පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (17) පැවැත්වීමට නියමිතව තිබේ.
අද පෙරවරු 11.30 සිට පස්වරු 5 දක්වා ඊට අදාළ විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
පෙබරවාරි මාසයේ දෙවන පාර්ලිමේන්තු සතිය අද සිට ලබන 20 වන දින දක්වා රැස්වීමට නියමිතව තිබේ.
අද දිනයේ පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව කථානයක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර පෙරවරු 11.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු සහ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේය.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට අමතරව අද දිනයේ දී මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත් ඒ පිළිබදව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සදහා වූ යෝජනාව ද අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
හෙට (18) දිනයේ දී විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 3ක් සහ මෝටර් වාහන පනත යටතේ නියෝග 2ක් විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබේ.
ලබන බ්‍රහස්පතින්දා දිනයේ දී අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සහ විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත් වේ.
සිකුරාදා දිනයේ දී විපක්ෂය විසින් බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ගැටලු යන මැයෙන් ගෙන එනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
Saru News









