිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධන සහිතව සම්මත කර තිබෙනවා. තවද, දැනට සකස් කරමින් පවතින ඩිජිටල් ආර්ථික පනත මගින් ඩිජිටල් ආර්ථික අධිකාරිය මෙන්ම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවීමට කටයුතු කරනවා.
ශ්‍රී ලාංකීය ඒකීය ඩිජිටල් අනන්‍යතාවය (SLUDI), ජාතික දත්ත හුවමාරුව, ලංකා රජයේ ක්ලවුඩ් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ රජයේ සේවාවන් සැපයීමට තනි පියැසි ඩිජිටල් අතුරුමුහුණතක් (Single Roof Digital Intefece) සඳහා මෘදුකාංග නිර්මාණය කිරීම වැනි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ තීරණාත්මක ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර තිබෙනවා. 2026 වසර මුල දී ශ්‍රී ලංකාවෙහි ඒකීය ඩිජිටල් අනන්‍යතාවය (SLUDI) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරනවා. 2026 වසරේ 3 වන කාර්තුවේ දී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට මි. 6500ක්
පළමු ඩිජිටල් හැඳුනුම්පත 2026 තුන්වැනි කාර්තුවේදී නිකුත් කෙරේ
රජයේ ගෙවීම් ඔන්ලයින් කිරීමේදී රාජ්‍ය සේවා ගාස්තු අය නොකෙරේ
ඩිජිටල් තාක්ෂණයට ඉදිකරන කුලුනු බද්ද වසර 5කට අත්හිටුවයි
ආබාධ සහිත අයෙක් පෞද්ගලික අංශයට බඳවා ගන්නේනම් වැටුපෙන් 50%ක් රජය මාස 24ක් ගෙවනවා

මුදල් නෝට්ටු භාවිතයට ඇති නැඹුරුතාවය අඩු කර ඩිජිටල් මාර්ගයන්ගෙන් ගනුදෙනු කරන සමාජයක් කරා පරිවර්තනය කරවීම ආරම්භ කර තිබෙනවා. මෙම පරිවර්තනයේ අරමුණ වන්නේ ගනුදෙනු පහසුකරවීම, ඒ සඳහා යන වියදම අඩු කිරීම, මුදල් අවභාවිතයන් අවම කිරීම හා කාර්යක්ෂමතාවය වැඩි කිරීමයි. 2025 වසරේ පළමු කාර්තුව තුළ රජයේ ගෙවීම්වල දී Lankapay මාර්ගගත ක්‍රමවේදය හරහා පමණක් රුපියල් බිලියන 2,000 කට වැඩි ගනුදෙනු සිදුව තිබෙනවා. මුදල් නෝට්ටු රහිත සමාජයක් ඇති කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා, සියලුම රජයේ ගනුදෙනු සඳහා මාර්ගගත ගෙවීම් මාදිලිය හරහා පහසුකම් ලබා දීමට යෝජනා කරනවා. ආරම්භයක් ලෙස මේ සඳහා දිරිගැන්වීමක් ලබා දීමට රාජ්‍ය ආයතනවලට ගෙවීම් කිරීමේ දී සේවා ගාස්තු අය නොකිරීමට යෝජනා කරනවා. මෙම ගනුදෙනු පිරිවැය ආවරණය කිරීම්, පද්ධති වැඩිදියුණු කිරීම් සහ මහජන දැනුවත් කිරීම් සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. තවද, අවශ්‍ය පහසුකම් සැලසීමට හා ප්‍රවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.
මේ අනුව, 2026 වසරේ ජනවාරි මස 1 වන දින සිට, රජයේ ආයතන වෙත ඉලෙක්ට්‍රොනික ගෙවීම් සඳහා වන සියලුම සේවා ගාස්තු ඉවත් කිරීමට අවසර ලබා දෙනවා. තවද, QR කේත ක්‍රමයට අනුව ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා, රුපියල් 5,000 ට අඩු වටිනාකමක් ඇති QR කේත ගෙවීම් කිසිම පිරිවැයකින් තොරව සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය හරහා ලබා දෙන්නට යෝජනා කරනවා.
ශ්‍රී ලංකාවට දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා කලාප මධ්‍යස්ථානයක් ලෙස විකාශනය වීමට ඉහළ විභවතාවයක් තියෙනවා. දත්ත මධ්‍යස්ථාන සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ දී අප විසින් ගත යුතු තීරණාත්මක පියවර රැසක් තිබෙනවා. ඒ අතර, දත්ත ආරක්ෂාව, රහස්‍යභාවය, පෞද්ගලිකත්වය, හා ඩිජිටල් පාලන නීති පද්ධති සවිබල ගන්වමින් ආයෝජක විශ්වාසය තහවුරු කිරීම අවශ්‍ය වෙනවා. එය දැනටමත් අප විසින් සිදුකරමින් පවතිනවා. මෙම ආයෝජනයන් දිරි ගැන්වීම සඳහා මූල්‍ය සහන, හරිත බලශක්ති භාවිත සහන, ආරම්භක අදියරේ දී අඩු පිරිවැයට විදුලිය, අවශ්‍ය ඉඩම් සහනදායී ලෙස ලබා දීම හරහා විදේශීය සහ දේශීය ආයෝජකයන්ට මෙම ක්ෂේත්රයේ ආකර්ෂණීය වාතාවරණයක් සකස් කළ යුතු වෙනවා. මේ සඳහා ආරම්භයක් ලෙස 2026 වසර සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ඩිජිටල් යටිතල පහසුකම් සහ කෘත්‍රීම බුද්ධිය ප්රමුඛ, නවෝත්පාදනයන්හි කලාපීය ප්රමුඛයෙකු ලෙස
ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් සහ උපායමාර්ගික ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මධ්‍ය කාලීන අරමුදල් රජය විසින් සපයනවා. නවෝත්පාදනයන් වර්ධනය කිරීම, තෝරාගත් කෘත්‍රීම බුද්ධි ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම, විදේශීය පුහුණු ශිෂ්‍යත්ව සහ දේශීය භාෂා දත්ත කට්ටල සංවර්ධනය කිරීම, විශ්වවිද්‍යාල සහ පාසල් ක්ෂේත්රයේ පර්යේෂණ සහ සංවර්ධන අරමුණු වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය සහ ක්ලවුඩ් පහසුකම් ලබා දීම සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කර තිබෙනවා.
සියලු පුරවැසියන්ට ඩිජිටල් තාක්ෂණය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම පිණිස, අධ්‍යාපනය හා සම්බන්ධ ප්රවේශයන් සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්, අස්වැසුමලාභීන් සහ අනෙකුත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ලබාදීමට අපේක්ෂා කරනවා. එමගින්, මාර්ගගත අධ්‍යාපනය සහ ඩිජිටල් ආර්ථිකයට සහභාගී වීම වඩාත් සක්‍රීය කිරීම අරමුණ වෙනවා. මෙමගින්, සැමට ප්රතිලාභ සැලසෙන ඩිජිටල් අනාගතයක් නිර්මාණය කිරීම සහතික කෙරෙනවා.
ඩිජිටල් තාක්ෂණයේ ව්‍යාප්තිය වේගවත් කිරීම සඳහා, සන්නිවේදන කුලුනු වැනි ඩිජිටල් යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා වඩාත් සරල වූ සහ කඩිනම් අනන්‍ය අනුමත කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කරනු ලබනවා. මෙම ඩිජිටල් තාක්ෂණ ව්‍යාප්ති වැඩසටහන යටතේ ඉදිකරන ලද නව කුලුනු සඳහා අදාළ වන බද්ද වසර 5 ක කාලයක් සඳහා අත්හිටුවීමට යෝජනා කරනවා.
ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා, ඇරඹුම් සඳහා වන වටපිටාවෙහි (Star-ups ecosystem) වර්ධනය වේගවත් කිරීම සඳහා අරමුදලක් 2026 වසරේ දී පිහිටුවනවා. එම අරමුදල පිහිටුවීම සඳහා මූලික රාජ්‍ය අනුග්‍රහය ලෙස රුපියල් මිලියන 1,500 ක් (ඩොලර් මිලියන 5 ක්) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ වෙන්කර තිබෙනවා.
අපනයන සහ රැකියා උත්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීම සඳහා ආයෝජන මණ්ඩලය හරහා “අතථ්‍ය විශේෂ ආර්ථික කලාපයක්” ද (Virtual Special Economic Zones) ස්ථාපනය කිරීමට යෝජනා කරනවා.
- පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්රය බල ගන්වා ආර්ථික සහ සාමාජයීය දියුණුව ළඟා කර ගැනීම
රාජ්‍ය පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත මේ වන විට සකසා අවසන් කර ඇති අතර රජයේ සංවර්ධන ක්‍රියාවලියට අනුගත, ප්‍රමුඛතා හඳුනා ගෙන, ඒවාට නිසි ලෙස ප්‍රතිපාදන ලබා දී, පර්යේෂණ වාණිජකරණය දක්වා ගෙන ඒමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. එම සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කරනු ලබන, මධ්‍යගත පරිපාලන ආයතනයක් ලෙස ජාතික පර්යේෂණ, සංවර්ධන හා වාණිජකරණ ආයතනය ද, පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ජාතික සභාව ද ස්ථාපනය කෙරෙන අතර ඊට අදාළ පනත 2026 වසරේ දී මෙම සභාවට ඉදිරිපත් කරනවා.
පර්යේෂණ වාණිජකරණය දක්වා ගෙන ඒමේ ජාතික වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 1,200 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- ක්ලීන් ශ්‍රී ලංකා අඛණ්ඩ වැඩසටහන
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ගොඩනැඟීමේ දී අපේ රට ක්ලීන් රටක් – පිරිසිදු ශ්‍රී ලංකාවක් බවට පත් කරන බව පසුගිය අයවැයේ දී යෝජනා කළා. ආචාරධර්මීය ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීමටත් වඩාත් පිරිසදු භෞතික පරිසරයක් සහ දීපව්‍යාප්ත සදාචාරාත්මක කැපවීමක් සඳහා පිළිතුරු සැපයීමත් Clean Sri Lanka ව්‍යාපෘතියෙහි අරමුණු අතර වෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එක් පොතකට හෝ තනි ව්‍යාපෘතියකට හෝ ලඝු වන්නේ නැති බවත් මේ වැඩසටහන දවසකින් මාසයකින්, වසර කිහිපයකින් නිමාව දකින වැටසටහනක් වන්නේ නැති බවත් අප යළි සිහිපත් කරනවා. එය, අඛණ්ඩව පෙරට යන සහ පෙරට යා යුතු, අලුත් අලුත් දෑ එක්විය යුතු මහා පරිමාණ, නොනවතින වැඩසටහනක් වන අතර අද වන විට අපි එය යථාර්ථයක් කරමින් ඉන්නවා. පරිසරය පැත්තෙන් පමණක් නොවෙයි සෑම පැත්තකින්ම පිරිසිදු වූ සමාජයක් ගොඩනැගීම “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය තුළින් අපේක්ෂා කරනවා. ඒ නොනවතින, අඛණ්ඩ වැඩසටහන, මත් කුඩුවලින් තොර පිරිසිදු රටක්, පාතාලයෙන් තොර පිරිසිදු රටක්, අල්ලස් හා දූෂණයෙන් තොර පිරිසිදු රටක්, බලයෙන් හිස උදුම්මාගත් දූෂිත දේශපාලනඥයන්ගෙන් තොර පිරිසිදු රටක්, අකාර්යක්ෂම රාජ්‍ය සේවය වෙනුවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තියෙන පිරිසිදු රටක්, නීතියට, නීතියේ විධානයට ගරු කරන පිරිසිදු රටක්, යනාදී ලෙස සෑම අතකින්ම සුපිරිසිදු රටක් බිහි කිරීමේ උදාර අපේක්ෂාව යථාර්ථයක් කිරීම දක්වා ව්‍යාප්ත වෙනවා.
මේ රට ප්‍රමිතිගත, අසිරිමත් රටක් බවට පත් කිරීම උදෙසා පක්ෂ පාට භේදයකින් තොරව කාටත් එකඟ විය හැකි වැඩසටහනක් ලෙසයි අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දුන්නේ. එම වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 6,500 ක් වෙන් කර තිබෙනවා.
- ජනමාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවර්ධනය
රාජ්‍ය මාධ්‍ය ආයතනවල වැරදි කළමනාකරණය හේතුවෙන් ඒවායේ පරිපාලනය බිඳවැටී කාර්ය මණ්ඩලයේ වැටුප් ගෙවීමට පවා අපහසුවන තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒවායේ එදිනෙදා මෙහෙයුම් කටයුතු සඳහා රජය මත නිරන්තරයෙන් යැපෙන වාතාවරණයක් උදාකර තියෙනවා.
ක්ෂේත්රයේ ප්‍රවීණයන් මෙම ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා පත් කර ඒවා නැවත ගොඩනැඟීමේ උත්සාහය ආරම්භ කර තිබෙනවා. මෙම ආයතන යථා තත්ත්වයට පත් වන තුරු රජය ඔවුන්ට සහය වියයුතු බව අප විශ්වාස කරනවා. එබැවින්, 2026 අයවැයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල මෙහෙයුම් හා අත්‍යවශ්‍ය මූලධන වියදම් සඳහා රජයේ සහය ලබාදීමට කටයුතු කරනවා.
නවීන තාක්ෂණයට සමගාමීව ජනමාධ්‍ය ක්ෂේත්රයේ ඇති වී තිබෙන දියුණුවට ගැළපෙන ලෙස ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහාය ලබා දීම වෙනුවෙන් උසස් අධ්‍යාපන, ශිෂ්‍යත්ව පිරිනැමීමට හා ජනමාධ්‍යකරණයේ දී අවශ්‍ය වන තාක්ෂණික ප්‍රවේශය සඳහා සහයක් ලබාදීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- ක්‍රීඩා සංස්කෘතිය වර්ධනය කිරීම
ක්‍රීඩා සංස්කෘතියක් වර්ධනය කිරීමෙන් සමාජය තුළ සෞඛ්‍ය සම්පන්න, නීරෝගිමත්, සහයෝගිමත්, “ජවසම්පන්න පුරවැසියෙක් – ජයග්‍රාහී ජනතාවක්” බිහි වෙනවා. ඒ හෙයින්, ක්‍රීඩා පහසුකම් සඳහා අවස්ථාවන් පුළුල් කිරීම මගින් අපේ ළමා පරපුර මෙන්ම තරුණ ප්‍රජාව අතර ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා රුපියල් මිලියන 1,800ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා තවත් අමතරව රුපියල් මිලියන 800ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා පහසුකම් සැලසීමටත්, දෙවන ස්ථරයේ ක්‍රීඩා සංචිත, ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි, ජාතික ක්‍රීඩා තරග, උසස් දක්ෂතා සහිත ක්‍රීඩා සංචිත සඳහා සහභාගී වන ක්‍රීඩකයන් 4,000කට පමණ පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 1,163 ක් වෙන් කර තිබෙනවා.
ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය යටතේ මන්නාරම හා වවුනියා දිස්ත්‍රික්කවල ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 225ක් ද, කල්මුනේ ක්‍රීඩාගාරය සාදා නිම කිරීම සඳහා රුපියල් මිලියන 150ක් ද මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. ඒ සමගම උතුරු සහ නැඟෙනහිර පළාත්වල ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 150ක් ද වෙන් කර තිබෙනවා.
- ආර්ථික ස්වෛරීත්වය සහ ආහාර සුරක්ෂිතතාවය
23.1 කෘෂිකර්ම හා පශු සම්පත් ක්ෂේත්රය
වී සඳහා සහතික මිල තීරණය කිරීමේ දී හොඳින් වියළුණු වී සඳහා ඉහළ මිලක් ලබාදෙන බැවින් නවීන තාක්ෂණය සහිත වී වියළුම් යන්ත්‍ර අදාළ ගොවි සමාගම් හෝ සමුපකාර සමිති වෙත ලබාදීමට අපේක්ෂා කෙරෙනවා. යෝජිත මෙම ව්‍යාපෘතිය “නිෂ්පාදන සමුපකාර සමිති ගොඩනැඟීම සහ තරුණ ව්‍යාවසායකයන් නිර්මාණය” වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට අමතරව, මෙම ව්‍යාපෘතිය සඳහා තවදුරටත් රුපියල් මිලියන 500ක් ලබා දීමට යෝජනා කරනවා.
ලොකු ලූනූ, අර්තාපල් සහ බඩ ඉරිඟු ඇතුළු ආහාර භෝග නිෂ්පාදනවල මිල උච්චාවචනය අවම කරගැනීම සඳහා සතොස මගින් සපයන සේවාවට අදාළ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට හා ගබඩාකරණයේ පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1,000ක් ලබාදීමට යෝජනා කරනවා.
මේ වනවිට රුපියල් මිලියන 500කට අධික මුදලක් වැයකර ඉදි කරන ලද නමුත් විවිධ තාක්ෂණික ගැටලු හේතුවෙන් ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින දඹුල්ල ශීතාගාර කෘෂි ගබඩාවේ ඵලදායීව යොදා ගත යුතුයි. මෙම ශීතාගාර ගබඩාව මෙට්‍රික් ටොන් 5,000ක පමණ ධාරිතාවකින් යුක්ත වෙනවා. මෙම ගබඩාව භාවිතයට ගැනීමට බාධාවක්ව පවතින ඉදිකිරීම් අවසන් කරගැනීමටත්, ඒ සඳහා සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රුපියල් මිලියන 250 ක් මෙවර අයවැය මගින් ලබාදීමට යෝජනා කරනවා. එමෙන්ම, මෙම ශීතාගාර ගබඩාවේ මෙහෙයුම් සහ කළමනාකරණය සම්බන්ධයෙන් වඩාත් උචිත ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වනවා.
නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන්, දේශගුණ සුහුරු වාරි තාක්ෂණය යොදාගෙන, මාතලේ, මහනුවර හා වියළි කලාපයේ ශක්‍යතාවයක් සහිත ප්‍රදේශයන්හි කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරනවා.
ඒ වෙනුවෙන්, හඳුනාගත් වාරිමාර්ග ක්‍රම 400ක් සඳහා රුපියල් මිලියන 4,000ක් මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ලබාදීමට යෝජනා කරන අතර, ඉන් වාරිමාර්ග ක්‍රම 100ක් 2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
වර්තමාන දේශීය කිරි නිෂ්පාදනය රටෙහි කිරි අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ සපුරාලීම සඳහා ප්‍රමාණවත් වන අතර, කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙනවා. කිරිවලින් ස්වයංපෝෂිත වීම සඳහා වසරකට දළ වශයෙන් කිරි ලීටර් මිලියන 1,200ක් නිෂ්පාදනය කළ යුතුයි. 2030 වසර වනවිට දේශීය කිරි අවශ්‍යතාවයෙන් සියයට 75ක් සපුරාලීමේ ඉලක්කය වෙත ළඟා වීම සඳහා කිරි නිෂ්පාදන ජාතික වැඩසටහන සැලසුම් කර තිබෙනවා.
මේ සඳහා එක් එක් පශු වෛද්‍ය කොට්ඨාසය මූලික කරගනිමින් ගොවීන් සංවිධානගත කිරීම තුළින් කිරි ගොවිපළ සතුන්ගේ අභිජනනය, පෝෂණය හා සෞඛ්‍යය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා විභවතාවයක් සහිත පශුවෛද්‍ය කොට්ඨාස මුල්කර ගනිමින් ගොවීන් සංවිධාන ගත කොට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය ඇතුළු මූලික කටයුතු සඳහා අවශ්‍ය රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන “සුළු හා මධ්‍ය පරිමාණ පශු සම්පත් සංවර්ධන වැඩසටහන” යටතේ වෙන් කිරීමට යෝජනා කරනවා.
දේශීය සත්ත්ව නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පශු ක්ෂේත්රය තුළ උසස් ආරයේ අභිජනන සතුන් වැඩි කිරීම මූලික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇති අතර, විශේෂයෙන්ම මෙය කිරි ගව සහ සූකර යන ක්ෂේත්රවල වඩාත් ප්රමුඛව කැපී පෙනෙන අවශ්‍යතාවයක්. එමනිසා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් තෝරාගත් ගොවිපළ කිහිපයක, නිසි අධ්‍යයනයකින් අනතුරුව තෝරා ගත් ක්‍රමවේදයක් හරහා උසස් ආරයේ කිරි ගවයන් සහ සූකර ප්‍රභේද කිහිපයකට අයත් අභිජනන ඒකක වැඩිදියුණු කිරීමට හා පෝෂ්‍ය තෘණ වගා කිරීමට මෙවර අයවැයෙන් ප්‍රමුඛතාවය ලබා දෙනු ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
මිල්කො (ප්‍රයිවට්) ලිමිටඩ් හි බඩල්ගම නව කිරි කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම ඉතා වැදගත්. 2015 වසරේ දී ආරම්භ කරන ලද බඩල්ගම කිරි කර්මාන්ත ශාලාව මහජන ධනය දැනටමත් රුපියල් මිලියන 18,000 ක් පමණ වැයකර, අතරමඟ නවතා දමා තිබෙනවා. 2022 වසරේ සිට අත්හැර දමා ඇති, මෙම ව්‍යාපෘතිය, ඉදිරියේ දී ජාතික ආර්ථිකයට ඵලදායී ලෙස දායක කරගැනීම සඳහා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සහ කිරි සැකසුම්කරණය වඩාත් උසස් තත්ත්වයෙන් සිදු කිරීම සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, කර්මාන්තශාලාවේ ඉතිරි වැඩ අවසන් කිරීම සඳහා අවශ්‍ය වන මූලික කටයුතුවලට, විශේෂයෙන්ම යන්ත්‍රෝපකරණ හා ගොඩනැඟිලිවල නිවැරදි කිරීම් (Rectification) සහ කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණයන් සිදු කර කර්මාන්තශාලාවේ නිෂ්පාදනය ආරම්භ කිරීම පිණිස මෙවර අයවැය තුළින් රුපියල් මිලියන 3,000ක් ලබාදීමට යෝජනා කරනවා.
මෙහි වැඩකටයුතු කඩිනමින් අවසන් කර, දැනට නාරාහේන්පිට ඇති කිරි කර්මාන්තශාලාව මෙම ස්ථානයට ගෙන යෑමට යෝජනා කරනවා.
මෙහි සංවර්ධනයට මුදල් වෙන් කරන අතරම මේ තුළින් සිදු වී ඇති මහජන මුදල් දූෂණය හා නාස්තිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
23.2 පොල් වගාව සංවර්ධනය කිරීම
ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2,800 – 3,000 ක් පමණ වන අතර, එයින් සියයට 70 ක් පමණ ගෘහස්ත පරිභෝජනය සඳහා ද ඉතිරිය පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය සඳහා ද යොදා ගනු ලබනවා. කෙසේ වෙතත්, වර්තමාන වාර්ෂික පොල් නිෂ්පාදනය ගෘහස්ත පරිභෝජනය සපුරාලීමට ප්‍රමාණවත් වුව ද, කර්මාන්ත ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවේ.
එමනිසා, පොල් නිෂ්පාදනය වැඩි කිරීමේ දිගුකාලීන උපාය මාර්ගයක් ලෙස පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත දැනටමත් ස්ථාපිත උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් මිලියන 600 ක් වෙන් කර තිබෙනවා.
වාණිජ පොල් වගාව තුළ පොල් ඉඩම් හිමියන් පොහොර භාවිතය හා තෙතමන සංරක්ෂණ ක්‍රම තරමක් දුරට සාර්ථකව අනුගමනය කළ ද, අක්කර 5ට වඩා අඩු පොල් ඉඩම් හිමියන් ඒ කෙරෙහි දක්වන උනන්දුව සාපේක්ෂව අඩු මට්ටමක පවතිනවා. මේ වනවිට පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් පොල් වගා කර ඇති ඉඩම් අක්කර 4,000ක් පමණ ආවරණය වන පරිදි පාංශු හා තෙතමන සංරක්ෂණය සඳහා ආවරණ භාවිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ ද, පොල් වගාවේ අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීම සඳහා එය තවදුරටත් ව්‍යාප්ත කළ යුතුව තිබෙනවා.
එබැවින් පොල් ක්ෂේත්රයේ මධ්‍යකාලීන ඵලදායිතා ඉලක්ක සපුරා ගැනීම තුළින් අපේක්ෂිත අපනයන ඉලක්ක ළඟා කරගැනීම සඳහා දැනටමත් පොල් වගා කර ඇති ඇස්තමේන්තුගත ඉඩම් අක්කර 447,000 ක් පමණ වන අක්කර 5ට වඩා අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීම සඳහා පොල් වගාකරුවන් පෙළඹවීමට විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2,500 ක් වෙන්කිරීමට යෝජනා කරනවා.
- ධීවර කර්මාන්තය
24.1 ධීවර වරායන්හි යටිතල පහසුකම් සංවර්ධනය
ආරක්ෂිත හා ගුණාත්මක ධීවර යාත්‍රා මෙහෙයුම් සඳහා අවශ්‍ය සහය සැපයීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හා පසු අස්වනු හානිය අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් බේරුවල, අම්බලන්ගොඩ, කුඩාවැල්ල, නිල්වැල්ල, ඇතුළු තෝරාගත් ධීවර වරායන්වල පවතින යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය, පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කර තිබෙනවා.
තවද, ධීවර වරායන්හි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දැනට ලබාදී ඇති ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000ක් ලබාදීමට යෝජනා කරනවා.
24.2 ධීවරයන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය ලබාදීම
වැඩිදියුණු කළ සේවාවන් සැපයීම, ආරක්ෂිත නාවික ගමනාගමනය සහතික කිරීම සහ වරායේ තදබදය අඩු කිරීම ඉලක්ක කරමින් වාලච්චේන ධීවර වරාය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරනවා. එතුළින්, වාලච්චේන ධීවර වරායෙහි මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගනිමින් ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා රුපියල් මිලියන 350ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ධීවරයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ධීවරයන් වෙත ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මසුන් ගැවසෙන ස්ථාන පහසුවෙන් හඳුනාගැනීමට ලෝකයේ බොහෝ රටවල් නවීන තාක්ෂණය යොදා ගන්නවා. එම තාක්ෂණය අපගේ ධීවරයන් වෙත ලබාදීම කර්මාන්තයේ උන්නතියට හේතු වෙනවා.
මත්ස්‍ය අස්වැන්න ඉහළ නැංවීම
පසු අස්වනු හානි අවම කිරීම හරහා ගුණාත්මක සහ ප්‍රමාණාත්මක මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීම මගින් ධීවර ප්‍රජාවේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා තොටුපළවල යටිතල පසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.
චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් මත්ස්‍ය බිම් හඳුනාගැනීම සහ අදාළ තොරතුරු ධීවර ප්‍රජාව වෙත කාර්යක්ෂමව සන්නිවේදනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
මත්ස්‍ය බීජ සැපයුම වැඩි කිරීම සහ ගුණාත්මක මිරිදිය මත්ස්‍යයන් ලබාගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කර තිබෙනවා.
නීල ආර්ථිකය ප්‍රවර්ධනය
ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය ජාතික සමෘද්ධිය සහ තිරසර සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, තිරසර ආර්ථික වර්ධනයක් සඳහා අපගේ සමුද්‍රීය හා වෙරළ ආශ්රිත සම්පත් උපයෝගී කරගැනීමට සුවිශේෂී අවස්ථාවක් සපයන අතර නීල ආර්ථික ආයෝජන සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ඉස්මතු වීමට ද පිටිවහලක් වෙනවා.
සමුද්‍රීය හා වෙරළ ආශ්රිත ධීවර කර්මාන්තය, සමුද්‍රීය ජලජීවී වගාව, පරිසර සංචාරක ව්‍යාපාරය, කිමිදී ආශ්රිත ක්‍රියාකාරකම්, සුවිශේෂී ආර්ථික කලාපයේ (EEZ) සමුද්‍ර ජෛව තාක්ෂණය සහ මුහුදු පත්ල සම්පත් සංවර්ධනය කිරීම මගින් අත්කරගත හැකි ආර්ථිකමය ප්රතිලාභ පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කර තිබෙනවා.
- වාරි කර්මාන්තය හා ජල සැපයුම්
25.1 වාරි කර්මාන්තය
වාරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා රුපියල් මිලියන 91,700ක් වෙන් කර තිබෙනවා. තාවකාලිකව නවතා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම මගින් දේශීය කෘෂි නිෂ්පාදනය වැඩි කිරීම, ප්‍රාදේශීය සංවර්ධනය, රැකියා උත්පාදනය වැනි රජයේ ප්රමුඛ අරමුණු සාක්ෂාත් කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව, මුන්දෙණි ආරු ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතු ආරම්භ කරමින් ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කිරීම සඳහා මෙවර අයවැය මගින් රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
එමෙන්ම තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සහ කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම වෙනුවෙන් සංවර්ධන පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම, උතුරු පළාතේ යෝධ වැව ආශ්රිත නව ඉඩම් කෘෂිකර්මාන්තයට යෙදවීම, පවතින ඉඩම්වල ඵලදායීතාව වැඩි කිරීම මෙන්ම පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීම සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර ගැටලුවට විසඳුමක් ලෙස දැනට ආරම්භ කර ඇති පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක් වෙන් කර තිබෙනවා.
සේනානායක සමුද්‍රයේ සොරොව්ව ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම ඇතුළුව, ගල්ඔය, රාජාංගණය, හුරුලුවැව, මින්නේරිය වැව ඇතුළු අනෙකුත් ඇළ වේලි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 6,500ක් වෙන්කර තිබෙනවා.
කුඩා වැව්, ඇළ මාර්ග සහ එල්ලංගා පද්ධති වැඩිදියුණු කිරීම හා පුනරුත්ථාපනය වෙනුවෙන් රුපියල් මිලියන 8,350ක ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඒ යටතේ වැව් 650ක් සහ ඇළ මාර්ග කිලෝමීටර් 350කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කරනවා.
25.2 නාගරික ගංවතුර පාලනය
නාගරික ගංවතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර ඒ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන මෙන්ම දිගුකාලීන වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම ගංවතුර නිසා පීඩා විඳින කොළඹ, ගම්පහ, ගාල්ල, අම්පාර, මන්නාරම, පුත්තලම ආදී නගර ආශ්‍රිතව නිතර ඇතිවන ගංවතුර තර්ජනයට කඩිනමින් විසඳුම් ලබා දියයුතුයි. මේ සඳහා කෙටිකාලීන හා මධ්‍යකාලීන විසඳුමක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ පළාත් පාලන ආයතන සමග එක්ව ඒකාබද්ධ සැලැස්මක් සකස් එය මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මෙම සැලැස්මක සැකසීම හා ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය මගින් රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
විශ්වවිද්‍යාල පහසුකම් නැංවීමට මිලියන 2500ක්
වීදි සුනඛයන් හා සුරතල් සතුන් වෙනුවෙන් රු. මිලියන 100ක්
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය නියාමන පනතක්
නිෂ්පාදන ආර්ථිකයට අඩිතාලම
කුමන තනතුරක් දැරුවත් දූෂිතයන්ට දඬුවම්
මුදල් විශුද්ධිකරණයට එරෙහිව රාමුවක්

ගං වතුර කළමනාකරණය සඳහා විධිමත් සැලැස්මක් නොමැති වීමෙන් රත්නපුර, කළුතර, මාතර ජනතාව ඉමහත් දුෂ්කරතාවයනට පත් වී සිටිනවා. එබැවින්, ගිං සහ කළු ගංගාවල, ගංවතුර කළමනාකරණය පිළිබඳව විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් මතු වී තිබෙනවා. යෝජිත මෙම වැඩපිළිවෙළ මගින් වලවේ ද්‍රෝණියට අතිරික්ත ජල ප්‍රමාණයක් ලබාදීමට අමතරව දැනට රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල පවතින ගංවතුර ගැටලුවට ද සුදුසු විසඳුමක් ලබාදීමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මෙම අධ්‍යයනයන් සිදු කිරීම සඳහා රුපියල් මිලියන 500ක වෙන් කිරීමට යෝජනා කරනවා.
මාතර නිල්වලා ගඟ හරහා 2022 වසරේ දී නිමකට ගැටලු රාශියක් පැන නැඟී තිබෙනවා. එය මෙය ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපායට මෙන්ම කෘෂිකර්මාන්තයේ යෙදෙන ජනතාවට ද විශාල බලපෑමක් ඇති කරනවා. මේ සම්බන්ධයෙන් මේ වනවිටත් අධ්‍යයනයක් සිදුකෙරෙමින් පවතිනවා. එම අධ්‍යනයේ සොයාගැනීම් මත විසඳුම් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1,000ක් වෙන් කර තිබෙනවා මෙන්ම මෙම ගංවතුර උවදුර නිසා වගා හානි වූ සහ වගා කිරීමට නොහැකි වූ කුඹුරු ඉඩම් සඳහා ගෙවිය යුතු වන්දි මුදල් කඩිනමින් ගෙවීමට රුපියල් මිලියන 1,200 ක් වෙන් කර තිබෙනවා.
කළු ගං මෝය ආශ්රිත වෙරළ ඛාදනය වැළැක්වීම, කලපුව අවහිර වීම හා අවසාදිත තැන්පත් වීම නිසා අවහිරව තිබූ ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම හා කළුතර වෙරළ ආශ්රිත සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට කඩිනම් ප්‍රයෝගික ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම අවම කිරීම සඳහා කිරාන් පාලම සහ පොණ්ඩුකාල් චේනයි පාලම ඉදිකිරිම සඳහා අවශ්‍ය වන මූලික අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා රුපියල් මිලියන 500ක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කිරීමට යෝජනා කරනවා.
25.3 පානීය ජල සැපයුම ඉහළ නැංවීම
පානීය ජල සැපයුමෙන් මේ වනවිට සපුරා ඇත්තේ අවශ්‍යතාවයෙන් සියයට 62ක ප්‍රමාණයක් පමණයි. පිරිසිදු පානීය ජලය ලබාගැනීමට මාර්ගයන් නොමැති වීම ජනතාව මුහුණදෙන ප්‍රධන ගැටලුවක් බවට පත්ව තිබෙනවා. නව ජල සැපයුම් ආරම්භ කිරීමට හා දැනට ආරම්භ කර තබෙන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරනවා. ගම්පහ, කළුතර, අනුරාධපුර, මහනුවර, යාපනය, කිළිනොච්චිය හා කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක ආවරණය කරමින් පානීය ජලසම්පාදන ව්‍යාපෘති මෙන්ම ප්‍රජා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 85,700ක් වෙන් කර තිබෙනවා. තවද, පානීය ජල සැපයුම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පෞද්ගලික අංශය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ, නාගරික පානීය ජල ඉල්ලුම සපුරාලීමට අඹතලේ නව ජල සැපයුම් පද්ධතියක් ඉදිකිරීමටත්, කොලොන්නාව සහ නුගේගොඩ-ජුබිලි කණුව යන ප්‍රදේශ ආවරණය කෙරෙන නළ ජල පද්ධතිය යාවත්කාලීන කර නව ජල සැපයුම් ලබාදීමටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල හිඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම හා නිෂ්පාදන ආර්ථිකය ඉලක්ක කොටගත් කර්මාන්ත වැඩිදියුණු කිරීම සඳහා දායක වන නව ජල ව්‍යාපෘතියක් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඉදිකිරීමටත්, රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
හම්බන්තොට සංවර්ධනය සඳහා 2040 වනවිට දෛනික ජල අවශ්‍යතාව ඝන මීටර් 300,000ක් පමණ වන බව ඇස්තමේන්තු ගතකර ඇත. දැනට මෙම ප්‍රදේශයේ දෛනික ජල සැපයුම ඝන මීටර් 90,000ක් පමණ වන අතර එම ඉල්ලුම ලුණුගම්වෙහෙර, වළවේ ගඟ, කිරිඳි ඔය, කච්චිගල් ආර, කිරම ඔය, ඌරු බොක්ක ඔය ආදී ජල මූලාශ්‍ර හරහා සපයනු ලබනවා. දැනට සිදු කර ඇති මූලික අධ්‍යයනයන්ට අනුව මෙම ජල මූලාශ්‍ර ආශ්‍රිතව යම් ආයෝජනයක් සිදු කර සංවර්ධනය කිරීම තුළින් දිනකට අමතර ජලය ඝන මීටර් 100,000ක් පමණ කඩිනමින් ලබා ගත හැකි අතර එය ඉදිරියේ දී ඇති වන ජල ඉල්ලුමට පිටිවහලක් වෙනවා. එබැවින් මේ සම්බන්ධයෙන් පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර සංවර්ධන අවශ්‍යතා කඩිනමින් හඳුනාගෙන ඒවා ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා.
- තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය
26.1 පොදු ප්‍රවාහනය
වර්තමාන පොදු ප්‍රවාහන ක්ෂේත්රය විවිධ ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. සමස්ත ප්‍රවාහන පද්ධතියේ ඇති අකාර්යක්ෂම බව, ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම, ප්‍රවාහන පද්ධතියේ ඇති අනාරක්ෂිත බව, මගී ජනතාව තවදුරටත් පොදු ප්‍රවාහනයෙන් ඈත් වීමට හේතු වෙනවා. “මහජන ප්‍රවාහන සේවාවක් – කාර්යක්ෂම ගමනාන්තයක්” යන රජයේ දිගුකාලීන දැක්ම ළඟා කර ගන්න කාර්යක්ෂම හා තිරසාර මගී ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීම වත්මන් රජයේ ප්රමුඛ අපේක්ෂාවක් වෙනවා. ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 67,200ක් වෙන් කර තිබෙනවා. ඒ අතර ප්‍රධාන වශයෙන් පහත ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා.
පොදු ප්‍රවාහන ක්ෂේත්රය ශක්තිමත් කිරීම පිණිස දුර ගමන් සේවා සඳහා බස් රථ 600 ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ධාවනයට එක්කිරීමට නියමිතයි. එහි මූලික කටයුතුවලට රුපියල් මිලියන 3,600ක් වෙන් කර තිබෙනවා.
එසේම ශ්‍රී ලංගම බස් රථ 307ක ගෙවී ගිය එන්ජින් කට්ටල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 2,062ක් ලබන වසර සඳහා වෙන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ සහ වැඩපොළවල් සඳහා අවශ්‍ය නව මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපකරණ සපයා ගැනීම සඳහා රුපියල් මිලියන 790ක් වෙන් කර ඇති බවද සඳහන් කරන්න කැමැතියි.
දුම්රිය සේවාව තවදුරටත් කාර්යක්ෂම හා මගී හිතැති සේවාවක් බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත නව ඩීසල් බලවේග කට්ටල 5 ක් ලබාගැනීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 3,300ක් වෙන් කර තිබෙනවා. තවද, දුම්රිය මගීන් සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත්‍ර ලබා දීම ඇතුළු දුම්රිය සේවාව ඩිජිටල්කරණය කිරීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.
තවද දිවයිනේ ඇතැම් මාර්ගවල බස් රථ ධාවනයේ දී ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුවෙන් පුද්ගලික අංශයේ සේවා සපයන්නන් සිය බස් රථ ධාවනය සීමා කිරීමට පෙළඹී ඇති බව පෙනී යනවා. මේ හේතුවෙන් එම ග්‍රාමීය ප්‍රදේශවල මගී ජනතාව දැඩි අපහසුතාවන්ට ලක්වෙනවා. එවැනි මාර්ග විධිමත්ව හඳුනාගෙන, තිරසාර ප්‍රවාහන සේවයක් ලබාදීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට යෝජනා කරන අතර අන්තර්කාලීන විසඳුමක් ලෙස රුපියල් මිලියන 2,000ක අතිරේක ප්රතිපාදනයක් 2026 වසර සඳහා වෙන් කිරීමට යෝජනා කරනවා.
26.2 මහා මාර්ග සංවර්ධනය
රටේ ඇතිවූ ආර්ථික අර්බුදය සමග මාර්ග සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් අතරමඟ නතර කරනු ලැබුවා. ඒ හේතුවෙන් විවිධ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවුණා. එම ව්‍යාපෘතිවල ඇති ගැටලු මඟ හරවා ගනිමින් නැවත මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට අප පියවර ගත්තා. සමස්ත මාර්ග සංවර්ධනයට 2026 වසර සඳහා රුපියල් මිලියන 342,000ක් වෙන් කර තිබෙනවා. ඒ අතර පහත ව්‍යාපෘති ඇතුළත් වෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගය පළමු අදියර
මේ වනවිට අතරමඟ නවතා තිබූ අධිවේගී මාර්ග අතුරින් විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස ඉදි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීම පිළිබඳව ද තීරණයකට එළඹී ඇති අතර කඩවත-මීරිගම අධිවේගී මාර්ග කොටසේ සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භකර ඇති අතර 2026 වසර සඳහා රුපියල් මිලියන 66,150 ක් වෙන් කර තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගය තුන්වන අදියර
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන තෙවන අදියරෙහි පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් 2027 වර්ෂයේ මුල් කාර්තුවේ අවසන් කිරීමට සැලසුම්කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 10,500ක් වෙන් කර ඇත. තවද, එම අදියරෙහි රඹුක්කන ගලගෙදර කොටසෙහි ඉදිකිරීම් කටයුතු රාජ්‍ය මූල්‍ය අවකාශය කෙරෙහි ද අවධානය යොමු කරමින් දේශීය අරමුදල් යටතේ ආරම්භ කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා, මාර්ග සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති ණය මුදලින් ඉදිරි වර්ෂයන්හි දී ගෙවිය යුතු ණය මුදලෙහි කොටසක් මෙම වසර තුළ දී ගෙවා අවසන් කිරීම නිසා ඉදිරි වර්ෂයේ දී ඉතිරි වන ප්‍රතිපාදන සහ තවත් අතිරේක ප්රතිපාදනයක් ද ඇතුළුව රුපියල් මිලියන 20,000ක ප්රතිපාදනයක් සලසා දීමට යෝජනා කරනවා.
කටුගස්තොට – ගලගෙදර මාර්ග කොටස
එමෙන්ම, කටුගස්තොට සිට ගලගෙදර දක්වා වන මාර්ග කොටස ද පුළුල් කිරීමට අවශ්‍ය අධ්‍යයන කටයුතු ද ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමට සමගාමීව මහනුවර නගරය වෙත ප්‍රවේශ වන මාර්ග කිහිපයක් පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන සලසා ඇති අතර එමගින් මහනුවර නගරයේ රථවාහන තදබදය යම් පමණකට අඩු කිරීමට අපේක්ෂා කරනවා.
කුරුණෑගල-දඹුල්ල යෝජිත අධිවේගී මාර්ගය
කුරුණෑගල දඹුල්ල යෝජිත අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතිනවා. එහි ඉඩම් අත්පත් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කර තිබෙනවා.
රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුව සිට ඉංගිරිය දක්වා පළමු කොටස
රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝ මීටර් 25 ක අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් අක්‍රමවත් ලෙස තැනින් තැන සිදු කර ඇති අතර ආර්ථික අර්බුදයත් සමග එම ඉදිකිරීම් තාවකාලිකව නවත්වා තිබෙනවා. මෙසේ අඩක් නිම කළ ඉදිකිරීම් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව ආර්ථික, සමාජීය මෙන්ම පාරිසරික ගැටලු රාශියකට ද මුහුණ පා සිටිනවා. එබැවින් මෙම මාර්ග කොටස සඳහා 2018 වසරේ දී සිදු කර ඇති ශක්‍යතා අධ්‍යයනය නැවත සමාලෝචනයකට ලක් කර ඒ මගින් ලැබෙන තොරතුරු විශ්ලේෂණයකින් අනතුරුව, කහතුඩුව සිට ඉංගිරිය දක්වා දැනට පවතින ප්‍රවේශය වැඩි දියුණු කිරීම පිළිබඳව තව දුරටත් සලකා බැලීමට අපේක්ෂා කරනවා. මෙම අධිවේගී මාර්ග කොටසේ ඉඩම් අත්පත් කරගැනීම ද අඛණ්ඩව සිදු කරමින් පවතින අතර ඒ සඳහා රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙනවා.
කුලුනු මත ඉදි කෙරෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ සිට සමුද්‍රීය මාර්ග (Marine Drive) දිගුව (අදියර II) දක්වා සම්බන්ධතාවය ඉදිකිරිම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
කොළඹ වරාය හා වරාය නගරය වෙත මාර්ග සබඳතාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් කුලුනු මත අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ඉදිවෙමින් පවතින අතර එම අධිවේගී මාර්ගය ජාතික මාර්ග පද්ධතිය වෙත එකතු වීමත් සමග කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව ලෝටස් වටරවුම ප්‍රදේශයේ හා තදාසන්න ප්‍රදේශවල ඇති වේ යැයි අපේක්ෂිත රථවාහන තදබදය අවම කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් කුලුනු මත ඉදි කෙරෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වරාය නගර අන්තයේ සිට සමුද්‍රීය මාර්ගය (Marine Drive) දක්වා සම්බන්ධතාවය ඉදිකිරිම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට රුපියල් මිලියන 330ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
26.3 මාර්ග අනතුරු අවම කිරීම සඳහා ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
මෑත කාලීනව මාර්ග අනතුරු ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එයින් සැලකිය යුතු සංඛ්‍යාවක් මාරක රිය අනතුරු බව නිරීක්ෂණය වී තිබෙනවා. ශ්‍රී ලංකා පොලිස් මාර්ග අනතුරු වාර්තාවට අනුව, 2024 වසර තුළ මාර්ග ආශ්රිත අනතුරු 24,589 ක් වාර්තා වී ඇති අතර එයින් 2,262 ක් මාරාන්තික අනතුරු වෙනවා. මෙම අනතුරු හේතුවෙන් පුද්ගලයන් 2,368 දෙනකුට ජීවිත අහිමි වී තිබෙනවා. මෙම මාර්ග අනතුරු මහජනතාවට අහිතකර බලපෑම් ඇති කරනවා පමණක් නොව සමස්තයක් වශයෙන් ජාතියට සැලකිය යුතු ආර්ථික පාඩු ද ඇති කරනු ලබනවා.
මාර්ග සඳහා ආරක්ෂිත ක්රමෝපායයන් ඇතුළත් කිරීම, අනාරක්ෂිත මාර්ග කොටස් වැඩිදියුණු කිරීම ඇතුළු මාර්ග ආරක්ෂාවට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් පුළුල් මාර්ග ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- බලශක්ති ක්ෂේත්රය
27.1 හරිත බලශක්තිය
අප රජය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී බලයට පත් වූ දා සිට, අපගේ පාරිභෝගිකයින්ට හොඳම මිල ගණන් සහතික කිරීම අරමුණු කර ගනිමින්, රජයේ ප්‍රසම්පාදනයන් සඳහා තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය හඳුන්වා දීමට තීරණාත්මක පියවර ගෙන තිබෙනවා. මෙම උත්සාහයේ ප්‍රධාන ජයග්‍රහණයක් මෑතක දී සිදු කළ විදුලිබල ව්‍යාපෘති ප්රදානය කිරීමේ දී පැහැදිලි ව දැක ගත හැකි වුණා. පසුගිය පාලනය විසින් සුළං බලය එකතු කිරීමේ උප පොළක් සඳහා වන පිරිවැය පවා නොමැතිව, සමස්තය මෙගාවොට් 500 ක ව්‍යාපෘති කිලෝවොට් පැයකට ඇමෙරිකානු ඩොලර් ශත 8.26 ක අනුපාතයකින් විදුලිබල උත්පාදනය සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ටෙන්ඩර් දෙකක් ප්රදානය කර තිබුණා.
අපි මෑතකදී එනම් 2025 වසරේ ඔක්තෝබර් මස 28 වන දින මුල්ලිකුලම් හි විදුලි ව්‍යාපෘති දෙකක් සඳහා ටෙන්ඩර් දෙකක් විවෘත කළ අතර ඉන් ලබාගැනීමට හැකි වූ විශිෂ්ට ප්‍රතිඵල පිළිබඳව මම මේ සභාවට ඉතා ආඩම්බරයෙන් වාර්තා කිරීමට කැමතියි. ඒ අනුව එහි 1 වන කොටස වන මෙගාවොට් 50 ක බලාගාරයක් සඳහා, ඒකකයකට ඇමෙරිකානු ඩොලර් ශත 3.96 ක් සහ 2 වන කොටස වන මෙගාවොට් 50 ක බලාගාරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් ශත 3.77 ක් වැනි මිලකට ලංසු ඉදිරිපත් වී තිබුණා. මීට අමතරව, මන්නාරම අදියර 1 පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, එනම් මෙගාවොට් 50 ක ව්‍යාපෘතිය, ඒකකයකට ඇමෙරිකානු ඩොලර් ශත 4.65 ක ආකර්ෂණීය මිලකට ප්රදානය කරනු ලැබුවා.
27.2 මහජන කේන්ද්‍රීය බලශක්ති පරිවර්තනයක්
මහජන කේන්ද්‍රීය බලශක්ති පරිවර්තනයක් (People-centric Energy Transition) කරා යන ගමනේ ප්රමුඛ පියවරක් ලෙසින්, ජාතික ආර්ථිකය සහ ජනතාවගේ ජීවන මට්ටම නගා සිටුවීමේ අරමුණ පෙරදැරිව, විදුලිබල පනත සංශෝධනය කර, ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම හා පද්ධති පාලන ලෙස පූර්ණ රාජ්‍ය සතු සමාගම් 4 ක් ස්ථාපිත කරනු ලැබූවා.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති 2025 – 2044 දිගු කාලීන ජනන සැලැස්ම අනුව ඉදිරි දශකය තුළ විදුලිබල අවශ්‍යතාව සියයට 60 කින් පමණ වැඩි වනු ඇති බව ගණන් බලා තිබෙනවා.
අපි දශක ගණනක් පුරාවට මොන ප්‍රභවයෙන් ද විදුලිය ජනනය කරන්නේ කියලා තර්ක කර කර හිටියා. සැලසුම් යල් පැන්නා, ප්‍රසම්පාදන නිසි පරිදි සිදු වුණේ නෑ, ඉදි කිරීම් ප්‍රමාද වුණා. ජනනය කරන විදුලිය බොහෝ දුරට අලෝකය ලබා ගන්න, Fan එකක්, AC එකක් දාගන්න පමණක් අවධානය යොමුකළා, ඉන් ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යන බවට තර්ක කළ හැකි වුවත්, ආර්ථික කාර්යයන් සඳහා විදුලි පරිභෝජනය බල ගැන්වීමේ දුර්වලතා එලෙසම පැවතුණා.
අප දැන් විදුලි බලය උපයෝගී කරගෙන ජාතික ආර්ථිකය පණ ගැන්වීම උදෙසා නව ක්ෂේත්‍ර වෙත ප්‍රවේශ වීම කෙරෙහි අවධානය යොමු කරනවා. එනම්;
- Data Centres (දත්ත පද්ධති මධ්‍යස්ථාන)
- Transport Electrification (ප්‍රවාහන විද්‍යුත්කරණය)
- Green Hydrogen (හරිත හයිඩ්රජන්)
- Green Ammonia (හරිත ඇමෝනියා)
වැනි නව ආර්ථික අවස්ථා අරමුණු කරගත් විදුලි පරිභෝජනයක් හදාගන්න අවශ්‍යයි. ඒ සඳහා විදුලි සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ පද්ධති නවීන සුහුරු තාක්ෂණය ඔස්සේ දියුණු කරගන්න අවශ්‍යයි.
මේ කාර්යය සවිබල ගැන්වීම සඳහා බලශක්ති (Energy), ඩිජිටල් (Digital), ප්‍රවාහන (Transport) ඒකාබද්ධ ආර්ථික ප්‍රවර්ධන රාමුවක් (Integrated Economy Development Framework) ස්ථාපිත කරනවා.
ඒ සඳහා අවශ්‍ය වන නීතිමය රාමුව සකසාගැනීමේ අරමුණින් බලශක්ති පරිවර්තන පනත (Energy Transition Act) ලබන වසර තුළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
- ඌන උපයෝජිත ගොඩනැඟිලි හා ඉදිකිරීම් ඵලදායී ලෙස භාවිතයට ගැනීම
විවිධ රජයේ ආයතන විසින් ඉදි කර දැනට අත්හැර දමා හෝ අර්ධ වශයෙන් නිම කර නිසි පරිදි භාවිතයට නොගන්නා ඉදිකිරීම් 2,700 කට වඩා වැඩි ප්‍රමාණයක් පවතින බවට දැනට වාර්තා වෙනවා. ඒවා අධ්‍යාපන ගොඩනැඟිලි, රෝහල්, පේෂ කර්මාන්ත ගොඩනැඟිලි, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ප්‍රජා ශාලා, සේවා පියස හා බහුකාර්ය ගොඩනැඟිලි, ගබඩා, සංස්කෘතික මධ්‍යස්ථාන හා වෙනත් ගොඩනැඟිලි ලෙස හඳුනාගෙන තිබෙනවා.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය තුළින් මෙම ඌන උපයෝජිත ගොඩනැඟිලි හෝ ඉදිකිරීම් වැඩිදියුණු කර ආදායම් ඉපයිය හැකි ව්‍යාපෘති වන හෝටල්, ව්‍යාපාරික මධ්‍යස්ථාන, කර්මාන්තශාලා හෝ වෙනත් කාර්යයන් සඳහා යෙදවීම පිළිබඳ අධ්‍යයනය කර ඒ අනුව මෙම සම්පත් ඵලදායී ලෙස භාවිතයට ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරනවා.
ඒ අනුව අතීතයේ නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව අධික වැය බරක් දරා ඉදිකර ඇති මෙම ඉදිකිරීම් වර්තමානයේ විනාශ වී යෑමට නොදී ප්රශස්ත ලෙස භාවිතයට ගැනීම තුළින් මෙම ආයෝජන සඳහා වටිනාකමක් ලබා දීමට කටයුතු කරනවා.
- සැපයුම් දාම සංවර්ධනය
29.1 වරාය තුළ බහාලුම් මෙහෙයුම් වැඩි දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීම උපයෝගී කරගනිමින් වරාය සැපයුම් අංශයේ (Port Logistics) කලාපීය ප්‍රමුඛයකු වීමට ශ්‍රී ලංකාවට සැලකිය යුතු විභවතාවයක් තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් බටහිර බහාලුම් පර්යන්ත අදියර 2 ව්‍යාපෘතිය, ලෝක බැංකුවේ සහයෝගය ඇතිව යෝජිත වරාය සැපයුම් මධ්‍යස්ථාන (Ports Logistics Centers) සඳහා ශක්‍යතා අධ්‍යයනයන් මෙන්ම යෝජිත කොළඹ උතුරු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ද ඇතුළුව ප්‍රධාන සංවර්ධන මූලාරම්භයන් මඟින් කොළඹ වරායේ ධාරිතාව වැඩි දියුණු කිරීමට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඉදිරි වසරේ දී අපේක්ෂා කරනවා. මීට අමතරව, කෙරවලපිටිය රේගු සත්‍යාපන මධ්‍යස්ථානය සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙළඳ පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවනවා.
ශ්‍රී ලංකාවේ වරායන් කලාපයේ ප්රමුඛ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව, බාධාවකින් තොරව සහ කාර්යක්ෂම වරාය මෙහෙයුම් සහතික කිරීම සඳහා වරාය ප්‍රජා පද්ධතිය (Port Community System), ඒකාබද්ධ දත්ත කළමනාකරණ පද්ධතිය ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළුව වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීය පහසුකම් වැඩිදියුණු කරනවා.
29.2 ගුවන්තොටුපළ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය (ගුවන් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානය)
ආර්ථික බිඳ වැටීම් සහ අනෙකුත් සාධක හේතුකොට ගෙන අතර මඟ නවතා දමා තිබූ ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ දෙවන අදියර 2026 වසරේ මුලදී ඉදිකිරීම් ආරම්භ කරනවා. ඒ සඳහා දැනටමත් ජපානයේ, ජයිකා ආයතනය මූල්‍ය පහසුකම් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාණ්ඩ පර්යන්තය පුළුල් කිරීම සහ භාණ්ඩ ප්‍රවාහන පහසුකම ඇතුළු දැනට සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතු සමගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් බවට පත්වීමේ මාවතට පිවිසෙමින් සිටිනවා.
කෙසේ වුවද, විශේෂයෙන් ශීත දාම පද්ධතියේ (cold chain system) ඇති අඩුපාඩු, ප්‍රමාණවත් ගබඩා ධාරිතාවක් නොමැතිකම සහ යල් පැන ගිය පද්ධතීන් හේතුවෙන් තවදුරටත් අභියෝගයන් මඟහරවා ගනිමින් ගුවන් භාණ්ඩ අංශයේ පූර්ණ විභවය ළඟා කර ගැනීමට මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මූල්‍ය තිරසාරභාවය සහතික කිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් (PPP) හරහා ගුවන් භාණ්ඩ හැසිරවීමට අවශ්‍ය ශීත ගබඩා වැනි දියුණු පහසුකම්, අලුතින් ඉදිකරන ලද භාණ්ඩ පර්යන්තය වෙත ලබා දීමට යෝජනා කරනවා.
- නගර සංවර්ධනයට නව ප්‍රවේශයක්
නිසි අධ්‍යයනයකින් සහ සැලසුම්වලින් තොරව අවිධිමත් ලෙස සහ ප්‍රමුඛතාගත කිරීමකින් තොරව නගර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වී ඇති අතර එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට හැකියාවක් ලැබුණේ නෑ. එබැවින්, 2026 වසරේ සිට නගර සංවර්ධන ක්‍රියාවලිය විධිමත් සැලැස්මකට අනුව සහ නිසි අධ්‍යයනයන් සහිතව සිදු කරනවා. කාර්යක්ෂම, තිරසර, සංචාරක සහ ආයෝජන ආකර්ෂණය සහිත නගර පද්ධතියක් ස්ථාපනය කිරීමට කටයුතු කරනු ලබනවා. යාපනය, ඇහැලියගොඩ, මඩකලපුව, හලාවත, මාතර ඇතුළු දිවයින පුරා හඳුනාගත් නගර 10 ක් ශක්‍යතාව හඳුනාගැනීමේ මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් සූදානම් කර ඇති අතර එය අවශ්‍යතාව හා ප්‍රගතිය අනුව මුදාහැරීමට කටයුතු කරනවා.
මාතලේ නගරයට පිවිසීමේ දී දැනට තිබෙන තදබදය අඩු කිරීම සඳහා මං තීරු ප්‍රමාණය මං තීරු 4 දක්වා පුළුල් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම හා නගර සැලැස්ම සකස් කිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. හැටන් නගරයේ අධික තදබදයට සුදුසු පිළියම් ලබා දීම සඳහා අවශ්‍ය නගර සැලැස්ම සූදානම් කිරීමට 2026 වසරේ බලාපොරොත්තු වන අතර එහි දැනට පවතින තදබදය අවම කිරීමට කෙටිකාලීන කඩිනම් විසඳුමක් ලබා දීමටත් යෝජනා කරනවා. මේ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා.
රත්නපුර නගරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, පැරණි නගරයේ පිහිටා ඇති රජයේ නිල නිවාස නව නගර ප්‍රදේශයට නැවත ස්ථානගත කිරීමට යෝජනා කරනවා. දිගුකාලීන නේවාසික අවශ්‍යතා සපුරාලීම සඳහා එම ස්ථානගත කිරීම ප්‍රයෝජනවත් වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ සඳහා මෙවර අයවැයෙන් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
30.1 පළාත් පාලන ආයතන සඳහා කසළ කළමනාකරණ පහසුකම්
නාගරීකරණය ක්‍රමයෙන් ඉහළ යෑමේ ප්රවණතාවයන් සමග, පළාත් පාලන ආයතන සඳහා විධිමත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අභියෝගයක් වී ඇත. කැළි කසළ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම්, සතුන්ට වන පීඩාවන් සහ මහජන මැසිවිලි වැනි ගැටලු දිනෙන් දින උග්‍ර වෙමින් පවතිනවා.
මෙම ගැටලුවට ප්‍රතිචාරයක් ලෙස, පරිසර හිතකාමී, පිරිවැය ඵලදායී සහ සෞඛ්යාරක්ෂිත ඝන අපද්‍රව්‍ය ප්‍රවාහන සංයුක්ත වාහන (compactors), ට්‍රැක්ටර්, ටේලර් වැනි උපකරණ පළාත් පාලන ආයතන වෙත ලබාදීම සඳහා 2026 අයවැය මඟින් මුදල් වෙන් කිරීමට යෝජනා කරනවා. 2025 වසරේ ඉතිරි වූ ප්‍රාග්ධන වියදම් තුළින් රුපියල් මිලියන 8,000 ක ලබා දී යන්ත්‍රෝපකරණ 700 ක් මිලදී ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, ඝන අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීම සහ නඩත්තු කටයුතු සඳහා රථවාහන හා උපකරණ ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 900 ක් වෙන් කර තිබෙනවා.
30.2 පළාත්පාලන ආයතනවල වියදම් පියවීම (ප්‍රාදේශීය සංවර්ධනය)
පළාත් පාලන ආයතන ස්වාධීන බලතල සහිත ආයතනයන් වූ නමුත් වැටුප් ගෙවීමට පවා මහා භාණ්ඩාගාරයේ යැපෙන තත්ත්වයකට පත්කර තිබෙනවා. මහා භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවීම සඳහා ප්‍රතිපාදන ලබාදීමේ දී, ඇස්තුමේන්තුවෙන් සියයට 20 හා 40 යන ප්‍රතිශතයන් අඩු කර ප්‍රතිපාදන ලබාදීමේ පවතින ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරනවා.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් මෑතකදී සිදු කරන ලද අධ්‍යයනය පදනම් කරගෙන, පළාත් පාලන ආයතනවල ආදායම් හා සත්‍ය වියදම් සැලකිල්ලට ගනිමින් එක් එක් පළාත් පාලන ආයතනය සඳහා රජයේ දායකත්වය ලබා දෙන විධිමත් ක්‍රමවේදයක් ආරම්භ කිරීමට යෝජනා කරනවා.
එසේ කටයුතු කිරීමේ දී යම් පළාත් පාලන ආයතනයක අයවැය හිඟයක් ඇති වූවහොත් එය පියවීම සඳහා මූලධන වියදම් වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදෙනවා.
2026 අයවැය මඟින්, පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම, පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආදායම් උත්පාදනය වැඩසටහනේ සඳහා රුපියල් මිලියන 2,500 ක් වෙන් කර තිබෙනවා.
30.3 වීදි සුනඛයන්ගේ රැකවරණය හා සුරතල් සතුන් භූමදාන කිරීම / ආදාහන කිරීම සඳහා සේවා හා පහසුකම් හඳුන්වාදීම
නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවන රටාවන් වෙනස් වීමත් සමගම සුරතල් සතුන් ඇති කිරීමේ ප්‍රවණතාවය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ඒ සමග, සුරතල් සතුන් මිය ගිය විට භූමදානය කිරීම සහ ආදාහනය කිරීම ගැටලුවක් වී පවතිනවා. ඒ සඳහා ගෞරවනීය සහ පාරිසරික වශයෙන් වගකිවයුතු විකල්ප සඳහා ඉල්ලුමද වැඩිවී තිබෙනවා.
එමෙන්ම, නාගරික ප්‍රදේශවල ව්‍යාප්තව පවතින වීදි සුනඛයින් සහ සුරතල් සතුන් රැක බලා ගැනීම ක්‍රමවේදයක් ද පළාත් පාලන ආයතන හා එක්ව සංවර්ධනය කිරීම අවශ්‍ය බව අවධානයට ගෙන තිබෙනවා.
මෙම අවශ්‍යතාවයට අවධානය යොමු කිරීමක් වශයෙන්, සුරතල් සතුන් භූමදානය කිරීම, ආදාහනය කිරීම සහ වීදි සතුන් රැක බලා ගැනීම සඳහා සේවා සැපයීම දිරිමත් කිරීමේ අරමුණින්, කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතනයන් හි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- සෑම පුද්ගලයෙකුටම ආරක්ෂිත නිවසක්
“හිසට සෙවනක් කියන්නේ හිතට නිවනක් කියලයි” සෑම පුරවැසියෙක්ම විශ්වාස කරන්නේ. තරාතිරමක් නැතිව සෑම මිනිසකුටම ජීවත් වීමට සුදුසු නිවහනක් තිබීම මූලික මිනිස් අයිතිවාසිකමක් වෙනවා. නිවසක් වෙනුවෙන් ජීවිත කාලය පුරාම අප්‍රමාණ දුක් විඳින, සුසුම් හෙළන මිනිස්සු මේ රටේ ඉන්නවා. අපේ රටේ පුරවැසි ජීවිතවලට සැනසිල්ලක් රැගෙන එන බලාපොරොත්තුව ඇතිව අපි, නිවසක සිහිනය සැබෑ කිරීමේ කටයුත්ත ආරම්භ කරනවා.
නිවාස ගැටලු පැන නැගීමට කරුණු රැසක් බලපානවා. ඒ අතරේ දරිද්‍රතාවය, ප්‍රමාණවත් ආදායමක් නොලැබීම, ඉඩම් හිඟකම, ඉදිකිරීම් පිරිවැය ඉහළ යෑම, සංක්‍රමණය, අවිධිමත් නාගරීකරණය, අවතැන් වීම් සහ ස්වාභාවික ව්‍යසන ආදී හේතු රැසක් පවතිනවා. මෙවැනි, නිවාස ගැටලුවලට මුහුණ පා සිටින සියලු කණ්ඩායම් ආවරණය කරමින්, අලුත්ම ප්රවේශයකට අනුව නිවාස සංවර්ධන වැඩසටහනක්, 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. එම වැඩසටහන යටතේ, දැනට ඉදිවෙමින් පවතින නිවාස ඇතුළුව නව නිවාස 27,000 ක වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරනවා.
ආයෝජන කලාප ආශ්රිත සේවා වෙනුවෙන් තවත් මිලියන 1000ක්
කර්මාන්ත සංවර්ධනයට තවත් මිලියන 1000ක්
විදේශීය ආයෝජකයන්ට නේවාසික වීසා ක්‍රමයක්
මහල් 16ක හෘද ඒකකයක් හදන්න ඇරැඹුමට මිලියන 200ක්
අපනයන සංවර්ධන සැලැස්ම බලගන්වන්න මිලියන 250ක්
මූලික රෝහල් 82ක් සංවර්ධනයට මිලියන 31000ක්:
වෛද්‍ය නිර්දේශ මත තැලසීමියා රෝගීන්ට රු. 10000ක්

31.1 අඩු ආදායම්ලාභීන් හා නාගරීකරණ හේතුවෙන් ඇති වූ නිවාස ගැටලු විසඳීම
අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුවලට පිළියමක් ලෙස ලබන වසරේ සිට “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස වැඩසටහන අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ඒ යටතේ නිවාස 70,000 ක් මධ්‍යකාලීනව ඉදි කිරීම අපේක්ෂා කරනවා. ඒ සඳහා, 2026 වසරේ නිවාස 10,000 ක් ඉදිකිරීම වෙනුවෙන් දැනට වෙන්වී ඇති රුපියල් මිලියන 7,200 ට අමතරව තවත් මිලියන 3,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
කොළඹ සහ තදාසන්න නගරවල ‘නාගරික වතු’ ලෙස හෝ අඩු පහසුකම් සහිත නාගරික ජනාවාස ලෙස හඳුනාගත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඇපල්වත්ත, මාදම්පිටිය, ෆර්ගසන් මාවත, ඔබේසේකරපුර, ස්ටේඩියම්ගම, කොළඹගේ මාවත සහ ටොරින්ටන් පෙදෙස නිවාස ඉදිකිරීම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන්කර තිබෙනවා.
චීන රජයේ ආධාර යටතේ මොරටුව, පෑලියගොඩ, දෙමටගොඩ, මහරගම සහ කොට්ටාව යන ස්ථානවල නිවාස 1,996 ක් පමණ ඉදිවෙමින් පවතින අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 6,500 ක් දැනටමත් වෙන් කර තිබෙනවා. එම නිවාස අතුරින් මාධ්‍යවේදීන් හා කලාකරුවන් සඳහා ද නිවාස ලබා දීමට කටයුතු කරනවා.
රජය විසින් ඉදිකරන ලද පැරණි මහල් නිවාස සංකීර්ණවල තත්ත්වය ඉතා කනගාටුදායක වන අතර ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 1,180 ක් වෙන් කර තිබෙනවා.
කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය සඳහා බාධාවක්ව පවතින අනවසර පදිංචිකරුවන් වෙනත් සුදුසු ස්ථානවල පදිංචි කරවීම සඳහා රුපියල් මිලියන 840 ක් වෙන් කර තිබෙනවා.
31.2 මලයගම් ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීම
ඉන්දීය රජයේ සහයෝගය සහිතව මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වෙසෙන මලයගම් වතු කම්කරු ප්‍රජාවගේ නිවාස සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම උදෙසා නිවාස 2,000 ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 4,290 ක් වෙන් කර තිබෙනවා. තවද, ඉන්දීය රජයේ සහයෝගය සහිතව දැනට උතුරු සහ දකුණු පළාත්වල ඉදිවෙමින් පවතින නිවාස 943 ක වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 1,305 ක් වෙන් කර තිබෙනවා.
31.3 ස්වාභාවික ව්‍යසන නිසා අවතැන් වූ ජනතාව සඳහා නිවාස ලබාදීම
නායයෑම හා අනෙකුත් පාරිසරික හේතු මත අවදානම් ප්‍රදේශවල ජීවත්වෙන ග්‍රාමීය හා වතු ආශ්රිත පවුල් ඒකක 9,000 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. එම පවුල් ඒකක සඳහා ඉදිරි වසර 3 තුළ, ආරක්ෂිත නිවාස ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. මේ වසරේ පවුල් 1,200 ක් සඳහා නිවාස ඉදිකිරීමට දැනට වෙන්කොට තිබෙන මිලියන 1,000 ක මුදලට අමතරව අතිරේක රුපියල් මිලියන 2,000 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා.
31.4 අභ්‍යන්තර අවතැන් වූ ප්‍රජාව වෙනුවෙන් නිවාස ලබා දීම
උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුද්ධය හේතුවෙන් කිසිම නිවසකට හිමිකමක් නොමැති පවුල් වෙනුවෙන් නිවාස 2,500 ක් ඉදිකිරීම සඳහා දැනට වෙන්කර තිබෙන රුපියල් මිලියන 3,850 ක ප්රතිපාදනය රුපියල් මිලියන 5,000 ක් දක්වා වැඩි කරනවා.
31.5 නැවත සමාජගත වීම සහ ළමා රැකවරණය වෙනුවෙන් නිවාස ආධාර
2025 අයවැය මඟින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දෙමින්, ළමා රැඳවුම් නිවාසවල හැදී වැඩුණු තරුණ තරුණියන්ට ස්ථාවර සහ ආරක්ෂිත නිවසක් සාදා ගැනීමට ප්‍රදානයක් ලබා දීමෙන් ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් අප නව ගමනක් ආරම්භ කරනු ලැබුවා. මෙම මුලපිරීම තවත් ශක්තිමත් කරමින් තම ජීවිතයේ ඕනෑම අවධියක ළමා රැඳවුම් නිවාසවල ජීවත් වී සමාජගත වුවන්ට සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් හඳුනාගෙන ඇති අවදානමට ලක්වී ඇති දරුවන්ගේ පවුල්වලට, ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීමට, තමන් සතු ඉඩමක නිවසක් ඉදිකිරීමට හෝ පවතින නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 02 ක මූල්‍ය ප්රතිපාදනයක් ලබා දීමට අප යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- රාජ්‍ය සේවය නව්‍යකරණය කිරීම
අප රට ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ලෙස ඉදිරි ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බව පිළිගන්නවා. එහෙත් වර්තමානයේ මහජන සේවා සම්පාදනය වෙනුවෙන් රාජ්‍ය සේවය සඳහා සාපේක්ෂව ඉහළ වැය බරක් දරනු ලබනවා. දේශපාලනීකරණය වුණු රාජ්‍ය බඳවා ගැනීම්, සිය කාර්යභාරය ඓතිහාසිකව අවසන් වූ ආයතන, එකම කාර්යයන් වෙනුවෙන් ගොඩ නඟා තිබෙන විවිධ ආයතන එයට ඉවහල් වී තිබෙනවා. අප රජය විසින් ලබා දිය යුතු අත්‍යවශ්‍ය සේවාවන් නිසි ඇගයීමකට ලක් කරමින් කාර්යභාරය අවසන් වූ රාජ්‍ය ආයතන වසා දැමීමටත්, එකම කාර්යය කරන විවිධ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමටත්, යල් පැනගිය අරමුණු නව අරමුණුවලට අනුව ප්‍රතිසංවිධානය කිරීමටත් කටයුතු කරනවා. එවැනි කිසිදු වාණිජ, නියාමන හෝ පරිපාලන කටයුත්තක් සිදුනොවන ආයතන 33 ක් වසා දැමීමට කටයුතු ආරම්භ කර තියෙනවා. තවද, වාණිජ නොවන, පිහිටුවීමේ මුල් අරමුණෙන් අපගමනය වූ හා වර්තමාන සන්දර්භයට නොගැළපෙන ආයතන ද හඳුනාගෙන ඇති අතර ඒවා වසා දැමීමට සූදානම් කරනවා.
ඉහත රාජ්‍ය ව්‍යසායයන් ජාතික ආර්ථිකයට හෝ සේවා සැපයීමට කිසිදු දායකත්වයක් නොමැති අතර, ඒවායේ මූල්‍ය වාර්තා සොයාගැනීම ඉතා අපහසු සේම නිරවුල් නොකරන ලද වගකීම්, හා වත්කම් හිමිකාරිත්වයේ පවතින නීතිමය ගැටලු නිසා මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණේ නැහැ. මෙම ගැටලු විසඳමින් එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ ඒකකයක් දැනටමත් පිහිටුවා තිබෙනවා.
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ ලබා දී ඇති නිර්දේශ පදනම් කර ගනිමින් ආයතන 21 ක් එකම කාර්යයන් ඒකාබද්ධ වන ආකාරයෙන් ප්‍රතිසංවිධානය කිරීමටත්, පර්යේෂණ ක්ෂේත්රයේ ඇති ආයතන 14 ක් ඒකාබද්ධ කර ජාතික මට්ටමේ එක් ආයතනයක් පිහිටුවීමටත්, දැනට වාණිජ ආකෘතියක කටයුතු නොකරන ආයතන 9 ක් මූල්‍ය ස්වාධීනත්වයෙන් යුත් ආයතන ලෙස පරිවර්තනය කිරීමටත්, ආයතන 13 ක් ඒවා එවකට පිහිටුවීමේ අරමුණු වර්තමානයට අවශ්‍ය නොවීම මත ඈවර කිරීමටත් කටයුතු කරනු ලැබේ.
32.1 රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් විධිමත් කිරීම
වසර ගණනාවක සිට රාජ්‍ය සේවයට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී තිබෙනවා. ඒ නිසා අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම හා සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා වන කමිටුව හරහා සිදුකළ විධිමත් අධ්‍යයනයකින් පසුව 75,000 කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා සිටිය යුතු තාක්ෂණික නිලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්, ආදායම් නිලධාරීන් වැනි තනතුරු මීට ඇතුළත් වෙනවා. එසේම, මින් ඉදිරියට රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම්, උසස් කිරීම් ඇතුළු කාර්යයන් දේශපාලන මැදිහත්වීම්වලින් පරිබාහිරව නියමිත විභාග සහ සේවා ව්‍යවස්ථා අනුව පමණක් සිදු කිරීම මඟින් තරුණ තරුණියන්ට සමාන අවස්ථා ලබා දෙනවා.
32.2 රජයේ ආයතනවල ඩිජිටල් ප්‍රවේශය ඉහළ නැංවීම
සෘජුවම මහජන සේවා ලබා දෙන රාජ්‍ය ආයතනවල සංකීර්ණ ක්‍රියාපටිපාටි සරල කර (Business Process Reengineering) ඩිජිටල් ක්‍රමවේද යටතේ එම පහසුකම් කඩිනමින් සැලසීමට කටයුතු යෙදිය යුතුයි. ඒ සඳහා රජය විසින් දැනටමත් සකස් කර ඇති ඩිජිටල්කරණ වැඩසටහනට (Digital Blue Print) අනුගතවන පරිදි යෙදවුම් සඳහා දැනට වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
32.3 රජයේ ආයතනවලට අවශ්‍ය වාහන/පළාත් පාලන ආයතනවලට අවශ්‍ය යන්ත්රසූත්ර ලබා දීම
රජය සතු දැනට පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණවත් නොවීමත්, පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ බොහෝමයක් පැරණි ඒවා වීමත් හේතුවෙන් ඒවා අලුත්වැඩියා කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. මෙම තත්ත්වය රජය අපේක්ෂා කරන සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට බාධාවක් වෙලා තිබෙනවා. මෙම තත්ත්වය සලකා බලා, රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය අවසානයේ නැවත ආපසු බාර දීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල් මිලියන 12,500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
32.4 රාජ්‍ය ආයතනවල හිඟ ව්‍යවස්ථාපිත ගෙවීම් නිරවුල් කිරීම
රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සේවකයන් බඳවා ගැනීමේ දී දේශපාලන වාසි තකා ආධාරකරුවන්ට රැකියා දෙන ස්ථාන ලෙස භාවිතා කරමින් නිසි කළමනාකරණයකින් හෝ මූල්‍ය විනයකින් තොරව කටයුතු කිරීම නිසා රාජ්‍ය ආයතන ගණනාවක් ජනතාවට මහා බරක් වන තැනට පත්වී, බැංකුවලට ණය වී, සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් හා බදු ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට ඇද වැටී තිබෙනවා.
- සී/ස ලංකා සීනි (පුද්ගලික) සමාගම
- ජනතා වතු සංවර්ධන මණ්ඩලය
- ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව
- ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
- ලංකා ධීවර සංස්ථාව
- ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
- සී/ස ඇල්කඩුව වැවිලි සමාගම
- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
- නොර්ත් සී සමාගම
- ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය
යන රාජ්‍ය ව්‍යාපාර 10 ක හිඟ සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, පාරිතෝෂිත දීමනා යනාදී ව්‍යවස්ථාපිත දීමනා හා හිඟ බදු නිරවුල් කිරීම සඳහා රුපියල් මිලියන 11,000 ක් අවශ්‍ය වෙනවා.
මෙම නොගෙවා ඇති ව්‍යවස්ථාපිත ගෙවීම් අදියරගතව ගෙවීමට යෝජනා කරන අතර 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. එමඟින් මෙම ආයතනවල වර්තමාන සේවකයන්ගේ හිඟ සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් මෙන්ම විශ්‍රාමලත් සේවකයන්ගේ සේවක පාරිතෝෂික හිමිකම් ලබාදීම තහවුරු කිරීමටත් ඒවායේ ශේෂපත්ර වගකීම් ප්‍රතිව්‍යුහගත කිරීමට ලක්කිරීමත් අපේක්ෂා කරනවා.
32.5 රජය විසින් රාජ්‍ය ව්‍යවසායයන් වෙනුවෙන් නිකුත් කර ඇති භාණ්ඩාගාර ඇපකර හා ආරක්ෂණ ලිපි නිදහස් කිරීම
රජය සතු ව්‍යවසායන්ට ණය ලබා ගැනීමට භාණ්ඩාගාර ඇපකර හෝ ආරක්ෂණ ලිපි රාජ්‍ය බැංකු වෙත ලබා දී තිබෙනවා. දිගු කාලීන පාඩු ලැබීම හා මූල්‍ය අර්බුද හේතුවෙන් එම ව්‍යවසායන්ට මෙම ණය ගෙවීමේ නොහැකියාවක් මතුව තිබෙනවා. 2026.12.31 දින දක්වා අක්‍රිය තත්ත්වයට පත්වන මෙම බැඳීම්, හදිසි අවශ්‍යතාවක් සේ සලකා මෙම වසර තුළ දී නිරවුල් කරනවා.
32.6 ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබා දුන් පොලී සඳහා රජයේ දායක මුදල් ගෙවීම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්වලට සියයට 15 ක් පමණ අමතර පොලියක් ලබා දී තිබුණ ද 2022 හා 2023 වසරවල ඒ වෙනුවෙන් බැංකුවලට ගෙවිය යුතුව තිබූ නමුත් මේ දක්වා නොගෙවූ හිඟ මුදල පියවා දමනවා. ඒ සඳහා රජය විසින් දැරිය යුතු පොලියෙන් (රජයේ දායකත්වයෙන්), නොගෙවා තිබූ රුපියල් මිලියන 10,000 ක් 2025 වසරේ දැනටමත් ගෙවා ඇති අතර ඉතිරි රුපියල් මිලියන 45,700 ක හිඟ මුදල ද මෙම වසරේ දීම සම්පූර්ණයෙන් ගෙවා දැමීමට කටයුතු කරනවා.
- රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප්
33.1 වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම
වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසාර ආකාරයකට කළමනාකරණය කිරීම අපගේ වගකීමයි. වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කරනවා.
33.2 දායක විශ්‍රාම වැටුප් ප්රතිලාභ හිමිකම් පිළිබඳව පත්වීම් ලිපියේ කොන්දේසිය සංශෝධනය කිරීම
2016.01.01 දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කරනු ලබන පත්වීම් ලිපිවල, දායක විශ්‍රාම වැටුප් ප්රතිලාභ හිමිකම් පිළිබඳව සඳහන් කර තිබෙනවා. නමුත් එවැනි සේවකයෙකු විශ්‍රාම ගතහොත් දැනට පවතින විශ්‍රාම ක්‍රමයෙන් බැහැරව සැලකීම ප්‍රායෝගික නොවේ. විශ්‍රාම වැටුප් හිමිකම් පිළිබඳ වගන්තිය පත්වීම් ලිපිවලින් ඉවත් කරනු ලබමින් පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කරනු ලබනවා.
33.3 රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමේ දෙවන අදියර
2025 සිදුකරන ලද වැටුප් සංශෝධනවලට අනුව එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක ප්රතිපාදනයක් වෙන් කර තිබෙනවා. ඒ අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ වැටුප සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරනවා.
33.4 2020ට පෙර විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීමේ දෙවන අදියර
විශ්‍රාම වැටුප් සංශෝධන දෙවන අදියරේ දී 2020 ට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් 2019 වසරේ වැටුප් ව්‍යුහය මත පදනම්ව සංශෝධනය කරනු ලබනවා. මෙම සංශෝධිත වැටුප 2026 ජූලි මස සිට ගෙවීම සඳහා රුපියල් මිලියන 20,000 ක් මුදලක් වෙන් කර තිබෙනවා.
33.5 රාජ්‍ය සේවකයින්ට සහන පොලී යටතේ නිවාස හා දේපළ ණය ලබාදීම
රජයේ සේවකයින්ට ලබා දුන් දේපළ ණය යෝජනා ක්‍රමය, නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ 50 දක්වා ණය ලබා ගැනීමට හැකිවන පරිදි සක්‍රීය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී මුල් රුපියල් ලක්ෂ 30 දක්වා සියයට 4 ක පොලී සහනයක් ද, රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා සියයට 2 පොලී සහනයක් ද ලබා දීම සඳහා රුපියල් මිලියන 500 ක් ලබාදීමට යෝජනා කරනවා.
33.6 අග්‍රහාර යෝජනා ක්රමයේ සෞඛ්‍ය ප්රතිලාභ ආවරණය පුළුල් කිරීම
දැනට රජයේ සේවකයන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය තුළ රාජ්‍ය සේවකයන් හට යම් යම් සහන ලැබුණ ද, සේවක දායකත්වයේ අවමය රුපියල් 125 ක පැවතීම හේතුවෙන් සේවකයින් වෙත ලබා දෙන ප්රතිලාභ, ස්ථාවරව පවත්වා ගැනීම තහවුරු කිරීම පිණිස රුපියල් 125 ක දායක මුදල තවත් රුපියල් 75 කින් ද, රුපියල් 300 සහ රුපියල් 600 ක් වන මාසික දායකත්ව මුදල් තවත් රුපියල් 150 කින් ද වැඩි කිරීමටත් යෝජනා කරනවා.
33.7 උත්සව අත්තිකාරම් ඉහළ නැංවීම
රජයේ සේවකයින්ට ලබා දෙන පොලී රහිත රුපියල් 10,000 ක උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000 දක්වා වැඩිකිරීමට යෝජනා කරනවා.
33.8 ආපදා ණය අත්තිකාරම්
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව ඔවුන්ට සියයට 4.2 ක පොලී පදනමින් ලබාගත හැකි ආපදා ණය අත්තිකාරම් මුදල රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්වා ඉහළ නැංවීමට අප කටයුතු කළා. එම අත්තිකාරම් මුදල් කෙටි කාලයකින් බාධාවකින් තොරව ලබා ගැනීමට හැකිවන පරිදි රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් සීමාව වෙනුවෙන් රුපියල් මිලියන 10,000 ක් වෙන් කර තිබෙනවා.
33.9 දුෂ්කර සේවයේ නිරත ගුරුවරුන්ගේ දීමනා හා විදුහල්පති දීමනා වැඩිකිරීම
දුෂ්කර ප්‍රදේශවල පාසල්වල සේවය කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනා වසර 20 කින් වැඩිකිරීමට කටයුතු කර නොමැති බැවින් එම ගුරුවරුන් අභිප්‍රේරණය කිරීම සඳහා එම දීමනාව රුපියල් 1,500 කින් වැඩි කිරීමට යෝජනා කරනවා.
අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමේ දී විදුහල්පතිවරුන්ගේ පරිපාලන වගකීම් සහ වගවීම අගය කිරීමක් වශයෙන් විදුහල්පති තනතුරෙහි සේවයේ නිරත විදුහල්පතිවරුන් සඳහා ලබා දෙන විදුහල්පති දීමනාව රුපියල් 1,500 කින් වැඩි කිරීම හා අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
33.10 ආනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගවල ගේට්ටුකරුවන්ගේ දීමනාව වැඩි කිරීම
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල නිරන්තරයෙන් සිදුවන අනතුරු හේතුවෙන් වාර්ෂිකව සැලකිය යුතු ජීවිත හානි සංඛ්‍යාවක් සිදුවන අතරම, එයින් පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයට ලක්වන පුද්ගලයින් ද සැලකිය යුතු සංඛ්‍යාවක් සිටිනවා. මෙම තත්ත්වයට පිළියම් වශයෙන් දැනට ගේට්ටුකරුවන් 1,000 ක් පමණ සේවයේ යොදවා තිබෙනවා. ඔවුන්ට දැනට ගෙවනු ලබන පැය අටක එක් සේවා මුරයකට මසකට රුපියල් 7,500 ක් වන සුළු දීමනාව රුපියල් 15,000 දක්වා වැඩිකර ගෙවීමට රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
33.11 තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත බඳවා ගෙන සිටින සේවකයන් සඳහා විධිමත් පරිදි ස්ථීර පත්වීම් ලබා දීම
පසුගිය රජයන් විසින් තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත බඳවා ගෙන විධිමත් පරිදි ස්ථීර පත්වීම් තවදුරටත් ලබා නොදීම හේතුවෙන් අවම වැටුපක් ලබා රාජකාරී ඉටු කරන 9,800 කට ආසන්න සේවක පිරිසක් රාජ්‍ය අංශයේ විවිධ ආයතන තුළ සිටින බවට අපට වාර්තා වී තිබෙනවා.
විවිධ අවස්ථාවල කොටසකට පමණක් ස්ථීර පත්වීම් ලබා දුන්නද මෙම සේවකයන්ට එම අවස්ථාව මඟහැරී තිබෙනවා.
දීර්ඝ කාලයක් මුළුල්ලේ අවිධිමත් ආකාරයට රාජ්‍ය සේවයට බඳවා ගැනීම් ඉදිරියේදී අපගේ රජය යටතේ සිදු නොකරන බව රජය තහවුරු කරන අතර දැනටමත් බඳවා ගෙන, නිසි සේවා තත්ත්වයක් ලබා දී නැති මෙම සේවකයින්ගේ සේවය ස්ථිර කිරීම අවශ්‍ය බව අපි පිළිගන්නවා. ඒ අනුව, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/2019 යටතේ සුදුසුකම් සපුරා ඇති දැනට විවිධ ආයතනවල, මාස 6 කට වඩා වැඩි කාලයක් සේවයේ නියුතු සියලු සේවකයන්ට ස්ථීර පත්වීම් ලබා දීමට යෝජනා කරනවා.
- රාජ්‍ය මූල්‍ය විනය සහ සාර්ව ආර්ථික ස්ථායීතාවය
34.1 ආදායම් ක්‍රියාමාර්ග සහ දේශීය ආදායම් එක් රැස් කිරීම (Domestic Revenue Mobilization)
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සමගාමීව අපගේ රජය විනිවිදභාවය, සාධාරණත්වය සහ පරිපාලන කාර්යක්ෂමතාව මත පදනම් වූ නවීන බදු ක්‍රමයක් ගොඩනැඟීමට කටයුතු කරනවා. ගෝලීය මිණුම් සලකුණුවලට අනුකූලව, අපගේ අරමුණ වන්නේ, මධ්‍ය කාලීනව බදු ආදයම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ඉක්මවන මට්ටමකට ළඟා කර ගැනීම සහ පවත්වා ගැනීම, තීරණාත්මක සමාජ ආයෝජන සඳහා අවශ්‍ය මූල්‍ය අවකාශය සුරක්ෂිත කිරීම, ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම සහ අපගේ මූල්‍ය වෙළඳපොළ ගැඹුරු කිරීමයි.
34.2 රජයේ බදු ආදායම් රැස් කිරීමේ ප්‍රගතිය
අපගේ රජය බලයට පත්වන අවස්ථාවේ, ආදායම් එකතු කිරීම යම් දුර්වල මට්ටමක පැවතුනා. බදු අනුකූලතාවය අඩු වූ අතර සමස්ත පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පලුදු වී තිබුණා. වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත, අප ආදායම් රැස් කිරීමේ ඉහළ ප්‍රගතියක් ලබා ගැනීමට සමත් වූ බව සතුටින් ප්‍රකාශ කරන්න කැමැතියි.
ඒ අනුව, ප්‍රදාන ඇතුළුව රජයේ ආදායම 2024 වසරේ මුල් මාස 9 තුළ රුපියල් බිලියන 2,900 ක් වූ අතර 2025 එම සමාන්තර කාලයේ දී බිලියන 3,800 දක්වා වැඩි වී තිබෙනවා. මේ සඳහා දායකවූ අදාළ රජයේ සියලුම නිලධාරීන්ට මා මේ අවස්ථාවේ ස්තුතිය පිරිනමනවා.
සරල කළ වැට් බදු ක්‍රමය (SVAT) 2025 ඔක්තෝබර් 1 වන දින සිට අවලංගු කර ඇති අතර, බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම සහ අනිසි භාවිතය අඩු කිරීම සඳහා අනුමත මුදල් ආපසු ගෙවීමේ ක්‍රියාවලියකට මාරු වී තිබෙනවා. 2025 සැප්තැම්බර් 30 වන විට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 2024 වසරට සාපේක්ෂව ලක්ෂ 3 කින් වැඩි වී තිබෙනවා.
ආදායම් රැස්කිරීම ශක්තිමත් කිරීම සඳහා අපගේ ප්‍රවේශය පුරවැසියා සහ රාජ්‍යය අතර සමාජ ගිවිසුම පිළිබිඹු කරමින්, බෙදාගත් වගකීමේ මූලධර්මය හා බැඳී පවතිනවා. බදු වියදම් තාර්කික කරන, ආදායම් බදු ශක්තිමත් කරන, වැට් බදු සහ සුරාබදු කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන සහ සරල කළ ක්‍රියා පටිපාටි සහ ඩිජිටල්-පළමු අනුකූලතා රාමු හරහා විධිමත් අංශය පුළුල් කරන පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරනවා. වියදම් කාර්යක්ෂමතාව, වගවීම සහ මහජන විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා මෙම පියවර පුළුල් ආයතනික ප්‍රතිසංස්කරණ සමග පෙළගැස්විය යුතුයි.
- ආදායම් යෝජනා – 2026
35.1 ආනයනික පොල්තෙල් සහ පාම් තෙල් මත එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම
දේශීයව පොල් තෙල් සහ පාම් තෙල් නිෂ්පාදනය කිරීමේ දී එකතු කළ අගය මත බද්ද හා සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත්වන අතර ආනයනික පොල් තෙල් සහ පාම් තෙල් පිළිවෙළින් කිලෝ ග්‍රෑමයකට රුපියල් 150 සහ කිලෝ ග්‍රෑමයකට රුපියල් 275 වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත් වේ. සමාන තරගකාරී තත්ත්වයක් තහවුරු කිරීම සඳහා ආනයනික පොල් තෙල් සහ පාම් තෙල් මත අය වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර, ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ද ඇතුළුව සාමාන්‍ය බදු ව්‍යුහය ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මෙම යෝජනාව 2026 වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමටත් යෝජනා කරනවා.
35.2 එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් ලියාපදිංචි සීමාව අඩු කිරීම
බදු පදනම පුළුල් කිරීම සඳහා එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව 2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට අපි යෝජනා කරනවා.
35.3 ආනයනික රෙදි මත වන සෙස් බද්ද ඉවත් කර එකතු කළ අගය මත බද්ද පැනවීම
දේශීය රෙදි නිෂ්පාදනය එකතු කළ අගය මත බද්දට යටත් වන අතර ආනයනික රෙදි එම එකතු කළ අගය මත බද්දෙන් නිදහස් වන නමුත් කිලෝ ග්‍රෑමයට රුපියල් 100 ක සෙස් බද්දක් අයකරනු ලබයි. සමාන තරගකාරී තත්ත්වයක් තහවුරු කිරීමට ආනයනික රෙදි මත වන සෙස් බද්ද ඉවත් කිරීමටත් ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ද පැනවීමටත් යෝජනා කරනවා. මෙම යෝජනාව 2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
35.4 වාහන මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම
වාහන අලෙවියේ දී අය කරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද නිසි පරිදි අය කර ගැනීමක් සිදු නොවන බවක් නිරීක්ෂණය වේ. එම නිසා ආනයනික අවස්ථාවේ දී හෝ නිෂ්පාදනය කර විකිණීමේ දී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කර, පසු අලෙවිකරණ අවස්ථාවලදී මෙම බද්ද නිදහස් කිරීමට යෝජනා කරනවා. මෙය 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
35.5 ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
දැනට ක්‍රියාත්මක වන 0%, 15%, 20% වන තීරු බදු අනුපාත, 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි තීරු බදු අනුපාත 0%, 10%, 20%, 30% ලෙස ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අප යෝජනා කරනවා. තීරු බදු නොවන ආනයන බදු ක්‍රමානුකූලව ඉවත් කිරීම ඉහත බදු අනුපාත වෙනස් කිරීම තුළින් ඉලක්ක කරයි. රජයේ ආදායම මත අවම බලපෑමක් සහිතව තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීම සඳහා කාල රාමුවකට අනුව සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
35.6 බදු විගණන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම
බදු පරිපාලනයේ සුපිලිපන්බව, කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය වර්ධනය කිරීම සඳහා, රජය විසින් 2026 වසරේ ජනවාරි මස සිට ගොනු කරනු ලබන වාර්තා සඳහා අදාළ වන පරිදි නවීන බදු විගණන රාමුවක් හඳුන්වා දෙනු ඇත. මෙම ප්‍රතිසංස්කරණය විගණන ක්‍රියා පටිපාටි විධිමත් කරන අතර බදු ගෙවන්නන් සහ නිලධාරීන් අතර නීත්‍යානුකූල නොවන බැඳීම් අඩු කරන අතර එමඟින් අභිමතය හා දූෂණය සඳහා ඇති අවස්ථා අවම කරයි. නව ක්‍රමය යටතේ, විගණන නඩුකර තෝරා ගැනීම, අවදානම් කළමනාකරණ ඒකකය විසින් කරනු ලබන විනිවිදභාවයෙන් යුත් අවදානම් තක්සේරු කිරීම් මත පදනම් වන අතර, අවශ්‍ය විටෙක, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් පත් කරන ලද කමිටුවක් විසින් ඒවා සමාලෝචනය කරනු ලැබේ. අදාළ බදු ප්රඥප්ති සංශෝධන හරහා ක්‍රියාත්මක කරන ලද මෙම වෙනස්කම්, ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනය කරා යන ගමනට සහාය වන විනිවිදභාවයෙන් යුත්, නීති මත පදනම් වූ සහ විශ්වසනීය ආදායම් පරිපාලනයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ වගවීම පෙන්නුම් කරනවා.
35.7 කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන සේ බදු රාමුව යාවත්කාලීන කිරීම
විදුලි සංදේශ සේවා සැපයුම මත අය කරනු ලබන විදුලි සංදේශ බද්ද ගෙවීමේ දී විදුලි සංදේශ සේවා ආයතන විසින් දරන ලද යම් බොල් ණය ඊට ඊට ඇතුළත් නොවිය යුතුය. එසේම ආපසු අය කර ගන්නා ලද යම් බොල් ණයක් එම අදාළ මාසයේ බද්ද ගෙවීමේදී ඇතුළත් විය යුතු වෙනවා. ඊට අදාළ සංශෝධන හඳුන්වාදීමට සහ විදුලි සංදේශ බදු සම්බන්ධයෙන් වරින් වර සිදුකළ වෙනස්කම් යථාවත් කිරීමට 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීමට යෝජනා කරනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ රාමුව (AML/CFT Framework) සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි ඒකකය සහ අනෙකුත් බලාත්මක කරන ආයතන සමග බදු පරිපාලන අධිකාරීන් විසින් තොරතුරු හුවමාරු කර ගැනීමට ඉඩ සැලසෙන නෛතික ප්‍රතිපාදන අදාළ බදු අණ පනත්වලට ඇතුළත් කළ යුතු බවට යෝජනා කරනවා.
එසේම, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීමට එරෙහි රජයේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා බදු සම්බන්ධ වැරදි අර්ථ නිරූපණය කිරීම, නීතිපතිවරයා විසින් නඩු පැවරීම, දඩ සහ දඬුවම් නියම කිරීම, ඇතුළු බලාත්මක කිරීම් සිදු කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සියලු බදු පනත්වලට හඳුන්වා දීමට යෝජනා කරනවා.
35.8 ජාතික විද්‍යුත් ඉන්වොයිස් පද්ධතිය සංවර්ධනය කිරීම
ජාතික විද්‍යුත් ඉන්වොයිස් පද්ධතිය සඳහා අඩිතාලම දැමීම සඳහා, ශ්‍රී ලංකාව බදු ගෙවන්නන්ගේ ව්‍යවසාය සම්පත් සැලසුම් (ERP) පද්ධති සහ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) අතර බාධාවකින් තොරව සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට හැකි වන පරිදි API මත පදනම් වූ ඒකාබද්ධ රාමුවක් හඳුන්වා දී තිබෙනවා.
මෙම මුලපිරීම API ඒකාබද්ධ කිරීමට සහාය වීම සඳහා ඔවුන්ගේ ERP පද්ධති වැඩිදියුණු කළ තෝරාගත් සමාගම් සමූහයක් සම්බන්ධ නියමු ව්‍යාපෘතියක් අවසන් කර මෙම වසර ඇතුළත ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
පළමු අදියරේ දී, API යාන්ත්‍රණය හරහා තෝරාගත් නියමු සමාගම් සමග ඒකාබද්ධ කිරීම හා අපනයන-නැඹුරු ව්‍යවසායයන් ආවරණය කිරීම සඳහා පද්ධතිය පුළුල් කරනු ලැබේ. දෙවන අදියරේ දී සියලුම VAT-ලියාපදිංචි බදු ගෙවන්නන් ඇතුළත් කෙරේ.
තුන්වන අදියරේ දී, විකුණුම්පොළ ගෙවීම් යන්ත්‍ර (POS) හරහා e-ඉන්වොයිස් පද්ධතිය තත්‍ය කාලීන ගනුදෙනු වාර්තා කිරීමට යොමු කර, බදු අනුකූලතාව වැඩි දියුණු කර, සම්පූර්ණයෙන්ම වෙබ්-පාදක වේදිකාවක් හරහා VAT පරිපාලනයේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා.
35.9 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක් කාර්යාල පරිශ්රයක ස්ථාපනය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රටේ ආදායම් උත්පාදනය කරන ආයතනවලින් ප්‍රධාන ආයතනයක් වන අතර, එහි බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය වෙත යොමු කිරීමෙන් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකියාවක් ඇත.
මෙම තත්ත්වය යටතේ, දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය සහ ඒ ආශ්රිත කාර්යාල එක් කාර්යාල පරිශ්රයක පවත්වාගෙන යෑමෙන්, බදු ගෙවන්නන්ට වඩාත් සරල, විශ්වාසදායක සහ කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි වන අතර, බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ද තිරසරව ශක්තිමත් කළ හැකිය. බදු ගෙවන්නන් මෙම ආයතනයේ ප්‍රධාන සේවාලාභීන් වන බැවින්, ඔවුන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය භෞතික පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.
ඒ අනුව, යෝජනා වී ඇති ස්ථාන අතරින් වඩාත් සුදුසු ස්ථානයක් තෝරාගෙන, ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර, නව කාර්යාල සංකීර්ණයක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
වතු සේවක දිනක වැටුප 1550 කෙරේ…රජයෙන් රු. 200ක පැමිණීම් දීමනාවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු. 10,000 කෙරේ
අවු. 60ට වැඩි අය ආර්ථිකයට සක්‍රීයව දායක කරගන්න වැඩසටහනක්
වැටුණු ව්‍යාපාර නංවන්න මිලියන 25,000ක්
බණ්ඩාරනායක ගුවන්තොටුපළ පුළුල් කිරීම යළි ඇරඹෙයි
ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩකයන් සූදානම් කරන්න මිලියන 1163ක්
ලොකු ලූනූ – අර්තාපල් ගබඩා පහසුකම් හදන්න සතොසට මිලියන 1000ක්
2026 මාර්තු මුල පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරනවා
කෘෂිකර්ම සංවර්ධනය සඳහා මිලියන 1700ක්

- අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වර්ෂය මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමේ දිනය වෙනස් කිරීම
මූල්‍ය වර්ෂය තුළ ඵලදායී ලෙස රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය සහ ප්‍රතිපත්ති ගැලපීම් සඳහා අත්‍යවශ්‍ය වන රාජ්‍ය මූල්‍ය තොරතුරු කාලෝචිත ලෙස බෙදා හැරීමේ ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ වඩාත් ප්‍රතිචාරාත්මක ලෙස රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සක්‍රීය කිරීම සඳහා අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) ප්‍රකාශයට පත් කිරීමේ අවසන් දිනය ජූනි 30 වෙනුවට සෑම වසරකම මැයි 31 දක්වාත්, වර්ෂය මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමේ කාලරාමුව සෑම වසරකම ඔක්තෝබර් 31 වෙනුවට අගෝස්තු 31 දක්වාත් ඉදිරියට ගැනීමට අපි යෝජනා කරනවා.
- ණය ගැනීමේ සීමාව
2026 මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතෙහි ණය ගැනීමේ සීමාව ඇමුණුම II හි ඉදිරිපත් කර තිබෙනවා. අදාළ වියදම් පියවර පිළිබඳ තාක්ෂණික සටහන ඇමුණුම III හි දක්වා තිබෙනවා. තවද, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ අයවැය දෙවන වර කියවීම සමග ඉදිරිපත් කළ යුතු ලේඛන ද සභාගත කර තිබෙනවා.
37.1 2026 වසර සඳහා උපරිම ණය ගැනීමේ සීමාව අඩු කිරීම
අයවැය යෝජනා හරහා අපේක්ෂිත ආදායම් ඇස්තමේන්තුවල සිදු වන සංශෝධනයන් හේතුවෙන් 2025-09-26 දින මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනතේ ණය ගැනීමේ සීමාව, රුපියල් බිලියන 3,740 ක් දක්වා රුපියල් බිලියන 60 කින් අඩු කර සංශෝධනය විය යුතුවේ. එය මෙම අයවැය කථාවේ ඇමුණුම II හි දක්වා තිබෙනවා.
37.2 අමාත්‍යාංශවල විෂයයන් සංශෝධනයට අදාළව විසර්ජන පනතට සිදු විය යුතු සංශෝධන
විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු නිකුත් කරන ලද අංක 2485/65 දරන 2025-10-18 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත අමාත්‍යාංශවල විෂයයන් හා කාර්යයන් සංශෝධනය වී ඇති ආකාරය අනුව මෙම කෙටුම්පතට සිදු විය යුතු සංශෝධනයන්, ඒ ඒ වැය ශීර්ෂවලට අදාළව අයවැය දෙවනවර කියවීමේ දී සංශෝධනය කිරීමට කටයුතු කරනු ලබනවා.
විෂයයන් හා කාර්යයන් සංශෝධනය අනුව 2025 වර්ෂය සඳහා වැය ශිර්ෂවල සිදු විය යුතු සංශෝධන සම්බන්ධයෙන් දැනටමත් ජාතික අයවැය චක්‍රලේඛ 04/2025 මඟින් දක්වා තිබෙනවා.
- සමාප්තිය
ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන මේ වනවිට අඛණ්ඩව ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබෙන මොහොතක, ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් බවත්, ලෝකයේ අංක එකේ සංචාරක ගමනාන්තයක් බවත් ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම් ලැබී තිබෙන මොහොතක, ගෝලීය ප්රජාතන්ත්රවාදී දර්ශකය අනුව අපේ රට ස්ථාන 15ක් ඉදිරියට ගිය මොහොතක, දූෂණයට එරෙහි ක්‍රියාවලිය පිළිබඳව ලෝකයේම ප්රශස්ත ඇගයීමක් ලබා දී තිබෙන මොහොතක 2026 වසරට අදාළ අයවැය කථාව ඉදිරිපත් කරන්නට ලැබීම ගැන අප සතුටු වෙනවා.
අපි මේ කෙටි කාලය තුළ රටේ මනුෂ්‍යත්වය පිළිබඳ අලුත් හැඟීමක් ඇති කළා. සර්ව සාධාරණත්වය ගොඩනැඟුවා. ශ්‍රී ලාංකික හැඟීම ඇති කළා. ජාතිවාදය නැති රටක් නිර්මාණය කළා. නීතියේ විධානය හා ආධිපත්‍ය තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ආයතන ස්වාධීන කිරීම, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දේශපාලනයෙන් මුදා ගැනීම, නව අණපනත් සම්මත කිරීම, මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීමට පියවර ගැනීම සහ විදේශ සබඳතා ශක්තිමත් කිරීම අපි ලැබූ සුවිශේෂී ජයග්‍රහණ වෙනවා. ආර්ථිකය ස්ථාවර කරමින් ඉහළ රාජ්‍ය මූල්‍ය විනයක් ඇතිකළා වගේම රජයේ ආදායම ඉහළ නැන්වූවා. අපනයන ආදායම් වර්ධනය, සංචාරක ආදායම් ඉහළ යෑම, විදේශ විනිමය ප්‍රේෂණ ඉහළ නංවා ගැනීම රටේ ස්ථාවරත්වයට ශක්තියක් වුණා. වරාය මෙහෙයුම් ලාභ ඉහළ නංවා ගැනීම, රේගු ආදායම් ඉහළ නංවා ගැනීම, අපේ ආණ්ඩුවේ වසරක ශේෂ පත්‍රය සාක්ෂි සපයනවා.
ඒ අනුව, මේ රටේ ජනතා අභිලාශයන් පලුදු නොකළ සහ එකී අභිලාශයන් පාවා නොදුන් ආණ්ඩුවක් කියන විශ්වාසය පුරවැසියන් තුළ තිරසාරව තිබෙනවා.
මේ ගෙවුණු කාලය තුළ දූෂණයට එරෙහිව ශක්තිමත් සහ වේගවත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින රටක්. මේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය ජනතා පරමාධිපත්‍යයෙන්ම අවසන් කළ රටක්. මේ ඉතිහාසයේ කිසිම යුගයක නොතිබුණු තරමට නීතියේ ආධිපත්‍ය සහ විධානය ස්වාධීන කළ රටක්. මහජන මුදල් අවභාවිතා නොකළ සහ රාජ්‍ය මූල්‍ය විනය ගොඩනැඟූ ආණ්ඩුවක් තියෙන රටක්. එහෙම රටක අය වැය කථාවක් ඉදිරිපත් කිරීමට ලැබීමේ නිරහංකාර ආත්ම තෘප්තිය අප රජය තුළ තිබෙනවා.
ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට මහජන මුදල් අවභාවිතා නොකරපු, අනිසි වරප්‍රසාද භාවිතා නොකරපු රජයක දෙවැනි අයවැය අපි රට ඉදිරියේ තබා තිබෙනවා.
මේ රටේ සමස්ත ජනතාවට සහ අපට අමතක නැති ඉතිහාසයක් තිබෙනවා. මීට වසරකට පෙර ගත් ඉතිහාසගත දේශපාලන තීන්දුව අනුව අපේ ආණ්ඩුව බලයට පත්වුණා. දේශපාලන බලය, රාජ්‍ය බලය හිමිකාරීත්වයක් නොව භාරකාරත්වයක් පමණක් බව පසක් කරමින් අපි ගෙවුණු කාලය තුළ රාජ්‍ය පාලනය කළා. නමුත් ජනතාව තාවකාලිකව දුන් බලය සදාකාලික බලයක් බවට පත්කරගන්නට සිහින දැක්ක ඉතිහාසයේ පාලන ක්‍රම ගැන අපට අත්දැකීම් තියෙනවා.
ඒ ගෙවුණු වසරක ශේෂ පත්‍රය වටහාගන්න ඉතිහාසයේ වෙනත් ආණ්ඩු සමග සංසන්දනය කිරීම වුණත් ප්‍රමාණවත් කියලා අපි විශ්වාස කරනවා.
අපි මේ කාලය තුළ ප්‍රසිද්ධ තීරණ වෙනුවට ප්රශස්ත තීරණ ගත්තා. අපි මේ කාලය තුළ රට වෙනුවෙන් කුප්‍රකට තීරණ වෙනුවට සුප්‍රකට තීරණ ගත්තා. දේශපාලනඥයන්ගේ සෙවණ යට මෙරටේ ඉතිහාසයේ සිදුවූ අනීතික ක්‍රියාකාරකම් වර්තමානයේ දී අපි සහමුලින්ම අතුගා දැමුවා. බිහිසුණු වංචා දූෂණවලින් කිලිටි වී ගිය චෞර වළල්ලක් ද සහිත දේශපාලන බල අධිකාරය පරාජය කොට නීතියට හිස නමන, රටට ආදරය කරන වගකීම් සහිත පාලන ක්‍රමයකට අපේ රට පරිවර්තනය කළා.
ආණ්ඩුවක් බිහිවී පළමු වසර තුළ කිසිසේත් අපේක්ෂා නොකළ යුතු දේවල් සිදු වූ පැරණි ඉතිහාසයන් අපි පසුකොට තිබෙනවා.
බලය ලබාගෙන මුල් මාස කීපය තුළම තමන්ගේ හිතවතුන්ට, ගජමිතුරන්ට වරදාන වරප්‍රසාද දුන් පාලන යුගවල දුගඳ හමන ඉතිහාසය අපිට සිහිපත් වෙනවා.

බලය ලබාගෙන මාස කිහිපයකින් මහ බැංකු මංකොල්ල කෑ පාලන යුග අපි අත්දැක තිබෙනවා. බලයට පත්වී මාස කීපයකින් කෝටි ප්‍රකෝටි ගණන් තම හිතවතුන්ට බදු සහන දුන් පාලන යුග අපි අත්දැක තිබෙනවා. බලයට පත්වී මාස කීපයකින් නීතිය සහ අධිකරණය තමන්ට හිතූ හිතූ ආකාරයට දේශපාලනීකරණයට ලක්කළ පාලන යුග අපි දැක තිබෙනවා. බලය ලබාගෙන ඉතාම කෙටි කලක් තුළ මේ රටේ අහිංසක පිළිකා රෝගීන්ට දෙන බෙහෙත් වෙනුවට ඇල්වතුර එන්නත් කරවපු ඇඟ හිරිවැටෙන පාලන ක්‍රම අපි දැක තිබෙනවා.
අන්න ඒ බියකරු, අශීලාචාර, අවලස්සන ක්‍රමය අපි වෙනස් කළා.
පුරවැසියා සහ මහජන නියෝජිතයා අතර තිබූ වෙනස අපි තීරණාත්මක ලෙස වෙනස් කොට තිබෙනවා. දේශපාලනඥයා ජනතාවට ඉහළින් සිටින, ජනතාවට වහලුන්ට මෙන් සලකන, රජෙක් හෝ මහේශාඛ්‍ය දෙවි කෙනෙක් ලෙස ගොඩ නඟා තිබූ තත්ත්වය වෙනස් කොට ඔහුත් අනිසි වරප්‍රසාද ලැබිය යුතු කෙනෙක් නොවේ කියන තත්ත්වයට අපි පත්කළා. ඔහු ජනතාවගෙන් පත්වූ නායකයෙක් වෙන්න පුළුවන්. නමුත්, ඔහු ජනතාව මෙන්ම සාමාන්‍ය චරිතයක් කියන ඇත්ත අපි සමාජය තුළ මේ කෙටිකාලයේ දී සහතික කළා. ඒක අපි ලබපු ජයග්‍රහණයක්. එය තවදුරටත් තහවුරු කිරීම අපේ අරමුණ වෙනවා.
අපි හිටපු ජනාධිපතිවරුන්ගේ අනිසි වරප්‍රසාද ඉවත් කළා. මේ ගැන සමහරුන්ට වේදනාවක් තියෙන්න පුළුවන්. නමුත් අපි ජනතා වරම ප්‍රකාරව වැඩ කළා. වෙනත් රටවල හිටපු ජනපතිවරුන්ට, අගමැතිවරුන්ට දෙන වරප්‍රසාද ගැන සමහරු තර්ක කරනවා. නමුත්, අපේ රට වගේ ඒ රටවල් බංකොලොත් වුණේ නැහැ. අපේ රට අවාසනාවන්ත ලෙස බංකොලොත් කළා. දරුවන්ට පාසලක් නැති රටක, තුන්වේල තියා එක වේලක්වත් හරිහමන් කෑමක් නැතිව නිදාගන්න ලක්ෂ ගාණක් ඉන්න රටක, තමන්ගේ ජීවිතය බේරා ගන්නට බෙහෙත් ටිකක් ගන්න වත්කමක් නැතිව දුක් විඳින මිනිස්සු ඉන්න රටක, අහිංසක තරුණයෝ රැකියා නැතිව දුක් විඳින රටක, හිටපු ජනාධිපතිවරු වරප්‍රසාද අරගෙන ඉන්න එක අවම තරමේ සදාචාරාත්මක ද? එහෙම ඉන්න පුළුවන්ද?
හැබැයි අපි ඒ ආදර්ශය දී තිබෙනවා. තුන්වේල කන්න නැති මිනිස්සුන්ට පෝෂ්‍යදායී ආහාර වේල් තුනක් ලබාගන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කරන එක, සෑම දරුවකුටම අධ්‍යාපනය ලබන්න පරිසරයක් හදන එක, සෑම හිසකටම සෙවනක් දෙන එක, සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සෑම පුරවැසියෙකුටම උරුම කරන එක අපේ ඒකායන අරමුණ වෙනවා.
ඒ වගේම අද වෙනකොට ඕනෑම කෙනෙකුට රටට සේවය කිරීමට කැමති නම් ඒ වෙනුවෙන් යා හැකි පාලමක් නිර්මාණය කරන්නට අපට හැකිවෙලා තිබෙනවා. ඉතා කුඩා තැනක සිට රටේ ඉහළටම යෑමේ ඉඩ ප්‍රස්තාවන් අපි විවෘත කර තිබෙනවා. ධනය, බලය හෝ සමාජ තරාතිරම වෙනුවට දක්ෂතාවය, කුසලතාවය සහ හැකියාව ඇති අයට ඒ පාලම විවෘතව තිබෙනවා.
ඉතිහාසයේ තමන්ගේ හිතෛෂීවන්තයින්ට සියලු වරදාන වරප්‍රසාද ලබාදීමට අවශ්‍ය පරිදි නීතිය වෙනස් කොට තිබෙනවා. මැතිවරණවලදී තමන්ට උපකාර කළ අයට සැලකීම සඳහා නීති රීති පවා වෙනස් කරමින් ඥාති සංග්‍රහ සහ හිතමිතුරු සංග්‍රහ සිදුකළ ඉතිහාසය අපි නතරකොට තිබෙනවා.
ඒ වගේම ඉතිහාසයේ දී පාතාලයට, මත් කුඩුවලට සම්බන්ධ බොහෝ දෙනාට දේශපාලන රශ්මියේ ආවරණය ලැබී තිබුණා. අද ඒ සියල්ල ඔවුන්ට අහිමි වී තිබෙනවා.
විවිධ තනතුරුවලට පත්කරනවිට අපි බැලුවේ දක්ෂතාවය, හැකියාව, අවංකත්වය, රට වෙනුවෙන් වැඩකිරීමට ඇති වුවමනාව සහ කුසලතාවය මිස, අපට උදව් කළා ද, අපේ කෙනෙක් ද කියන කාරණය නොවේ. ඔහුගේ දේශපාලන පසුබිම, ජාතිකත්වය, ඥාතීත්වය, ආගම, ඉගෙනගත් පාසල, හිටපු රට වැනි දේ අපට අදාළ නැහැ. අපට පෞද්ගලික න්යායපත්ර නැහැ. අපට අවශ්‍ය වුණේ මේ අයගේ සේවය ලබා ගැනීමෙන් රටේ ජනතාවට යහපතක් වෙනවද නැද්ද යන කාරණය පමණයි.
දීර්ඝ කාලයක් තිස්සේ අපේ රට පිළිබඳව ආයෝජකයින් තුළ තිබුණේ කළු චිත්‍රයක්. අපි ඒ කළු චිත්‍රය වෙනස් කළා. ආයෝජකයෙක් කියන්නේ අපට සම්පතක්. ඔවුන් දිහා බලන ආකාරය සහ ආකල්පය අපි වෙනස් කළා. ඔවුන් එන්නේ අපට සහයෝගයට කියන ආකල්පය අපි ගොඩනැඟුවා. ආයෝජනය සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය කළා වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම නොපිරිහෙලා ඉටු කරන්න අපි අවශ්‍ය පරිසරය සකස් කරනවා. ශ්‍රී ලංකාව ආයෝජකයින්ට හිතකර තෝතැන්නක් බවට පරිවර්තනය කිරීම සඳහා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම, දිගුකාලීන රාජ්‍ය ප්‍රතිපත්ති, ස්වාධීන අධිකරණ පද්ධතියක් සහ දූෂණයෙන් තොර ආයෝජන හිතකාමී පරිසරයක් දැනටමත් ඇතිකර තිබෙනවා. අතයට ගනුදෙනු, අල්ලස් සහ සංතෝසම්වලින් තොර විනිවිද පෙනෙන ආයෝජන වටපිටාවක් දැන් ගොඩනඟා තිබෙනවා. ඒ වගේම ආයෝජකයින්ට අවශ්‍ය නව නීති රාමු, වීසා ප්‍රතිපත්ති සහ වෙනත් යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කොට ව්‍යාපාර කිරීමේ පහසුකම් ඇති කරනවා. මෙලෙස පැමිණෙන ඵලදායී ප්‍රතිපල අත්කර දෙන ආයෝජකයින් සඳහා පහසුකම් සපයන සබඳතා කළමනාකරුවෙක් සම්බන්ධ කරනවා. මේක අවංක ලස්සන රටක්, ආයෝජකයින්ට මිත්‍රශීලී රටක් කියන පණිවිඩය අපි දෙනවා.
දෙකෝටියකට වැඩි පුරවැසි පරම්පරාවට හුස්ම ගන්න තියෙන නිවහන මේ රටයි. ඒ වගේම මතු උපදින පරම්පරා ගණනාවකට ජීවත් වීමට තිබෙන්නේත් මේ රටයි. අපි නිර්මාණය කරන්නේ ශිෂ්ටසම්පන්න රටක්. සතා සිව්පාවාට පවා ආදරය කරන රටක්. මනුෂ්‍යත්වය පිරුණු රටක්.
රටක් ගොඩනැඟීමේ දී ඒ රටේ අධ්‍යාපනය මොන තරම් සුවිශේෂී ද කියන කාරණාව අපි දැඩිව අවබෝධ කරගෙන සිටිනවා. සියලු දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ තිරසර ප්‍රතිපත්තියේ අප සිටිනවා.
දශක ගණනාවක් තිස්සේ අනාරක්ෂිත, ව්යාකූලසහගත, පීඩාකාරී ඉතිහාස කතාව අවසන් කිරීමේ පරම අයිතිය මේ රටේ ජනතාව අප වෙත භාර දී තිබෙනවා. අප ඒ සුවිශාල සහ සුවිශේෂී ජනවරම ඉතා නිරහංකාර ලෙස වගේම වගකීම් සහගත ලෙස රට ගොඩනැඟීමේ උදාර කාර්යය වෙනුවෙන් යොදාගෙන තිබෙනවා. දූෂණයට එරෙහි වීම, ජාතික සමගිය කරා ගමන් කිරීම, නීතිය සර්ව සාධාරණ කිරීම වැනි ප්රශස්ත කටයුතු සිදු කිරීම කොතරම් දුෂ්කර වූවත්, අපි ඒ දුෂ්කර කන්ද අධිෂ්ඨානශීලීව තරණය කරනවා.
සෑම ශ්‍රී ලාංකිකයෙකුම යහපත් ජීවිතයක් භුක්ති විඳිය යුතු බවට අපගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමේ මාවත සහ සිහිනය යථාර්ථයක් කිරීම කෙරෙහි අවංක අපේක්ෂාව ඇතිවයි මේ අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ.
වෙනස් කළ නොහැකි දේවල් පිළිගැනීමට සන්සුන් භාවයත්, කළ හැකි දේවල් වෙනස් කිරීමට ධෛර්යයත්, කළ වෙනස දැන ගැනීමට ප්‍රඥාවත් ඔවුනට ලබා දෙන්න කියා කතාවක් තිබෙනවා. අපි ඒ යථාර්ථය අවබෝධ කරගත් ආණ්ඩුවක්.
ඉතිහාසය පුරා ආණ්ඩු ලබා දී තිබෙන්නේ ජනතාවට පටි තද කරගැනීම සහ දේශපාලනඥයින්ගේ පටි ලිහිල් කිරීම පිළිබඳව ආදර්ශ. නමුත්, අද සිදුව තිබෙන්නේ ජනතාවගේ පටි ලිහිල් කිරීම සහ දේශපාලනඥයින්ගේ පටි තද කිරීමේ ආදර්ශය. අපට අවශ්‍ය වන්නේ විශාල රාජ්‍යයක් නොව වඩාත් ඵලදායී රාජ්‍යයක්.
රටක අයවැයක් යනු අප උපයන දේ, අප වියදම් කරන දේ සහ ජාතියක් ලෙස අප ණයට ගන්නා දේ මනින ගිණුම්කරණ අභ්‍යාසයක් පමණක් නොවේ. එය හුදෙක් ලියවිල්ලක් පමණක් නොවේ. එය අපගේ සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය සමතුලිත කිරීමට අවශ්‍ය දුෂ්කර සහ විනිවිද පෙනෙන හුවමාරුවල පිළිබිඹුවක්. කොටින්ම, සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සපුරාලීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය ප්‍රතිපාදන බෙදා වෙන් කරනු ලබන්නේ අයවැය තුළින් බව අපි විශ්වාස කරනවා. ඒ අනුව එය රටක හෙට දවස ගැන සම්මුතියක්!
අප රටක් ලෙස මුහුණ දෙන ගැටලු පැහැදිලියි. ප්‍රමුඛතා පැහැදිලියි. තවදුරටත් රෝග විනිශ්චය අවශ්‍යයි කියා අප විශ්වාස කරන්නේ නැහැ. ඉක්ම ගිය කාලය තුළ අපි රෝගයත්, රෝග මූලයත් අවබෝධ කරගත්තා. දැන් අපි රෝගය සුවපත් කිරීමේ කාර්යයට අවතීර්ණ වී සිටිනවා. එය අභියෝගාත්මක යි. අපි සියලුදෙනා එක්ව අත්වැල් බැඳගෙන ඒ අභියෝගය ජයගත හැකියි කියන විශ්වාසය අපට තියෙනවා.
විශේෂයෙන්ම අපේ රටේ අවාසනාවට අපිට අහිමි වූ අති දක්ෂ පිරිසක් රටින් පිට සිටිනවා. සමහරු පාලකයින්ගේ අසාධාරණකම්වලට හිස නොනැමූ නිසා රටින් බැහැර වුණා. එහෙමත් නැත්නම් පාලකයින් විසින් ඒ විශිෂ්ට මිනිස්සුන්ව රටින් නෙරපා හැරියා. මේ රටේ ඉගෙන ගත්ත, සමහරවිට මේ රටේ ඉපදිලා පිටරට ඉගෙන ගත්ත ඒ අයට ලෝකයේ ඉතාම හොඳ අවස්ථා තිබුණා. නමුත් ඒ අය ඒ අවස්ථා භාර නොගෙන තමන්ගේ මව් රටට සේවය කරන්න ආවා. ඒත්, තමන් උපන් බිමේ නිදහසේ හුස්ම ගන්න හෝ ඒ බිමට සේවය කරන්න ඒ අයට ඉඩක් දුන්නේ නැහැ. පාලකයින්ගේ වැරදි දේට හිස නොනැමූ වරද තමයි ඔවුන් කළ වරද. ඒ වගේම ඒ සුදුස්සාට සුදුසු තැන නොදෙන ක්‍රමවේදයට ඒ අය එකඟ වුණෙත් නෑ. අපි අද ඒ සියලු දෙනාට ආරාධනය කරනවා, ඔබට මේ රට තහනම් බිමක් වූ කාලය ඉවරයි. පරණ ක්‍රමය අවසන්. දැන් තිබෙන්නේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන ක්‍රමයක්. නිදහසේ වැඩ කරන්න එන්න, මේ රටේ දොරටු ඔබට විවෘත යි.
“අපට අයිති සෑම දෙයක්ම අප වෙත පැමිණෙන්නේ එය ලබා ගැනීම සඳහා හැකියාව සහ අවස්ථාවන් අප නිර්මාණය කළහොත් පමණයි.” කියා රබීන්ද්‍රනාත් තාගෝර්තුමා පවසනවා.
අල්ලස දූෂණය මුලිනුපුටා දැමීම, සංවර්ධනය උත්තේජනය කිරීම, විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීම, යහපත් ජීවිතයක් ආරම්භ කිරීම තුළින් පුනරුදයක් නිර්මාණය කිරීම මේ අයවැයේ අරමුණයි.
අපි විපක්ෂයෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අපිව විවේචනය කරන්න. අපිට චෝදනා කරන්න. විරෝධතා දක්වන්න. හැබැයි අඩුම තරමේ රටේ මතු පරපුර වෙනුවෙන් මත්කුඩු ජාවාරම සහ පාතාලය අවසන් කරන්න සටන් කරනකොට, ඒ වගේම දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනකොට ඒකට එරෙහිව අකුල් නොහෙළා සහයෝගය දක්වන්න. අඩුම ගාණේ විපක්ෂයෙන් ඒ සටනේ දී වත්, ඒක මේ රට බලාපොරොත්තු වෙනවා.
ඉතිහාසයේ වේදනාබර සිදුවීම් අපට කියන්නේ මේ රට ගොඩනගන්න කියලා. අහිමිවීම්, නොසලකාහැරීම්, පීඩාවන්, තර්ජනයන්, ගර්ජනයන් පිරි අතීතය අපිට කියන්නේ මේ රට ගොඩනගන්න කියලා.
අතීත දරුවන්ගේ පරම්පරාවට මේ රට ඔවුන්ගේ නිවහන ලෙස සැබෑ ආඩම්බරයකින් කතා කරන්න බැරිවුණා. නමුත්, අනාගත පරම්පරාව ඒ ඛේදවාචකයෙන් මුදවා ගත යුතුයි.
වඩා ලස්සන රටක් වෙනුවෙන් තමන්ගේ සෑම සිහිනයක්ම කැප කරමින්, ඒ ලස්සන රට බිහිවෙන්නට පෙර මියගිය සෑම හදවතකම ප්‍රාර්ථනාව තිබුණේ මේ රට ලස්සන රටක් කරනවා දකින සිහිනය.
අපි දෙවුර මතට ගෙන තියෙන්නේ ඒ පවිත්‍ර මිනිස්සුන්ගේ මරණාසන්න ප්‍රාර්ථනාවන්. ඒ ප්‍රාර්ථනාවන් දේව වාක්‍ය තරම් උවමනාවකින් අපි ඉටුකරනවා.
අඳුරු වලාකුළුවලින් ඔබ්බට හිරු බබළන බවත්, අඳුරු වලාකුළු පහව යන බවත් අපි විශ්වාස කරනවා. ඒ වගේම, අන්ධකාරය මැද දීප්තිමත් රිදී රේඛාවන් නිශ්චිතවම පායන බවත් අප විශ්වාස කරනවා.
මේ අපි යන ගමනේ දී සතුරන්ගේ වියරු කෑගැසීම් අපට නෑසෙන බවත්, රටේ පුරවැසියන්ගේ අධිෂ්ඨානශීලී බලාපොරොත්තු සහගත දෑස් පමණක් අපට පෙනෙන බවත් සිහිපත් කරනවා.
අපි ආර්ථික වශයෙන් සමෘද්ධිමත් පමණක් නොව සදාචාරාත්මකව ආඩම්බර වන, ගෝලීය වශයෙන් ගෞරවයට පාත්‍ර වූ සහ පුළුල් මානුෂීය ගුණාංගවලින් හෙබි ජාතියක් ගොඩනඟමු.
මෙම සුවිශේෂී ගමනේ දී, පුරවැසියන් ලෙස ඔබ වඩාත්ම වැදගත් භූමිකාවන් ඉටු කරනු ලබනවා. මෙම පරිවර්තනය පිටුපස ඇති ශක්තිය සහ හේතුව ඔබයි. අවංකව හා කැපවීමෙන් වෙහෙස නොබලා වැඩ කළ රාජ්‍ය සේවකයින්, වෘත්තිකයන් සහ ව්‍යවසායකයින් සඳහා, අප අපගේ කෘතඥතාව පළ කරනවා. අපේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට නැවත පැමිණ, ආයෝජනය කර, අප සැම ආදරය කරන අපේ මාතෘ භූමිය නැවත ගොඩනැඟීම සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙස ආරාධනා කරනවා.
අපි ආර්ථික වශයෙන් සමෘද්ධිමත් පමණක් නොව සදාචාරාත්මකව ආඩම්බර වන, ගෝලීය වශයෙන් ගෞරවයට පාත්‍ර වන සහ පුළුල් මානුෂීය ගුණාංගවලින් හෙබි ජාතියක් ගොඩනඟමු.
අවසාන වශයෙන්, මෙම අයවැය සකස් කිරීමේ දී නොසැලෙන කැපවීමෙන් සහ නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ට සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට මගේ අවංක කෘතඥතාව පළ කරනවා. ඔවුන්ගේ වෘත්තීයභාවය, කැපවීම සහ යුතුකම පිළිබඳ හැඟීම පුළුල් හා ඉදිරි දැක්මක් සහිත මෙම අයවැය සකස් කිරීමේ දී බෙහෙවින් උපකාරී වුණා. රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ජාතික සංවර්ධන ඉලක්ක සාමූහිකව ඉදිරියට ගෙන යන විට, මෙම යෝජනා කාලෝචිත හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම හා සහතික කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ලෙස ඔබගේ අඛණ්ඩ සහයෝගය සහ කැපවීම අපි නිරතුරුවම බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි!
අකිත පෙරේරා සහ රනිල් ධර්මසෙන
Saru FM Media







